ධනය පොදු යහපතට යෙදවූ මුදලිවරු සිටි මහා කප්පින වලව්ව


මහා කප්පින වලව්වේ අවසන් මුදලිවරයා වන්නේ සැම්සන් රාජපක්ෂ මුදලිවරයාගේ එකම පුතණුවන් වූ ටියුඩර් දීදෙරෙක් නතානියෙල් රාජපක්ෂ නොහොත් ටියුඩර් රාජපක්ෂ මුදලිතුමාය. පියාණන්ගේ ව්‍යාපාරික කටයුතු, පාරම්පරික බූදලය මෙන්ම පියා කරගෙන ආ සමාජ මෙහෙවර ඉදිරියට ගෙන ගියේ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමාය.

තම පරපුරේ වගකීම හා යුතුකම අකුරටම ඉටු කළ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා 1898 වසරේදී මීගමුවේ මැග්ඩලින් ජෝන් ද සිල්වා ‍රාජපක්ෂ මුදලිතුමාගේ දියණියක සමග විවාහ වූවාය. එම යුවළට බියට්‍රිස් ශීලා, හියුබට් රාජපක්ෂ, ටියුඩර් රාජපක්ෂ යන දරු තිදෙනෙක් ද වූහ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ගේ හා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ඇතුළු පරම විඥාර්ථ සංගමයේ ඉල්ලීම් පරිදි තම පරම්පරාවට අයත් කොළඹ මරදානේ පරණවාඩිය මාවතේ අක්කර තුන හමාරක ඉඩම පරිත්‍යාග කළේ වත්මන් ආනන්ද විදුහල ආරම්භ කිරීම සඳහාය. ඒ පිළිබඳව 1895 වසරේ මාර්තු 5 වැනිදා පළ වූ ලක්මිණි පහන පුවත්පතේ මෙසේ සඳහන් වේ.

“ලංකාවේ ප්‍රථම බෞද්ධ ඉංග්‍රීසි විද්‍යාලය පැවැත්වීමට යෝග්‍ය භූමියක් නැතුව සිටියදී කොළඹ පරම විඥාර්ථ සංගමයේ මෙහෙයවීමෙන් ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා පරිත්‍යාග කළ භූමි භාගයේ මුල් ගල් තැබීමේ උත්සවය පසුගිය සිකුරාදා පස්වරු 5.00ට පැවැත්වුණි. ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා සුබ මොහොතින් මුල් ගල තැබූ මේ උත්සවයට මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ සුමංගල, හෙයියන්තුඩුවේ දේවමිත්ත, මුල්ලේරියාවේ ගුණරතන යන හිමිවරු සහභාගි වූහ. මෙතෙක් බෞද්ධ ඉංග්‍රීසි පාසල නමින් වූ මෙම විද්‍යාලය මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ගේ යෝජනාව පරිදි ආනන්ද විදුහල ලෙස නම් කෙරුණි. එසේම, තම උපන් ගම වූ බලපිටියේ ඉංග්‍රීසි පාසලක් නොමැති අඩුව දුටු මුදලිතුමා ඇතුළු ගමේ ප්‍රභූවරු රාජපක්ෂ කොලීජිය නමින් උසස් ඉංග්‍රීසි විදුහලක් ආරම්භ කර, එම විදුහලට අවශ්‍ය සියලු‍ ඉඩම් පරිත්‍යාග කර, ගොඩනැගිලි ද ඉදිකර දුන්නේය.

අහුන්ගල්ල රාජපක්ෂ විදුහල නමින් අද හඳුන්වනු ලබන්නේ මෙම පාසලය. හෙළ බස වෙනුවෙන් මහ මෙහෙයක් කළ ජයන්ත වීරසේකර ඇතුළු උගතුන් වියතුන් රැසක් රටට දායාද කළේ මෙම පාසලෙනි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා තමා සතු දේපොළවලින් අක්කර දහසක් පරිත්‍යාග කළ මෙතුමා බලපිටිය තරුණ බෞද්ධ සංගමය ආරම්භ කිරීමට ඉඩම ද පරිත්‍යාග කළේය. සිය ළමාතැනියගේ පියා සිහි වීම සඳහා මීගමුව රෝහලේ අංගසම්පූර්ණ සූතිකාගාරයක් ද ඉදිකර පරිත්‍යාග කළේය. චිත්‍ර කලාවට ද දස්කම් දැක්වූ මෙතුමා සුද්දන් හා සම සමව චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූ එකම ශ්‍රී ලාංකිකයා බව ද කියැවේ. එසේම, දක්ෂ ජ්‍යොතිර්වේදියෙකි. ගාල්ල කොළඹ දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී මුදලිතුමාට හා සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් පවරාගෙන වන්දි පිරිනැමීමට සූදානම් වූ අවස්ථාවේදී, තමාට වන්දි අනවශ්‍ය බවත්, සාමාන්‍ය ජනතාවට පමණක් වන්දි ගෙවන ලෙසටත් රජයට දැනුම් දුන්නේය. වන්දි මුදල් ලබා නොගැනීම ගැන ගරු කිරීමක් වශයෙන් ඉංග්‍රීසි ආණ්ඩුව මුදලිතුමාට කොඩියක් ලබා දී තිබුණි. මුදලිතුමා ගමනක් යන ඕනෑම අවස්ථාවක අතරමග ඕනෑම තැනකදී දුම්රියක් දැක කොඩිය වැනූ විට දුම්රිය නවතා මුදලිතුමා දුම්රියට නංවාගෙන ඇති බවට ද ජනප්‍රවාදයේ සඳහන් වේ.

බ්‍රිත්‍යානයේ පස් වැනි ජෝර්ජ් රජුගේ අභිශේක මංගල උත්සවයට ලංකාව නියෝජනය කිරීමට තෝරා ගත් සිවු දෙනාගෙන් එක් අයෙකි මෙම මුදලිවරයා. 1959 වසරේදී ටියුඩර් රාජපක්ෂ මුදලිවරයා සිය දිවි ගමනින් සමු ගත්තේ කොළඹ ගැදරම් වලව්වේදීය. ඒ, තම ජාතික හා ආගමික මෙහෙවර නිමා කරමිනි. මෙරට උපසම්පදාව ජන සතු කළ ලක්දිව අමරපුර නිකාය පිහිටුවා වදාළ එහි ආදි කර්තෘවර මහා ධම්මරාජාධි රාජගුරු බලපිටියේ මහකරාවේ ශ්‍රී ඥානවිමලතිස්ස හිමියන් රුවල් නැවක නැගී ජීවිත පරිත්‍යාගයෙන් බුරුම රටට ගොස් උපසම්පදාව රැගෙන යළි මෙරටට වැඩම කරන්නේ 1803 වසරේදීය. ඥානවිමල මාහිමියන්ගේ මහනායක ධුරය එදා සිටි අධිරාජ්‍යවාදී පාලකයන් පිළිගත්තේ නැත. එහිදී පහතරට ජනතාව සූක්ෂම ලෙස භේද කළ පරගැතියන් නොඉවසවූ කප්පින වලව්වේ මහමුදලිවරයා, පුත්තලමේ සිට කුඹුක්කන් ඔය දක්වා තොටමුණු 6ක කුරුඳු වර්ජනය (කුරුඳු කැරැල්ල) මෙහෙයවීමට නායකත්වය දුන්නේ බුදු සසුනේ පැවැත්ම වෙනුවෙනි. එසේම, මිෂනාරින්ගෙන් බුදු දහම රැක ගැනීමට අභීතව ඉදිරියට ආ බලපිටියේම උපන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ගේ ශාසනික මෙහෙවර ශක්තිමත් කිරීමට බලපිටියේ රාජපක්ෂ මුදලිවරු සහාය නොදුන්නා නම්, මෙරට ඇතැම් විට බුදු සසුනක් නොමැති වන්නට බොහෝ දුරට ඉඩකඩ තිබුණි. එංගලන්තයේ සිටුවරයකු ලංකාවට පැමිණි අවස්ථාවේදී හදිසියේම විශාල මුදලක් ලබා ගැනීමට අවශ්‍යතාවක් ඇති වුණි. එහිදී එම සිටුවරයා ලංකාවේ ධනවතුන් කිහිපදෙනකු ළඟට ගිය ද එම ඉල්ලීම ඉටු නොවුණි. එහිදී සැම්සන් ‍රාජපක්ෂ මුදලිතුමා මුණගැසීමට බලපිටිය කප්පින වලව්වට එම වීදේශීය සිටුවරයා පැමිණි අවස්ථාවේදී සේප්පුව පෙන්වා ඇති තරම් මුදල් ලබාගන්නා ලෙසත්, මෙම මුදල් ආපසු නොදෙන ලෙසත් සැම්සන් ‍රාජපක්ෂ මුදලිතුමා පවසා තිබේ. විමතියට පත් එංගලන්ත සිටුවරයා සිය රටට ගිය පසු ඊට උපහාර ලෙස එංගලන්තයේ වරාය ආසන්නයේ ගොඩනැගිල්ලක් නම් කර ඇත්තේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමාගේ නාමයෙනි. කප්පින පෙළපතේ ඉතිහාසය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කළ කාලය දක්වා දිව යයි. දඹදෙණි යුගයේ ජීවත් වූ කප්පින අධිකාරම් කෙනකු ගැන මෙන්ම සීතාවක යුගයේ ජීවත් වූ මහා කප්පින සේනානායක මුදලි ලෙස හැඳින්වූ රණශූරයකු ගැන තොරතුරු පත පොතෙහි සඳහන් වේ.

පෘතුගීසින් සමග සටන් කළ මෙම රණශූර මුදලිවරයා සමග සිටි සේනාවට සීතාවක රාජසිංහ රජු ‘හීතක’ යන ගෞරව නාමය පිරිනමා තිබේ. එම සේනා පරපුරෙන් පැවැත එන හීතක වාසගම භාවිත කරන අය අදටත් මේ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වෙති. කප්පින මුදලි නමින් හැඳින්වූ තවත් මුදලිවරයකු ගැන පෘතුගීසි පාලන කාලය තුළ වාර්තා වේ. බෙන්තුසාල් මැගිලියන් වීරසිංහ සේනානායක නමින් හැඳින්වූ මේ මුදලිතුමා ද යුද සෙන්පතියෙකි. කැරැල්ලක් මැඬපැවැත්වීමට කොචින් රටට ගොස් ඇත්තේ ද මේ මුදලිවරයා බව කියැවේ. ලන්දේසි අවධියේ මහමුදලි පදවිය දැරූ මෙම පරපුරේම සෙන්ද්‍රික්කු ද සොයිසා රාජපක්ෂ සහබන්දු නම් මුදලිවරයකු සිටි බවත්, එතුමාගේ පියා වැලිතොට මහමුදලි පදවිය දැරූ වාත්තුරාල මහමුදලි බවත් සඳහන් වේ. එම මුදලිතුමාට දරුවන් දෙදෙනකු සිටි බවත්, ඉන් එක් අයකු ඕලන්දයට ගොස් යුද පුහුණුව ලබා පැමිණි කපිතාන්වරයකු බවත්, මෙම කපිතාන්වරයා ද මහමුදලි ධුරයට පත්ව ඇති බවත් සඳහන් වේ.

කප්පින වලව්වේ අවසන් මුදලිවරයා වූ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා සිය වලව්ව හා වලව් භූමිය පූජා ඔප්පුවක් ලියා අමරපුර සිරි සද්ධම්මවංශ මහනිකායට පරිත්‍යාග කළේ වාර්ෂික උපසම්පදා පූජෝත්සවයට මෙන්ම රටේ සිවු දිගින් වඩිනා මහ සඟරුවන වෙනුවෙනි. මෙම වලව් ඉඩම නොවිකුණන ලෙසත්, ඉදිරි කටයුතු කරගෙන යන ආකාරය ‘කොඩි සිල්පත’ තුළින් දීර්ඝ කොන්දේසි පනවා නිකායට බලය පවරා තිබුණි. ටියුඩර් රාජපක්ෂ මුදලිවරයාගේ අවසානයත් සමග වසරෙන් වසරම කප්පින වලව්ව ද අවසානය කරා ළං වුණි. එදා අක්කර 20කට අධික භූමි භාගයක පැතුරුණු මෙම අභිමානවත් හා අනුහස් ඇති වලව් භූමිය අද වන විට අක්කර 3කට පමණක් සීමා වී කොටු වී තිබේ. වසර ගණනාවක් තිස්සේ කැලෑවෙන් යට වී ගරා වැටී නටබුන් බවට පත්වීමට ඉඩ හැරි ඓතිහාසික යුග මෙහෙවරකට සෙවණ දුන් වලව්ව දැකගත හැක්කේ ගම්පෙරළිය චිත්‍රපටයෙන් හා ටෙලිනාට්‍යයෙන් පමණි. එසේ ගරා වැටී විනාශයට පත්වූ කප්පින වලව්ව යළි අභිමානවත් ලෙස ප්‍රතිනිර්මාණය වී තිබේ. අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකායේ මූලස්ථානය පිහිටා ඇත්තේ එම වලව්වේම පිහිටි මහා කප්පින සීමාමාලක විහාරයේදීය. වාර්ෂික උපසම්පදා පූජෝත්සවය පැවැත්වෙනවා මෙන්ම ‘සුධර්මා’ කාරක සංඝ සභාව රැස් වන්නේ ද මෙහිදීය. තරුණ භික්ෂුන් වහන්සේ 50 නමක් පමණ මෙහි පිහිටුවා ඇති ප්‍රාචීණ භික්ෂු විද්‍යාලයෙන් සිප් සතර හදාරන්නේ නේවාසිකව වැඩ වසමිනි. කප්පින පෙළපතේ උතුම් වූ ආගමික ශාසනික මෙහෙවර ඉදිරියට ගෙන යාමේ අරමුණිනි. අතීත ප්‍රෞඩ ඉතිහාසය යළි ප්‍රතිනිර්මාණය කරමින් වලව්වේ ආකෘතියට තැනූ ගොඩනැගිල්ල මෙන්ම සීමාමාලකය ඇතුළු සෙසු ගොඩනැගිලි ඉතා මනරම් ලෙස ගොඩනගා ඇත්තේ ජාතියේ පෙර පිනට සහ වාසනාවටය. ඒ සඳහා පුරෝගාමි නායකත්වය ලබා දුන්නේ ද බලපිටියේ උපන් මහහිමිවරුන් දෙනමක් විසිනි. ඒ, අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ මහනායක අහුන්ගල්ල සිරි සීලවිශුද්ධි මාහිමිගේ මග පෙන්වීම පරිදි කප්පින වලව්ව යළි බබළවමින් එහි වැඩ සිටින නිකායේ මහා ලේඛකාධිකාරි, මහෝපාධ්‍යාය බලපිටියේ සිරි සීවලි නාහිමියන් බව කෘතවේදීව සඳහන් කළ යුතුය. නොඑසේ නම්, ඉතුරු වලව් භූමියේ අක්කර 3 ද කැබැලි කර වෙන්දේසී වී බොහෝ කල්ය. රට දැය වෙනුවෙන් මහා මෙහෙවරක් කළ ස්වකීය ධනය ඉඩම් බුදු සසුනේ හා ජනතාවගේ යහපත වෙනුවෙන් කැප කළ මහා ධානපති බලපිටියේ රාජපක්ෂවරු වෙනුවෙන් අඩුම තරමේ මාවතක් හෝ නම් නොකිරීම අභාග්‍යයකි. අවාසනාවකි.

 

(***)

හේමන්ත ද සිල්වා

අම්බලන්ගොඩ