නිදන්නටවත් නිදහසක් නැති සත්තු


(අකිල බද්දෙවිතාන)

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සැප්තැම්බරයේ සිට රාත්‍රී 7ත් 10ත් අතර කාලයේ විවෘතව තැබීමට කටයුතු යොදා ඇත.

ආසියාවේ පැරණිම සත්වෝද්‍යානය වන දෙහිවල සත්වෝද්‍යානය දේශිය හා විදේශිය සතුන් රැසකින් සමන්විත ය. දෙහිවල සත්වෝද්‍යානය වඩාත් ප්‍රචලිත වන්නේ කොළඹ සත්වෝද්‍යානය ලෙසිනි.

දැනට සත්වෝද්‍යානය තුළ ඉදිකරමින් පවතින නව මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නිමකිරීමෙන් පසු රාත්‍රී සංචාර ආරම්භ කිරීමටත් ඒ සඳහා හඬ නොනැගෙන සංචාරක විදුලි රථ භාවිත කිරීමටත් සූදානම් වේ.

වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අදහසක් අනුව සංචාරකයින්ගේ විනෝදය පිණිස මෙම නව රාත්‍රී සංචාර ක්‍රමවේදය හඳුන්වාදී ඇත.

සාමාන්‍යයෙන් දිවා කාලයේ පෙරවරු 8.30 සිට සවස 6 දක්වා සත්වෝද්‍යානය විවෘතව තැබුණු අතර නව ක්‍රමවේදය අනුව තෝරාගත් සත්ත්ව ගාල් කිහිපයක් රාත්‍රී කාලයේ දී ආලෝකයෙන් තොර වීදි ඔස්සේ යමින් නැරඹීමේ අවස්ථාව සංචාරකයින්ට සලසා දී තිබේ.

රාත්‍රී කාලයේ සතුන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමට මෙමගින් සංචාරකයින්ට අවකාශ සැලසේ. විශේෂයෙන්ම බොහෝ සතුන් රාත්‍රී කාලයේ දී නින්දට හුරුවී සිටින හෙයින් රාත්‍රී කාලයේ විශාල විදුලි ආලෝක ධාරා එල්ලවීම ඔවුන්ට බාධා ඇති වීමට ඉඩ ඇති බැවින් අඳුරු වීදි ඔස්සේ හඬ නොනැගෙන රථ භාවිත කිරීමට සත්වෝද්‍යාන බලධාරින්ගේ අවධානය යොමු වී ඇත.

නමුත් සත්වෝද්‍යානය රාත්‍රී 10තෙක් විවෘතව තැබීම ප්‍රායෝගික නොවන බව පරිසරවේදීහු පෙන්වා දෙති. බොහෝ සතුන් සවස් කාලය වනවිට සිය කූඩු වෙත ඇතුළුවන බවත් රාත්‍රී කාලයේ සත්වෝද්‍යානය විවෘතව තැබීම මගින් සතුන්ට සිය නිදහස අහිමි වන බවත් ඔවුහු පෙන්වා දෙති. රජයේ මෙම ක්‍රියාමාර්ගය ලාභය අපේක්ෂාවෙන් පමණක් සිදුකරන්නක් බැවින් සත්ත්ව හිංසාව  නොකර මෙම ක්‍රියාමාර්ගය නවතා දමන ලෙසද පරිසර සංවිධාන ඉල්ලා සිටිති.

නමුත් සත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කරනුයේ මෙමගින් සතුන්ට බාධාවක් ඇති නොවන බවත් රාත්‍රී කාලයේ සත්වෝද්‍යානය විවෘතව තැබෙනුයේ තෝරාගත් සත්ත්ව කොට්ඨාස කිහිපයකගේ රාත්‍රී හැසිරීම් රටා නිරීක්ෂණය සඳහා පමණක් බවත් ය. විශේෂයෙන්ම අධික ආලෝක ධාරා එල්ල නොකර අඳුරේ ගමන් කළ හැකි පරිදි වීදි සකස් කරමින් පවතින බවද සත්වෝද්‍යාන බලධාරීහු කියති.

රාත්‍රී සවාරි සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ ද හඬ නොනැගෙන රථ විශේෂයක් බැවින් එමගින් සතුන්ට බාධාවක් ඇති නොවන බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.

ක්ෂීරපායින් විශේෂ 72 ක්ද, කුරුළු විශේෂයන් 65 ක්ද, උරග විශේෂයන් 31 ක්ද, මත්ස්‍ය විශේෂයන් 89 ක්ද, සමනල විශේෂයන් 30 ක්ද, හා කුලයන් 3 කට අයත් උභය ජීවින් 2500-3000 අතර ප්‍රමාණයන් දෙහිවල සත්වෝද්‍යානය තුළ දී දැක ගත හැකිය. අභිජනනය සඳහා නිදහස් කුරුළු කොළනිය වෙත පැමිණෙන කුරුල්ලන්ගේ වෙනස් වීම මත දෙහිවල දී දැක ගත හැකි සතුන් ප්‍රමාණය වෙනස් වේ. එසේම හරිතමය පරිසරය සංචාරක ආකර්ෂනය කරවන අතර දුර්ලභ හා වඳවී යාමේ තර්ජනයට ලක් වු සතුන් අභිජනන මධ්‍යස්ථානයක් ලෙසද එය හඳුනාගත හැකිය.

වාර්ෂිකව මිලියන 1.5 වන සංචාරකයන් ප්‍රමාණයක් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන බව එහි දත්ත වාර්තා පෙන්වා දෙයි. අධ්‍යපන අවශ්‍යතා වෙනුවෙන් 2000කට අධික තනි හා කණ්ඩායම් වශයෙන් පැමිණෙන පාසල් සිසුන් හා විශ්ව විද්‍යාල සිසුන් ද වෙති.

දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති තුළින් අනාගත දෙහිවල සත්වෝද්‍යානය සංචාරකයින් හට අපුර්වතම අත්දැකීමක් ලබා දෙනු ඇතැයි එහි බලධාරීහු පෙන්වා දෙති.