නත්තලේ සැබෑ අරුත


නත්තල් උත්සවය ළං වන විට එයට ආධ්‍යාත්මිකවත් භෞතිකවත් සූදානම් වීම අප කාගේත් පුරුද්දකි’ එනමුදු එහි ආධ්‍යාත්මිකත්වය පසුගාමී කොට භෞතිකත්වය පිළිබඳව පමණක් සිත යොමු කිරීමට බහුතරයක් යොමුවීම නම් නොමඳ කනගාටුවට කරුණකි. අප ජීවත්වන මේ සමාජ අත්දැකීම් තුළ මායාවන්ගෙන් පිරි සොඳුරු ලොවක් අප ඇස් පනාපිට යොමු කොට ඇති මුත් එහි රජයන වාණිජමය කෙටි කාලීන ජීවිත තුළ කෙනෙක් සැනහීම ලබනවාද යන්න ප්‍රශ්නාර්ථයකි. සරුවපිත්තල ලෝකයක ජීවත් වන්නට වාණිජ වෙළඳ රටාව එදාට වඩා අද අතවනන කාලය තීව්‍ර වී ඇත. දැන් දැන් ජනමාධ්‍ය අප ආධ්‍යාත්මික මංගලෝත්සවය මුල්කොට ගෙන දෘෂ්‍යමානව හුවා දක්වන මායාකාරී ලෝකයට නම් නිමාවක් නැති තරම් ය. විනෝදකාමී වාතාවරණය කෙටි කාලයකට හුවා දක්වා දිගු කාලීන වේදනාත්මක පරිසරයක් නිර්මාණය කිරීම එකී මාධ්‍යය අරභයා අරමුණ නොවූවත් එයින් ඇතිවන ප්‍රතිඵලය නම් එයම බව කිව යුතුය.

නත්තල දිනකට සීමා විය යුතු ආගමික උත්සවයක් නොවේ. එනමුදු කිතුනු ජනතාවට සර්වකාලීන ආධ්‍යාත්මික හැඟීමක් දනවන මේ ජය මංගලෝත්සවය කොයි කාගේත් ගැඹුරු ජීවිත තීරණ සිහි කැඳවන නිමිත්තක් බව අවබෝධ කොට ගත යුතුය. එය අතීතයේත් එක් දිනකට සීමා නොවූ උත්සවයක් වූවා සේම අදටත් එය අපට සිහිකැඳවන්නේ ජීවිත කාලය පුරාම ජීවත් කළ යුතු  සැබෑ ගැඹුරු පණිවුඩයයි.  එය අතීතයේ සිදුවූ නමුත් අදත් හෙටත් දිගින් දිගටමත් කිතුනුවාගේ ජීවිතයට අභියෝගයක් එල්ල කරන නොතිත් පණිවිඩයක් ජීවිත අභ්‍යන්තරයේ රාව නංවන මහා දෝංකාරයයි.

 

කිතුනු ආධ්‍යාත්මය

මේ සියල්ල මේ ආකාරයෙන් සමාජ පද්ධතීන් හරහා විවිධාකාරයෙන් හමා යන්නට මූලික වූ කරුණුත් පිටුදැකිය යුතු නොවේ. මන්දයත් ආගමික තලයෙන් බැහැරව පවා ජාතික උත්සවයක් සේ සමරන්නට අද මේ දේශය තුළ ආගමික භේදයකින් තොරව කවුරුත් එකට එක්කාසු වන නිසයි. ජාතික තලයේ එවන් ප්‍රතිරාවයක් හමා යද්දී පොදුවේ කාටත් සතුටු වන්නට ඒ සැනසීම ලබා දෙන අතරේ කිතුනු ආධ්‍යාත්මිකත්වය වෙසෙසින්ම හැරිය යුත්තේ ශුද්ධවු ලියවිල්ල වෙතටම ය. ශුද්ධවූ ලියවිල්ල අවබෝධ කර ගනු ලබන තැනැත්තා සැබැවින්ම මේ මහිමාන්විත මංගල්‍යය වසරින් වසරට ගැඹුරු පදනමක් කරා ගෙන යන්නට ඉමහත් ශක්තියක් ලබා ගනු බව නොරහසකි.

නත්තල් සිද්ධීන් පිළිබඳ විස්තර වාර්තා වෙත ගෙන එන සුවිශේෂකරුවෝ දෙදෙනෙකි. ඒ ශු. මතෙව් තුමා හා ශු. ලූක් තුමා ය. මේ විස්තර කථනයන්හි පසුබිම ඉතා සංකීර්ණය. ඒ පිළිබඳ විග්‍රහයක යෙදීම මේ මොහොතේ අපගේ පරමාර්ථය නොවේ. කෙසේ වෙතත් ඒ විස්තර කතාන්දර තුළින් අපට පැහැදිලි කරනු ලබන සත්‍යතාව වනුයේ ක්‍රිස්තුන් වහන්සේ මිනිස් බව ගනිමින් මෙලොවට වැඩියාය යන්නයි.

උන්වහන්සේගේ උත්පත්තිය පිළිබඳ මරියාවන්ගේ මතක සටහන් හා ජීවමාන සභා සම්ප්‍රදාය තුළ සොයා ගත හැකි වූ මතක සටහන් තම තමන්ගේ සුවිශේෂයන්හි පණිවිඩ රටාවට අනුව ඉදිරිපත් කිරීමට මේ සුවිශේෂකවරු දෙදෙනා උත්සාහ කළහ. ඒ උත්සාහයන්ගේ ප්‍රතිඵලය මේ ක්‍රිස්තූත්පත්ති විස්තර කථනයන් වේ. එහෙත් මෙය පිළිබඳව ශු. මාක් තුමන් හා ශු. ජුවාම් තුමන් දක්වන නිහැඬියාව වටහා ගන්නට බොහෝ දෙනෙකුට අපහසු වී ඇත. මතෙව් හා ලූක් සුවිශේෂයන් තුළ පරිච්ඡේද ගණනාවකින් මේ සිද්ධීන් විස්තර වෙද්දි මාක් හා ජුවාම් තුමන්ගේ සුවිශේෂවල ඒ පිළිබඳව වචනයකුදු සඳහන් නොවීම ඇත්තෙන්ම ප්‍රහේළිකාවකි. එයින් ක්‍රිස්තූත්පත්තිය පිළිබඳ සිද්ධීන් තුළ සඳහන් කළ හැකි විශේෂ වැදගත්කමකින් යුත් කිසිවක් නැතැයි ඔවුන් සිතූ බවට ඉඟියක් ද? නැතහොත් ක්‍රිස්තුන් වහන්සේ මිනිස් බව ගැනීම එතුමන්ගේ දිව්‍යත්වයට මදිකමක් ලෙස සලකනු ලැබීමෙන් ඒ පිළිබඳව ගොළුවත රකින්නට මේ සුවිශේෂකවරු සිතුවා විය හැකිද? නත්තල පිළිබඳව මාක් තුමන් හා ජුවාම් තුමන් නිහඬ වන්නේ ඇයි?

 

ශුද්ධවූ මාක් සුවිශේෂය හා නත්තල

ශුද්ධවූ මාක් තුමන්ගේ සුවිශේෂය තුළ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය පිළිබඳව කිසිදු සටහනක් දකින්න නොලැබේ. මේ තත්ත්වයට හේතු වන්නේ කුමන කරුණක් දැයි සොයන්නට, එම සුවිශේෂය ලියන ලද්දේ කුමන පරමාර්ථයක් මුදුන්පත් කරගැනීමට දැයි අප විසින් විග්‍රහ කර බැලිය යුතුයි.

සැබැවින්ම මාක් තුමාගේ සුවිශේෂය දෙස සවිස්තරව බලන්නකුට එහි පරමාර්ථය වටහා ගැනීම ඒ තරම් දුෂ්කර කරුණක් නොවේ. මේ සුවිශේෂය තුළ දක්නට ලැබෙන රටාව හා ඒ ඒ පරිච්ඡේදයන් හසුරුවා ඇති ආකාරය අනුව එහි පරමාර්ථය වී ඇත්තේ ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ය යන්න ඔප්පු කිරීම බව මනාව පැහැදිලි වේ. මේ සුවිශේෂයේ පළමු වගන්තිය කියවීමෙන් ම මේ තත්ත්වය පැහැදිලිව අවබෝධ වේ. ‘දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්නේ ආරම්භය මෙය ය’ (මාක් 1:1). ඒ වදන තුළ සටහන් වන දත්තය ස්වාමින් වහන්සේගේ ජීවිතය හා මරණය තුළින් මනාව පැහැදිලි වේ.

ඒ පිළිබඳව ස්ථීර පිළිගැනීමක යෙදෙන, කුරුසය පාමුල සිටි ශතාධිපතියාගේ වදනින් සුවිශේෂය කියවන්නාට පැහැදිලි කෙරේ. (මාක් 15:39). පළමුව සටහන් කරන ලද සත්‍යතාවය (1:1) කුරුසිය පාමුල කරන ලද විශ්වාසය ප්‍රකාශනය හා බැඳෙන අතර ඒ පිළිබඳ සුවිශේෂය මැද දී පළවන තවත් ප්‍රකාශනයකින් මුළු සුවිශේෂය පුරාම දිව යන ප්‍රධාන තේමාව මෙය බව ඔප්පු වේ.

මාක් තුමාගේ මුළු සුවිශේෂයම පරිශීලනය කිරීමේ දී මෙම සත්‍යතාව එනම් ක්‍රිස්තුන් වහන්සේ දේව පුත්‍රයාණෝ ය යන්න සනාථ කිරීම බොහෝ දුරට බලපා ඇති බව පෙනේ. ඒ අනුව මෙම සුවිශේෂයේ කතුවරයා තම අවධානය යොමු කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයට සම්බන්ධව බලපවත්වන සිද්ධීන් වෙතය. උන්වහන්සේගේ උත්පත්තිය හා බාල කාලය පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවන බව කතුවරයා සිතුවා විය හැකියි. ඇරත් ඒ සම්බන්ධව සම්ප්‍රදායේ බලපවත්වන තතු ඔහු සතුව නොතිබුණා විය හැකියි. කෙසේ වෙතත් මාක්තුමාගේ සුවිශේෂය තුළ ක්‍රිස්තූත්පත්තිය කතා පිළිබඳව කිසිදු සටහනක් නොකරයි.

ඔවුන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය තුළ තමන් දේව පුත්‍රයාණන් ලෙස ක්‍රිස්තුන් වහන්සේ ක්‍රමයෙන් හෙළිදරව් කළ ආකාරය විස්තර කිරීමේ මූලික පරමාර්ථයට උන්වහන්සේගේ උත්පත්තිය හා බාල කාලය පිළිබඳව විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍ය නොවන බව මේ සුවිශේෂකවරයා සිතුවා විය හැකි බව මනාව පැහැදිලි කරයි. 

 

ශුද්ධ වූ ජුවාම් සුවිශේෂය හා නත්තල

ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය හා බාල කාලය පිළිබඳව තතු විස්තර කිරීමක නොයෙදෙන අනිත් සුවිශේෂ ගත්කතුවරයා වන්නේ ජුවාම් තුමන් ය. එහෙත් එතුමන් ශු. මතෙව් හා ශු. ලූක් තුමන්ගේ විස්තර කථනයන් අභිබවා ක්‍රිස්තු ආගමනය පිළිබඳව වඩාත් සංකීර්ණ වූ ද වඩාත් ගැඹුරු වූ ද විස්තර කිරීමකට ඉදිරිපත් වීමට මැළි නොවේ. එය ක්‍රිස්තූත්පත්තිය පිළිබඳව අත්දැකීම් හා සභා විශ්වාසය එක්තැන් වීමෙන් සංස්කරණය වූ එකී සුවිශේෂකවරුන්ගේ වාර්තා විස්තරයන්ට වඩා, සම්පූර්ණ වූ විශ්වාසයේ ප්‍රකාශනයක් ලෙස ක්‍රිස්තු ආගමනය විස්තර කිරීමකි. මේ විස්තර කථනය අපට හමුවන්නේ ජුවාම් (1:11-18) යන වගන්ති අතරය.

මේ වගන්ති කිහිපය තුළ ජුවාම්තුමා තමන්ගේ බලපෑම ලද කිතුනු සභා ඒකකයන් තුළ භාවිත වූ පැරණි කාව්‍යයක් සංස්කරණය කර තම සුවිශේෂයේ පෙරවදන ලෙස අපට ඉදිරිපත් කර ඇත.  ඒ තුළ ක්‍රිස්තුන් වහන්සේගේ වත්මන් උපත පිළිබඳව පමණක් නොව ඔවුන් වහන්සේගේ සදාකාලික පැවැත්ම හා ක්‍රිස්තුන් වහන්සේගේ මාංශගතවීම පිළිබඳවද මනුෂ්‍යා විසින් කරනු ලබන පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ද ගැඹුරු භාවනාවක් ඉදිරිපත් කරයි.

මේ කාව්‍යය සංස්කරණයේ දී විශේෂකොට ජුදා ආගමික රටාවෙන් ද ග්‍රීක දර්ශන ශාස්ත්‍රයෙන් ද ආභාසය ලැබූ එතුමන් ඇතැම් දාර්ශනික වැරදීමක අභිබවා ක්‍රිස්තුන් වහන්සේගේ පැවැත්ම මෙලොවට වැඩීම හා උන්වහන්සේ මිනිසත් බව ගැනීම තුළින් ලොව ගැලවීම පිළිබඳව දෙවියන් වහන්සේගේ සැලැස්ම ගැන භාවනාවක යෙදේ.

මේ කාව්‍යය තුළ විශේෂ ලෙස ක්‍රිස්තු ආගමනය පිළිබඳව පවසන වගන්තියක් වේ. (ජුවාම් 1:14). ඒ පිළිබඳ විග්‍රහයක යෙදීමෙන් ජුවාම් තුමන්ගේ ක්‍රිත්තූත්පත්ති දර්ශනය මනාව වටහා ගැනීමට අපට හැකි වනු ඇත. “තවද වචනය මාංශගත විය. අපි එතුමන්ගේ මහිමය දුටිමු. මහිමය, පියාණන්ගේ ඒකජනිත පුතණුවන් ලෙස උරුම වන වරප්‍රසාදයෙන් හා සත්‍යයෙන් පිරි වචන” යනුවෙන් ජුවාම් තුමා විස්තර කරන්නේ චිරාත් කාලයක් තුළ ගැළවීමේ ඉතිහාසය මෙහෙය වූ දෙව් පියාණන්ගේ වචනය හෝ ස්වයං එළිදරව්ව නැතහොත් මිනිස් සංහතියට දැඩි ලෙස තමන් වහන්සේ ප්‍රේම කරන බව ප්‍රකාශ කරන කැමැත්තයි. මේ වචනය තුළින් ඊශ්‍රායෙල් ජනතාවට තමන් වහන්සේගේ ප්‍රේමණීය හදවත වරින් වර විවෘත කළ ආකාරය ද එයට ජනතාව පිළිතුරු දුන් ආකාරය ද ශු. බයිබලයේ පුරාණ ගිවිසුම පුරා සඳහන් වේ. වරෙක ආදිපිතෘන් තුළින් ද, වරෙක දිවැස්ප්‍රසාදීන් තුළින් ද, වරෙක නායක පූජකවරුන් තුළින් ද දෙවියන් වහන්සේ ජනතාවට කතා කළ අයුරු “වචනය” යන්න සඳහන් කිරීමෙන් ජුවාම් තුමා සිහියට නැගීය.

පැරණි ගිවිසුමේ දේව වචනය පිළිබඳ මේ ආකල්පය ජුවාම් තුමාගේ ‘වචනය’ පිළිබඳ ආකල්පයට පදනම් විය. ඒ අතරම මේ වචනයේ පරිසමාප්ත පූර්ණත්වය ක්‍රිස්තුන් වහන්සේම වන බව ජුවාම් තුමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ය. කෙනෙකුගේ වචනය තුළ යම් විදියකින් ඒ තැනැත්තා සම්පිණ්ඩනය වන බව විශ්වාස කරන පැරණි ගිවිසුම් සම්ප්‍රදාය තුළින් දෙවියන් හා උන්වහන්සේගේ වචනය අතරත්, මේ දේව වචනය හා ක්‍රිස්තුන් වහන්සේ අතරත් දැඩි සබැඳියාවක් හෝ සමානත්වක් දකින්නට ජුවාම් තුමන්ට හැකිවේ. 

එමගින් ක්‍රිස්තුන් වහන්සේගේ පැවැත්ම හා බිහිවීම යම් අයුරකින් විශ්ව ඉතිහාසයෙන් ඔබ්බට විහිදෙන බව පෙන්නුම් කිරීමට ජුවාම් තුමා මැළි නොවීය. “ආරම්භයේදී වචනය විය. එය දෙවියන් සමග විය. එය දෙවියන් ම විය.”යන වගන්තිය (1:1) තුළ මේ ආකල්පය දැකිය හැකිය. එසේ නම් ජුවාම් තුමන් හට ක්‍රිස්තුන් වහන්සේගේ පැවැත්ම හා බිහිවීම පිළිබඳ ඓතිහාසික කාල සීමාවක් හෝ ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නැත. එතුමන්ගේ විශ්වාසීය අත්දැකීම වනුයේ ක්‍රිස්තුන් වහන්සේ අකාලීනභාවයකට උරුමකම් කියන බවය. (1:13) ක්‍රිස්තුන් වහන්සේ එනම් දේව වචනය, මුළු මැවිල්ල බිහිවීමේ දී ද හවුල් වූ බව සඳහන් කිරීමෙන් ජුවාම් තුමා මේ අදහස තවත් දුරට ස්ථීර කරයි.

එහෙත් ජුවාම් තුමා මේ අති උසස් අකාලීන දේව වචනය වන ක්‍රිස්තුන් වහන්සේ තමන් වහන්සේගේ මාංශගතවීම තුළින් මෙලොවට ඇතුළු වූ බව ප්‍රකාශ කිරීමට කිසිසේත්ම මැළි නොවේ. ක්‍රිස්තුන් වහන්සේගේ අති උසස් දේව ස්වභාවය හා මේ මාංශගතවීමේ දී ආරූඪ කරගත් මිනිස් ස්වභාවය අතර පරතරය පුළුල් කර දැක්වීමෙන් පවුකාර දිළිඳු මිනිස් ස්වභාවය වෙත දක්වන ලද දෙව්පියාණන් වහන්සේගේ ඉමහත් ප්‍රේමය වඩාත් සාර්ථක ලෙස පිළිබිඹු කිරීමට ජුවාම් තුමාට හැකි වී ඇත.

එහෙත් ‘මාංශය’ යනුවෙන් ජුවාම් තුමා හඳුන්වන්නේ පව්කාර දුර්වල මිනිස් ස්වභාවයම පමණක් නොව මුළු මැවිල්ලම බව මේ කාව්‍යයේ ඇති විශ්ව ආකල්පයෙන් පැහැදිලි වේ. දේව වචනය ක්‍රිස්තුන් වහන්සේ තුළින් මිනිස් ඉතිහාසයට ස්ථීර වශයෙන්ම ඇතුළු වූ බව මෙහි ප්‍රකාශ කෙරේ. ඒ ඇතුළු වීම පිළිබඳ අන් සුවිශේෂකවරුන් විසින් ඉදිරිපත් කරන ලද කාලීන වූ විස්තර වාර්තා ආදිය අබිබවා ක්‍රිස්තුන් වහන්සේගේ විශ්ව ගැලවුම් මෙහෙය ඉස්මතු කර දැක්වීමට ජුවාම්තුමා මැළි නොවේ.

නත්තලේ සැබෑ අරුත සුවිශේෂයට අනුව තේරුම් ගැන්වීමට මේ සුවිශේෂ කතුවරුන් ඉදිරිපත් කරන විග්‍රහයන් මෙනෙහි කිරීම වැදගත් වේ. එමගින් කිතුනුවන් විශ්වාස කරන ක්‍රිස්තුන් වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව ද සෑම නත්තලකින් ම විග්‍රහ කර බැලීමට අවශ්‍ය පරිසරයක් නිබඳව සකස් කර ගත හැකිය.

වාණිජත්වයෙන් ඔද්දල් වන මානසිකත්වයක් නොව, එයින් ඔබ්බට යන උපතේ මංගල්‍යය ආධ්‍යාත්මිකව සැමරීමට කිතුනුවන් යම් පරිසරයක් නිර්මාණය කරගන්නේ නම් ජාතික තලයේ අභිමානවත් අඬහැරයක් බවට පත්වී ඇති මේ ජාතික මහෝත්සවයට ජීවිතයෙන්ම අර්ථවත්ව සාක්ෂි දැරීමට මනා පරිචයක් ලැබෙනු ඇත. එය ම නව උපතක ආරම්භයක් නොවේ ද? තවත් නත්තලකට පිවිසීමක් නොවේ ද?

 

(***)

ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා