නවක ලේඛකයන්ට නිසි මඟපෙන්වීමක් නෑ


‘මගේ මතක’ ඔබේ චරිතාපදානය කෘතියයි. ලේඛන දිවියේ පනස් වසරක අත්දැකීම් සමඟ මෙවන් චරිතාපදානයක් පළකිරීමට කල්පනා කළේ ඇයි?

චරිතාපදානයක් කියන්නේ එක අතකට කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන ආ පස්සට හිතලා තමන්ගේම තෘප්තිය සඳහා ලියන ලියැවිල්ලක්. එහෙම වුණත් මං ‘‘මගේ මතක’’ ලියන්නේ තව කෙනෙකුට ජීවිතයේ දුෂ්කර අවස්ථාවලට මුහුණ දෙමින් ඒ දුෂ්කරතාවන්ගේ හේතු විමසමින් ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න පුංචි දිරි ගැන්වීමක් කරන්නයි.

මගේ නිර්මාණ කාර්යයේදීත් මම හැම විටම මහන්සි ගත්තේ නුවණින් දිරියෙන් ජීවිතයට මුහුණ දීම වැදගත් කියන පණිවිඩය දෙන්නයි. තවමත් මට කතා කරලා ලියලා මගේ නිර්මාණ ගැන ඒ නිර්මාණ ඇතුළෙ හංගලා තියපු දේවල් සොයා ගන්න පිරිසක් ඉන්නවා. එක අතකට ‘‘මගේ මතක’’ නවකතාවක් කියලත් මට හිතෙනවා. මගේ ලිවීමේ ආර නිසයි මට එහෙම හිතෙන්නේ.

චරිතාපදාන කියැවීම පුද්ගල පෞරුෂ වර්ධනයට බලපෑම් කරනබව විද්වතුන්ගේ අදහසයි. ඔබේ මතය පැහැදිලි කරන්න.

චරිතාපදාන කියැවීමේ ලොකු වටිනාකමක් තියෙනවා. ලියන කෙනා ගැන චරිත සහතිකයක් නෙවෙයි චරිතාපදානය. වෙනත් කෙනෙකුගේ චරිතයක් කියවීමත් විශ්වවිද්‍යාලයකට ගියා වගෙයි.

විභාග සහතික ගන්න නෙවෙයි. චරිතාපදානයේ අයිතිකරු මුහුණ දුන් ගැටලු ගැන ඔහු සොයාගත් විසඳුම් ගැන නැවතිල්ලේ සොයලා බලලා තර්ක කරලා ගැටලුව ගැනත් විසඳුම ගැනත් සිතීමට ඒ අනුව යම් යම් තීරණ ගැනීමට කෙනෙකුට හැකිවෙනවා. ගැටලුව, ගැටලුවට හේතු විසඳුම, විසඳුමට මාර්ගය බුදුහාමුදුරුවොත් ඔය පියවර දිගේ බොහෝ දුර ගිහින් අාධ්‍යාත්මික දියුණුවක් ලබා ගත්තා. ලෝකයාටත් මග කියා දුන්නා නිකමට හිතන්න ඇයි අපි බුද්ධ චරිතය කියවන්නේ? ජේසුගේ චරිතය කියවන්නේ මහත්මා ගාන්ධිගේ චරිතය කියවන්නේ? කාල් මාක්ස්ගේ ලෙනින්ගේ චරිත කතා කියවන්නේ? මේ හැම චරිතයක්ම එක බිංදුවක් හරි වර්තමාන මිනිසාගේ ජීවිතය ඇතුළට කඩා වැදිලා තියෙනවා. අඩු වැඩි වශයෙන්

අපි හැමෝගෙම චරිත හැඩ ගැහිලා තියෙන්නේ ඔය කාගෙ කාගෙත් චරිත එහා මෙහා වෙලා හැදිච්ච තට්ටුවක් උඩ. එහෙව් එකේ මේ වර්තමානයේ දේශපාලන ආර්ථික හැලහැප්පීම් මැද ජීවත්වන කෙනෙකුගේ චරිතයක් ‘‘මගේ මතක’’ ඇතුළේ තියෙන්නේ.

ඔබේ ‘අඳුරට එළියක්’ ආරම්භ කෘතියටම රාජ්‍ය සම්මානයක් ලැබුණා. එකල නිර්මාණ රචනයේ ලද අත්දැකීම් ගැන මොකද හිතන්නේ?

‘අඳුරට එළියක්’ මගේ මුල්ම කෘතිය තමයි. ඒත් මං නිර්මාණාත්මක කවි කෙටිකතා ලිවීම පටන් ගත්තේ පාසල් කාලයේ. ඒ නිර්මාණවලටත් සැලකුම් ලැබුණා. මං හිතන්නේ රාජ්‍ය සම්මානයක් ලබපු පළමු කාන්තාව මම. ‘අඳුරට එළියක්’ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ලොකු කතා බහට ලක් වුණා. මධ්‍යම පාන්තික ගෙවල්වල ඉහළ මධ්‍යම පාන්තික ගෙවල්වල චරිත ගෙනත් ඒ චරිත නිසා දිළිඳු පවුල්වලට අයට සිද්ධ වෙන හිරිහැර ඒ වකවානුව වන විටත් අපේ සාහිත්‍යයේ සටහන් වෙලා තිබුණා. හැබැයි ප්‍රධාන චරිතය බවට දිළිඳු ජීවිත සටහන් කරන්න ලේඛකයන්ට අමතක වෙලා.

මගේ අත්දැකීම් ඉතා සුළුයි. ඒ අත්දැකීම් මට මහා විශාල කම්පනයක්. ඒ කම්පනය නිසා මම මවපු චරිත තමයි මගේ නිර්මාණවල තියෙන්නේ. මං හිතන්නේ සාහිත්‍යකරුවා හදවතින් ජීවත්වෙද්දී වටපිට ඉතා සුළු දෙයක් වුණත් සාහිත්‍යකරුවාට මහා වපසරියක් මවා දෙනවා. සාහිත්‍යකරුවාගේ කාර්ය මැවීමයි. පවතින දෙයින්ම අඩු වැඩිය අරගෙන මැවීමයි.

මට හැදිලා තිබුණා එක්තරා ලෙඩක් තවමත් සුවවෙලා නැති ලෙඩක් කඳුළක හංගාගෙන ඉන්න සියුම් සිතුවිලි අවුස්සලා මට ඕන විදියේ කතාවක් ගොතාගන්න තාමත් මං කෑදරයි. මගේ ඒ කෑදරකම වැඩි කළේ ‘ඇත්ත’ පත්තරේ කොමියුනිස්ට් පක්‍ෂය සංවිධානය කරපු කෙටිකතා තරගයෙන් ප්‍රථම ස්ථානය මට ලැබුණේ ඒ කතාවේ සිද්ධි පෙළමත් ඒ චරිතවත් මං දැකලා අඳුරලා එහෙම නෙවෙයි. මගේ ඇස් මානෙට අහු නොවුණත් එහෙම චරිත එහෙම සිද්ධි මේ රටේ එදත් තිබුණා අදත් තියෙනවා මං හිතන්නේ මටත් එහෙමම තමයි.

නිර්මාණකරුවා කියන්නේ මවන්නෙක්. ‘අඳුරට එළියක්’ කතාවල අත්දැකීම් නෑ. සේරම මගේ කල්පනා ලෝකය. ඒ කල්පනාවන් ඉබේ පහළ වෙන්නේ නෑ. සමාජය දිහා හොඳ හැටි බලන්න ඕනේ.

ඔබ නවකතාව සහ කෙටිකතාව ආදි සාහිත්‍ය අංග වෙත වැඩි දායකත්වයක් සපයා තිබෙනවා. සාහිත්‍යයෙන් සමාජයට කෙරෙන බලපෑම ඔබ හඳුනාගන්නේ කොහොමද?

මගේ නිර්මාණ සමාජයට ලොකු බලපෑමක් කරලා තියෙනවා. තරුණයන්ට හිතේ බයක් නැතුව සමාජය දිහා බලලා ලියන්න ශක්තියක් ලැබුණා. පාදඩ පන්තිය කියල ගණන් නොගෙන සිටි පන්තියේ චරිත මට වඩා හොඳට සාහිත්‍ය ඇතුළට ගේන පිරිසක් ඉන්නවා. ඒ අයට තමන් ලියන දේ ගැන සමාජයෙන් මොන විදියේ පිළි ගැනීමක් ලැබෙයි ද කියන බය තිබුණා. ඒක දැන් නෑ. පවතින සමාජ මති මතාන්තරවල හිස් බව තේරුම් ගන්නා තරුණ පිරිස්වල අත්දැකීම් පුළුල්. ඒ වගේම දේශපාලනයත් ආර්ථිකයත් විසින් හදල දිපු ගැටලුවල හිරවුණු මිනිස් ජීවිත ගැන පුළුල් අවබෝධයක් තියෙනවා. හමාගෙන යන සුළගේ පවා දේශපාලනයක් ඇති බව වටහා ගන්නට හැකි තරුණ පිරිසක් ඉන්නවා.

සාහිත්‍යකරුවාගේ කාරිය සමාජයට අවබෝධය දීමයි. ඒ අවබෝධය ත්‍රස්තවාදයට අත වැනිමක් නොවිය යුතුමයි. ජාතියේ නිදහස ගැන කවි ලියු රචකයන් විහිළුවට ලක්කරන සමාජයක සාහිත්‍යකරුවා කළ යුත්තේ මොනවා ද?

අප එදා සහ අද අතර වෙනස තේරුම් ගන්න ඕනෙ. එදා අධිරාජ්‍යවාදීන්ගේ සිතුම් පැතුම් අතර සිරකරගත් ජනතාවට අපේකම අපේ නිදහස් චින්තනයේ වැදගත්කම කී ලේඛකයන්ට උපහාසයෙන් සිනාසීම යුතුකමක්ද? අද අප සිරවී ඇත්තේ කාගේ විලංගුවලට ද? ඒ ගැන සිතන්නට සාහිත්‍යකරුවාට වගකීමක් මෙන්ම යුතුකමක් ද තියෙනවා. තේරුම් ගත් දේ නිර්මාණාත්මකව සාහිත්‍ය කෘතියකින් එළිදැක්වීමත් යුතුකමක්.

අපි කොච්චර කෑ ගහලා කිව්වත් කෙටිකතාව නවකතාව සමාජයට මහා විශාල බලපෑමක් කරනවාය කියලා ඒක ඇත්ත නෙවෙයි. සමාජයට බලපෑම් කරන වෙනත් කලා මාධ්‍ය තියෙනවා බාල බොලඳ කතන්දර ඇතුළේ සිටින චරිත සිද්ධි හරියටම කිව්වොත් සාහිත්‍ය ගැන සමාජය දක්වන උනන්දුව වෙනත් කලා මාධ්‍ය විසින් උදුරා ගෙන තියෙනවා.

අද වනවිට නවක ලේඛක ලේඛිකාවන් රැසක් ක්ෂේත්‍රයට පැමිණ සිටිනවා. නූතන නවකතාව ගැන මොකද හිතෙන්නේ ?

කඩදාසි ප්‍රශ්න මුද්‍රණ ප්‍රශ්න ප්‍රකාශන ප්‍රශ්න කොච්චර තිබුණත් අලුත් ලේඛන ලේඛිකාවන්ගේ පැමිණීම නම් සතුටුදායකයි. අවුරුදු ගණනත් ගිහින් බලද්දී මේ අයගෙන් ලේඛන කාලාවේ රැඳී ඉන්න පිරිස අඩුවෙලා. අලුත් පිරිසක් එකතු වෙනවා.

ඒත් සාහිත්‍යයෙන් ජීවත් වෙන්න බැහැ. අත්දැකීම් ටික ඉවරවුණාම වැඩේ නවතිනවා. නවකයන් ක්ෂේත්‍රයට එන්නේ ආශාවට. සමාජය ගැඹුරෙන් කියන්නේ නැහැ. ඒ වගේම ලොකු හදිසියක් තියෙනවා තමන්ගේ අත්දැකීමක් නැත්නම් මිතුරකුගේ මිතුරියකගේ අත්දැකීමක් ඇසු පමණින් කතාවක් ලියන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම නවකයන් ලිංගික සම්බන්ධතා පදනම් කරගෙන ලිවීමට කැමැත්තක් දක්වනවා. වරදක් නැහැ. එත් ජීවිත ප්‍රශ්න නේ. අවසානයේ දී පාඨකයා අතට එන්නේ මුල් නැති චරිත. හේතු නැති චරිත. අද නවකයන් අසරණයි. ඔවුන්ට මග පෙන්වන කෘති හිඟයි. කාලීන ගැටලු සමග බද්ධ වූ ගුරුහරුකමට ගත හැකි නිර්මාණවල හිඟයක් තියෙනවා.

කවුද ඒ අයට මග පෙන්වන්නේ? සාහිත්‍ය කෘතියක් අච්චුවකට දාලා හදා ගන්න බැහැ. බොහෝ නවක ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණවල යටින් දුවන ඇත්ත තමයි නිර්මාණයකට අවශ්‍ය තරමට අඩු වැඩිය නැතිකම.

ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා

සංවාද සටහන ගාමිණි කන්දේපොළ