දේශපාලනයේ උඩ පිනුම් යට පිනුම්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ස්ථිරවම ඉදිරිපත් වන බව පසුගිය ඉරිදා (10) කුලියාපිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක රැළියෙන් පැහැදිලි විය. එවැනි පසුබිමක් තුළ ඉදිරි මැතිවරණය කවර ස්වරූපයක් ගනීද යන්න පිළිබඳවත්, රටේ පක්ෂ, දේශපාලන සංයුතිය සහ ව්‍යුහය කවර වෙනස්වීම්වලට බඳුන්වේද යන්න පිළිබඳවත් නව තත්වයක් පැනනැගී ඇති බව පෙනේ. රටේ දේශපාලනය නව මුහුණුවරක් ගනිමින් මෙතෙක් පැවැති තත්වයට වඩා ඉඳුරාම වෙනස් ස්වරූපයක් නිර්මාණය වීම සඳහා මෙම වෙනස්කම් හේතුවී ඇති බවක් පෙනෙන්නට තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයට අමතරව තවත් දේශපාලන බලවේග රැසක සහයෝගය හිමිවන බව මේ වනවිටත් ප්‍රකාශයට පත්වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක්, ලංකා කම්කරු කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. පක්ෂය ආදිය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් කුලියාපිටිය රැස්වීම පවත්වන ලද්දේ තනිකරම එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් ලෙසය. වරෙක නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂක ලෙස හෝ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබියදී එක්සත් ජාතික පක්ෂයට පමණක් සීමාවු රැස්වීම්වලින් ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න බොහෝ දෙනකුට ගැටලු‍වක් වී ඇති බව පෙනෙන්නට තිබේ.

2019  ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ පූර්ණ සහයෝගය ලැබී තිබුණි. එම ඡන්දයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලක්ෂ 69 ක් ලැබෙද්දී, සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56 ක් ලැබුණි. මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සියයට 52 ක් ලැබෙද්දී, සජිත් ප්‍රේමදාස මහතාට සියයට 42 ක් ලබාගත්තේය. ඡන්දයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළේය. එක්සත් ජාතික පක්ෂයේ එතෙක් පැවැති ඒකාග්‍රතාව බිඳ දැමීම සඳහා දරුණු ප්‍රහාරයක් සජිත් ප්‍රේමදාස මහතාගෙන්  එල්ල විය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය දෙකඩ වීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තේය. ඒ වනවිට රටේ බොහෝ පිරිසකගේ කැමැත්ත අනුව සහ ඡන්දය ලබාදෙන ජනප්‍රිය පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත්වූයේය. රටට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් අත්මිදී නිදහස ලබා ගැනීම වෙනුවෙන් අතිවිශාල කාර්ය භාරයක් මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන්  ඉටුකර තිබුණි. නිදහස ලබා ගැනීමෙන් පසු කාලපරිච්ඡේදය තුළ පක්ෂය දෙකඩ වූ අවස්ථාවක් නොවු තරම්ය. 1951 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා පක්ෂයෙන් නික්ම ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිට වූ නමුත් එය හැඳින්විය හැක්කේ පක්ෂය දෙකඩ වීමක් ලෙස නොවේ.

එවකට ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන පක්ෂ වූයේ දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂය සහ වාමාංශික පක්ෂය. මෙම කඳවුරු දෙක අතර මැදි පිළිවෙතක් අනුගමනය කරන දේශපාලන පක්ෂයක් සඳහා ඉඩකඩ තිබිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකිරීමෙන් සිදුවුයේ එම ඉඩකඩ සම්පූර්ණ කිරීමක් පමණි. එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වීමක් සිදුවූයේ නැත. 1976 වසරේදි හයෙන් පහක  ආසන ගණනක් ලබා ගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවිය. ජේ.ආර්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහි කරන ලද්දේත්, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදෙන ලද්දේත් එම ජයග්‍රහණයෙන් පසුවය. එක්සත් ජාතික පක්ෂය රටේ ගමන් මග වෙනස් කිරීමට උරදුන් මහා මෙහෙවරක් ඉටු කරන ලද අතර, 1956 මැතිවරණ පරාජය වැනි දුර්භාග්‍යසම්පන්න අවස්ථාවලට මුහුණදීමට සිදු වුවද, එය නොසැලී ඉදිරියටම ගමන් කළේය.

2019 ජනාධිපතිවරණ පරාජයෙන් පසු පක්ෂයේ බලතල ලබාදෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටි නමුත් එවැනි අවස්ථාවක් ලබාදීමට පක්ෂය එකඟ වූයේ නැත. සජිත් ප්‍රේමදාස මහතා ද තම නායකත්ව සිහිනය ඉටුකර ගැනීමට තවත් කල් යැවීමට සූදානම් වූයේ නැත. ඔහු සමගි ජනබලවේගය නමැති පක්ෂය පිහිටුවා එහි නායකයා බවට පත්විය. එක්සත් ජාතික පක්ෂය දෙකඩ විය.

එහි ප්‍රතිඵල සමගි ජනබලවේගය සිය ප්‍රථම මැතිවරණයට මුහුණදුන් අවස්ථාවේ සිට දැකගත හැකි විය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 56 ක් ලබා තිබුණද, 2020 මහ මැතිවරණයේදී සමගි ජනබලවේගය ලබා ගත්තේ ඡන්ද ලක්ෂ 27 ක් පමණි. ජනාධිපතිවරණයේදී  සජිත්ට ඡන්දය දුන් දේශපාලන පක්ෂ කීපයක් මහ මැතිවරණයේදී තනිව තරඟ කිරිම හේතුවෙන් ඉවත්වන  ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 6 ක් ලෙස සැලකුවද ඡන්ද භාවිතා නොකළ එක්සත් පාක්ෂිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 ක් පමණ වේයැයි ප්‍රකාශ කළ හැකිය.

එම අවස්ථාවේදී කරන ලද පෙළඹවීම් සහ බොරු ප්‍රචාර හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් සමගි ජනබලවේගයට ඡන්දය පාවිච්චි කළද දැන් එම තත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ. පක්ෂය අතහැරීමෙන් අපේක්ෂා කරන ලද ඉලක්ක සම්පූර්ණ වී නැති බව දැන් එම පාක්ෂිකයන්ට පැහැදිලි වී ඇත. එනිසා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකට එකතු කර නැවතත් පැරණි එක්සත් ජාතික පක්ෂය ඒ අයුරින්ම ප්‍රතිෂ්ඨාපනය කර ගැනීම එම පක්ෂයේ සමහර නායකයන්ගේ සහ පාක්ෂිකයන්ගේ අපේක්ෂාව වී ඇති බව පෙනි යයි. කුලියාපිටිය රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ තනි රැස්වීමක් බවට පත්වෙද්දී බොහෝ පිරිසක් එයට සහභාගී වීමට දැඩි උනන්දුවකින් කටයුතු කළ ආකාරයෙන් ඒ බව පැහැදිලි වේ.

සමගි ජනබලවේගයේ නායකයාට පක්ෂ දෙක එකතුවිය යුතුය යන මතය පාක්ෂිකයන්ගෙන් දැඩිව ඉදිරිපත් වන බව පෙනේ. එසේ වුවද, සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එවැනි එකතුවක් බිහි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම රාජපක්ෂවරුන් අත්හැර දැමිය යුතු බවය. මෙම කරුණු පිළිබඳව ඉතා විශ්ලේෂණාත්මක විග්‍රහයක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කුලියාපිටිය රැස්වීමේදී ඉදිරිපත් කරනු ලැබූ බව පෙනේ.

ඔහු සඳහන් කළේ මෙතෙක් රාජපක්ෂවරු දැඩිව ආරක්ෂා කළ අයකුට සහ ගොඩ පෙරකදෝරුවකුට දැන් සමගි ජනබලවේගය අයත්ව තිබෙන බවය. එදා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ තරඟයේදී සජිත් ප්‍රේමදාස මහතා දැඩි රාජපක්ෂවාදියකු වන ඩලස් අලහප්පෙරුම මහතා සමග එකතු වූවා පමණක් නොව ඩලස් ජනපති කර තමා අගමැති වීමටත් සූදානම් වූ බව පෙන්වා දුන්නේය. දැඩි රාජපක්ෂවාදියකුගේ දෙවැනියා වශයෙන් කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා දැන් තමන්ට රාජපක්ෂවාදියකු යැයි චෝදනා කරන බව ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

සමගි ජනබලවේගය තුළ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කිසිඳු ඉඩක් නැති බවද දැන් එය සට්ටඹියකුගේ සහ ගොඩ පෙරකදෝරුවකුගේ වුවමනාවන්ට අනුව කටයුතු කරන පක්ෂයක් වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. තමන් අයිඑම්එෆ් පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයට අවස්ථාවක් ලබාදුන් බවද එහෙත් ඉහත කී පුද්ගලයන් දෙදෙනාගේ ඉල්ලීම මත එයට සහභාගී නොවීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බවද පෙන්වා දුන්නේය. එබැවින් එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු‍ දෙනාටම එක්සත් ජාතික පක්ෂය සමග එකතු වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

සමගි ජනබලවේගය ගොඩ නැගීමෙන් එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම හැර වෙනත් කිසිදු දෙයක් ඇති නොවීය. ජනාධිපතිවරණයේදී ලැබු ඡන්ද ලක්ෂ 56 කි. ඉන්පසු පැවැති මහ මැතිවරණයේදී ද ලබා ගැනීමට හැකි වුවා නම් සමගි ජනබලවේගයට ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යෑමට ඉඩ තිබුණි. දැන් එක්සත් ජාතික පක්ෂ නායකයා ජනාධිපතිවරයා බවට පත්ව සිටී. ඒ හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට රට පාලනය කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන අතර, ජනාධිපතිවරණයට පක්ෂ දෙක එකතු කර තරඟ කළ යුතු බව පාක්ෂිකයන්ගේ අදහස වී ඇත. එම අදහසට අනුව එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවස්ථාව සැලසීම ආරම්භ කරගෙන රනිල් වික්‍රමසිංහ මහතා තම ජනපතිවරණ සටන එක්සත් ජාතික පක්ෂයේ තනි රැස්වීමකින් ආරම්භ කර ඇති බව පෙනී යයි.

එක්සත් ජාතික පක්ෂය සමහර අවස්ථාවලදී බෙදුණු නමුත්, පසුව යළි පක්ෂය සමග එකතු වී පක්ෂයේ ශක්තිය ගොඩ නැගූ අවස්ථා මතකයට නැගේ. රණසිංහ ප්‍රේමදාස මහතා පුරවැසි පෙරමුණ නමින් සංවිධානයක් පිහිටුවා රට පුරා රැස්වීම් පවත්වමින් සිටියද පසුව එය අතහැර දමා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළේය. රුක්මන් සේනානායක මහතා පක්ෂයෙන් ඉවත් වී ඩඩ්ලි පෙරමුණ හා පසුව එක්සත් ලංකා ජනතා පක්ෂය පිහිට වු නමුත් පසුව නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග එකතු විය. සේනානායක මහතාත්, පක්ෂයේ මහලේකම් වශයෙන් කටයුතු කළ දොස්තර ගාමිණි විජේසේකර මහතාද එක්සත් ජාතික පක්ෂයට යළි එකතු වී පක්ෂයේ තනතුරු දැරුවේය. ගාමිණි දිසානායක මහතා සහ ලලිත් ඇතුලත්මුදලි මහතා එක්සත් ජාතික පක්ෂය හැර ගොස් රාජාලියා පක්ෂය පිහිට වුයේය. ඉන්පසු පැවැති පළාත් සභා මැතිවරණයෙන් වයඹ මහ ඇමති පදවිය ලබා ගැනීමට පවා හැකි විය. එහෙත් පසුව ගාමිණී දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු විය.

1994 න් පසු ගත වු වසර 30 තුළ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයකු තෝරා ගැනීමට නොහැකි විය. එහෙත් දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ජනාධිපති ධූරයට පත්ව සිටී. පක්ෂය බෙදී පවතී. දැන් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාව වී ඇත්තේ රනිල් ජනපති ධූරය හොබවන අතරම එක්සත් ජාතික පක්ෂයේ රජයක් ද බිහිකර ගැනීමටය. එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජනබලවේගයත් එකතු වී එක්සත් ජාතික පක්ෂය යළි ශක්තිමත් කර ගැනීම එම පක්ෂ දෙකට සහාය දෙන පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුව වී ඇති බව පෙනේ.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර