ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් දිනය (04) අදට යෙදී තිබේ. එහි ඉතිහාසය ඇතුළත රට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව අද දින ජාතික නිදහස් දින සමරු උත්සවය පවත්වයි. අර්බුදයේ මූලයන් වෙත ආමන්ත්‍රණය නොකර සැබෑ නිදහස් දින උත්සවයක් පැවැත්විය හැකිද යන්න පිළිබඳ මේ විවේචනාත්මක කතාබහ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමගය.
නිදහස සැමරීම සිදු කෙරෙන්නේ දේශපාලන අවශ්‍යතා මතය. දේශපාලන ප්‍රභූ පන්තියේ දේශපාලන වත් පිළිවෙතක් ලෙසද එය හැඳින්විය හැකිය. 1948 දී නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්තම අර්බුදයට මුහුණ දෙමින් සිටියි. 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමෙන් සිදු වූයේ ආණ්ඩුකරණයට අදාළ තීන්දු තීර්ණ ගැනීමේ බලය දේශීය දේශපාලන ප්‍රභූ පන්තියට හිමි වීමය. 1948 පෙබරවාරි 4 වැනි දිනට පෙර ලංකාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලැබුවේ බ්‍රිතාන්‍යයන් විසිනි. නිදහස පිරිනැමීමෙන් සිදු වූයේ එම කාර්යයෙන් ඔවුන් ඉවත්වීමය.
නිදහස ලැබීම යන්න තවත් දෘෂ්ටි කෝණයකින් බැලිය හැකිය. එනම්, මෙරටට නිදහස ලැබුණු අවධිය හා අද තත්ත්වය සසඳන විට සමාජයේ විශාල පරිවර්තනයක් සිදු ව තිබීමය. එම පරිවර්තන විමසා බැලීම ද වැදගත්ය. එකක් නම්, ජනගහනය ඉහළ ගොස් තිබීමය. 1948 වන විට මෙරට ජනගහනය වාර්තා වූයේ මිලියන 7 ක් වශයෙනි. එහෙත් අද වන විට එම අගය මිලියන 22 දක්වා තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එම ජනගහනයේ ස්වරූපය තවත් ප්‍රශ්නයකි. 1948 වන විට සිටි ජනගහනයෙන් බහුතරය ග්‍රාමීය ජනතාව විය. නාගරික ජනගහනය අවම අගයක පැවතිණි. කෙසේවෙතත් එවකට සාපේක්ෂව මේ වන විට නාගරික ජනගහනය වැඩි වී ඇත. එහි ඇති ප්‍රශ්නය නම්, ග්‍රාමීය ජනයාගේ අවශ්‍යතාවලට සාපේක්ෂව නාගරික ජනයාගේ අවශ්‍යතා ඉහළ මට්ටමක පැවතීමය.
අධ්‍යාපනය ව්‍යාප්ත වී ඇති බැවින් ජනයාගේ අපේක්ෂාද ඉහළ ගොස් තිබේ. නිදහස ලැබූ අවධිය වන විට අධ්‍යාපනය ලැබූ පිරිස සංඛ්‍යාත්මකව අඩු අගයක පැවතියද පසුව එය ක්‍රමයෙන් වර්ධනය වී මේ වන විට ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇත. ඊට සාපේක්ෂව ජනයාගේ බලාපොරොත්තුද ප්‍රසාරණය වී ඇති අතර බොහෝ අයගේ පොදු අපේක්ෂාව වී ඇති බව පෙනෙන්නේ ග්‍රාමීය ජීවිතයෙන් ඉවත් වී නාගරික මැද පන්තියේ ජීවිතයට ඇතුළත්වීමය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ 1948 පැවති සමාජය අද වන විට ප්‍රබල පරිවර්තනයකට බඳුන් වී තිබෙන බවය. එනම්, ජන අවශ්‍යතා වේගයෙන් වර්ධනය වී ඇති බවය. එහෙත් ඊට සාපේක්ෂව එම අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාව වැඩි වී නැත.
නිදහස ලද අවධියේ දී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රශස්ත මට්ටමක පැවතිණි. අවම ආදායම්වලින් මිනිසුන්ට සිය ජීවිත පවත්වාගෙන යෑමේ හැකියාව එවකදී තිබිණි. එසේම විදේශ වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පැවති භාණ්ඩ ගණනාවක් ලංකාව අපනයනය කළේය. තේ, රබර් ඒ අතරින් ප්‍රධාන විය. ඒවායෙන් ඉහළ ආදායමක් ලැබුණෙන් වාසිදායක වෙළෙඳ ශේෂයක් ද පැවතිණි. එහෙත් මේ වන විට රටේ පවතින්නේ එහි අනෙක් පැත්තයි. එනම්, විදේශ වෙළෙඳපොළෙන් ඉපැයීම් දුර්වල වී තිබේ.
සැමරීම යන්නෙන් අදහස් කරන්නේ කාර්යසාධනය ඇගයීමය. නිදහස් සැමරුමක දී සිදු වන්නේ අප සතු බලය හා ශක්තිය පෙන්වීමය. ඒ සඳහා අපට ආඩම්බර විය හැකි දේවල් තිබිය යුතුය. එහෙත් දැන් අපට එපරිදි පෙන්වීමට තරම් ශක්තියක් හා බලයක් නැත. සාමාන්‍ය වහරේ කියැවෙන පරිදි රට දැන් තිබෙන්නේ හොම්බෙන් යන ගමනකය. මෙවැනි සන්දර්භයක අප කළ යුත්තේ උත්සව පවත්වා ආඩම්බර වෙනවා වෙනුවට අපේ අර්බුදය මෙනෙහි කිරීමය. කුමක්ද සිදු වූයේ යන්න ගැන ගැඹුරින් සිතා බැලීමය.
ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්වීමට බලපෑ හේතු ගණනාවක් තිබේ. ලංකාව නිදහස ලද අවධියේ දී මේ පිළිබඳව සාකච්ඡාවක් තිබිණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ විසින් 1955 දී රචනා කරන ලද “ඉදිරි මග” (Way Forward) නමැති කෘතියේ ලංකාව සිටින තත්ත්වය ගැන මනා තක්සේරුවක් ගොඩ නගා තිබේ. එවකදී අදට සාපේක්ෂව රට යහපත් තත්ත්වයක පැවතියද අර්බුදකාරී තත්ත්ව ගණනාවක් පිළිබඳව එමගින් අවධානය යොමු කර තිබේ. ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයට සාපේක්ෂව මිනිසුන්ගේ අවශ්‍යතා ඉහළ යෑම සහ ඒ ඔස්සේ මතු වන පරිසර ප්‍රශ්න ආදී පුළුල් පරාසයක විහිදුණු ප්‍රශ්න ගැන ඔහු එයින් සාකච්ඡා කරයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පරිවර්තනයක් විය යුතුය යන අදහසද එකී කෘතියෙන් ඉදිරිපත් කර තිබේ. නාගරික විශාල ජනගහනයක් නඩත්තු කිරීමට නම්, අපේ ආහාර නිෂ්පාදනය වැඩි කළ යුතුය. එහෙත් අප ඊට අසමත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ ආහාර ද්‍රව්‍ය ආනයනය කෙරේ. මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය නිසි පරිදි නවීකරණය නොවූ නිසා එවැනි තත්ත්වයක් උද්ගතව තිබේ. නවීකරණය යැයි කියමින් අප කළේ විවිධ කෘෂි රසායන වර්ග සහ ට්‍රැක්ටර් වැනි උපකරණ හඳුන්වාදීමය. එමගින් කෘෂි අස්වනු වැඩි වූ බව සැබෑය. කෙසේවෙතත් මෙරට කෘෂිකර්මය අඛණ්ඩව පැවතියේ කුඩා ඉඩම් හිමිකාරීත්වය පදනම් කරගෙනය. එම තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් මහවැලි ව්‍යාපාරය හඳුන්වා දුන්නද එය නිසි පරිදි ක්‍රියාත්මක වූවා යැයි සිතීමට අපහසුය.
විශේෂයෙන් තෙත් කලාපයේ විශාල ඉඩම් ප්‍රතිසංස්කරණයක් කිරීම සඳහා වන අදහසක් පැවතිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1958 දී කුඹුරු පනත ඉදිරිපත් කරන ලදී. සීමිත අරමුණු ප්‍රමාණයක් අරමුණු කළද එය වුවත් නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නැත. ඒවාට බලපෑ හේතු ගණනාවක් තිබෙන අතර ඒවා තරමක් දීර්ඝව සාකච්ඡා කළ යුතු ඒවාද වේ.
ලංකාවේ ආර්ථික දැක්ම වූයේ කුමක්ද යන්න විමසුමට බඳුන් කිරීමද වැදගත්ය. නිදහස ලැබීමෙන් පසු මෙරට පළමු ආණ්ඩුව පිහිටුවූයේ එක්සත් ජාතික පක්ෂය වූ අතර එම පක්ෂයේ ඉහළ පෙළ නායකත්වය සමන්විත වූයේ ඉඩම් හිමි ප්‍රභු පෙළැන්තියෙනි. එවකදී මෙරට ආර්ථිකය රඳා පැවතියේ වතු වැවිලි භෝග මතය. එම ක්‍රමය අඛණ්ඩව පවත්වා ගන්නා අතරවාරයේ වියළි කලාපයේ නව ජනාවාස පිහිටුවමින් වැඩි වන ජනගහනය එම ප්‍රදේශවල පදිංචි කිරීම ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික දැක්ම විය. ඒ අරබයා ගල්ඔය, මහවැලි වැනි ව්‍යාපෘති ද දියත් කරන ලදී.
ඊට වෙනස්ව වාමාංශික දේශපාලනඥයන් යෝජනා කර සිටියේ කාර්මික ආර්ථිකයක් පිළිබඳ අදහසකි. නවීන සමාජයක් ගොඩනැගීමට නම්, කර්මාන්ත ඇති කළ යුතු බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කළ යුතු බවත් ඔවුහු සිතූහ. 1956 දී බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මූලිකව සංස්කෘතික බලවේගයක් ලෙස මතු වූ අතර එයට අනන්‍ය වූ ආර්ථික දැක්මක් නොතිබිණි. එම ආණ්ඩුවේ ආර්ථික දැක්ම සකස් වූයේ වාමාංශක පක්ෂවල අදහස්වලිනි. 1970 දසකයේදී ශ්‍රීලනිපය සහ වාමාංශික පක්ෂ කිට්ටුවෙන් වැඩ කළ අතර එවකදී ලෝකයේ ප්‍රචලිතව පැවතියේ ආනයන ආදේශක ආර්ථික මොඩලයයි. එහි මූලික අර්ථය වූයේ ආනයනය කරන භාණ්ඩ වෙනුවට රට ඇතුළත ආදේශක භාණ්ඩ නිපදවීමය. 1970 දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව එවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ ද සාර්ථක වූයේ නැත.
එජාපය හා ශ්‍රීලනිපය බලය ලබා ගැනීම වෙනුවෙන් මූලිකව ක්‍රියාත්මක කළේ සුබසාධන ක්‍රමයක් පවත්වාගෙන යෑමය. අනුග්‍රාහක-සේවාදායක සබඳතා එනම්, විවිධ අනුග්‍රහ ලබා දී තමන්ට සහයෝගය දක්වන පිරිස් තබා ගැනීමේ ක්‍රමයක් ද පවත්වා ගෙන යන ලදී. මේ තත්ත්ව දෙකෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වියදම් විශාල වශයෙන් ඉහළ ගියේය.
එහෙත් 1977 දී බලයට පත් වූ ආණ්ඩුව වාමාංශිකයන් ද අපේක්ෂා කළ කාර්මීකරණය ඇති කරමින් ආර්ථික දැක්මක් ඇතුළත කටයුතු කිරීමට උත්සාහ ගත්තේය. විශාල සුබසාධන රාජ්‍යයක් නඩත්තු කිරීමට සිදු වූයෙන් එකී උත්සාහය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස එම ආණ්ඩුවට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු විය. ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී සමාජයෙන් එන බලපෑම් නතර කිරීමට ජයවර්ධන ආණ්ඩුව පියවර ගත්තේය. ඒ සඳහා අධිකාරීවාදී බවින් වැඩි ක්‍රමයක් පවත්වාගෙන ගියේය. වැඩවර්ජන මර්දනය කිරීම, විරෝධතාවලට ඉඩ නොදීම සහ මැතිවරණ කල්දැමීම යනාදිය එහි ප්‍රමුඛ කොටස් විය. එම ආණ්ඩුවට අවශ්‍ය වූයේ 1977 දී ලබා ගත් දේශපාලන බලය අඛණ්ඩව පවත්වාගෙන යෑමටය. නව ගෝලීය ආර්ථිකයේ කොටසක් බවට ලංකාව පත් කිරීමේ අරමුණින් එම ආණ්ඩුව ආර්ථිකය හැසිරවීය.
දීර්ඝකාලීනව බැලීමේදී පැහැදිලි වන්නේ මේවායෙන් ලංකාවේ ආර්ථිකය දැවැන්ත ව්‍යුහාත්මක පරිවර්තනයකට බඳුන් නොවූ බවය. එකී ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ පුළුල් මධ්‍යම පන්තියක් බිහිවූ අතර ඔවුන්ගේ පරිභෝජනය ද ඉහළ ගියේය. කෙසේවෙතත් ඉපැයීම් කරන නිෂ්පාදන අංශ දියුණු නොවූයෙන් අයවැය හිඟය ක්‍රමයෙන් පුළුල් වූ අතර ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ද දුර්වල විය.
පසුව යළි ආර්ථිකය පණගැස්වීමට බව කියමින් විශාල අධිවේගී මාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු කරන ප්‍රවේශයක් අනුගමනය කරන ලදී. ඒ ඔස්සේ ආර්ථිකය දියුණු කළ හැකි බව ප්‍රකාශ වුවද විමසිලිමත්ව බැලීමේදී පෙනී යන්නේ සැබෑවටම එවැන්නක් සිදු නොවූ බවය. එකී ව්‍යාපෘති පසුපස තිබෙන්නේ ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීම වෙනුවට වෙනත් දේශපාලන අවශ්‍යතාය. එබැවින් සිදු වූයේ ඒවායෙන් ආර්ථිකයට අමතර බරක් පතිතවීමය. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බරක් බවට පත් විය. අද වන විට රාජ්‍ය සම්බන්ධව ගොඩනැගී තිබෙන ජනතා කලකිරීමට ප්‍රධාන හේතුව ද එයයි.
මේ සියලු තත්ත්ව සම්බන්ධයෙන් මගේ මූලික නිරීක්ෂණය වන්නේ අද රට වැටී තිබෙන අර්බුදයට පාලක ප්‍රභූ තන්ත්‍රය වග කිව යුතු බවය. තමන්ගේ පාලන බලය පවත්වාගෙන යෑමේ අරමුණින් ඔවුන් වැඩ කර ඇති හෙයිනි. එසේම ආර්ථික ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වෙසෙසින්ම 1978 දී හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්තිද ඇතුළුව ගනු ලැබූවේ පුළුල් දැක්මක් සහිතව නොවේ. බොහෝ තීරණ ගනු ලැබූවේ පටු දේශපාලන ගණන් හැදීම් මතය. සැබෑ ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට අවධානයක් යොමු වූයේ නැත.
පවතින අර්බුදය හමුවේ වියදම් සීමා කරමින් කටයුතු කළ යුතුය වැනි ප්‍රකාශ කරනවා හැරෙන්නට මෙවැනි අර්බුදයක් හට ගත්තේ ඇයිද යන්න ගැන සාකච්ඡාවක් සිදු වන්නේ නැත. නිදහස සැමරීම හැරෙන්නට අපට කුමක්ද සිදූ වූයේ යන්න ගැන හැරී බැලීමට මේ පාලක ප්‍රභූ පෙළැන්තිය සූදානම් බවක් පෙනෙන්නට නැත. යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්යවරයකු වූ රාජන් හූල් “බලයේ මහන්තත්වය” (Arrogants of Power&) නමින් කෘතියක් රචනා කළ අතර මගේ අදහස අනුව, එම බලයේ මහන්තත්වය යන්න පශ්චාත් නිදහස් ලංකාවේ දේශපාලනය හැඳින්වීම සඳහා සුදුසු යෙදුමකි. නිදහසින් පසු බලය ගත් සියලු දෙනාට විශාල මහන්තත්තකමක් තිබිණි. එය ක්‍රමයෙන් වැඩි විය. රාජ්‍ය බලය තමන්ට ලැබෙන වගකීමක් හෝ අභියෝගයක්ය හෝ යන පදනමෙන් බැහැරව තමන්ට කැමති දෙයක් කිරීමට ලැබෙන බලපත්‍රයක් හැටියට ඔවුහු එය භාර ගත්හ.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)