ගතවූ දෙසතිය තුළ මට මුණ ගැසුණා එක්තරා චරිතයක්. ඇය ජීවත් වෙන්නෙ කොහෙද? කරන්නේ මොනවද? කියනදේ දැනගත යුතු වුණත් කෙසේ හෝ දැනගත යුතුයැයි කියන උත්සහය මා තුළ තිබුණේ නැහැ. ඇගේ ලස්සන හැඩරුව සහ විලාසිතා මවන ඇගේ ඇඳුම් ආයිත්තම් නිසා දෙවරක් හැරී බලන්නට තරම් ඇය සුන්දරයි. බොහෝ වෙලාවක් ඇය එකම තැන රැුඳුණ නිසාම ඇය සමඟ කථාකරන්නට සිත් වුණා. ඒත් මුහුණේ තිබෙන ලස්සනවත්, ඇඳුම් ආයිත්තම්වල තිබෙන සුන්දරත්වයවත් ඇගේ ජීවිතේ තුළ තිබුණේ නැහැ. ඇයට තවම අවුරුදු දහසයයි. ඇය කොළඹ ප‍්‍රදේශයේ ඉහළ පෙලේ රූපලාවණ්‍යාගාරයක සේවය කරනවා. ඒ රැුකියාවේ ඇතුල් පැත්ත සහ ඇය මේ තරම් අඩු වයසකින් මේ තත්ත්වයට පත්වුණේ ඇයිද? කියන දේ ඇගේ කථාව තුළ ඉතාම ඛේදනීය විදිහට කියවෙද්දී එකවරම අප ඉදිරියේ සුඛෝපභෝගී මෝටර් රථයක තිරිංග තදවුණා. ඇය බොහෝ සෙයින් කලබලයට පත්වුණා. කතාව මඟ නතර වුණත් ඇය නැවත මාව මුණගැහෙන බවට පොරොන්දු වුණා. ඉදිරි සතියේදී මම ඇගේ කථාව කියන්නම්.
ඇය පිළිබඳ එකවරම මගේ මතකයට ආවේ ඇයත් ඒ මුහුණදී තිබෙන තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ මාපියන්ගේ වැරදි නිසා. ඒත් මේ අසරණ වෙන දරුවො ගැන කථාකරන්න කවුරුත් නැහැ. ගහකොළ පවා ගොළුවෙලා. ඊට හොඳම නිදර්ශන ගෙවුණු සති කිහිපය තුළ අප දුටුවා. සේයා සදෙවුමි දියණිය, යාපනයේ විද්‍යා දියණිය වෙනුවෙන් සාධාරණයක් තවමත් නැහැ. ඒත් අපරාධකාරයෝ අද ‘‘පොරවල්’’ කරලා. උන්ව ජනප‍්‍රිය කරනවා... ඝාතනයට ලක් වෙච්ච මේ අහිංසක දරුවො ගැන අද කවුරුත් කථා කරන්නේ නැහැ. අම්මා තමන්ගේ ලෙයින් උපන් දියණිය ගණිකා සේවයේ යොදවලා මුදල් සොයන යුගයකයි අපි මේ දේවල් ගැන කථා කරන්නේ මෙතැනින් එහාට දරුවන්ගේ අනාගත දරුවන්ගේ ඉරණම ගැන සිතීම ඔබටම බාරයි.
මේ පරිවාස ළමා නිවාස තුළ දිවිගෙවන දරුවන් දිනෙන් දින වැඩිවීම මිස අඩු වීමක් නැහැ. මේ සමාජ ඛේදවාචකයේ අනාගතය පිළිබඳ හිතන්නට බොහෝ දේ ඉතිරි වෙලා තිබෙනවා. මේ සමාජය ඇතුළේ සිදු වුණ තවත් සෝචනීය කතාවක් ඔබට දිගහරින්නට හිතුවා.
මයුමි කියන්නේ තරමක් දුෂ්කර ප‍්‍රදේශයක ජීවත් වුණ දැරියක්. මයුමි ඉපදෙන්නේ පවුලේ බඩපිස්සී විදිහට. වැඩිමහල් සහෝදරියක් එක්ක හැදුණු වැඩුණු ඇයට පවුලේ කාගෙත් ආදරය නොඅඩුව හිමිවෙනවා. මේ අතරතුර මාපියන්ගේ පුංචි පුංචි අඩදබර නිසා මයුමිට අවාසනාවන්ත සිදුවීම් කිහිපයකටම මුහුණ දීමට සිදු වෙනවා.
මේ අවනඩුවේ ආරම්භය නිිර්මාණය වෙන්නේ මයුමිගේ උපතත් එක්කමයි. ඇයගේ පියා වෘත්තියෙන් ආරක්ෂක අංශයේ නිලධාරියෙක්. බොහෝ වේලාවට ඔහුට සේවය කරන්න සිදු වුණේ උතුරු ප‍්‍රදේශතුළ. මේ නිසා ඔහු ගෙදර රැුඳුණේ මසකට වරක් පමණයි. මයුමිගේ අම්මා නිලූකා වෘත්තියෙන් ගුරුවරියක්. මේ නිසාම මයුමිත් ඇගේ සොයුරියන් දෙපළම බොහෝ වේලාවක් රැුඳුණේ මිත්තණිය සමඟ. මයුමිගේ උපතත් එක්ක මේ අඩදබර ඇතිවුණා යැයි සඳහන් කළේ, මයුමිගේ මව නිලූකා සමඟ ඇතිවූ අනියම් සබඳතාවක් නිසා මයුමි එම අනියම් සබඳතාවේ දරුවෙක් යැයි ඇතිවූ මත ගැටුම.
මේ හේතු කාරණා නිසා නිලූකා සහ තම ස්වාමියා අතර ඇති වුණ අඩදබර බොහෝ සෙයින් දුරදිග ගියත් මයුමිගේ උපතත් සමඟ යම් යම් අවස්ථාවලදී මොවුන් සමගියෙන් ජිවත් නොවුණාම නොවෙයි. එහෙත් මාපියන්ගේ වැරදි නිසා අවසානයේ මයුමිගේ ජීවිතේ අනුවේදනීය විදිහටයි ලියවුණේ.
‘‘මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා අම්මයි තාත්තයි රණ්ඩු වෙන අවස්ථා මම දැකලා තිබුණා. ඒත් ඒ කිසිම දෙයක් අක්කටයි, මටයි කවදාවත් අම්මා කිව්වේ නැහැ. තාත්තා ගෙදර ආවේ මාසෙකට හෝ මාස දෙකකට සැරයක්. ඒ ආවත් වැඩිපුරම කළේ රංඩුකරන එක. ඔය විදිහට තමයි අපේ ගෙදර පරිසරේ තිබුණේ. මේ ප‍්‍රශ්න නිසාම අක්කයි, මමයි වැඩිපුරම හැදුණේ ආච්චි අම්මා ළඟ. ඔහොම ඉන්නකොට අක්කා ශිෂ්‍යත්වෙ පාස් වුණා. අම්මා අක්කාව කොළඹ ඉස්කෝලේ දැම්මා. අක්කා වැඩිපුරම හැදුණේ හොස්ටල් එකේ. එත් තාත්තා අක්කව කොළඹ ඉස්කෝලේ යවනවට කැමති වුණේ නැහැ. අම්මා තාත්තා එක්ක රණ්ඩු කරලා අවසානයේ අම්මා ජයගත්තා. තාත්තා වැඩිපුරම ආදරේ කළේ අක්කට. පුංචි කාලේ ඉඳලා පුංචි වරදටත් තාත්තා මට ගැහුවා. ඒ දේවල් එක්ක තාත්තට මම ගොඩක් බයවුණා. අක්කට ආදරේ වෙන්නයි මට මෙහෙම සලකන්නයි හේතුව.... අනේ මන්දා මට හිතාගන්න බැරි වුණා.
ඔය අතරතුර අක්කා වගේම මමත් ශිෂ්‍යත්ව විභාගය ඉහළින් පාස්වුණා. මට කොළඹ ඉස්කෝලෙකට යන්න බැරිවුණත් කොළඹට ආසන්න ප‍්‍රධාන නගරයක ඉහළ පෙළේ පාසලකට යන්න වාසනාව ලැබුණා. ඒ මොනවා වුණත් ගෙදර පරිසරයේ රණ්ඩු අඩදබර වල වෙනසක් අතිවුණේ නැහැ. අපට හොඳ නරක තේරුම් යන්න යන්න අම්මයි තාත්තයි අතර රණ්ඩු වැඩිවුණා. තාත්තා අම්මාව නිතරම සැක කළා. මේ ප‍්‍රශ්නවල කෙළවරක් තිබුණේ නැහැ. හැමදාම ගේ ඇතුළේ අලූත් ප‍්‍රශ්නයක් නිර්මාණය වුණා. හැමදාම සිද්ධ වෙන මේ දේවල් එක්ක අම්මා තාත්තාගෙන් අයින්වෙන්න තීරණය කළා. අක්කයි මමයි ගැන හිතලා දික්කසාද වෙන්න එපා කියලා පවුලේ බාප්පලා, ලොකු අම්මලා, මාමලා දෝෂාරෝපණය කළත් අම්මා අම්මාගේ තීරණය වෙනස් කළේ නැහැ.
අම්මා තාත්තාගෙන් අයින්වෙලා මාස තුනක්වත් ගියේ නැහැ. අම්මා ආයෙම විවාහ වුණා. අම්මා නැවත විවාහ වුණා කියලා ආත්තම්මලා පවුලේ හැමෝම අපිව අතෑරියා. අම්මගේ වැරදි කිය කියා බාප්පලා දොස්නැගුවේ අක්කටයි, මටයි. අම්මගේ විවාහයත් එක්ක කවුරුත් තාත්තට දෝෂාරෝපණ එල්ල කළේ නැහැ. හැම වරදම පැටවුණේ අම්මට. මේ අපවාද වලට වැඩිපුරම මුහුණ දෙන්න වුණේ මට. අක්කා මේ ප‍්‍රශ්නත් එක්ක ගෙදර ආවේ නැති තරම්. ඒත් අම්මා ආයෙම විවාහ වුණත් අපි බලාපොරොත්තු වුණ නිදහසක් ගෙදර තිබුණේ නැහැ. බාප්පා (මවගේ දෙවැනි විවාහයේ ස්වාමියා) පෞද්ගලික බස්රථයක රියදුරෙක් විදිහට තමයි රැුකියාව කළේ. ?ට කටගොන්නක් බීගෙන එන බාප්පාගේ හැසීරීම් එන්න එන්නම වෙනස් වුණා. සමහර අවස්ථා වලදී මට ගෙදර ඉන්න වුණේ බෝඩිංකාරියක් විදිහට. අම්මටත් බාප්පගේ අණට යටත් වෙන්න සිදුවුණා.
සමහර දවස්වලට බාප්පා යාළුවො එකතු කරගෙන ගෙදර පාටි දැම්මා. අම්මා කොච්චර එපා කිව්වත් බාප්පා ඇහුවෙ නැහැ. ප‍්‍රශ්න කොයිතරම් ආවත් මට පුළුවන් විදිහට අධ්‍යාපන වැඩ කටයුතුත් කළා. මට ගෙදර ජීවිතේ එපාවෙලා තිබුණේ. ටික දවසක් මම යාළුවෙකුගේ ගෙදර නතර වෙලා ඉස්කෝලේ ගියා. එහෙම ඉන්නකොට මිනිස්සු අපි දිහා බැලූවේ හරියට අනාථයෝ දිහා බලනවා වගේ. මගේ හොඳම යාළුවා අපේ ගෙදර සිද්ධවෙන හැමදේම දැනගෙන හිටියා. මගේ යාළුවගේ අම්මා මගේ අම්මාටත් වඩා හොඳට මට සැලකුවා. ඒත් මම යාළුවන්ගේ ගෙදර ඉන්නකොට බාප්පා අම්මා එක්ක රණ්ඩු අල්ලන්න ගත්තා හිඟන්නෝ වගේ අතන මෙතන නතර කරන්න එපා කියලා’’ මෙතනින් එහාට මයුමිගේ ඉරණම හරිම ඛේදනීයයි. ඇගේ මේ හැම වචනයකම හිරවෙච්ච කඳුළු එක්ක ලොකු කථාවක් කියවෙනවා. ජීවිතේ කියන්නේ මොකද්ද කියලවත් නොතේරුම් අවධියක මයුමිට මුහුණ දෙන්න සිදුවන අද්දැකීම් ඒ පුංචි හිත දරාගත්තේ පුදුම ශක්තියකින්.
ඒත් ගෙදර දුව පැන ඇවිදපු පුංචි මයුමිගෙන් තිරිසන් විදිහට ආශාවන් ඉෂ්ට කරගත්ත මයුමිගේ බාප්පා මයුමිගේ අම්මා එක්ක දීග කෑවේ මයුමිට හොඳ බාප්පා කෙනෙකුට වඩා පියෙකු ලෙස වෙස් අඳිමින්...
‘‘අම්මා ගොඩක් දවසට ඉස්කෝලේ හවස පන්ති කළා. ඒ නිසා අම්මා ගෙදර ආවේ ? හත, අට පහු වෙලා. ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ගෙදර වැඩ කරන්න වුණෙත් මට. පාසල් ඇරිලා ගෙදර ආවම ගොඩක් වෙලාවට අම්මා එනකම් මම හිටියේ තනියම. ගෙදර තනියම ඉන්න එක පුංචිකාලේ ඉඳලම මට හුරු පුරුදු දෙයක්. ගෙදර මම තනියම ඉන්න වෙලාවට බාප්පා ඉඳහිට ආවත් වැඩිය කථා බහ කළේ නැහැ. ඒත් අම්මා ඉන්න වෙලාවටයි, නැති වෙලාවටයි බාප්පා හැසිරෙන විදිහ හරිම වෙනස්. අම්මා ඉන්න වෙලාවට මාව පේන්න බැහැ. තිරිසනෙකුට වගේ බණිනවා. අම්මා නැති වෙලාවට හරිම ආදරෙන් කථා කරනවා.
එතකොට මේ සිද්ධියට මයුමිට මුහුණ දෙන්න සිදු වුණේ කොහොමද?
අම්මා හවස පන්ති කරලා එනකොට ? වෙනවා. බාප්පත් දවස් දෙක තුනක් වේලාසන ගෙදර ආවා. දවසක් බාප්පා මට අමුතු යෝජනාවක් ගෙනාවා. එදා ගෙදර කවුරුත් හිටියෙ නැහැ. මට හොඳටම බය හිතුණා. බාප්පා මට එක එක දේවල් කියන්න ගත්තා.
(බාප්පා විසින් ඇයව පොළඹවා ගැනීමට පැවසූ දෑ සහ ඇයට සිදුකළ හිරිහැර ඇය පැවසුවත් සදාචාරාත්මක හේතූන් මත ඒවා මෙහි සඳහන් කළ නොහැක)
ඒ සිදුවීම්වලට මට දිගින් දිගටම මුහුණ දෙන්න සිදුවුණා. කාටහරි කිව්වොත් මරලා දානවා කිව්වා. පස්සේ පස්සේ මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ නැතුව යාළුවන්ගේ ගෙවල්වල ගියා. ගෙදර ගියොත් බාප්පා මට කරදර කරන නිසා. සමහර අවස්ථාවලදී හිතුණා ගෙදරින් පැනලා යන්න. මේ දේවල් කියන්න කවුරුත් හිටියෙත් නැහැ. මම ජීවත් වුණේ දරාගන්න බැරි මානසික පීඩනයකින්. මට මේ දේවල් දරාගන්න බැරිව මම වස බිව්වා. ඒත් පූරුවෙ කරපු කරුමෙකට මාව බේරුණා. මම බාප්පගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා මට කරදර කරන්න එපා, මම ගෙදර ඉන්න එක කරදරයක් නම් කොහේ හරි යන්නම් කියලා.
ඔය අතරතුර දවසක් බාප්පා යාළුවෝ තුන්දෙනෙක් එක්ක ගෙදර ආවා. එදත් මම තනියම හිටියේ. බාප්පා එළියට වෙලා යාළුවො තුන්දෙනත් එක්ක බොන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට බාප්පා ඇවිල්ලා මාව ඇදගෙන ගිහින් කාමරේට තල්ලූ කළා....
මයුමිගේ ඇස්වලින් කඩා වැටුණ කඳුළු එක්ක එතනින් එහාට යමක් අහන්න තරම් සිත් දුන්නේ නැහැ. මයුමි පමණක්ම නොවෙයි මේ හැම දරුවෙකුගෙම දෑස්වල පිරුණු කඳුළුවලට වගකිවයුත්තන් ඉන්නවා. ඒ අතුරින් බහුතරයක් දෙමාපියෝ. මයුමිත් අද මේ විදිහට අපා දුක් විඳින්නේ මාපියන්ගේ වැරදි නිසා.
එදා මයුමිගේ බාප්පා මිතුරන් කිහිප දෙනෙක් සමග නිවසට ආවේ පුංචි පාටියක් දාන්න. ඒ එනකොට තනියම ගේ ඇතුළට වෙලා හිටපු මයුමිගේ හිතට වෙනදාට වඩා මොකක්දෝ මහා බයක් දැනෙන්න ගත්තා. ඒ වෙනකොට තිරිසන් බාප්පා මේ පිපීගෙන එන මල තමන්ගේ ආශාවන් සන්සිඳුවා ගන්න ඩැහැගෙන හමාරයි. පුංචි එකීට තේරුමක් නැහැ. හැබැයි බය කියන දේ ඒ පුංචි හිතට දැනුණා. ඒත් මේ දරදඬු දෑත් එක්ක හැප්පෙන්න ඇයට පුළුවන් වුණේ නැහැ. එදා මේ පුංචි මල බාප්පා ඇතුළු මිතුරන් කිහිප දෙනෙකුගෙන් සමූහ දූෂණයකට ලක්වුණා. සවස් වන තෙක් උපකාරක පන්ති හමාර කර නිවසට පය තිබූ නිලූකාගේ දෑස්වලට දැකගන්න ලැබුණේ අහස පොළව නුහුලන අපරාධයක්. හැකි විගස නිලූකා දියණියව රෝහල්ගත කළා. බාප්පා සහ මිතුරන් තිදෙනා පොලිස් අත්අඩංගුවට පත්වුණා.
එහෙත් මේ සිදුවූ සියල්ල සමඟ මයුමිගේ භාරකාරීත්වය නිලූකට හිමිවුණේ නැහැ. මයුමි භාරවුණේ පරිවාසයට. මේ ඉරහඳ යට කොහේ හෝ ඇය ජීවත් වෙනවා. මේ සිර වුණ කවුළුවෙන් එහා ලෝකයක් දකින්න ඇයත් පෙරුම් පුරනවා. එයයි සත්‍යය.
(මෙහි සඳහන් නම් ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සළකන්න)