දේශපාලනයේ සාධාරණත්වය පාච්චල් කිරීම


ඉකුත් 17 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉතා වැදගත් නඩු තීන්දුවක් දී තිබිණි. 2010 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කෙරෙන කාලයේදී එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු වූ ජාතික නිදහස් පෙරමුණේ මොහමඩ් මුසම්මිල් මහතාට අල්ලස් දීම සම්බන්ධයෙන්  මයෝන් මුස්තෆා යන නමින් ප්‍රකට මොහමඩ් මුස්තෆා මහතාගේ ප්‍රජා අයිතිය විනිසුරුවරයා වසර හතකට අහෝසි කළේය.

2010 ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවන් දෙදෙනා වූයේ ඒ වනවිටත් ජනාධිපති ධුරය හොබවමින් සිටි එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ හිටපු හමුදාපති ජෙනරාල් (පසුව ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කරනු ලැබූ) සරත් ෆොන්සේකා මහතායි.

2008 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ මහතා ඒ වනවිට ජාතික නිදහස් පෙරමුණ පිහිටුවාගෙන තිබුණි. ඔහු මහින්ද රාජපක්ෂ මහතාට  එම මැතිවරණයේදී සහාය දුන් අතර ජවිපෙ සරත් ෆොන්සේකා මහතාට සහාය දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ මැතිවරණ කාලවල දී දේශපාලනඥයන්  පිල් මාරු කිරීම සාමාන්‍ය දෙයක් වන අතර මෙම මැතිවරණයේදීද එසේම පිරිසක් ප්‍රධාන කණ්ඩායම් දෙකෙන් එකක සිට අනෙකට මාරු වූහ. මෙම පිල් මාරු කිරීම් බොහොමයක් පිටුපස මුදල් ගනුදෙනු සිදුවීමද ප්‍රසිද්ධ  රහසකි.  මුසම්මිල් මහතා ෆොන්සේකා මහතාගේ පිලට ගැනීම සඳහා මයෝන් මුස්තෆා මහතා රුපියල් ලක්ෂ හතලිස්  දෙකක් දී ඇත්තේ මේ අනුවය.

 සාමාන්‍යයෙන් මෙම ගනුදෙනු කෙරෙන්නේ විශ්වාසය මතය. මෙම ගනුදෙනු සම්බන්ධයෙන් වූ සාකච්ඡා අසාර්ථක වුවද බොහෝ දේශපාලනඥයන් එම සාකච්ඡා හෙළිදරව් කරන්නේ නැත. එසේ අසාර්ථක සාකච්ඡා හෙළිදරව් කළද මුදල් ලබා  ගත්තේ නම් පිල් මාරු නොකර සිටින්නේද නැත. එහෙත් මුසම්මිල් මහතා මුදල් ලබාගෙන ජනමාධ්‍ය හමුවක් පවත්වා ඒ බව හෙළිදරව් කොට අල්ලස් දීම සම්බන්ධයෙන් මුස්තෆා මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද පියවර ගත්තේය.

මෙම නඩුව අතරතුර මුස්තෆා මහතා කලක් විදේශ ගත වී සිටියේය. පසුව මෙරටට පැමිණ 2019 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දුන්නේය.

 කෙසේ වෙතත් අල්ලස් සිද්ධිය සිදුවී වසර 13කට පසු ඒ පිළිබඳ නඩු විභාගය අවසන් වූ අතර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකාර මුස්තෆා මහතාගේ ප්‍රජා අයිතිය සත් වසකට අහෝසි කළේ ඒ අනුවය. ඒ සමඟම විනිසුරුවරයා ඔහුට මාස හයක සිර දඬුවමක් හා රුපියල් 500ක දඩයක් ද නියම කළේය.

2010 ජනාධිපතිවරණයේදී මෙම අල්ලස් සිද්ධිය විශාල ආන්දෝලනයක් ඇති කළද ඒ පිළිබඳ නඩු තීන්දුව ජනමාධ්‍යයනට හා රටේ ජනතාවට ද එතරම් වැදගත් බවක් පෙනුණේ නැත. ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් පවා සිදුව තිබුණද මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය හෝ විරුද්ධ පක්ෂය හෝ දූෂණ විරෝධී සංවිධාන හා පුද්ගලයන් හෝ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම විශේෂ තත්ත්වයකි.

 වෙනෙකක් තබා මෙය තමන් හා සම්බන්ධ කරුණක්ව තිබියදීත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හෝ මුසම්මිල් මහතා  හෝ ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

එක් අතකින් එය පුදුමවීමට කරුණක් ද නොවේ. මෙම අල්ලස් සිද්ධිය සිදුවන විට මුස්තෆා මහතා සිටියේ රාජපක්ෂ කඳවුරට එරෙහිවය.  ඒ අනුව මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔවුන් සතුට ප්‍රකාශ කළ යුතු වුවද එය ඔවුනට කළ නොහැක්කේ මුස්තෆා මහතා පසුව දේශපාලන වශයෙන් ඔවුන් හා එකතුවීම නිසාය. තමන්ට සහාය දුන් අයකු ඒ සහාය නිසාම ප්‍රජා අයිතිය ද අහෝසි කරගෙන සිර දඬුවම් විඳීම ෆොන්සේකා මහතාට හිතවත් පිරිසගේ කනගාටුවට කරුණක් විය යුතු වුවද එසේ සිරගෙට  නියම වී ප්‍රජා අයිතිය අහෝසි කරගෙන සිටින්නේ දැනට රාජපක්ෂ කඳවුරේ සිටින්නෙකි.

බොහෝ දූෂණ විරෝධීහු රාජපක්ෂ විරෝධීහුද වෙති. එහෙයින් ඔවුනට මෙම නඩු තීන්දුව අගය කළ යුතු එකක් නොවේ යැයි පෙනෙන සේය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා පවසා ඇත්තේ මහජන නියෝජිතයකු වශයෙන් මෙම විත්තිකරු කර ඇති වරද ඉතා බරපතළ වුවත් පවතින නීතිය අනුව ඔහුට මීට වඩා දැඩි දඬුවම් දිය නොහැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදය  වෙනුවෙන් නීති සම්පාදනය කරන ආයතනයක නියෝජිතයකු ලෙසින් හිඳිමින් ඔහු කර ඇති වරද ඉතා බරපතළ බවද විනිසුරුවරයා සඳහන් කොට තිබිණි.

‘‘225දෙනාම හොරු’’ යැයි පසුගිය වසරේ පැවැති ආණ්ඩු විරෝධි අරගලයේ සිටම බොහෝ දෙනා හඬ නඟන වකවානුවක විනිසුරුවරයා කර ඇති මෙම ප්‍රකාශය ඒ 225 දෙනාටද ප්‍රබල පණිවිඩයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ පසුගිය කාලයේ දී තමන්ගේ හිතවතුන්ට එරෙහිව නඩු ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළහ. එපමණක් නොව තම හිතවතුන්ට එරෙහි නඩු අහෝසි කොට එම නඩු පැවරීමට මුල්වූවන්ට එරෙහිව පියවර ගෙන ඔවුන්ගේ ප්‍රජා  අයිතිය අහෝසි කරන්නට කොමිසමක්  පවා පත් කළහ. ඒ අනුව තමන්ටද යම් සහනයක් ලැබෙනු ඇතැයි පොදුජන පෙරමුණ හා එක්වූ පසු මුස්තෆා මහතා සිතන්නට ඇත. එහෙත් මෙම නඩුවට අදාළ වරද තමන්ට එරෙහිව කළ එකක් නිසාදෝ එම පක්ෂයේ නායකයන් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නට පියවර ගත්තේ නැත.

රාජ්‍ය අංශයේ හා දේශපාලනයේ පමණක් නොව සමස්ත සමාජ  දේහයම දූෂණය, අල්ලස හා අක්‍රමිකතාවලින් වැසී ඇති වත්මන් වටපිටාව අනුවද මෙම නඩු තීන්දුව දෙමින් විනිසුරුවරයා කළ ප්‍රකාශය අතිශයින්ම වැදගත්ය.

කෙසේ වෙතත් එම පණිවිඩය කෝටි දෙකකට වැඩි මෙරට ජනගහනයෙන් කී දෙනකුට ඇසෙන්නට ඇත්ද? ඉන් කී දෙනකු එය සැලකිල්ලට ගන්නට ඇත්ද යන්න නම් ගැටලුවකි. රටේ ඉතා උසස්  හා වැදගත් තනතුරු දරන්නන් පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු රටේ නීතිය ගැන දක්වන ආකල්පය අනුව මෙම ප්‍රශ්නය වඩාත් ඉස්මතුව දැනේ.

මෙම නඩු තීන්දුව මෙන්ම මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් මුසම්මිල් මහතා  ගත් ක්‍රියාමාර්ගය අගය කළ යුතු වුවද සැබවින්ම ඔහු ක්‍රියා කළේ දූෂණ විරෝධී ආකල්පයකින්ද නැත්නම් දේශපාලන වුවමනාවකින්ද යන්න තෝරා බේරා ගැනීම දුෂ්කර නොවේ. එදා මුස්තෆා මහතාත් මුසම්මිල් මහතාත් එකම ජනාධිපති අපේක්ෂකයකුට සහය දී මුස්තෆා මහතා තුන්වැන්නකුට මෙවැනි අල්ලසක් දුන් බව මුසම්මිල් මහතා දැනගත්තේ නම් ඔහු ඊට එරෙහි වනු ඇත්ද? මෙවැනි නඩුවක් පැවරීමට කටයුතු කරනු ඇත්ද?

එවැනිම ප්‍රශ්නයක් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් සම්බන්ධයෙන් ද මතු කළ හැකිය. 2015 දී මෙන්ම 2010 ජනාධිපතිවරණයේදීද රාජපක්ෂ විරෝධීන්ගේ ප්‍රධානම ප්‍රචාරක තේමාවක් වූයේ රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ මහා පරිමාණ දූෂණ, නාස්තිය හා අක්‍රමිකතායි. එහෙත් ඔවුන්ගෙන් එකකු හෝ මෙම අල්ලස් දීමේ සිද්ධිය හෙළා දුටු බවක් නම් අපට මතක නැත.

2010 ජනාධිපතිවරණයට පෙරත්  පසුවත් රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ දැක්වූ ආකල්පයද මුසම්මිල් මහතා මෙහිදී ක්‍රියා කළේ කුමන පදනමින් ද යන්න  තේරුම් ගැනීමට උපකාරී වේ. 2005 සිට 2010 දක්වාත්, 2010 සිට 2014 දක්වාත් 2019 සිට 2022 දක්වාත් පැවැති රාජපක්ෂ පාලන කාලයන්හිදී ජාතික නිදහස් පෙරමුණ සිටියේ එම පාලනයට පක්ෂවය. එම කාලයේ එම ආණ්ඩු විශාල වශයෙන් මහා පරිමාණ දූෂණ චෝදනාවලට ලක්විය. වත්මන් ආර්ථික අර්බුදයට ද ප්‍රධාන හේතුව වශයෙන් සැලකෙන්නේ එම දූෂණ, නාස්තිය හා වැරැදි කළමනාකරණයයි. එම චෝදනා අවසාන රාජපක්ෂ පාලනය වූ ගෝඨාභය රාජපක්ෂ පාලනය බිඳ වැටීමට ද බොහෝ දුරට හේතු විය.

රාජපක්ෂ පාලනයට එරෙහි දූෂණ චෝදනා ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රකටය. ශ්‍රී ලංකාව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී විදේශ ණය ගෙවීම අත්හිටු වූ විට සෙන් කීට් හා නෙවිස් හි හැමිල්ටන් රිසව් බැංකුව ඊට එරෙහිව නිව් යෝර්ක් නුවර අධිකරණයක නඩුවක් පැවරීය. එම පැමිණිල්ලේ ද රාජපක්ෂවරුන් දූෂණයෙන් උපයා ගත් ධනය විදේශ බැංකුවල තැන්පත් කරනු ලැබ ඇතැයි සඳහන් වූ බව වාර්තා විය. 2002 අප්‍රේල් මාසයේ දී පොදුජන පෙරමුණේ ආණ්ඩුවෙන් කැඩී වෙන්වන තෙක්ම ජාතික නිදහස් පෙරමුණ ද මෙම චෝදනාවලින් ආණ්ඩුව ආරක්ෂා කරමින් සිටියේය. එම පක්ෂයේ නායකයන්ට ද එවැනිම චෝදනා එල්ල විය.

පසුගිය දශක ගණනාවක් තිස්සේ දූෂණය හා නාස්තිය මෙරට රාජ්‍ය පාලයේ වෙන් කළ නොහැකි ක්‍රමවේදයක් ලෙස පවතී. ඉහළම රාජ්‍ය ආයතනවල බලධාරීන්ගේ සිට ග්‍රාම නිලධාරීන්, ආයතනවල කාර්යාල කාර්ය සහායකයන් හා ආරක්ෂක නිලධාරීන් දක්වා වූ අයගෙන් බොහෝ දෙනෙක් අල්ලසට හුරු වී සිටිති. මහා පරිමාණ ආයෝජකයන්ගෙන් බලධාරීන් අල්ලස් ඉල්ලීම ගැන වාර්තා පළ වී තිබේ. මෑතදී ඇමැතිවරයකුට එරෙහිව තානාපතිවරයකු ද ජනාධිපතිවරයාට මෙවැනි පැමිණිල්ලක් කොට තිබිණි.

ප්‍රජා අයිතිය අහෝසි කිරීම කෙසේ වෙතත් එවැනි දූෂිත ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව පැමිණිල්ලක් හෝ කෙරෙන්නේ කලාතුරකිනි. විශේෂයෙන්ම දේශපාලන වශයෙන් හෝ ධනයෙන් බලපෑම් කළ හැකි ප්‍රබල පිරිස් කලාතුරකින් විනා කිසිදු චෝදනාවකට ලක් වන්නේ හෝ එවැන්නකට වරදකරු වන්නේ හෝ නැත.

එහෙයින් එක් අයකුට හෝ මෙවැනි බරපතළ දඬුවමක් දීම සම්බන්ධයෙන් අධිකරණය පැසසිය යුතුය. වෙන කළ හැකි දෙයක් නැති නිසා අල්ලස් දෙන්නන් කෙසේ වෙත් අල්ලස්  ගන්නන්  සියලු දෙනාගේ ප්‍රජා අයිතිය මෙසේ අහෝසි කළ හැකි නම් ශ්‍රී ලංකාවේ ඡන්ද දායක නාම ලැයිස්තු සෑහෙන තරමට කෙටි වනු ඇත. එසේම දේශපාලන පක්ෂවලට මැතිවරණවලදී අපේක්ෂකයන් සොයා ගැනීම ද දුෂ්කර වනු ඇත.

අල්ලස් හා දූෂණය සම්බන්ධයෙන් දඩ නියම කිරීම් හා සිර දඬුවම් විනා ප්‍රජා අයිතිය අහෝසි කිරීම ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රධාන අවස්ථා දෙකක් ගැන නිතර කියවේ.

ඉන් එකක් නම් තමන්ගේම ආණ්ඩුවේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරිපත්වූ චෝදනා විභාග කිරීමට හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා දිසා විනිසුරු වෝල්ටර් තල්ගොඩපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් 1959 සැප්තැම්බර් 11 වැනිදා කොමිසමක් පත් කිරීමයි. (සැප්තැම්බර් 25 වැනිදා බණ්ඩාරනායක මහතා වෙඩි පහරකට ලක් වී පසුදා මිය ගියේය.)

එම කොමිසමේ වාර්තාව අනුව ඩී.බී. මොන්නෑකුලම, සී.ඒ.එස්. මරික්කාර්, එම්.පී. ද සොයිසා, එම්.එස්. කාරියප්පර්, එච්. අබේවික්‍රම හා ආර්.ඊ. ජයතිලක යන සයදෙනා වරදකරුවන් වූහ. එහෙත් ඊළඟට පත්වූ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මිය ඔවුනට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තේ නැත. ඒ අනුව 1965 පත් වූ ඩඩ්ලි සේනානායක ආණ්ඩුව යටතේ ඔවුන් සය දෙනාගේ ප්‍රජා අයිතිය සත් වසරකට අහෝසි කෙරිණි.

එසේම 1970-77 කාලයේදී බලය අයුතු ලෙස යොදා ගත් බවට චෝදනා කරමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ හා ඇගේ සමීපතමයකු හා ප්‍රබල ඇමැතිවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කළේය.

වරදක් සිදු වූවාද නැද්ද යන්නට වඩා මෙම කාරණයේදී ජයවර්ධන මහතා තම ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා තරග බිමෙන් ඉවත් කිරීමට කටයුතු කළේය යන්න පොදු මතයයි.

(*** එම්.එස්.එම්. අයුබ්)