නිපුණත්වයේ ප්‍රවීණයා


එක්තරා රූපවාහිනී නාලිකාවක් මගින් ඉදිරිපත් කරන සුපර් ස්ටාර් වැඩසටහනක් මෙහෙයවන නිවේදකයකුගේ කටින් තොරතෝංචියක් නැතුව කියවෙන කියමනක් මට අසන්නට ලැබුණි. ඔහුගේ කටින් මේ කියමන එක දිගට කොපමණ වාරයක් කියවෙන්නේ දැයි කියතොත් එය එකම කන්දොස්කිරියාවක් බවට පත්වෙයි. මා මෙය ඉවසා සිටියේ මොන අදහසක් කියා පෑමට මොහු මෙය කියන්නේදැයි දැන ගැනීමේ කුතුහලය නිසා මිස පුළුවන්කමකට නම් නොවේ.

නිවේදකයා මේ කියමන වමාරන්නේ එකී සුපර් ස්ටාර් වැඩසටහනේ විනිශ්චය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධයෙනි. ඔවුන්ගේ විශේෂඥභාවය ඉස්මතුකොට දැක්වීම සඳහාය. මෙන්න ඒ කියමන.

‘‘නිපුණත්වයේ ප්‍රවීණයන්ගේ මතය අපි අසා බලමු’’ එම නිවේදකයා නැවත නැවත නොනවත්වා පුනරුච්චාරණය කරන්නේ ‘‘නිපුණ’’ සහ ‘‘ප්‍රවීණ’’ යන වචන දෙකමය. මේ වචන දෙක අසා සිටින කවරෙකුට වුව ද වැටහෙන්නේ වැඩසටහන මෙහෙයවන නිවේදකයාට විනිශ්චය මණ්ඩල සාමාජිකයන් ‘‘නිපුණ’’ සහ ‘‘ප්‍රවීණ’’ යන සුදුසුකම් දෙකක් ඇත්තන් බවයි.

ඔහුට කෙසේ වෙතත් ‘නිපුණ’ සහ ‘ප්‍රවීණ’ යන වචන දෙකේ නියම තේරුම දන්නා අයට නම් ඒ කියමන අපභ්‍රංශයකි. වල්බූතයකි. මේ වචන දෙකේ තේරුම් නිවැරදි ලෙස වටහා ගෙන සිටින කිසිවෙකුගේ කටින් මෙවැනි කියමනක් කිසිදාක නොකියවෙනු නිසැකය.

වචනවල තේරුම් නිසි ලෙස නොදැන සන්නිවේදන කාරියෙහි යෙදෙන මෙවැනි නිවේදකයන් නිසා සිදුවන භාෂා දූෂණය සුළුකොට තැකිය නොහැකිය. මක්නිසාද යත් අලුත් පන්නයේ කියමනක් සේ සලකා එවැන්නකට වශී වී එයම පුනරුච්චාරණය කිරීමට පෙළඹෙන සුලු අනුකාරක පරපුරක් මෙකල ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවල බහුලව සිටින හෙයිනි.

ජාතික ගුවන්විදුලියේ අතීතයේ සිටම ද ජාතික රූපවාහිනියේ ආරම්භයේ සිට ද භාෂා උපදේශක සේවයක් ක්‍රියාත්මක වූ බැවින් වර්තමානයේ සිදුවන්නාක් මෙන් අන්ත භාෂා දූෂණයක් එම මාධ්‍ය ආයතනවල සිටි නිවේදක නිවේදිකාවන්ගේ කටවලින් සිදු නොවුණි.

ඉහත සඳහන් නිවේදකයා ‘නිපුණ’ සහ ‘ප්‍රවීණ’ යන වචන දෙක භාවිතයට ගැනීමේ දී කුමන තේරුමකින් යුතුව ඔහු ඒවා කටින් පිට කළේ ද යන්න ඔහුගෙන්ම අසා දැන ගත යුත්තකි. කෙසේ වුවද එකක් ස්ථිරය. එනම් ඔහු එම වචන දෙක තුළ තේරුම් දෙකක් ඇතැයි සිතා එය පුනරුච්චාරණය කළ බවය. ඒවා ඔහුගේ මනස්ගාත තේරුම් බවට සැක නැත. නැති නම් ‘‘නිපුණත්වයේ ප්‍රවීණයන්ගේ’’ වැනි විකාර කියමන් කෙසේ කියවේද?

‘‘නිපුණ’’ සහ ‘‘ප්‍රවීණ’’ යන වචන දෙකම සංස්කෘත භාෂාවේ එන වචනය ඒවා මෙරට සාමාන්‍ය දැනුමක් තිබෙන අය අතර පවා ඉතා ප්‍රසිද්ධය. එසේම නිශ්චිත ලෙස තේරුම නොදැන සිටිය ද එම වචන දෙකෙන් අදහස් කරන්නේ කවර තේරුමක් දැයි සාමාන්‍ය ජනයා පවා නොදනිතියි නොසිතමි. ඒවා එතරම්ම භාවිතයට ගොස් ඇති හෙයිනි. එසේනම් ඉහත සඳහන් නිවේදකයා ජන මාධ්‍ය ආයතනයක සන්නිවේදන කාරියට සුදුස්සෙකු ලෙස සැලකිය හැකි ද? සන්නිවේදන කලාවේ ප්‍රබලම ශාක්‍යතාව වන භාෂාවබෝධයට අන්ධයෙකු බැවිනි.

‘නිපුණ’ සහ ‘ප්‍රවීණ’ යන වචන දෙකම සංස්කෘත භාෂාවේ ව්‍යවහාරවන්නේ පර්යාය පද වශයෙනි. එනම් එම බසෙහි සමාන පදය එම වචන දෙකෙන්ම ප්‍රකාශ වන්නේ සමාන තේරුම් වන හෙයිනි. ‘දක්ෂ’ ‘සමර්ථ’ යන අර්ථ ගම්‍යමාන වන එම සංස්කෘත වචන දෙක අපගේ මිශ්‍ර සිංහල භාෂාවේ ද බහුලව ව්‍යවහාර වේ.

මුල සංස්කෘත වුව ද දැන් ඒවා සිංහල වී ඇත. ‘නිපුණ’ යන්නෙන් හැදෙන ‘නිපුණයා’ යන නාම පදයෙන් කෙළවරටම ඉගෙනගත් තැනැත්තා යන අර්ථය ද ධ්වනිත වෙයි. අතීතයේ ‘ප්‍රවීණ’ වචනය භාවිත වුණේ වීණා වාදනයෙහි සමර්ථ වූ තැනැත්තා හැඳින්වීමටය. පසුව එය කවර දෙයකට වුවද දක්ෂ පුද්ගලයා හඳුන්වන පදයක් බවට පත් විය.

ඉහත දැක්වුණු කරුණු අනුව ‘නිපුණත්වයේ ප්‍රවීණයා’ යන කියමනේ තේරුම විය යුත්තේ දක්ෂකමේ දක්ෂයා යන අපභ්‍රංශය නොවේද?

කරුණාරත්න අමරසිංහ