නිදහස් රටක් වෙනුවෙන් කරන ප්‍රාර්ථනා බොඳකරනු එපා


අප ගෙවා දමමින් සිටින්නේ නොඇසිය යුතු පුවත් වැඩි වැඩියෙන් ඇසීමට සිදුව ඇති යුගයක්ය. මානවවාදී හැඟීම් කුළුගන්වන, මිනිස් අනුරාගය වඩවන පුවත් වෙනුවට ලේ ගලන අතීතයේ නොවැහැරුණු මතකය අවදි කරන පුවත්වලට අවකාශයේ වැඩි ඉඩක් වෙන්වී තිබේ. ඒ පුවත්වලින් රටේ හෙට දවස සම්බන්ධයෙන් මැවෙන චිත්‍රය කිසිසේත්ම යහපත් නැත.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතාට සහ මහා භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු වන සෙනෙවිරත්න බණ්ඩාර දිවාරත්න යන මහත්වරුන්ට කොමිසමෙන් වහාම ඉල්ලා අස්වන ලෙසට අරගලයේ සන්නද්ධ අංශයේ නායකයා ලෙස හඳුන්වාගත් පුද්ගලයකු විසින් තර්ජනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසන බවය.

තමන්ට කරනු ලැබූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ..පී.පී. පතිරණ මහතා කොම්පඤ්‍ඤවීදිය පොලිසියටත් දිවාරත්න මහතා කඩවත පොලිසියටත් පැමිණිලි කර ඇතැයි ද එකම දිනයේ එකම දුරකථන අංකයකින් මෙම මරණීය තර්ජනය කර ඇතැයිද පොලිසිය පවසන බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

මෙම ප්‍රවෘත්තිය 1987-1989 අඳුරු ශාපලත් යුගය සිහිගැන්වීම නොවැළැක්විය හැකිය. එම යුගය නාඳුනන තුවක්කුකරුවා යටතට මුළු රටක්ම පත්වී තිබූ යුගයක් විය. විරෝධතා දිනවල වෙළඳසැල් වසා දමන ලෙසත් විදුලි පහන් නොදල්වන ලෙසත් පළමුව දැනුම් දුන් අතර එයට අවනත නොවන්නන්ට නාඳුනන තුවක්කුකරුවාගේ ගිනි බටයට බිලිවීමට සිදුවිය. ඝාතනවල, ප්‍රහාරවල වගකීම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බාරගත් අතර එය හැඳින්වූයේ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි දේශපාලන සටනේ සන්නද්ධ අංශය ලෙසයි.

හැට දහසකටත් ආසන්න දූ පුතුන් රටට අහිමි වූ එම සන්නද්ධ අරගලයෙන් රට සියවස් ගණනාවක් ආපස්සට ගියේය. අද රටේ මතුව ඇති ආර්ථික අර්බුදයට සන්නද්ධ අරගලයේ බලපෑම අතිවිශාලය. යළිත් එබඳු දුර්දාන්ත ශාපලත් අඳුරු යුගයකට මේ රට ඇද වැටෙන්නට ඉඩ නොදිය යුතුය.

අරගලයේ සන්නද්ධ අංශයේ නායකයා යැයි පවසමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිදුවීම සරළව ගෙන පහසුවෙන් බැහැර කළ නොහැකිය.

විඳි අනන්තාපරිමාණ දුක් වේදනා නිසා මේ රටේ ජනයා වීදි බැස අරගල කළහ. එහි ප්‍රධාන සටන් මධ්‍යස්ථානය ගාලු මුවදොර විය. සැබැවින්ම එය නිර්පාක්ෂික අරගලයක් විය. තරුණ ජවය එක් කළ සෞන්දර්යාත්මක අරලගයක් විය. ගාලු මුවදොර පිටිය සංස්කෘතික නිකේතනයක් බවට පරිවර්තනය විය. එහෙත් වැඩිකල් නොගොස්ම අරගලය විවිධ ජාවාරම්කාරයන්ගේ ගොදුරක් බවට පත් විය. කුඩුකාරයන්ගේ, ගණිකාවන්ගේ තිප්පොළක් බවට අරගල බිම පත් වූ බව විවිධ වර්ණවලට අයත් දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළහ.

අරමුණක්, විනයක් හා සංවිධානයක් නැති අරගලය ජන සහභාගිත්වයෙන් තුරන්ව අයාලේ ගියේය. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනා පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ අරගලයේ සන්නද්ධ අංශයේ නායකයා තමන් බව පවසමින් ඔවුන් දෙදෙනාට මරණීය තර්ජන එල්ල කළ බවය. අරගලයට පළමු කළු පැල්ලම එක් වූයේ ඉකුත් මැයි 9 වැනිදා සවසය. ඒ මැති ඇමතිවරුන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවාසවලට සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කිරීමෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මහ මගදී තිරශ්චීන ලෙස මරා දැමුවේ ඔහුගේ රැකවලා ද සමගිනි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට මරණීය තර්ජන එල්ල කිරීමේ සිදුවීම එම සංවිධානාත්මක ප්‍රහාරයේ දෙවැනි වටය ආරම්භ වීමක් යැයි සැක මතුවන්නේ නම් එය විමතියට කරුණක් නොවේ. එහෙයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් කළ යුතුය. මෙම …භයානක ගිනි පුපුරු ඉක්මනින් නිවා දැමිය යුතුය.

(***)