හිටපු පරිසර ඇමැති නසීර් අහ්මද් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගත් තීරණය අනුමත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ දුන් තීන්දුව නව පූර්වාදර්ශයක් සේ බොහෝ දෙනකු ගෙන හැර දැක්වීම නිවැරැදි නොවේ.
මෙය අලුත් තත්ත්වයක් ලෙස සලකමින් ඇතැම් දේශපාලන පක්ෂ තමන් වෙතින් ඉවත්වී ගිය තම හිටපු සාමාජිකයන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමට පෙළැඹී ඇතැයි ද වාර්තා වේ. වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය වසර දෙක තුළ ඉවත්ව ගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනි. එම පක්ෂය ද හිටපු ඇමැතිවරුන් වන ඩලස් අලහප්පෙරුම හා අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන්ගේ නායකත්වය යටතේ ගොනු වී සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව දැන් නීතිමය පියවර ගන්නට යන බව පැවසේ.
1999 ජනාධිපතිවරණය ආසන්නයේ දී එවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග දේශපාලන සබඳතා පැවැත්වී යැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂය හිටපු ඇමැතිවරයකු වන සරත් අමුණුගම මහතා එම පක්ෂයෙන් ඉවත් කළේය. එම තීරණයට එරෙහිව අමුණුගම මහතා අධිකරණයට ගියේය. එහි දී එවකට අග්‍ර විනිශ්චයකාර ධූරය හෙබවූ සරත් එන් සිල්වා මහතා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය අමුණුගම මහතාට වාසිදායක තීන්දුවක් දුන්නේය.
ඉන්පසු පසුගිය සතිය දක්වා පක්ෂවලින් නෙරපීමට එරෙහිව මන්ත්‍රීවරුන් විසින් එම පක්ෂවලට එරෙහිව පවරන ලද නඩුවල තීන්දු අදාළ පක්ෂවලට නොව අදාළ මන්ත්‍රීවරුන්ට වාසිදායක විය. මේ නිසා සිල්වා මහතා මන්ත්‍රීවරුන්ගේ පිල්මාරුව නීත්‍යනුකූල කළේ යැයි මතයක් පැතිර තිබේ.
මේ මතය නිසා මන්ත්‍රීවරු පිල් මාරු කළ විට ඔවුන් සිටි පක්ෂ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නට පසුබාන බවට ද මතයක් ඇත. නසීර් අහ්මද් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ දුන් තීන්දුවත් සමඟ වෙනත් පක්ෂ ද තමන් වෙතින් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නට යන බව ද වාර්තා පළවන්නේ ඒ මතය නිසාය.
එහෙත් අමුණුගම මහතාගේ නඩුවට පෙරද මන්ත්‍රීවරුන් පක්ෂවලින් නෙරපීම සම්බන්ධයෙන් වූ නඩුවල දී අදාළ පක්ෂයට නොම මන්ත්‍රීවරයාට වාසිදායක තීන්දු ලැබුණු නඩු තිබී ඇත. එසේම අමුණුගම මහතා සම්බන්ධයෙන් නඩු තීන්දුව දුන්නේ තමන් නොව වෙනත් විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් යැයි හිටපු අගවිනිසුරු සිල්වා මහතා පවසා තිබේ. තුන්වැනිව, අමුණුගම මහතාගේ නඩුවට පසු ඒ හා සමාන නඩුවල දී නොකඩවා පක්ෂයට නොව මන්ත්‍රීවරයාට වාසිදායක තීන්දු ලැබුණේ අමුණුගම නඩුවේ තීන්දුව පූර්වාදර්ශයට ගෙන නොව විවිධ වූ තාක්ෂණික කරුණු පදනම් කර ගනිමිනි.
2014 දී පුවත්පතක් සමඟ හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔබ පිල් මාරු කිරීම නීත්‍යනුකූල කිරීම නිවැරැදි යැයි දැන් සිතෙන්නේ දැයි ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට සිල්වා මහතා පිළිතුරු දී තිබුණේ තමන් පිල් මාරු කිරීම නීත්‍යනුකූල කළ බව කීම වැරැදි බවයි. තමන් අමුණුගම මහතා ද නඩු විභාගයට සහභාගී නොවූ අවස්ථාවක එම තීන්දුව දුන්නේ වැඩබලන අගවිනිසුරු ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රන්ජිත් අමරසිංහ මහතා ප්‍රධාන විනිසුරු මඩුල්ලක් බවත් එසේ වුවද තමන්ද එම තීන්දුව අනුමත කරන බවත් ඔහු එහිදී පවසා තිබිණි.
අනෙක් අතට පිල්මාරුව පිළිබඳ නඩුවලදී පසුගිය සතිය දක්වා පක්ෂයට නොව අදාළ මන්ත්‍රීවරයාට වාසිදායක තීන්දු ලැබෙන්නට පටන් ගත්තේ අමුණුගම මහතාගේ නඩුවෙන් පසු නොවේ. ඊට පෙර 1993 දී තිලක් කරුණාරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීම නිසා එම පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීය.
එහිදී පක්ෂ අභ්‍යන්තර නිලවරණ දීර්ඝ කාලයක් නොපැවැත්වීම නිසා ශ්‍රීලනිප මාධ්‍ය කාරක සභාව නිසි පරිදි ස්ථාපිත කරනු ලැබ නැති බවත් එහෙයින් එම මධ්‍යම කාරක සභාව තමන් පක්ෂයෙන් නෙරපීම නීති විරෝධි බවත් කියමින් කරුණාරත්න මහතා අධිකරණය හමුවට ගියේය. එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරුණු අතර ශ්‍රීලනිප කරුණාරත්න මහතා පක්ෂයෙන් ඉවත් කිරීම නීති විරෝධි යැයි ඉන් විනිශ්චයකාරවරු දෙදෙනෙක් තීන්දු කළහ.
2002 දී හා 2006 දී පිල්මාරු කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු දෙකෙන්ම පක්ෂයට නොව මන්ත්‍රීවරයාට වාසිදායක තීන්දු දී තිබිණි.
මුස්ලිම් කොංග්‍රසය තවත් කණ්ඩායමක් සමඟ ගොඩනැඟූ ජාතික සමඟි පෙරමුණට එරෙහිව 2002 දී කලෙක මුස්ලිම් කොංග්‍රසයේ සභාපතිවරයාව සිටි බෂීර් සේගුදාවුද් මහතා මින් එක් නඩුවක් පවරා තිබිණි. එහිදී සේගුදාවුද් මහතාගේ තර්කය වූයේ තමන් ජාතික සමගි පෙරමුණේ නොව මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයකු බැවින් තමන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ජාතික සමඟි පෙරමුණේ නායිකා ෆේරියල් අෂ්රෆ් මහත්මියට නීතිමය බලයක් නැති බවයි. ඒ තර්කය පිළිගත් අධිකරණය සේගුදාවුද් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ අනෙක් නඩුව පවරනු ලැබ තිබුණේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා විසිනි. ඒ 2006 දීය පසුව මුස්ලිම් කොංග්‍රසය අමීර් අලි මහතා පක්ෂයෙන් නෙරපීමේ තීරණය ඉල්ලා අස් කර ගත්තේය. එහෙත් නඩුව ඉදිරියට ගෙන යන්නට තීරණය කළ අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සිය අවසන් තීන්දුව දීමේ දී නීතිමය කරුණුවලින් ඔබ්බට දේශපාලනයට ඉතා සමීප වූ කරුණක් ද පදනම් කර ගත්තේය. පක්ෂවලින් නෙරපීම විශේෂිත තත්ත්වයක් යටතේ හා මහජන සුබසිද්ධිය වෙනුවෙන් පමණක් කළ යුතු යැයි එම තීන්දුවෙන් කියවිණි. ඒ අනුව එහිදී අමීර් අලි මහතාද සිය මන්ත්‍රී ධුරය රැක ගත්තේය.
පිල්මාරු කිරීමට අදාළව තවත් නඩුවක් 2010 දී පැවරුණේ ඉලගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට එරෙහිවය. පැමිණිකරු වූයේ සිංහල ජාතිකයකු වූ. පී.එච්. පියසේන මහතාය. ඔහු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත් විය. එම වසරේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාව අනුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කෙරුණු අතර පියසේන මහතා ඒ පිළිබඳ තම පක්ෂයේ තීරණයට පිටුපා එම සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය.
මේ නිසා එම වසරේම නොවැම්බර් මාසයේ රැස්වූ එම පක්ෂයේ විනය කමිටුව පියසේන මහතා පක්ෂයෙන් නෙරපීමට තීරණය කොට ඒ බව ඔහුට ද දැනුම් දුන්නේය. ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය අතර එය විභාග කළ අධිකරණයේ තීන්දුව වූයේ තමිල් අරසු කච්චි පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ සාමාජිකයකු පක්ෂයෙන් නෙරපිය හැක්කේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පමණක් බවත් මෙම නෙරපීමේ තීරණය ගෙන ඇත්තේ පක්ෂයේ විනය කමිටුව නිසා එය නීති විරෝධි බවත්ය. ඒ අනුව ඔහුගේ මන්ත්‍රීධුරය ද රැකිණි.
මේ අනුව පෙනෙන්නේ අමුණුගම නඩුව ඊට පසුව පිල්මාරු නිසා වූ තෙරපීම් සම්බන්ධයෙන් පවරනු ලැබු කිසිදු නඩුවකට පුර්වාදර්ශයක් වී නැති බවයි. අමුණුගම නඩු තීන්දුවෙන් කියවුණේ නිසි නීතිමය පිළිවෙත් අනුගමනය කිරීමෙන් තොරව එජාප අමුණුගම මහතා පක්ෂයෙන් නෙරපා ඇති බවයි. සේගුදාවුද් මහතාගේ නඩුවේදී ඔහු සාමාජිකත්වය නොදරන පක්ෂයකින් ඔහු නෙරපනු ලැබ තිබිණි. අමීර් අලි මහතාගේ නඩුවේ දී තීරණය වූ කරුණක් වූයේ මහජන සුබ සිද්ධිය ද සැලකිල්ලට ගෙන පක්ෂවලින් මන්ත්‍රීවරුන් නෙරපීම කළ යුතු බවයි. පක්ෂයේ බලය ලත් කමිටුවකට තීරණය අනුව වෙනත් කමිටුවකට තීරණය අනුව තමිල් අරසු කච්චි පක්ෂයෙන් පී.එච්. පියසේන මහතා නෙරපා ඇති බව අධිකරණය පෙන්වා දී තිබිණි.
එහෙයින් පිල් මාරු කළ මන්ත්‍රීවරුන් නිසි නීතිමය ක්‍රියාමාර්ග ගෙන පක්ෂවලින් නෙරපා හැරීමට පසුගිය කාලය පුරාම දේශපාලන පක්ෂවලට හැකියාව තිබිණි.
මෙම නඩුවල දී සලකා බැලුණු ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. මන්ත්‍රීවරයකුට සිය හෘදය සාක්ෂිය අනුව කටයුතු කරන්නට හැකිවීම සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ ජනවරම පුද්ගලයට නොව පක්ෂයට ලැබේය යන උපකල්පනය හා පක්ෂයක විනය පවත්වාගෙන යාම එම කරුණු වේ. කේවල ආසන ක්‍රමය පැවැති කාලයේදී මන්ත්‍රීවරයාගේ සංසදය සාක්ෂියට ඉහළම සැලකිල්ලක් ලැබුණෙත් ඒ කාලයේදී මන්ත්‍රීවරු පිල්මාරු කළද ඔවුනට මන්ත්‍රී ආසනය අහිමි නොවීය. සමානුපාතික ක්‍රමය යටතේ ජනවරම පුද්ගලයාට නොව පක්ෂයට ලැබේයැයි සැලකෙන හෙයින් මන්ත්‍රීවරයාගේ හෘදය සාක්ෂියට වඩා පක්ෂ විනයට වැඩි සැලකිල්ලක් ලැබේ.
ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ අවසානයේදීත් රණසිංහ මහතාගේ පාලන කාලයේදීත් ආණ්ඩුව ඉතාමත් අප්‍රසාදයට ලක්වී තිබිණි. ඒ නිසා ඒ කාලයේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හෘදය සාක්ෂිය අනුව කටයුතු කළ යුතු යැයි බොහෝ දෙනා සිතූහ. සැබැවින්ම අවංක මන්ත්‍රීවරයකුට හෘදය සාක්ෂිය අනුව කටයුතු කළ හැකි විය යුතුය.
එහෙත් පසුව ඉතා අප්‍රසන්න අයුරින් බොහෝ මන්ත්‍රීවරුන් කිසිදු ලජ්ජාවක් නැතිව පක්ෂයෙන් පක්ෂයට පනින්නට පටන් ගැනීම නිසා දැන් ජනමතය බොහෝ දුරට පිල් මාරුවට එරෙහිව සැකසී ඇති බවක් පෙනේ. නසීර් අහ්මද් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම පිළිබඳව ජනමාධ්‍යවල පළවු අදහස්වලින් ඒ බව පෙනේ.
පිල් මාරුව නිසා වැඩියෙන්ම බලපෑමට ලක්වූ පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස විය යුතුය. එම පක්ෂයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් එම පක්ෂය විපක්ෂයේ සිටී නම් පත්වුදා සිට උත්සාහ කරන්නේ ආණ්ඩුවට එක්වී ඇමැතිකමක් හෝ රාජ්‍ය ඇමැතිකමක් ලබාගැනීමටය. පසුගිය මැතිවරණයේ දී එම පක්ෂයේ මන්ත්‍රීවරුන් තේරී පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා රාජපක්ෂවරුන්ට දෙස් දෙවොල් තබමිනි. එහෙත් තේරී පත්වී ටික දිනකින්ම ඔවුහු ප්‍රධාන ඡන්ද විමසීම්වල දී පොදුජන පෙරමුණට සහාය දෙන්නට පටන් ගත්හ. එහෙත් ඊළඟ මැතිවරණයේදීද ඔවුන් තේරී පත්වන්නට ඉඩ තිබේ. මේ නම් අපූරු තත්ත්වයකි.
(*** එම්.එස්.එම්. අයුබ්)