ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ණය පහසුකම ලබා ගැනීම වෙනුවෙන් එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිකර ගැනීම සඳහා අප විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු කාරණා 11 ක් එම ආයතනය ඉදිරිපත් කළේය. මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම එම කොන්දේසි අතර එකකි.
එහිදී චීනයේ සහ ඉන්දියාවේ එකඟතාව අත්‍යවශ්‍ය වේ. එහෙත් මේ දක්වා එම රටවල් දෙක සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත් අප විසින් ඉටු කරනු ලැබිය යුතු තවත් කොන්දේසි තිබෙන බව අමතක නොකළ යුතුය.
මේ අර්බුදය මධ්‍යයේ ආර්ථික කටයුතු හැසිරවීමේ දී අනුගමනය කරන ලද ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වූයේ ඉල්ලුම පහළ අගයකට ගෙන ඒමය. ආනයන පාලනය හරහා එසේ ඉල්ලුම සීමා කර තිබේ. එම ක්‍රියාමාර්ගය නිසා යම් ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇත. අර්බුදය උද්ගතවීමට පෙර වාර්ෂිකව ගෙවනු ලැබූ ණය පොලි වාරික ගෙවීම මේ වන විට නතර කර ඇති බැවින් එම මුදල් යොදවමින් ඉන්ධන, ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වමින් ආර්ථිකය පවත්වා ගෙන යනු ලැබේ. මේ ගමන් මාර්ගයේම ඉදිරියටත් යෑමට සිදු වනු ඇති අතර එය පහසු මගක් නොවේ. මන්ද, 2023 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා වසරක කාලයක් සැපිරීමත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල මුදල් ආයෝජනය කළ ණය හිමියන් නැවත එම මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට තෙරපුමක් ඇති කිරීමට ඉඩ ඇති නිසාය. මේ අනුව කිව හැක්කේ ඉදිරි කාලය ඉතාම අභියෝගාත්මක වන බවය.
රට අභ්‍යන්තරයේ දේශපාලන ස්ථාවරභාවය ගොඩ නගා ගැනීම ද වැදගත් වේ. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ද අවධාරණය කරනු ලැබූවකි. කෙසේවෙතත් දැනට රටේ තිබෙන්නේ දේශපාලන අස්ථාවරභාවයකි. යම් හෙයකින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ඉක්මනින් ලබා ගැනීමට හැකි වුවහොත් ඉන්පසු අපට ණය ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර ඒ සඳහා රටේ දේශපාලන ස්ථාවරභාවයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ණය පහසුකම ලැබුණ ද එමගින් රටේ සියලු අර්බුද නිරාකරණය නොවන බව කිව යුතුය. එම ආයතනයෙන් මෙරටට ලැබෙන්නේ තවත් ණයක් වන අතර එය අප ගෙවිය යුතුය.
අප මේ දක්වා ආර්ථිකය මෙහෙයවන ලද්දේ දෙකොන පත්තු වෙන විලක්කුවක් හා සමානවය. අභ්‍යන්තර ආර්ථික කටයුතුවලදී රාජ්‍ය ආදායම් ඉක්මවමින් වියදම් සිදු කෙරිණි. බාහිර අංශයේදී අපනයනවලින් උපයන ඩොලර් ප්‍රමාණයට වැඩි අගයකින් යුත් භාණ්ඩ රටට ආනයනය කළේය.
ඒ අනුව, මෙරට ආර්ථිකයෙන් සියයට 40 ක පමණ පංගුවක් නඩත්තු කරන ලද්දේ නැවෙන් කටට ප්‍රතිපත්තියෙනි. එසේම විදේශ සංචිත තර කර ගනු ලැබුවේ විදේශ ණයවලිනි. ආනයන අපනයන වෙළෙඳ පරතරය පියවා ගනු ලැබුවේ විදේශ සංචිතවල තිබූ විදේශ ණය වලිනි.
ආර්ථිකයේ උද්ගතව තිබෙන මූලික ප්‍රශ්නයට ආමන්ත්‍රණය නොකර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 ක් තරම් ඉතා අඩු මුදලෙන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකිය. එම ණය පහසුකම ලැබෙන්නේ ද වාරික වශයෙනි.
විදේශ ණය නොගෙවා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහාත් කර්මාන්ත අංශයට අවැසි අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහාත් ඒ ඔස්සේ ආර්ථිකය යම් පමණකට පණ ගැන්වීම වෙනුවෙන් අපට 2023 වසරේ දී ඩොලර් බිලියන 12 ක මුදලක්වත් අවශ්‍ය වේ.
මේ වන විට මෙරට මුළු විදේශ ණයවල වටිනාකම ඩොලර් බිලියන 65 ඉක්මවා තිබෙන බව ප්‍රකාශ වේ. ඒ සම්බන්ධ නිල දත්ත නොමැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ද ප්‍රකාශ කරනු ලැබ තිබේ. ඩොලර් බිලියන 85 ක් තරම් වන විශාල විදේශ ණය මුදලක් ගෙවීමට තිබෙන බව ද පැවසේ.
මේ සන්දර්භයේ වඩාත් වැදගත් වන්නේ රට මෙතෙක් පැමිණි ආර්ථික ගමන් මග වෙනසකට ලක් කිරීමය. ඇතැම් දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් මෙරට ආර්ථිකයේ විශාල මුදලක් අවභාවිත කරනු ලැබ ඇති බව අපි දනිමු. එම මුදල් ප්‍රමාණය නැවත ආර්ථිකයට ගෙන ඒමත් අත්‍යවශ්‍ය වේ. එසේම ඉදිරියේ දී එපරිදි රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා නැති කිරීමට ද පියවර ගත යුතුය.
නව ආදායම් ප්‍රවේශ අපි සොයා ගත යුතු වෙමු. සංචාරක කර්මාන්තයෙන් විදේශ ප්‍රේෂණවලින් ඇඟලුම් කර්මාන්තයෙන් ඔබ්බට ගොස් අපනයන ආදායම් සෙවීමට උත්සුක විය යුතුය. වියට්නාමය, බංග්ලාදේශය, කාම්බෝජියාව වැනි ආසියාවේ ඉදිරියට ඇදෙන ආර්ථික සහිත රටවල ප්‍රවේශය වී තිබෙන්නේ ගෝලීය අගය දාමය (Global value chains) ට සම්බන්ධ වීමය. එහි අර්ථය නම්, යම් භාණ්ඩයක් තනි රටක නිෂ්පාදනය කරනවා වෙනුවට එහි කොටස් නිෂ්පාදනයට සහ අවැසි අමුද්‍රව්‍ය සැපයීමට දායක වෙමින් තවත් රටවල් ගණනාවක් එකී නිෂ්පාදන ක්‍රියාවලියට සබම්න්ධ වී ආදායම් ඉපැයීමය. එබැවින් ශ්‍රී ලංකාව ද මෙම ගෝලීය අගය දාමයට එකතු විය යුතුය. ඊට අවැසි තාක්ෂණය අප සතුව නොමැති නම්, එය ලබා ගැනීම පහසු වන ආකාරයට දේශීය ව්‍යවසායකයා සහ විදේශීය ආයෝජකයා අතර සම්බන්ධතාව ගොඩ නැගිය යුතුය.
මේ දේවල් එක රැයින් කළ නොහැකිය. විදේශ ආයෝජකයන් රටට ගෙන්වා ගැනීමට සුදුසු පරිසරය ඇති කළ යුතු වේ. එහිලා විශ්වාසය, තමන්ගේ ආයෝජනය සුරක්ෂිත ද යන සහතිකය ඉතා ඉක්මනින් ව්‍යාපාර ආරම්භ කළ හැකි ප්‍රතිපත්ති රාමු ආදියෙන් ආයෝජක පාර්ශව සෑහීමකට පත් විය යුතුය. වංචාව සහ අල්ලසින් තොරව ව්‍යාපාර කළ හැකි පරිසරය ගොඩ නැගීම ද එහිදී අත්‍යවශ්‍ය වේ. මේ දේවල් නොකර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 ක මුදල ලැබුණු පසු රට නැවත සුරපුරයක් වනු ඇතැයි කවුරුන් හෝ සිතන්නේ නම් එය මිථ්‍යාවකි.
ෆිච් රේටින් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක් මගින් ශ්‍රී ලංකාවේ බැංකු දහයක් ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළා තිබේ. එම ආයතනය 2005 වසරේ සිට ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළනු ලැබූ විට මෙරට බලධාරීන් කළේ එම ආයතනය විවේචනය කිරීමය. පණිවුඩකරුට පහර දුන්නා මිස අපි එම පණිවුඩය නොගත්තෙමු. මෙපරිදි බැංකු ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළීමට නිමිත්ත වී තිබෙන්නේ බැංකුවල අය කර ගත නොහැකි ණය (Non-performing loans)වැඩිවෙමින් තිබීමය.
සාමාන්‍ය ව්‍යාපාරයක මෙන් බැංකුවක ශක්තිය ලාභය මත පමණක්ම රඳා නොපවතී. එනම්, බැංකු ලාභ ලැබූ පමණින් අපට ශක්තිමත් බැංකු පද්ධතියක් තිබෙන්නේය යන නිගමනයට එළැඹිය නොහැකිය. බැංකු පද්ධතියක ශක්තිය පෙන්වීමට ලාභය සේම ද්‍රවශීලතාව අතින් ඉහළ තැනක පසුවීමත් වැදගත් වේ. එහෙත් මේ වන විට මෙරට බැංකු පද්ධතියේ ද්‍රවශීලතාව ඉතාම පහළ අගයක පවතී.
රටක මුල්‍ය ක්ෂේත්‍රයේ හදවත වන්නේ බැංකු පද්ධතියයි. එම සන්දර්භයේ බැංකු පද්ධතියේ උද්ගතව ඇති මේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කළ යුතුය.
අධිඋද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් මහ බැංකුව කළේ පොලි අනුපාත ඉහළ දමමින් ජනතාවගේ ක්‍රය ශක්තිය බැංකු පද්ධතිය වෙත ඇද ගැනීමකි. එනම්, මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව මරා දමමින් උද්ධමනය පාලනය කිරීමේ පිළිවෙතයි. එමගින් වක්‍රව බැංකුවලට බලපෑමක් සිදු වූ බව මගේ නිරීක්ෂණයයි. මේ පසුබිමේ බැංකු පද්ධතිය සුරක්ෂිත කිරීමට අදාළ පියවර ගත යුතු අතර එහිදී ද වැදගත් වන්නේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමය. සමස්ත පොලි අනුපාත ඉහළ නැංවීම වෙනුවට මහ බැංකුව කළ යුතුව තිබුණේ ඉදිකිරීම්, කර්මාන්ත, නව ව්‍යාපාර ආදී අංශ ධෛර්යවත් කරන ආකාරයට පොලි අනුපාත වැඩි කිරීමය. එසේ විණි නම් ආර්ථිකය යම්තාක් දුරකට හෝ ඉදිරියට ගත හැකිව තිබිණි.
2019 වසරේදී ආර්ථිකය කඩාවැටීම ආරම්භ වූ තැන සිට එය නගා සිටුවීම සඳහා මුල්‍ය හෝ පිස්කල් හෝ ප්‍රතිපත්තිවල සුවිශේෂ වෙනස්කම් ඇති කළ බවක් අපි නුදුටුවෙමු. පවත්නා ක්‍රමය වෙනස් කර ආර්ථිකය නවමු දිශාවකට යොමු කිරීමට අදාළ ප්‍රතිපත්ති ගත්තේ නැත. වැඩි වශයෙන් දැකගන්නට ලැබුණේ මාධ්‍ය මගින් කරන ලද හුදු ප්‍රකාශ පමණි. ප්‍රකාශවලින් පමණක් ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බව අප තේරුම් ගත යුතුය.
මේ වන විටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රපාතයට ගමන් ගනිමින් සිටියි. එය නැවැත්වීමට අදාළ පියවර ගන්නා බවක් ද නොපෙනේ. එසේම ආර්ථිකයේ මේ ආකාරයේ අර්බුදයක් උද්ගත වීමට බලපෑ හේතු පිළිබඳ ගැඹුරින් කතා කරන බවක් ද නොපෙනේ. මේ සන්දර්භයේ 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේදී තත්ත්වය තවත් දුෂ්කර වීම අපේක්ෂා කළ හැකිය. දේශපාලන අස්ථාවරභාවය තවදුරටත් පැවතිය හොත් ආර්ථික අස්ථාවරභවය තවත් වර්ධනය වනු ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ අධ්‍යයන පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය
ජනක් කුමාරසිංහ
සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ