ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙවර ද පැවැත්වුණි. ඒ පසුගිය අට වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීය. වසරේ ප්‍රශස්තම නවකතාව වෙනුවෙන් පිදෙන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර පිරිනැමුණේ නෝබට් අයගමගේ රචනා කළ ‘කුර හඬෙකි වියැකෙන’ නවකතාවට ය. නෝබට් අයගමගේ මහතා සමඟ මෙම සංවාදය පැවැත් වෙන්නේ ඒ ජයග්‍රාහී කෘතිය පදනම් කොටගෙනය.
අයගමගේ මහතා මීට පෙර රචනා කළ ‘කාල නදී ගලා බසී’ නවකතාවට 2014 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. ඉන්පසු ඔහු ‘සුර අසුර යාමය’ නමින් නවකතාවක් ද රචනා කළේය. ‘කුර හඬෙකි වියැකෙන’ ඔහුගේ තුන්වැනි නවකතාවයි.
‘කුර හඬෙකි වියැකෙන’ නවකතාවට ඔබ වස්තු විෂය කොටගන්නේ මහනුවර යුගයේ එක්තරා කාලසීමාවක, සමාජ – දේශපාලන – සංස්කෘතික පරිසරය හා ඒ සමග බැඳුණු තවලම්කරුවන්ගේ ජීවන ප්‍රවෘත්තියයි. මේ නවකතාව රචනා කිරීමේ දී ඔබ දැරූ නිර්මාණාත්මක ප්‍රයත්නය ගැන මුලින්ම කතා කරමු.
මේ නවකතාවට මා ප්‍රධාන වශයෙන් පදනම් කොටගත්තේ මහනුවර රාජධානියේ ආරම්භක අවධියෙහි උඩරට වැසියන්ට ලුණු සැපයූ තවලම්කරුවන්ගේ ජීවන පුරාවෘත්තයයි. එකල උඩරටට ලුණු සැපයීමේ වෙළඳ ඒකාධිකාරය පැවැතියේ උඩරට ප්‍රභූ පවුල් දෙකක් අතරයි. මේ පවුල් දෙක අතරත් වෙළෙඳාම් සම්බන්ධව ගොඩනැගුණු විවිධ විරෝධතා පලිගැනීම් ආදිය දකින්නට පුළුවන්. ඒ විරෝධතා පවුල් දෙක නියෝජනය කළ තවලම්කරුවන් අතරත් ඇති වුණා. උඩරට සිට හම්බන්තොට දක්වා තවලම් මාර්ගයේ මේ ආරවුල් ගැටීම් දකින්නට හැකියි. මේ සමාජ පරිසරයට අදාළව සිදුවුණු ප්‍රබල සිද්ධි සමූහයක් නවකතාව තුළ නිරූපණය කිරීමට මහන්සි ගත්තා.
ඒ ගොඩනැගීමේ දී මේ චරිතවල මනෝභාවයන්, සමාජ සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස තවලම්කරුවන්ගේ ජීවිතවල ස්වභාවය, බලය, නිර්ධනයන් තලාපෙළීම වැනි කාරණා මතු කර ගැනීමට පාඨකයාට අවස්ථාවක් ලැබෙනවා ඇති.
• ඔබ මේ නවකතාවට යොදා ගන්නා සමාජ පරිසරය, මහනුවර යුගය මීට පෙර නවකතාකරුවටත් විෂය වී තිබෙනවා. එහෙත් ඔබ කතාව ගොඩනැගීමේ දී මතු කරන අපූර්වත්වයයි වඩාත් වැදගත් වන්නේ. අපූර්වත්වය මතු කිරීමේ ගුණය කතා රචකයකුට අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
ඒක තමයි වැදගත්ම කාරණය. වඩාත් වැදගත් වෙන්නේ කියන කාරණය නොවෙන්න පුළුවන්. ඒ කාරණය කියන්න කතුවරයා භාවිත කරන ක්‍රමය තුළයි අපූර්වත්වය මතු වන්නේ. තේමාත්මක අගය ආකර්ෂණීයව ගොඩනැගෙන්නෙ ලේඛකයාගේ භාෂා භාවිතය, පරිකල්පනය තුළින්. ඒ අනන්‍ය ලක්ෂණ තමයි කෘතිය රසිකයාට සමීපවීමට බලපාන්නේ.
සිද්ධි ගොඩනැගීමේ විශ්වාසයක් කතාව තුළ ඇතිවෙන්න ඕනෑ. සාර්ථක මට්ටමේ බොහෝ නවකතා පරීක්ෂා කරලා බැලුවාම අපට පැහැදිලි වන්නේ ලේඛකයා සතු නිර්මාණාත්මක භාෂා භාවිතය, පරිකල්පනය, චරිත විශ්වාසනීයව ගොඩනැගීම ආදිය බලපා ඇති බවයි. උදාහරණයකට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා වගේ නවකතා ගනිමු. එදා සිට මේ දක්වාම ඒ නවකතා පාඨකයන් වැළඳ ගන්නේ කතුවරයා මතු කරන අනන්‍යතාව නිසයි. භාෂා භාවිතය නිසයි. පරිකල්පනාත්මක අපූර්වත්වය නිසයි. මේ චරිතවල මානසික මට්ටම් කතුවරයාට මැනැවින් නිරූපණය කරන්නට පුළුවන් වන්නේ එයින්, මේ නවකතා රචනා වුණාට පස්සෙත් බොහෝ දෙනා ජපානය පදනම් කරගත්ත කෘති රචනා කළා. ඇතැම් අය මේ නවකතා අනුකරණය කරමින්ම ලියන්නට උත්සාහ කළා. ඒත් එම කෘති පාඨකයා අතර ජනප්‍රිය වූ බවක් පෙනුණේ නැහැ.
හොඳින් ලියන්නට උත්සාහගන්නා අලුත් ලේඛකයන්ට මේ අධ්‍යයනය ඉතාම වැදගත්. අපූර්ව වස්තුබීජ නන්නත්තාර කරගත්ත නවකතා අපට කියවන්න ලැබෙනවා. ඔවුන් ඉතාම හොඳින් කතාව ආරම්භ කළත් පිටු හය හතක් යනකොට ඒ සාර්ථකත්වය බිඳ ගන්නවා. හේතුව භාෂා භාවිතයේ, පරිකල්පනයේ, විශ්වාසනීයත්වයෙන් යුතුව චරිත ගොඩනොනැගීමේ දුර්වලතා,
• ‘කුර හඬෙකි වියැකෙන’ නවකතාව තුළ මෙන්ම ඔබේ ‘කාල නදී ගලා බසී’ නවකතාව තුළින් භාෂා යෝග්‍යතාව හා විචිත්‍රත්වය තීරණාත්මක සාධකයක් වී තිබෙනවා. නවකතාවක මේ අපූර්වත්වය ගොඩනගන්නේ කොහොමද?
නිර්මාණාත්මක කෘතියක් ලිවීමේ දී භාෂාව කතාවත් එක්කම එකට ගැට ගැහුණු එක කුස උපන් සහෝදරයෙක් වගේ. ඒ නිපුනතාව කතුවරයා හඳුනා නොගත්තොත් සාර්ථක කෘතියක් ගොඩනැගීම අභියෝගයක් වෙනවා. පැරැණි සම්භාව්‍ය සාහිත්‍යයේ සිට මේ දක්වාම සාර්ථක කෘති අධ්‍යයනය කළොත් ඒක තීරණාත්මක සාධකයක්. ජාතක කතා කතුවරුන්, සද්ධර්මරත්නාවලියේ කතුවරයා ඔවුන්ගේ කතාවලට යොදාගත් භාෂාව ඒ යුගයට අනුව ඉතාමත් නිර්මාණාත්මකයි. අපි අදටත් ඒ සඳහා ආකර්ෂණය වෙනවා. අපේ සමාජය ඇතුළේ පරම්පරා ගණනාවක් මේ කතා දේශනා කළා. ශ්‍රවණය කළා. ඒ භාෂා ශෛලියේ අපූර්වත්වය නිසයි. බණ කතා ශෛලියට ආවේණික රීතියක් තිබුණ නිසයි.
නවකතාවකදීත් අපට ඒ භාෂා අනන්‍යතාව අවශ්‍යයි. අවස්ථාවෙන් අවස්ථාවට හැඟීම් කොනිත්තන, හැඟීම් සමනය කරන, හැඟීම් කුල්මත් කරන එකම අකුරු පදාසයක් තුළ එහා මෙහා යන භාෂාවක් ගොඩනගන්නට හැකි විය යුතුයි. ඒ භාෂාවේ නිල අල්ලා ගැනීමට ලේඛකයා සමත් විය යුතුයි. ඒ තුළින් තමයි පාඨකයාට ආකර්ෂණය වන නිර්මාණාත්මක කෘතියක් බිහිවන්නේ.
• ඒ අපූර්වත්වය, නිර්මාණාත්මක ගුණය නිවැරැදිව හඳුනාගත හැකි පාඨක සමාජයක් වර්තමානයේ අපට සිටිනවා යැයි ඔබ විශ්වාස කරනවා?
ඔව්. බොහෝ දෙනාගේ චෝදනාවක් තියනවා තමයි වර්තමාන පාඨක සමාජයේ කඩා වැටීම ගැන. ඒත් මම විශ්වාස කරනවා පොත පත කියවන රසවිඳින අලුත් පාඨක ප්‍රජාවක් බිහිවෙමින් ඉන්නව කියලා. පෞද්ගලිකව මගේ අත්දැකීම් කීවොත් මගේ නවකතා කියවලා වැඩිපුරම ප්‍රතිචාර දක්වන්නේ තරුණ වයස්වල ඉන්න පාඨකයො. උසස් අධ්‍යාපනය ලබන අය.
කොහොමත් යමක් කියවා, ශ්‍රවණය කොට රසවිඳිය හැකි සංවේදී ජනතාවක් එදා සිටම අපේ රටේ සිටි බවයි මගේ විශ්වාසය. සමාජ ඛේදවාචකයක් කවි කොළයක ලියැවෙද්දී, ඒවා ගායනා වෙද්දී මිනිස්සු කම්මුලේ අත තියාගෙන අහගෙන හිටියා. කම්පා වුණා. මම හිතන්නෙ ඒ සංවේදීකම අපේ ජාන එක්ක බැඳිලා තියෙන ගුණයක්. නිවැරැදි දේ තෝරා ගැනීමට පාඨකයාට ඇති මේ ගුණය ගැන ලේඛකයාටත් අවබෝධයක් තියෙන්න ඕනෑ.
• පාඨක සමාජය දියුණු කිරීමේ වගකීමේ වැඩි කොටස ලේඛකයන් සතු වන බව ද ඔබ කියන්නේ?
ඒ වෙනුවෙන් ලේඛකයාට ලොකු වගකීමක් තිබෙනවා. ඒ නිසා හැකි තරම් නිර්මාණාත්මක, කලාත්මක කෘතියක් පාඨකයා වෙත ලබාදීමේ උනන්දුව ලේඛකයාට තියෙන්න ඕනෑ. කොහොමහරි පොතක් ලියනව කියල හිතාගෙන කෘත්‍රිමව කතාවක් ගොඩනගන්න බෑ. පුළුවන් වුණත් ඒක සාර්ථක වෙන්නේ නෑ. පාඨකයා පිළිගන්නෙ නෑ. නවකතා ලියන හැටි උගන්වන්න බෑ. ඒක මතුවෙන්නේ නිර්මාණාත්මක භාවිතයත් එක්ක.
කතුවරයා කතාවක් ගොතනවා තමයි. ඒත් ඒ කතාවේ චරිත මහ පොළොවෙන් මතුවෙලා ඔවුන්ට අනන්‍යව වැඩෙන්න ඉඩදෙන්න ඕනෑ. එහෙම නැතුව කෘත්‍රිමව චරිතයක් ගොඩනගන්න බෑ. ඒත් කතුවරයා මෙතැන දී සම්පූර්ණයෙන් ඉවත් වන්නේ නෑ. ඔහු ඈත සිට චරිත දෙස බලා සිටිනවා පාඨකයාට විශ්වාස කළ හැකි මගක චරිත ගමන් කරනවාද කියා.
පාඨක සමාජය පුදුම කරවමින් කරුණාසේන ජයලත් ‘ගොළු හදවත’ නවකතාවේ දී මේ දේ කළා. දම්මි-සුගත් කතාවේ අවසානය කතුවරයා ගොඩනගන්නෙ පාඨකයා අපේක්ෂා කරන විදිහට නොවෙයි. දම්මි සුගත්ට පිටු පෑවේ ඇයි කියන එක ජයලත් මතු කරන්නෙ විශ්වාසය ඇතිවන විදිහට. ඒත් අපි ඒ අවසානය ඉදිරියේ ගල් ගැහෙනවා. මෙහෙම වුණේ ඇයි කියලා. ඒක තමයි නිර්මාණාත්මක ගොඩනැගීම. අදත් සමහර පාඨකයො කඳුළු සලසනවා සුගත් වෙනුවෙන්. සුගත් වගේ හැසිරෙන්න උත්සාහ දරන අය අදත් ඉන්නවා. ඒක තමයි පාඨක ලෝකයේ ආකර්ෂණය.
• වෙනත් සාහිත්‍ය ක්ෂේත්‍රවල වගේම නවකතාවේත් අලුත් ලේඛක – පාඨක පිරිසක් බිහිවෙමින් සිටින බව පෙනෙනවා. ඔවුන්ගේ ලිවීම් පාඨකයාගේ අවධානයට ලක්ව ඇති බවත් පෙනෙනවා. මේ අලුත් ප්‍රවණතා ගැන ඔබ කොහොමද හිතන්නේ?
මේ විදිහේ අලුත් රුධිරයක් අලුත් ධමනි ඔස්සේ ගලා ඒම ඉතාම වැදගත් කාරණයක්. නූතනයේ විරාජිනී තෙන්නකෝන්, මනෝහරි ජයලත් වගේ ලේඛිකාවන්ගේ නිර්මාණාත්මක දායකත්වය කාගේත් අවධානයට ලක්ව තිබෙනවා. ඔවුන්ගේ භාෂා භාවිතයේත් වස්තු විෂයන්ගේත් අපූර්වතා තවදුරටත් සාකච්ඡාවට ලක්විය යුතුයි. නවකතාව කියන සාහිත්‍යාංගය එක තැන පල්වෙන්නෙ නෑ. ඒක ඉදිරියට යන්න ඕනෑ. නැත්නම් අනාගතයක් නෑ.
• නවකතාවේ මේ නව ප්‍රවණතා හමුවේ විචාරකයන්ගේ දායකත්වය ගැන ඔබ මොකද හිතන්නේ?
නවකතාව සම්බන්ධයෙන් දැන් තිබෙන සාහිත්‍ය විචාරය සංවේගජනකයි. සාම්ප්‍රදායික විචාරකයෝ අපේ පොත් දිහා මුල් කාලෙ ඇහැක් ඇරලවත් බැලුවෙ නෑ. මේ රටේ සාහිත්‍ය විචාරය පදනම් වෙලා තියෙන්නේ එක එක කුලක, කණ්ඩායම් මත. මිතුරු මිතුරියන්ගේ කුලක, සරසවි කුලක, අගනුවර කුලක ගනුදෙනු කරන්නේ එයාලාට අයිති කුකුල් කූඩුවල පැටවුනුත් එක්ක විතරයි. අනෙක් කවුරුත් ගණන් ගන්නෙ නෑ. හුදෙකලා වෙලා.මගේ නම් විශ්වාසය පොත හොඳ නම් එය රසිකයන් අතරට යන බවයි. මේ විදිහටම සාහිත්‍යය විචාරය තිබුණොත් විචාරකයාට ඇති පිළිගැනීමත් නැතිවෙලා යාවි.
මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනූ ප්‍රවීණ ලේඛක නෝබට් අයගමගේ
සංවාද සටහන - ගාමීණී කන්දේපොළ