නැකතට රැකියාවට යාම සහ රාජ්‍ය සේවය


සිංහල දමිළ අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ  නැකත අදට (19) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද මානව සමාජයක ප්‍රබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකි. මුළුමහත් ජන සමාජයක් එකම අරමුණකින් එකම වෙලාවට විවිධ කටයුතු පරිසර හිතකාමීව සහ පරිසර ප්‍රේමීයව සිදුකිරීම සුවිශේෂී කාරණයක්. සොබාදහමට, මහ පොළොවට, ඉරට, හඳට, ග්‍රහ තාරකාවලට ගරු කරමින් පවත්වනු ලබන මෙම සංස්කෘතික මංගල්‍යය කෙනෙකුට සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රියාවලියක් ලෙස හැඟු‍ණ ද දැනුනද මෙහි ඇති විද්‍යානුකූල හා විද්‍යාත්මක පදනම හඳුනාගැනීම සමාජ ප්‍රතිසංස්කරණයට ඉතා වැදගත් වේ. සමාජ ප්‍රතිසංස්කරණය සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සිංහල දමිළ අලුත් අවුරුද්ද වැනි උත්සවයක් වෙනත් රටක සොයා ගැනීමට නොහැකි තරම්ය.

නොනගතය, ලිප ගිනි මෙළවීම, ආහාර පිසීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම වැනි නැකැත් සියල්ලම කෘෂි  සංස්කෘතියත් සමග බැඳී පැවතුණි. එදා කෘෂි සංස්කෘතිය (agriculture) අද කෘෂි ව්‍යාපාරයක් (agri business) බවට පත්වීමත්  සමග ක්‍රමිකව මෙම හර පද්ධතිවල වටිනාකම අවතක්සේරු වෙමින් පවතින බව දෘශ්‍ය සිදුවීමකි.

මෙම සියලු‍ම නැකැත් අතර රැකීරක්ෂා සඳහා  පිටත් වීමේ නැකතට හිමි වන්නේ ඉහළ අගයකි. කෘෂි ආර්ථිකයක පහස ලද එදා ජන සමාජය සුබ මුහුර්තිය අනුව කුඹුරට හේනට ගොවියා අවුරුද්දේ පිටව යාම, පුණ්‍ය ක්‍රියාවක් ලෙස ද එදා සලකනු ලැබීය. රාහු කාලය එනම් ඉරේ බලපෑම නොලැබෙන වේලාව, කිසිදු කටයුත්තක් සිදු කිරීම නුසුදුසු බවට එදා ගොවියා දැනසිටි කරුණකි. ඒ විද්‍යානුකූල පදනමක් මත දැන සිටියා දැයි අප නොදන්න නමුත් එදා භාවිත දැනුම  ඉතා ඉහළ තැනක  පැවතුණි.

යහපත් අරමුණකින් යුතුව, නැවුම් අදහස් සමග තම ගොවිබිමට යන ගොවියාගේ හදවත් තුළ වාන් දාන ආදරණීය  අපේක්ෂාව, නව බලාපොරොත්තු ඇති කිරීමට සමත් විය. මීට වසර පනහකට පමණ පෙර වාණිජ ආර්ථිකයත් සමඟ රැකී රක්ෂා සඳහා පිටත්ව යන නව නැකතක් අවුරුදු සීට්ටුව ට එනම් ලිතට ඇතුළත් විය.

දින කිහිපයක අවුරුදු නිවාඩුවෙන් පසුව සියලු‍ම රැකියා කරන පිරිස් නියමිත නැකතට රැකී රක්ෂා සඳහා  පිටත්වීම මෙවරද සුපුරුදු පරිදි සිදුවේ.

“2021 අප්‍රේල් මාසයේ 19 වැනි දින පෙරවරු 6.39ට  දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් වීම යෙහෙකි.”‍ ලෙස නක්ෂත්‍රය අනුව අපිට පෙන්වා දෙයි.

අපේ රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ දහ අටකි. එනම් මිලියන 1.8 කි. රටේ ජනගහනය  සමග සැලකීමේදී, සෑම පුද්ගලයන් දොළොස් දෙනෙකුටම එක රාජ්‍ය සේවකයෙකු බැගින්  සිටී. නිදහස් අධ්‍යාපනයේ වරමින් අධ්‍යාපනය ලබා, රාජ්‍ය සේවයට ඇතුළත් වන  රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය සේවකයෝ සෑම මසකම විසිපස් වැනිදාට හෝ හෝ ඊට පෙර මාසික වැටුපක් හා විවිධ  දීමනා ලබමින්   සාපේක්ෂව සුරක්ෂිතව ජීවත් වෙති. මේ සියල්ල සිදුවන්නේ මහජනතාවගේ බදු මුදලින් බව අපි කවුරුත් හොඳින්ම දන්නා කරුණකි. එනිසාවෙන්ම  මීට වඩා මානව ප්‍රේමීය ලෙස රාජ්‍ය සේවය  සිදුකළ යුතු යැයි මම තරයේම විශ්වාස කරමි.

covid 19යෙන් පීඩාවිඳි සමයේ, පෞද්ගලික අංශය, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව, ස්වයංරැකියා කරන පිරිස්, නිදහස් රැකියා කරන පිරිස්, විදේශ රැකියාවල නියුතු වූවන් ඇතුළු සියලු‍ම දෙනා අඩු වැඩි වශයෙන් ආදායම් උත්පාදන ක්‍රියාවලිය තුළ අනාරක්ෂිත වූහ.

සීයයට සීයක්ම ආරක්ෂා වූ එකම කණ්ඩායම රාජ්‍ය සේවයේ නියැළි පිරිසයි. නිදහස් අධ්‍යාපනය ලබා දී කිසිදු පැනයක් නොවිමසා මාසික වැටුප් හා දීමනා ලබා දී රාජ්‍ය සේවය පවත්වාගෙන යනු ලබන ආදරණීය මහජනතාවට එකම අරමුණක් සහිතව එකම ප්‍රාර්ථනයකින් යුක්තව, භක්තිමත්ව සතුටෙන් රැකී රක්ෂා සඳහා මෙම වසරේ පිටත් වීමට සෑම රාජ්‍ය සේවකයකුටම හැකිනම් එය මේ රටේ සංවර්ධනයට සෘජුව සහ වක්‍රව බලපාන දැවැන්ත කාරණයක් වනු නියතය.

හිමිකම්, අයිතිවාසිකම්, වරප්‍රසාද, අනුග්‍රහ සහ ප්‍රතිලාභ ලබන රාජ්‍ය නිලධාරියා සහ රාජ්‍ය සේවකයා රටේ නිෂ්පාදන ආර්ථිකයට ඍජුව හෝ වක්‍රව දායක විය යුතුය. නොඑසේ නම් අවම වශයෙන් නිෂ්පාදන ආර්ථිකයේ නියැලෙන පිරිස් වෙත තම සේවය කාර්යක්ෂමව හා ඵලදායීව සිදුකළ යුතුය.

අද බොහෝ රාජ්‍ය ආයතනවල මහජන සේවය නිවැරදිව, විධිමත්ව, කාර්යක්ෂමව හා ඵලදායීව සිදුවන්නේ ද යන්න ප්‍රශ්නගතය. වැටුපකුත් ලබමින් පිනක් ඉටුකරගත හැකි පුණ්‍යභූමියක් ලෙස රාජ්‍ය සේවය හැඳින්විය හැකිය. එය සැවොම එසේම දැකිය යුතුය. තමන් රාජ්‍ය සේවයේ රැකියාවක් නොමැතිව කුලී වැඩ කරන තත්ත්වයක පසු වූයේ නම් මුහුණ දීමට  සිදුවන විවිධ වූ ගැටලු‍ හා අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් සිහිපත් කරගත යුතුය. හරිහම්බ කරන දේ වගතුවක් ඇතිවන්නේ ඒ සඳහා අවංකව වෙහෙස මහන්සි වී හරි හම්බ කළොත් බව ජනප්‍රවාදයේ  කියවේ. 

පැරැන්නන් මේ දේවල් පවසා ඇත්තේ කටකහනවට නොවේ. රාජ්‍ය සේවයේ රැකියාවක් කිරීමේදී තමන්ගේ සුවපහසුව, සැපපහසුව පමණක් පිළිබඳව සැලකීම යුක්ති යුක්ත නොවේ. ඒ මන්ද යත් රාජ්‍ය සේවකයාගේ -රාජ්‍ය නිලධාරියාගේ වැටුප් ගෙවන්නේ සුවපහසුවෙන් හා සැප පහසුවෙන් ජීවත් වන පිරිස් පමණක් නොවන නිසාය.

තම වැටුප අතට ලැබෙන සෑම රාජ්‍ය සේවකයකුම, සෑම රාජ්‍ය නිලධාරියකුම වැටුප ලබන දිනට තමන්ගෙන්ම අසා ගත යුතු පැනයක් තිබේ. එනම් ‘‘මම වැටුපට ණයද? වැටුප මට ණය ද”‍ යන්නයි. තමන් වැටුපට නොව වැටුප තමන්ට ණය වන තරමට තම සේවය සිදු කිරීමට සෑම රාජ්‍ය සේවකයකුම, සෑම රාජ්‍ය නිලධාරියෙකුම සපථ කළ යුතුයි. එය තම තමන්ගේ හෘද සාක්ෂියට එකඟව සිද්ධ කළ යුතුයි. ඊට ප්‍රධාන හේතුව අපේ රටේ රාජ්‍ය සේවය අනුව යම් රාජ්‍ය සේවකයෙකුට, යම් රාජ්‍ය නිලධාරියෙකුට වයස අවුරුදු 60 වන තුරු වැටුප ලැබී අවුරුදු 60 න් පසු විශ්‍රාම ගොස් මියයන තෙක්ම විශ්‍රාම වැටුප ලැබේ.

තමන් මියගිය පසු යැපෙන  මට්ටමේ දරුවන්ට ද ගෙවීම්  ලැබේ. තමන් කරන සේවයට පමණක් නොව නොපෙනෙන අනාගතයට ද  මහජනතාව වැටුප් ගෙවන බව සැවොම සිහි තබා ගත යුතු කාරණයක්.

එනිසාවෙන්ම මෙම වසරේ රැකී රක්ෂා සඳහා පිටත්ව යන මොහොතේ රාජ්‍ය සේවකයන්ගේ, රාජ්‍ය නිලධාරියන්ගේ ප්‍රාර්ථනය, මනුෂ්‍යත්වයේ නාමයෙන් ප්‍රතිඵල දායක විය යුතුය.

‘‘මම අද මගේ නිවසින් පිටත් වන්නේ මා, මගේ පවුල, මගේ දරුවන් නඩත්තු කරන එමෙන්ම මගෙන් කිසිවක් නොඅසාම මට මාසික වේතනයක් ගෙවන ආදරණීය මහජනතාවට සේවය කිරීම සඳහායි. මම මගේ හෘද සාක්ෂියට එකඟව, විනිවිදභාවයෙන් යුතුව, කාර්යක්ෂමව, ඵලදායීව, ආදරණීයව, සුන්දරව මම මගේ සේවය සුවහසක්  මිනිසුන් වෙනුවෙන්  ඉටුකිරීමට හදවත පිරි සතුටින් රැකියාව සඳහා පිටත්ව යමි.

ඊළඟ වසර දක්වාම මෙම යහපත් සිතිවිලි පෙරදැරි කරගෙන මම මගේ රැකියාවට සෑම දිනකම පිටව යමි. ඒ ධනාත්මක සිතිවිලි මා ප්‍රමෝදයට ලක් කරනු ඇත. ඒ නිසාවෙන්ම මගේ සේවාලාභීන් ප්‍රමෝදයට පත් වනු ඇත. මාගේ කාර්යාලයේ සහෝදර නිලධාරීන් ද ආයතන ප්‍රධානීන්ද ප්‍රමෝදයට පත්වනු ඇත. මේ මාතෘ භූමිය මේ පින්බර දේශය ගොඩනැගීම සඳහා මාගේ යහ සිතිවිලිද සෘජුව  හෝ වක්‍රව හේතු සාධක වනු ඇත. යථොක්ත සිතුවිලි ඔබට ශක්තියක් වනු ඇත.

ඔබ වෙනස් වන්න. වෙනස්ව සිතන්න. මේ ස්වභාව ධර්මය, විශ්ව ශක්තිය ඔබ රැක ගනු ඇත. ගෝලීයකරණය, විවෘත ආර්ථික ප්‍රතිපත්ති, තාක්ෂණය ආදී සියල්ල පරිසර සාධකවලට දෙවෙනි බව ඔප්පු වී හමාරය. අපි සැවොම පරිසර සත්ත්වයන් වෙමු. පරිසර නියමයන් හරිම සරලය. සුන්දරය.

මහපොළොවට, සතා සිවුපාවාට, ඇළට, දොළට, ගහට, වැලට ආදරය කරන ආදරණීය මිනිසකු වන්න අපි අදිටන් කර ගනිමු. පරිසර සත්වයකු වන රාජ්‍ය සේවකයන් ද, රාජ්‍ය නිලධාරීන් ද මෙම වසරේ තම රැකී රක්ෂා සඳහා පිටත් වීමේ දී යහ සිතිවිලි සමඟ ඒකාත්මික වීම වෙනුවෙන් මෙම සටහන ආදරණීයව තබමි.

හිතායු! සුඛායු! දිඝායු!
------------------
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් - අනුෂා ගෝකුල ප්‍රනාන්දු

(***)