වසරක් ගෙවී නව වසරක් උදා වී ඇත. නව වසරේ සුබ පතන්නෝ බොහෝ වෙති. පතන සුබ පැතුම් එලෙසින් ම වේ නම් අපට සුබ වී බොහෝ කල් ය. එහෙත් සැවොම පිළිගන්නා සත්‍යය නම් අතළොස්සකට පමණක් සුබ වන වසර බොහෝ දෙනාට සුබ නොවන බවය. එසේ නම් වසර සුබ කර ගන්නේ කෙසේ ද? එය හුදු සුබ පැතුමකට පමණක් සීමා කර බලා සිටිය යුතු ද? වසර සුබ කර ගැනීමට අපගේ වගකීමක් නැද්ද? ලැබූ වසර අසුබ කරනවා යැයි අනුන් පිට පමණක් වරද පටවා හිත හදා ගත හැකි ද? නව වසරේ අනාගතය සුබ කර ගැනීමේ අපගේ කාර්ය භාරය කුමක් ද? මෙවන් කරුණු දෙස ධර්මානුකූල ප්‍රවේශයක් ලබා ගැනීම මෙම ලිපියේ මුඛ්‍ය බලාපොරොත්තුව වේ.
දිනක් එක්තරා දේවතාවෙක් බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ තම සිත පැනනැඟි අදහසක් ඉදිරිපත් කළේ මෙලෙස ය.
අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති
ඒතං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි
කාලය ටිකෙන් ටික ඉක්ම යන්නේය. රාත්‍රිය පෙරයම මැදියම පසුයම වශයෙන් ගෙවී යන්නේ ය. මේ හා සමඟින් වයස ද ශරීර ජවය ද අප හැර යන්නේ ය. ඒ ස්වභාවය මරණය හා සම්බන්ධ කොට බලා සැප ගෙන දෙන්නා වූ පින් කළ මනා ය.
එම දේවතාවාගේ අදහසට එකඟ වෙමින් ම බුදුපියාණන් වහන්සේ එයට අලුත් අදහසක් ද එක් කළ හ.
අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති
ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛෝ
කාලය ටිකෙන් ටික ඉක්ම යන්නේය. රාත්‍රිය පෙරයම මැදියම පසුයම වශයෙන් ගෙවී යන්නේ ය. මේ හා සමඟින් වයස ද ශරීර ජවය ද අප හැර යන්නේ ය. ඒ ස්වභාවය මරණය හා සම්බන්ධ කොට බලා ශාන්තිය, සැනැසිල්ල අපේක්ෂා කරන තැනැත්තා විසින් ලෝකාමිසයන්ට ඇති ගේධය හෙවත් ආශාව අත් හළ යුත්තේ ය.
වසරක් ගෙවී වසරක් උදාවීමේ ගැඹුරු යථාර්ථය මෙම ගාථාවල මුල් පද පේළි තුනෙන් කියැවේ. සැබැවින් ම මෙසේ කාලය ඉකුත් ව යමින් අපි ළඟා වන්නේ මරණයට නොවේ ද? එහෙත් බොහෝ දෙනා වර්ෂාවසානයේ ජීවිතය ගත කරන්නේ නොමැරෙන මිනිසුන් ලෙස නොවේ ද? එසේත් නොමැති නම් කෙමෙන් ළඟා වෙන මරණය කඩිනමින් වැළඳ ගන්නා ලෙසට නොවේ ද?
දෙසැම්බර් 31 වැනිදා රාත්‍රිය හෙවත් Thirty First Night සමරන බොහෝ දෙනා ඉහත සඳහන් කරන ලද මනෝභාව දෙකින් එකකට අයත් ව කටයුතු කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. දෙසැම්බර් තිස් එක් වැනිදා රාත්‍රියෙහි අත දිග හැර වියදම් කරන බොහෝ දෙනා පසුදා සිඟමනට වැටෙන්නේ, හරි හමන් ආහාරයක් වත් නැතිව දවස ගෙවන්නේ අධිපරිභෝජනවාදී ජීවන පැවැත්මේ අනිටු විපාක නිසා නොවේ ද? නව අවුරුදු සැමැරුම් පමණක් නොව අප රටේ විවාහ මංගල්‍යෝත්සව පවා සිදුවන්නේ මෙවන් පසුබිමක ය. හතර අතේ ණය වී ලෝකයාට පෙනෙන්නට විශාල උත්සව සාද පවත්වා පසු දා සිට ණය ගෙවා ගන්නට නොහැකිව කල්පනා කරන නවක යුවතිපතීන්ගෙන් අඩුවක් අප රට තුළ නැත. එසේ ම විවාහ වූ දා පටන් හරි හමන් නිවසක් නැතිව, කුලී ගෙවල්වල කාලය ගත කරන, අනාගතයේ ප්‍රයෝජනයට ගත හැකි තැන්පත් කරගත් ධනයක් නොමැතිව කටයුතු කරන බොහෝ අය මෙකල සිටිති. ඉන්ද්‍රිය සන්තර්පණයෙන් ලැබෙන ක්ෂණික සුඛාස්වාදයෙහි මුළා වෙන බොහෝ දෙනා තම වටිනා අනාගත අඳුරේ හෙළා ගන්නේ කිසිදු අස්වැසිල්ලක් හිමිකර ගන්නේ නැතිවය. එසේ නම් රට ආර්ථික දරිද්‍රතාවකින් පෙළෙන මෙවන් කාලයක අපගේ මේ අධිපරිභෝජනවාදී ජීවන පැවැත්ම වෙනස් කර ගැනීමට අදිටන් කර ගැනීම නව වසරේ මූලික කාරණාවක් විය යුතු ය.
එය රට වැසියා විසින් පමණක් අනුගමනය කළ යුත්තක් නොව මුළු ජාතිය ම ණය බරින් මිරිකා දමා ඇති රට කරවූ සහ කරවන පාලකයන් විසින් ද අනුගමනය කළ යුත්තක් වේ. එබැවින් අරපිරිමැස්මෙන් වැඩ කිරීමේ ගුණ නව වසරේ නව අදිටනක් බවට පත්කර ගත යුතුය.
කරණීය මෙත්ත සූත්‍රයට අනුව අප අප වටා ජීවත් වන සමාජයට සැබැවින් ම මෛත්‍රී සහගත ව කටයුතු කරන්නේ නම්, අනෙකාගේ හිත සුව පිණිස කටයුතු කරන්නේ නම් අප තුළ වටිනා මානව ධර්ම දියුණු කර ගත යුතු ය. බොහෝ විට පසුගාමී චින්තනයෙන් යුතුව අපට බෑ, අපට අමාරුයි, ආදී ලෙසින් පවසමින් කටයුතු කරන්නේ නැතිව ඔව් අපට පුළුවන් යන ධනාත්මක චින්තනය වසර ආරම්භයේ පටන් සිත තුළ රෝපණය කර ගත යුත්තකි. (සක්කෝ) අයුක්තිය අසාධාරණය හමුවේ හිස නොනමන, සාධාරණත්වය වෙනුවෙන් කැප වූ ගුණයන්ගෙන් යුක්ත විය යුතුය. (උජු ච සූජූ ච) එසේ ම තමා අතින් වන වරද හඳුනා ගන්නා ස්වභාව ඇති අනතිමානී ගති පැවැතුම් ඇති (අනතිමානී), ලද දෙයින් සතුටු වන්නා වූ (සන්තුස්සකෝ), තමා ව පහසුවේ පෝෂණය කළ හැක්කෙක් බවට පත් කර ගත යුතුය. (සුභරෝ) අභියෝග හමුවේ නොසැළී ධෛර්යයෙන් හා සැහැල්ලුවෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් විය යුතුයි. (සල්ලහුකවුත්ති)
කවුරුන් කැමැති වූවත්, අකැමැති වූවත් අපේ මවු බිම වෙනදාට වඩා බරපතළ ලෙසින් දරිද්‍රතාවට ගොදුරු වී ඇති බව පිළිගත යුතු අමිහිරි සත්‍යයකි. කළ යුතුව ඇත්තේ වරද කාගේ දැයි සොයා උනුන් පිට වරද පැටවීම නොව නැවත නැගෙන්නට මගක් සෙවීමයි. ඒ සඳහා පක්ෂ පාට භේද නොසලකා සැවොම ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් සමගිව කටයුතු කිරීමයි. ශ්‍රී ලාංකිකයා ජාති වශයෙන්, ආගම් වශයෙන්, පළාත් වශයෙන්, කුල වශයෙන් බෙදී සිටින තුරාවට එක් ශ්‍රී ලාංකේය ජාතියක් වශයෙන් නැගීසිටීමට අපහසු ය.
ඈත අතීතයේ සමඟියෙන් සිටි ජාතියක් විවිධ කොටස්වලට බෙදා වෙන් කළේ ද පටු වාසි බලාපොරොත්තු වූ මුග්ධ දේශපාලකයන් බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ. එහෙත් දැන් දැන් පොදු මහ ජනතාව මේ යථාර්ථය යම් මට්ටමකින් වටහා ගෙන කටයුතු කරන බව නම් සතුටට කරුණකි. එහෙත් මේ උදා වී ඇත්තේ රට කර වූ සහ කරවන අයට දොස් නඟමින් සිටිය යුතු කාලයක් නොවේ. වැරදුණේ කොතැනදැයි තේරුම් ගෙන එම වැරැද්ද නිවැරැදි කර ගැනීමට උත්සාහ ගැනීමයි.
ජාතික සමගිය බිඳවැටෙන්නට ආරම්භ වූයේ ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා ලෙසින් ඈත අතීතයේ සිට සැලකූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනය හමුවේ භේද වීම බව අපගේ විශ්වාසයයි.
එසේ ම තමන් විශ්වාස කරන දේශපාලන ධාරාවේ නියෝජිතයන් කවර වරදක් කළ ද එය නිර්භයව පෙන්වාදීමට ඔවුන් වහන්සේලා අපොහොසත් වීම තවත් අවාසනාවකි. මේ හේතුව නිසා ම දේශපාලකයන් ද තම විරුද්ධවාදීන්ට එරෙහි මත ප්‍රකාශ කරන්නන් සේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා යොදා ගැනීමට පටන් ගෙන ඇත. මේ යුගය වෙන විට එහි උච්චතම අවස්ථාව උදා වී ඇත. භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලා කරපින්නා ගත් දේශපාලන මතවාද මත පිහිටා ඔවුනොවුන් වෙත චෝදනා කර ගනිද්දී, ඔවුන් තුළින් සංඝ සාමාග්‍රිය ගිළිහී යද්දී සමග්ගා හෝථ මා විවදථ යන බුද්ධාවවාදය ඔවුන් මුවින් පිට නොවීම අරුමයක් නොවේ.
තත්ත්වය මෙසේ හෙයින් ජාතික සමගියට වන ප්‍රවේශ මාර්ගය ඇහිරී ඇත. එබැවින් නව අවුරුද්දේ පළමුවෙන් ම කළ යුත්තේ භික්ෂූන් වහන්සේලා පටු දේශපාලන වාසි හෝ මතවාද පසෙක ලා බුදුපියාණන් වහන්සේගේ දර්ශනයට අනුව රට කරවන අයට මඟපෙන්වීමට හැකි වන අයුරින් අපක්ෂපාතීව කටයුතු කිරීමයි. භික්ෂූන් වහන්සේලාගේ පිහිටෙන් දේශපාලනයේ හිණිපෙත්තට නැගගත් අය පවා පසු කලෙක ඔවුන් වහන්සේලා ඉවත් කොට තම උපදේශකයන් ලෙසින් වෙනත් භික්ෂූන් වහන්සේලා පත්කර ගනු ලබනුයේ ඔවුනගේ ද සැබෑ කැමැත්ත දේශපාලනයෙන් තොර භික්ෂූන් වහන්සේලා සඳහා වන බව නොවේ ද?
එබැවින් දේශපාලකයන්ට ළං වී ලබාගන්නා තාන්න මාන්න වරප්‍රසාදවලට වඩා ධර්මයට සමීපව ලබාගන්නා ආත්ම තෘප්තිය වඩාත් වැදගත් බව තේරුම් ගෙන භික්ෂූන් වහන්සේලා අතින් සිදු වූ ඓතිහාසික වරද නිවරද කර ගැනීම නව වසරේ තවත් අදිටනක් විය යුතු නොවේ ද?
පරපටිබද්ධ ජීවිතයක් ගත කරන්නා වූ ගිහියන්ගෙන් යැපෙන භික්ෂූන් වහන්සේලා සැම විට ම ගිහියන්ගේ මෙලොව පරලොව අභිවෘද්ධිය පතන පිරිසකි. එම නිසා ඔවුනට හිත සලසන මඟ පෙන්වීමක් ම උන් වහන්සේලා විසින් ලබා දිය යුතුය. අට ලෝ දහමින් අකම්පිත ව ජීවත් වන ආකාරය පෙන්වාදීම ද භික්ෂූන් වහන්සේලාගේ නව අවුරුදු වගකීමකි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප සහ දුක යන මේ ධර්මතා ලෝකය තුළ හැම දා පවතින ධර්මතාවන් ය. ඒවාට අඩු වැඩි වශයෙන් ගොදුරුවන්නට වීම තම තමන්ගේ කර්ම ශක්තිය මත ද තීරණය වන්නකි. එහෙත් බොහෝ දෙනා ලාභ ලබන විට, යසස, ප්‍රශංසා, සැප යන මේ ශුභ කාරණාවන් තමන්ට උරුම වෙන විට එය තමන්ගේ වාසනාවට සිදුවෙන බව සිතති.
අලාභ, අයස, නින්දා, දුක් ආදී අශුභ කරාණාවන් උරුම වෙන විට එය අන් අයගේ වරදින් සිදුවන දේ බව පවසා ඔවුනට දොස් නගති. එසේ දොස් නැගීම සාධාරණ වීම සඳහා යම් අවම සාධකයන් සොයා ගත හැකි වූ නමුත් එයට ගොදුරුවීමට තමන් තුළ ද කිසියම් සාංසාරික අඩුපාඩුවක් තිබෙන බව මතක් කර දී අසහනයට, පීඩාවට පත්වීම නිසා ප්‍රචණ්ඩ විය හැකි ජනතාව සන්සුන් කිරීම ද ආගමික නායකයන්ගේ වගකීමක් වේ. එසේ නොමැති ව තම ජන වර්ගයේ හෝ, ආගමික සංස්ථාවේ හෝ අයිතිය යැයි පවසා සාමාන්‍ය ජනතාව උසි ගැන්වීම හා වරදට පෙළඹවීම කිසිලෙසකින් නව වසරට රැගෙන නොයායුතු අතීත නරක පුරුදු බව අප සිහි තබා ගත යුතුය.
මේ වසර පෙර අන් කවරදාටත් වඩා ඔබේ කරුණා සිත් අනෙකා වෙත යොමු විය යුතු වසරක් බව අපට සිතේ. ඉදිරියේ දී ඇති වෙතැයි පුරෝකතනය කරන දුර්භික්ෂ හමුවේ පමණක් නොව මේ වන විටත් බොහෝ රටවැසියන් අත්විඳින ආර්ථික අපහසුතා හමුවේ හැකි අයුරින් ඔවුන්ගේ ජීවිතයට සැනැසිල්ලක් ලැබ දෙන්නට සැවොම එක් විය යුතුය. ගමක ජීවත් වන පවුල් අතරේ දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් කිහිපයක් හෝ තෝරාගෙන ඔවුනට කිසියම් ආර්ථිකමය ශක්තියක් වන්නට කටයුතු කරන්නේ නම්, එලෙසින් බිහිවෙන පිරිස් රට පුරා සෑම ගම්මානයකින් ම මතු වන්නේ නම් දුප්පත්කම නම් වූ සතුරා හමුවේ එක් ව නැඟී සිට සතුරා යම් මට්ටමකින් අඩ පණ කළ හැකිය. ඒ සඳහා ඇති හැකි අය නැති බැරි අය වෙත කරුණාවෙන් බැල්ම හෙළීම නව වසරේ තවත් අදිටනක් විය යුතුය.
ඉදිරි වසර යම් මට්ටමකින් හෝ සාර්ථක කර ගන්නට නම් ඉකුත් වූ වසරේ සිදු වූ වැරදි, වැරදි ලෙසින් ම දැකිය යුතුය. ඒවා කිසිදු හේතුවක් නිසා සාධාරණීකරණය කරන්නට නො යා යුතුය. වරද වරදක් ලෙසින් දැක ආයති සංවරයෙහි පිහිටිය යුතුය. එසේ ම එවන් වැරදි යළි යළිත් මතු කරමින්, එකිනෙකා පිට පටවමින්, චෝදනා නඟමින් සමාජ අසමගිය පිණිස කටයුතු නොකළ යුතුය. සිදු වූ වැරදි ගැන අවංකව කම්පා වී එවන් වැරදි නැවත නොකර සිටීමට වග බලා ගත යුතුය. එසේ ම වඩාත් සාධාරණ තීන්දු තීරණවලට එළඹිය යුතුය. එය ද හදිසි වී ගන්නා තීන්දු තීරණ නොවිය යුතුය. පසුගිය සමය තරම් ගැසට් නිකුත් කරන ලද සමය නොවීය යනු බොහෝ දෙනාගේ මතයකි. එවන් තත්ත්වයක් උදා වූයේ මන්ද?
තීන්දු තීරණ ගැනීමේ දී දුර දිග බලන්නේ නැති ව ක්ෂණික තීරණ මත පිහිටා කටයුතු කරන්නට යාම ය. එය අසාර්ථක බව බොහෝ දෙනාගේ මතය වී ඇත. එබැවින් රට ගැන හෝ, ආර්ථිකය ගැන හෝ නීතිය හා සාමය ගැන හෝ තීන්දු තීරණ ගැනීමේ දී ඉක්මන් නොවී බුද්ධිමත් ව සිතා බලා කටයුතු කළ යුතුය.
ලංකා රාජ්‍යයට එදා මෙදාතුර ඉතිහාසයේ ලැබුණු සුවිශේෂත ම දායාදාය බුදුදහම බව සැමගේ විශ්වාසයයි. මානව වර්ගයාගේ මෙලොව සුව, පරලොව සුව හා නිවන් සුව පිණිස මඟ පෙන්වා ඇති වටිනා දර්ශනයක්, වටිනා ආගමික හර ධර්ම පද්ධතියක් තිබිය දී මිථ්‍යා විශ්වාස පදනම් කරගෙන රටක් පාලනය කරන්නට යාම බොහෝ අනිටු විපාක ඇති කරවන්නට හේතු විය හැකිය. එසේ ම සම්‍යක්දෘෂ්ටික දෙවි දේවතාවුන් වහනසේලාගේ ද උදහසට ලක් විය හැකිය. එබැවින් මිථ්‍යාමතවල එල්බී කටයුතු කිරීම සිය පෞද්ගලික ජීවිතයට පමණක් සීමා කොට රාජ්‍ය පාලනයට ඒවා භාවිතා නොකර සිටීම නුවණැති පාලකයන්ගේ සිරිතය. තව ද පවතින ආර්ථික අර්බුද හමුවේ රටේ භෞතික සංවර්ධනය යම් මට්ටමකින් අඩු විය හැකි නමුදු ආර්ථිකයට හයියක් ලැබෙන සංවර්ධන කටයුතු අඩාල නොකර පවත්වාගෙන යාමට උපායශීලී විය යුතුය. එසේ ම අනවශ්‍ය වියදම් කපාහැරීම අනිවාර්යයෙන් ම කළ යුත්තක් වේ.
මහජන මුදලින් කරනු ලබන යම් යම් නව ඉදිකිරීම් තමන්ගේ පෞද්ගලික මුදලින් කළා සේ හැඟෙන ආකාරයට සිය පෞද්ගලිකත්වය හුවා දක්වා ගැනීමට සිදුකරනු ලබන විවෘත කිරීමේ උත්සව අවලංගු කළ යුතුය. ඒ සඳහා වැය වන මුදල වෙනත් සංවර්ධන කාර්යයකට යොදා ගත හැකිය. සාම්ප්‍රදායික දකුණු ආසියාතික දේශපාලකයන්ගේ ගති ස්වභාවයන් වැළැඳ ගන්නේ නැති ව, එසේ ම බටහිර දේශපාලනය හමුවේ බයාදු ලෙසින් වැඳ වැටෙන්නේ ද නැති ව අපේ හර පද්ධතීන්ට මුල් තැන ලැබෙන සේ රටේ ආර්ථිකය හා සංවර්ධනය කළමනාකරණය කිරීම ද නව වසරේ අදිටන් දැක්ම තුළ තිබිය යුත්තකි.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු ව ඇත්තේ පළඟැටියා ගිනි දැල්ලේ ආලෝකයට රැවටී දැල්ලට හසුව විනාශයට පත් වේ. මී මැස්සා බාඳුරා මලේ පැණිවලට රැවටී විනාශයට පත් වේ. හස්තිය වීණා නාදය හමුවේ මංමුළා වී විනාශයට පත් වේ. එලෙසින් ම ලෝකාමිසයෙහි ගිජු වූ තැනැත්තා ඒවාට යටවීම තුළ ම විනාශ වේ. එබැවින් ලෝකාමිෂයට ඇති ගිජුකම අතහරින්න. යථා ලාභ සන්තෘෂ්ටියෙන් යුක්ත වන්න. අතහැරීම පුරුදු කරන්න. ඔබ අතහැරිය යුත්තේ භෞතික සම්පත් පමණක් නොවේ. නව වසරේ ඔබේ සිතට වධ දෙන අමිහිරි මතකයන් ඔබ විසින් අත් හළ යුතුය. එසේ ම ඔබ විසින් මෙතෙක් කලක් ක්‍රියාත්මක කරන ලද නරක පුරුදු ඔබ විසින් අත්හළ යුතුය. ඒ පමණක් ද නොව ඔබ ජීවිතයට හුරු කරගෙන ඇති අඥාන තෘප්තිමත්වීම් ද අත්හළ යුතුය.
ඔබේ සිතට වධ දෙන නරක සිතිවිලි ද අත්හරින්න වෑයම් කළ යුතුය. මේ අත්හැරීම නව වසර තුළ සිදුකරන්නට ඔබ සමත් වන්නේ නම් සැබැවින් ම නව වසර නැවුම් වසරක් කර ගැනීමට හැකිය. එය කළ හැක්කේ ඔබට පමණි. එබැවින් හුදෙක් සුබ අනාගතයකට පැතුම් පමණක් පොදි බැඳගෙන සිටින්නේ නැති ව, ඔබේ උතුම් අදහස් ප්‍රාර්ථනාවකට පමණක් සීමා කරගන්නේ නැතිව ඒවා යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඔබ සක්‍රීය ව මැදිහත් විය යුතුය. අපේ රට මතු පරපුරට සුඛිත මුදිත වූ දේශයක් ලෙසින් දායදා කරදීම අප සැමගේ වගකීමයි. ඒ වගකීමෙන් බැහැර වන්නට රටට ආදරය කරන පුරවැසියෙක් හැටියට ඔබට ඉඩක් නැති බව සිහි තබාගන්න. එබැවින් සැවොම එක්ව රට නගමු. හැමට ඒ සඳහා තෙරුවනේ අනන්ත ගුණ බලය ආශීර්වාදයක් ම වේවා!
(***)