නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනය


ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත් දා සිට අද දක්වා වූ කාල පරිච්ඡේදය තුළ රටේ ඇතිවූ සංවර්ධනය පිළිබඳව විවිධ පිරිස් විවිධාකාරයේ මත ඉදිරිපත් කරන බව පෙනේ. විශේෂයෙන් මේ දිනවල “නිදහසින් පසු රටේ සංවර්ධනය” සමහර දේශපාලන පක්ෂවල ප්‍රධාන තේමා පාඨයක් බවට ද පත්වී ඇත. රට තුළ එවැනි අවධානයක් යොමුව තිබෙන අවස්ථාවක මෙම මතය පිළිබඳව විද්වත් සාකච්ඡාවක් පැවැත්වීම වැදගත් වනු ඇත.

බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට නිදහස ලබාදී රටින් ඉවත්ව යන විට පැවැති තත්වය පදනම් කරගෙන මෙම මතවාද පැතිරී ඇති බව හෝ පතුරුවා හරින බව දක්නට ලැබේ. නිදහස ලබා ගන්නා විට රට එක සතයක් හෝ ණය වී නොසිටි බවත් අද ණය ලබාගෙන බංකොලොත් රටක් බවට පත්ව ඇති බවත් සමහරු ප්‍රකාශ කරති. ජපානය, කොරියාව වැනි රටවලට වඩා දියුණු මට්ටමක නිදහස ලබා ගන්නා අවස්ථාවේ ශ්‍රී ලංකාව පැවැති නමුත් එම රටවල් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් දියුණුවක් ඇති වී නැති බවද ඔවුහු පෙන්වා දෙති. රට පාලනය කළ දේශපාලන පක්ෂ අනුගමනය කළ පිළිවෙත් සාර්ථක නොවීම නිසා රට අද ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවද එබැවින් රට පාලනය කළ නායකයන් සහ දේශපාලන පක්ෂ එයට වගකිව යුතු බවද සමහරකුගේ මතය වී ඇත. එවැනි තත්වයක් තුළ නිදහසින් පසු රටේ ආර්ථික ඉතිහාසය තුළ සියඹලා තිබුණේම නැද්ද? යන ප්‍රශ්නය පැන නගී.

නිදහස ලබා ගන්නා විට සතයක්වත් ණය වී නොතිබුණු බව සඳහන් කිරීම රටේ පැවැති තත්ත්වය දැඩි ලෙස විකෘති කිරීමක් බව පෙන්වාදිය යුතුව ඇත. යුරෝපයේ බලවත් රටවල් තුනක් විසින් මුලින්ම මුහුදුබඩ පළාත් යටත් කර ගැනීම මගින් ද පසුව ඉංග්‍රීසීන් විසින් මුළු රටම යටත්කර ගැනීම මගින් ද සිදු කරන ලද ආර්ථික බලපෑම සුළුපටු නොවේ. ඔවුන් මේ රටට පැමිණියේ සහ රට තුළ ආධිපත්‍යය පැතිර වූයේ හුදෙක් රටේ සම්පත් කොල්ලකෑම අරමුණු කරගෙනය. ඔවුහු වසර 450 කට ආසන්න කාලයක් රටේ සම්පත් සූරාකමින් තම මවු රටවලට ගෙන ගියහ. ඉංග්‍රීසීන් මුළු රටම යටත් කර ගැනීමෙන් පසු මහජනතාව සතු ඉඩම් තම ග්‍රහණයට ගෙන ඒවා යොදාගෙන රටේ සම්පත් සූරාකෑම ආරම්භ කරන ලදී. වසර 133 ක පමණ කාලපරිච්ඡේදය තුළ මේ රටේ සම්පත් ඉංග්‍රීසීන්ගේ මවුබිමේ සංවර්ධනය සඳහා සූරා කන ලදී.

සුද්දන් අපට නිදහස ලබාදී මේ රටින් පිටව යනවිට ශ්‍රී ලාංකිකයන්ට ඉතුරු වුයේ සාරය උරා බී ඉතිරි කර ගිය හපය පමණි. එවැනි රටක ශ්‍රී ලාංකිකයන්ගේ සංවර්ධනය සඳහා කිසිවක් ඉතිරි වී තිබුණේ නැත. සුද්දන් හැදූ දුම්රිය මාර්ග පිළිබඳව සමහරු ප්‍රකාශ කරති. ඔවුන් දුම්රිය මාර්ග හැදුවේ තමන්ගේ කෝපි සහ තේ ප්‍රවාහනය කිරීමට මිස රටේ ජනතාව වෙනුවෙන් නොවේ. උඩරට දුම්රිය ස්ථාන ඉදිකර ඇති ආකාරය නිරීක්ෂණය කළ විට ඒ බව පැහැදිලි වනු ඇත.

නිදහස ලබා ගන්නා විට ලෝකය ශ්‍රී ලංකාවේ අන්ත දිළිඳු රටවල් අතරින් එකක් විය. ශ්‍රී ලංකාව දේශපාලන නිදහස ලබා ගත්තද ආර්ථික නිදහසක් ලබා තිබුණේ නැත. රටේ ආර්ථිකය ක්‍රියාත්මක වූයේ ඉංග්‍රීසීන් විසින් හඳුන්වාදෙන ලද මුදල් පාලන ක්‍රමයකිනි. මහ බැංකුවක් පිහිටුවා තිබුණේ නැත. එවකට මුදල් ඇමතිව සිටි ජේ.ආර්. ජයවර්ධන 1950 වර්ෂයේදී මහ බැංකුව පිහිටුවමින් ප්‍රකාශ කළේ එමගින් ආර්ථික නිදහස ලබා ගැනීමට හැකිවූ බවය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විධිමත් අයුරින් සංඛ්‍යා ලේඛන සකස් කිරීම සහ පවත්වාගෙන යෑම ආරම්භ වූයේ ඉන් පසුවය. සමහර දත්ත සකස් කර ඇත්තේ 1959 වර්ෂයේ සිටය. 1959 වර්ෂයේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 140 ක් විය. 2015 වර්ෂයේදී එය ඩොලර් 4059 මට්ටමට පත්වී ඩොලර් 4000 සීමාව ඉක්මවා ගිය අතර ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්විය. දිළිඳු රටක සිට මධ්‍ය ආදායම් ලබන රටක් දක්වා සංවර්ධනය වූ දකුණු ආසියාවේ ප්‍රධාන රටවල් අතර එකම රට වූයේ ශ්‍රී ලංකාවයි. අනෙකුත් දකුණු ආසියාතික රටවලට අත්කරගත නොහැකි වූ ආර්ථිකයක් ශ්‍රී ලංකාවට අත්කර ගැනීමට හැකිවීමෙන් පැහැදිලි වන්නේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක මට්ටමක් වෙත ළඟාවීමට හැකි වී ඇති ආකාරයයි.

නිදහස ලබා ගතවූ කාලපරිච්ඡේදයෙන් සැළකිය යුතු කාලපරිච්ඡේදයක් ශ්‍රී ලංකාව වර්ග කරන ලද්දේ ලොව දිළිඳු රටක් වශයෙන් වුවද මානව සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා විශාල වර්ධනයක් අත්කරගෙන තිබේ. 1952 වර්ෂයේදී උපතේදී ජීවිත අපේක්ෂාව පිරිමි පුද්ගලයකුගේ වසර 57.6 ක් වු අතර ස්ත්‍රියෙකුගේ 55.5 ක් විය. එය 2012 වර්ෂය වන විට වසර 72 ක් සහ 78.6 ක් ලෙස වර්ධනය වී තිබේ. අනෙක් රටවල් හා සංසන්දනය කරන විට ඒ සම්බන්ධයෙන් සැළකිය යුතු ප්‍රගතියක් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති බව පෙනේ.

නිදහස ලබන විට ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ද, නිදහස් සෞඛ්‍ය සේවාවන්ද ආරම්භ කර තිබුණි. එසේ වුවද බොහෝ ප්‍රදේශවල ප්‍රාථමික අධ්‍යාපනය සඳහාවත් පාසල් ආරම්භ වී තිබුණේ නැත. නාගරික ප්‍රදේශවල හැර රෝහල් ඉදිකර තිබුණේ ඉතා කලාතුරකිනි. එසේ වුවද පාසල් අධ්‍යාපනය ලැබීමට නියමිත සියලුම පිරිස්වලට ඉඩ සැලසිය හැකි අයුරින් පාසල් ප්‍රමාණය වර්ධනය වී තිබේ. සෑම කෙනකුටම සෞඛ්‍ය සේවා ලබා ගැනීමට හැකිවන අයුරින් රෝහල් ඉදිවී ඇත.

නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ පැවැතියේ එක විශ්වවිද්‍යාලයකි. අද වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාල 20 ක් පමණ ක්‍රියාත්මක වේ. ඒ හැරෙන්නට පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල ද, වෙනත් රටවල ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලවල අනුබද්ධ ආයතන ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදෙන රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව එකක් වන අතර ඒ හේතුවෙන් රට තුළ අධ්‍යාපන අවස්ථා විශාල ලෙස පුළුල් වී තිබේ.

1953 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම සියයට 69ක් විය. 2020 වන විට එය සියයට 93.6 දක්වා ඉහළ ගොස් තිබේ. එවැනි මට්ටමකට පත්වීමට හැකියාව ලැබී ඇත්තේ ශ්‍රී ලංකාව විසින් නොමිලේ අධ්‍යාපන ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යෑම හේතුවෙනි.

රටේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් වර්ධනය වීම සඳහා ඉවහල් වූයේ ඒ ඒ කාලපරිච්ඡේදවල බලයට පත්වූ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද ආර්ථික සමාජීය සහ දේශපාලන ප්‍රතිපත්තීන් ය. ඉන්දියාව, පාකිස්ථානය, බංගලිදේශය සහ නේපාලය යන දකුණු ආසියාවේ ප්‍රධාන රටවල දේශපාලන අඛණ්ඩතාව පිළිබඳව විවිධාකාරයේ ගැටලු පැන නැගිණි. එසේ වුවද ස්ථාවර දේශපාලන විකාශයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ. නීත්‍යනුකූල සහ විධිමත් ක්‍රම මගින් පමණක් රටේ බල ව්‍යුහය පරිණාමය වීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර එය ආරක්ෂාවීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තහවුරු වී තිබේ.

ගෙවී ගිය වසර 76 ක කාලය තුළ ආර්ථික හා දේශපාලන ක්‍රමයට ස්වභාවික හේතු නිසා මෙන්ම පුද්ගලබද්ධ හේතූන් නිසාද ඇතිවු බලපෑම නොවන්නට ශ්‍රී ලංකාවට මීට වඩා දියුණුවක් අත්කර ගැනීමට ඉඩ ලැබීමට අවස්ථාව තිබූ බව ප්‍රකාශ කළ යුතුව ඇත. තිස් අවුරුදු යුද්ධය භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් ද විනාශ වී යෑම සඳහා ඉඩ සැලසූ අතර සංවර්ධනය බොහෝ දුරට අඩපණ කර දැමීම සඳහා හේතුවිය. ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද 1971 කැරැල්ල සහ 1987-89 කැරැල්ල රටේ විශාල ආර්ථික පසුබැසීමක් සඳහා හේතුවූ බව පෙන්වාදිය යුතුව ඇත. 1971 වර්ෂයේදී රටේ ආර්ථික වර්ධන වේගය සියයට 0.2  දක්වා පහළ වැටුණි. එය නිදහස ලබා ගැනීමෙන් පසු ඒ දක්වා කාලය තුළ වාර්තා වු අඩුම වර්ධන වේගය විය. 1987 වර්ෂයේදී වර්ධන වේගය සියයට 1.5 දක්වා පහළ වැටුණි. 1971 න් පසු වාර්තා වූ පහළම වර්ධන වේගය එය විය. එයින් පැහැදිලි වන්නේ සමහර දේශපාලන පක්ෂවල ක්‍රියාදාමයන් රටේ ආර්ථිකය විනාශ කර දැමීම සඳහා හේතුවී ඇති ආකාරයයි.

ස්වභාවික විපත් ද ලංකාවේ වර්ධනය අඩපණ කිරීමෙහිලා ඉවහල් වූ බව පෙන්වාදිය හැකිය. නිදහස ලබා ගතවූ මුල් කාලයේදී ජල ගැලීම්, නියං, සුළිසුළඟ වැනි ස්වාභාවික ආපදාවන්ට මුහුණදීමට සිදු වුවද රට මුහුණදුන් විශාලතම ස්වාභාවික විපත වූයේ 2004 දෙසැම්බර් මස ඇතිවූ සුනාමි ව්‍යසනයයි. ඉන් අනතුරුව මුළු ලොව සමගම කොවිඩ් ව්‍යසනයට මුහුණදීමට ද ශ්‍රී ලංකාවට සිදුවිය. ඉන් අහිමි වූ ජීවිත ද, මුහුණදීමට සිදුවු ආර්ථික පසුබෑමද අතිවිශාල විය. තවමත් අප විඳිමින් සිටින්නේ කෝවිඩ් ව්‍යසනයේ ප්‍රතිඵල විය හැකිය.

එසේ වුවද ඒ සියල්ල මැද අනෙකුත් බොහෝ රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව භෞතික හා මානව සංවර්ධනය සම්බන්ධයෙන් අතිවිශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ඕනෑම කෙනකුට වටහාගත හැකි දෙයකි.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර