ධර්මද්වීපයේ සාරධර්ම පිරිහෙන්නේ ඇයිදැයි බලමු


ධර්මද්වීපය, ධර්ම භාණ්ඩාගාරය ලෙස විරුදාවලිලත් නයන පිනවන මේ රන් දිවයින අන්තර්ජාලයෙන් කාමුක දර්ශන නරඹන්නන්ගෙන් ලොව අංක එකට පත්වීමේ පුවත මෙයට දෙතුන් වසරකට එපිටදී වාර්තා වූවකි. එහෙත් එබඳු පුවත් එයට හිමි මාත්‍රාවෙන් නොගැනීමේ ප්‍රතිඵල වාර්තා වන්නේ දැන්ය. ඒ බවට නිදසුන් සපයන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව උපුටා දක්වමින් අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ ළමයින්ට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධි 168ක් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා වී ඇති බවත් එම අපයෝජනවලින් වයස අවුරුදු 16ට අඩු ගැහැනු ළමයින් විසි දෙනකු ගැබ්ගෙන ඇති බවත්ය.

බිලිඳිය යුවතියකවීමටත් පෙර ගැහැනියක වී පියවරුන් නොමැති දරුවන් බිහි කරන්නට සිදුව තිබේ නම් එය කෙතරම් ශාපලත් තත්ත්වයක්ද යන්න වටහා ගැනීම අසීරු නැත. ඉකුත් ඔක්තෝබර් මාසයේදී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මාසයක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරිවියන් 168 දෙනකු අපයෝජනයට ලක් කර ඇති බවත් ඒ අය අතුරෙන් දැරිවියන් 22 දෙදෙනකු ගර්භණී බවට පත්ව ඇති බවත්ය. රාජ්‍ය ඇමතිනිය තව දුරටත් ප්‍රකාශ කර තිබුණේ ප්‍රේම සම්බන්ධතා නිසා දැරියන් 19ක්ද අපයෝජනය කිරීම නිසා දැරියන් හත් දෙනකුද ගර්භණී බවට පත්ව ඇති බවය.

නේකවර්ණ වාගාඩම්බරයන්ගෙන් උත්සවශ්‍රීයට නංවා ඇති රටක, සෙත් පිරිතෙන් අවදිව මහ පිරිතෙන් නින්දට යන රටක ඇත්ත ඇතුළාන්තය මෙම සංඛ්‍යා ලේඛනවලින් මනාව පැහැදිලිය.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ තම පෞද්ගලික උපකාරක පන්තියට සහභාගි වූ 15 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවය. තවත් මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ අම්පාර ප්‍රදේශයේ දී තම දියණිය දූෂණය කළ පුද්ගලයකු පොලිසියට බියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇති බවය.

ඉහත ප්‍රවෘත්ති දෙකෙන් පමණක් වූවත් අපගේ දැරියන් ජීවත්වන්නේ  කෙතරම් අනාරක්ෂිත කලාපයකද යන්න වටහා ගැනීම අසීරු නැත. සැබැවින්ම අපයෝජනයට ගැහැනු පිරිමි ලිංග බේදයක් නොමැත. ප්‍රශ්නය වන්නේ මෙම ශාපලත් ඉරණමට අප කුමක් කළ යුතුද යන්නය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එයට එක් වූ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් පෙන්වා දී තිබෙන්නේ ළමයින් සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවය.

අප ප්‍රවෘත්තියට අනුව කියැවුණේ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් අවශ්‍ය පාසල් ගැහැනු දරුවන් සංඛ්‍යාව නිවැරදිව හඳුනාගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ක්‍රමවේදයක් සැකසීමටත් එම පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමු වූ බවත්ය.

ඉතාම පැහැදිලි කාරණය වන්නේ මෙතෙක් පැමිණි ආකාරයෙන්ම ඉදිරියට යන්නේ නම් අපට හමුවන්නේ පරාජය හා විනාශය පමණක් බවය. එහෙයින් මෙම විනාශය නතර කරලීම සඳහා දුෂ්කර හා අකීකරු කොන්දේසි යටතේ වුවද තීන්දු තීරණ ගත යුතුය. එයට දැනුදු කල් පමා වැඩි බව පමණක් අවධාරණය කරමු.

(***)