පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදා නොපැවැත්වෙන බව ඉතා පැහැදිලිය. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබූ පෙත්සම් විභාගයක් මැයි 11 වැනිදා ද තවත් විභාගයක් මැයි මාසයේ 22 වැනිදාද පැවැත්වීමට නියමිතය. එහෙයින් ඊට පෙර ඒ ගැන කතා කිරීමද අර්ථයක් නැති දෙයකි.
එහෙයින් දෝ රට පුරා රැස්වීම් පවත්වමින් සිටි සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය මේ වන විට ඔවුන්ගේ රැස්වීම්ද අඩුකොට ඇත.
එහෙත් දැනට ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්මත වුවහොත් එම රැස්වීම්ද පැවැත්විය හැකිද යන්න සැක සහිතය. මන්දයත් එම කෙටුම්පත කියවන විට ආණ්ඩුවට එරෙහි කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හෝ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම හෝ කළ හැකි දැයි සැක සිතෙන හෙයිනි. එහි බොහෝ වගන්ති එතරම්ම අපැහැදිලිය.
මේ වන විට මෙම කෙටුම්පතට දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් විරෝධතා එල්ල වී ඇත්තේ විශේෂයෙන්ම මෙම පනතේ ඇති අපැහැදිලිතාව හා එම අපැහැදිලිතාව ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට මග පාදනු ඇතැයි යන පදනමිනි. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල්) හා යුරෝපා සංගමය මෙසේ විරෝධය හෝ සැකය පළ කොට ඇති විදේශීය සංවිධාන අතර වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම පනත් කෙටුම්පත අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කොට කෙටුම්පත් කොට නැතැයි චෝදනා කරමින් එසේ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් පසු එය සම්මත කරන ලෙස ඉල්ලා ඇත. ජනතාව හිරිහැරයට පත් කිරීමට මෙම යෝජිත පනත යොදා ගත හැකි යැයි ද එහෙයින් එමගින් ජනතාව වහලුන් බවට පත් වනු ඇතැයි ද කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා පසුගිය 3 වැනිදා ප්‍රකාශ කළේය.
යම් ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් කළ හැකි අරමුණු පහක් මෙම පනත් කෙටුම්පතේ දක්වා තිබේ. (අ) මහජනතාව හෝ එහි යම් කොටසක් බිය ගැන්වීම (ආ) යම් ක්‍රියාවක් කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් යොමු කිරීම, (ඇ) එවැනි යම් ආණ්ඩුවක් විසින් කටයුතු ඉටු කිරීම නීති විරෝධී ලෙස වැළැක්වීම (ඈ) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම හෝ එහි ස්වෛරීභාවය කඩ කිරීම, (ඉ) යුද්ධයක් සම්බන්ධ ප්‍රචාරය කිරීමේ හෝ වෙනස් කොට සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් සංස්ථාපනය වන ජාතික, ජනවාර්ගික හෝ ආගමික වෛරීභාවය අධිවාචනය කිරීම එම අරමුණු පහයි. (මේ එම පනත් කෙටුම්පතේ ඇති වචනයි).
ඉන් පසුව එම අරමුණුවලින් යුතුව අසුවල් අසුවල් කටයුතු කිරීම ත්‍රස්තවාදී වරදක් වේ යැයි එහි විස්තර කොට ඇත. මේවායින් බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ ඉහතින් දක්වා ඇති “යම් ක්‍රියාවක් කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් යොමු කිරීමේ” අරමුණ සම්බන්ධයෙනි.
යමක් කරන ලෙසට හෝ නොකරන ලෙසට සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස ආණ්ඩුව බලහත්කාරයෙන් යොමු කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ‘‘නීති විරෝධී ලෙස’’ යමක් කරන්නට ආණ්ඩුව යොමු කිරීම යන්න තේරුම් ගත හැකිය. එනම් පවතින නීතියක් උල්ලංඝනය කරමින් ආණ්ඩුවට බල කිරීමයි. එහෙත් ‘‘සාවද්‍ය ලෙස’’ ආණ්ඩුව යමක් කරන ලෙසට බලහත්කාරයෙන් යොමු කිරීම යන්නෙන් මෙම කෙටුම්පතේ සම්පාදකයන් අදහස් කළේ කුමක්ද යන්න පැහැදිලි නැත.
මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමකදී මෙහි සඳහන් සාවද්‍ය බව හා බලහත්කාරය තීරණය කරන්නෝ කවරහුද? මෙම අරමුණෙන් යුතුව පුද්ගලයකු මෙම කෙටුම්පතේ සඳහන් ක්‍රියාවක් කිරීමෙන් ඔහු ත්‍රස්තවාදී වරදක් කළ බවට පදනම් විරහිතව චෝදනා කරමින් පොලිසිය හෝ හමුදාව හෝ ඔහු අත්අඩංගුවට ගතහොත් ඔහුට එරෙහිව රඳවා ගැනීමේ නියෝගයක් පැනවිය හැකිය. ඉන්පසු නඩු විභාගයකදී එවැනි සාවද්‍ය ලෙස බලහත්කාරී අරමුණක් නොතිබුණේ යැයි ඔහු නිදහස් විය හැකිය. එහෙත් ඒ වන විට ඔහු ඇතැම් විට වසරක් හෝ ඊට වඩා දීර්ඝ කාලයක් වුවද රඳවා ගනු ලැබ හෝ බන්ධනාගාර ගතව සිටිය හැකිය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වෘත්තීය සමිති විරෝධය පළ කරන්නේ ඉහත කී අරමුණකින් යුතුව ‘‘යම් අත්‍යවශ්‍ය සේවා හෝ සැපයීම් සමඟ සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බරපතළ බාධා ඇති කිරීම’’ ද ත්‍රස්තවාදී වරදක් වන හෙයිනි. ඔවුන් තර්ක කරන්නේ යමක් කරන්නට හෝ නොකරන්නට ආණ්ඩුවට බල කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් මෙම වගන්තිය යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකෙන්නට ඉඩ ඇති බවය.
ඒ බව ඔප්පු වුවහොත් මෙම පනත යටතේ එම වරද කළ පුද්ගලයාට විසි වසරක් දක්වා සිරදඬුවම්ද රුපියල් දස ලක්ෂයක් දක්වා වූ දඩයක්ද පැනවිය හැකිය. එසේම ඔහුගේ දේපළ ද රාජසන්තක කරනු ලැබිය හැකිය.
‘‘ජනතාවගෙන් ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් හෝ ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදුකිරීමට ඒ සඳහා සූදානම් වීමට හෝ පෙළඹවීමට ඔවුන් ඍජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වූ හෝ පළ කිරීමට කටයුතු සලසන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නාවූ හෝ සංඥා හෝ දෘශ්‍ය නිරූපණය සිදු කරන්නාවූ... තැනැත්තකුද මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන්නේය’’යනුවෙන්ද මෙහි සඳහන් වේ. ඉන් අනතුරුව එම වගන්තිය ප්‍රධාන ප්‍රවාහයේ හා සමාජ මාධ්‍යයනටද අදාළ බවක්ද කියවේ.
මෙම කොටස මෙරට ජනමාධ්‍ය නිදහසට කෙසේ බලපාන්නේද යන්න විමසා බැලිය යුත්තකි. මන්දයත් දේශපාලන පක්ෂවල හා වෘත්තීය සමිතිවල ප්‍රකාශ ජනමාධ්‍ය ප්‍රවෘත්තිවල ප්‍රධාන අංගයක් වන බැවිනි.
ආණ්ඩුව මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කොට ඇත්තේ දැනට ක්‍රියාත්මක 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවටයි. එවැන්නක් කළ යුතුයැයි ශ්‍රී ලංකාවට කාලයක් තිස්සේ එ.ජා. මානව හිමිකම් කවුන්සිලය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් සංවිධානය හා යුරෝපා සංගමය යන සංවිධාන බල කරමින් සිටී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ත්‍රස්ත විරෝධී පනතක් හඳුන්වා නොදීම ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න ගණනාවක් මුල්කොට ගෙන ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් දෙන ජී.එස්.පී. බදු සහනය අහෝසි කිරීම ගැන සලකා බලන ලෙස පවා 2021 ජූනි මාසයේදී යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් මගින් යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්තිවලින් වැඩි වශයෙන් ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක්වූයේ එම පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට පත්වීම දක්වා වූ කරුණු නොව අත්අඩංගුවට පත්වූ පසු සිදුවන දෑයි. එම පනත යටතේ පුද්ගලයකු වසර ගණනක් නොව දසක ගණනක් වුවද රඳවා තබා ගත හැකිය.
එම පනත යටතේ අත්අඩංගුවට පත්වූවකු වසර 14ක් බන්ධනාගාර ගතව සිට මේ සතිය මුලදී නිදොස්කොට නිදහස් කරනු ලැබීය. ඇතැමුන් වසර 35ක් පමණ රඳවා ගනු ලැබ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවා 2021 දී පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. එසේම එම පනත යටතේ පුද්ගලයකුගෙන් වධ හිංසා කොට හෝ ගන්නා ප්‍රකාශයක් ඔහුට එරෙහි සාක්ෂියක් ලෙස යොදාගත හැකිය.
මෙසේ මෙම පනතින් මානව හිමිකම් උල්ලංඝනය වන හෙයින් එය වෙනස් කරන ලෙසට දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කෙරිණි. ඒ අනුව යහපාලන ආණ්ඩුව නව ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහෙත් විදේශීය බලපෑම් මත එවැනි පනතක් ඉදිරිපත් කිරීම වැරැදියැයි කියමින් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2020 මුලදී එය අවලංගු කළේය. යෝජිත පනතද ඉදිරිපත් කෙරෙන්නේ මූලික වශයෙන් විදේශ බලපෑමටය. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් ඒ ගැන නිහඬය.
විදේශ බලපෑම නිසා ඉදිරිපත් කළේ වුවද ආණ්ඩුව දැන් එමඟින් ආණ්ඩුවට එරෙහි සියලු ක්‍රියාමාර්ග ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නීතිගත කිරීමට උත්සාහ දරන බව පෙනේ. දැන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන යෝජිත පනතටද විරුද්ධ වන්නේ එහෙයිනි. පුද්ගලයකු අත්අඩංගුවට පත්වූ පසු මානව හිමිකම් උල්ලංඝනය අඩුවන අන්දමට නව පනතේ වගන්ති සකස්වීම යහපත් දෙයක් වුවද ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ එහි ඇති නිර්වචන ගැටලු සහගත බව යුරෝපා සංගමයේ මෙරට නියෝජිත ඩෙනිස් ඩයිබ් ඉකොනොමි නෙක්ස්ට් පුවත් වෙබ් අඩවියට පවසා තිබිණි.
ඔහු යහපත් යැයි පවසා ඇත්තේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් පැය 24ක් තුළ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හා මානව හිමිකම් කොමිසමට ඒ බව දැනුම් දීම සති දෙකකට වරක් මහේස්ත්‍රාත්වරයකු රඳවා ගනු ලැබූවකු හමුවී තොරතුරු විමසීම ආදී කරුණුයි.
ශ්‍රී ලංකාවේ දැනට ත්‍රස්තවාදී යැයි කිව හැකි දෙයක් ක්‍රියාත්මක නොවන හෙයින් මෙවැනි පනතක අවශ්‍යතාවක් නැති බව පිරිසක් කියති. තවත් පිරිසක් තර්ක කරන්නේ දැනට නැති වුවද එවැනි අනතුරක් ඉදිරියේදී ඇති විය හැකි හෙයින් එවැනි නීති අවශ්‍ය බවයි. එවැනි නීති තිබුණත් ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට අදාළ විය යුතුයැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවසයි. නව නීතිය ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.
දැනට ඇති ආකාරයට මෙම පනත් කෙටුම්පත සම්මත වීම එය සම්මත කරන්නන්ටම වුවද ඉදිරියේදී අහිතකර ලෙස බලපෑ හැකිය. ඉදිරියේදී ආණ්ඩු වෙනසක් වුවහොත් මෙම පනත එදාට ක්‍රියාත්මක වන්නේ එය සම්මත කළ පිරිසටම එරෙහිවය. එසේම ජී.එස්.පී. බදු සහනය ප්‍රධාන වශයෙන් රඳාපවතින්නේ මෙම කරුණ මතය. වත්මන් තත්ත්වය යටතේ වසරකට ඩොලර් මිලියන 500ක් පමණ බදු සහන අහිමි කර ගැනීම බරපතළ කරුණකි.
අනෙක් අතට ආණ්ඩුවේ යමකු ආණ්ඩුව ගැන කලකිරුණහොත් මෙම පනත යටතේ ඔහුටද අදහස් ප්‍රකාශ කිරීම දුෂ්කර වනු ඇත. සමස්ත කරුණු සලකා බලන කල ආණ්ඩුව මෙම කෙටුම්පත යළි සලකා බැලීම යහපත්ය.
(*** එම්.එස්.එම්. අයුබ්)