වර්තමාන පවුල් සංස්ථාව බිඳ වැටෙන්න ප‍්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙ එකිනෙකා කෙරෙහි අවබෝධයක් නැතිකම. ඒ වගේම ඉවසීමක් සහ එකිනෙකාට ගරු කිරීමක් නොමැති තරමට ආත්මාර්ථකාමීව මගේ කියන හැඟීමෙන් ජීවත්වෙන්නෙ. ඒ දේවල් නිසා තමයි අද දික්කසාද, අයථා සම්බන්ධතා, සියදිවි නසා ගැනීම් වැඩිවෙලා තියෙන්නෙ.
එලෙසටම නැන්දම්මා, ලේලි ගැටුමත් වර්තමානයේ සමාජ පිළිලයක් බවට පත්වෙලා. එසේ වෙන්නෙ එකිනෙකාට ගරු නොකිරීම. තවත් අයෙකුට සවන් දී ඒ දේ පිළිගන්නට තිබෙන අකමැත්ත සහ විශ්වාසය නොමැති වී යාමයි. එය එසේ සිදුවීමෙන් ප‍්‍රශ්න බොහොමයක් උද්ගත වී තිබෙනවා. මේත් එවැනි ඛේදනීය කතා පුවතක්.
‘‘මම කියන විදියට මේ ගෙදර ඉන්න බැරිනම් කරුණාකරලා යන එකයි ඇත්තෙ.’’ මල්ලිකා දැඩි ස්වරයෙන් ගිඟුරුවාය.
‘‘මම මොකටද කවුරුත් කියන පලියට මේ ගෙදරින් යන්නෙ?’’
අසංකා නැන්දම්මාට පැවසුවේ දැඩි කෝපයෙනි. ඒ මොහොතේ මල්ලිකාගේ මුහුණ ඝන මේඝයක් මෙන් අඳුරු විණි. එවිට ඇගේ කෝපය ඉහවහා ගියේය.
‘‘මේ ගෙදර කවදද ඔහේට ලියලා දුන්නේ? මේ අපේ මහ ගෙදර.. මගෙ මහත්තයා මැරුණට පස්සේ මේක අයිති මට. මම මැරෙනකං මේකෙ ඉන්න පුළුවන්. පිටින් ආපු අයට මේවට අයිතිවාසිකම් කියන්න බෑ.’’
‘‘මම බැඳලා ඉන්නෙ ඔහේගෙ පුතා.. ඉතින් මටත් මේකෙ අයිතියක් තියෙනවා.’’
නැන්දම්මාගේත් ලේලියගේත් මේ අඩදබරය සතියකට දෙතුන් වතාවක් පමණ ඇතිවේ.
නිලංක සේවය නිමවී නිවසට පැමිණියේ ඔවුන්ගේ අඬදබර මැද්දේය. තම මවගේත් බිරියගේත් මේ කලකෝලාහලය ගේට්ටුව විවෘත කරනවාත් සමඟම ඔහුගේ සවන මත පතිත විය. ඔහු සාලය වෙත ඇදුණේ තරමක් කෝපයෙනි.
‘‘ ඕක නවත්තගන්න. ගෙදරට ගොඩවෙන්න හැටියක් නෑ. හැමදාම රණ්ඩු රණ්ඩු ඉවරයක් නෑ.’’
බෑගය පසෙක දැමූ නිලංක එසේ පැවසුවේ නළල රැුළි ගන්වමිනි.
නළලින් රූරා වැටෙන දහදිය බිඳු ඔහු සිය දෑතින් පිස දමන්නට වුණේ ඒ මොහොතේය. ලේලියගේත් නැන්දම්මාගේත් හබය එතැනින් අවසන් වූයේ නිලංකගේ පැමිණීමත් සමඟය.
මල්ලිකාට දරුවන් දෙදෙනෙකි. විමුක්ති ඉන් වැඩිමල් දරුවාය. බාලයා නිලංකය. නිසි වයසට පැමිණි පසු ඔවුන් දෙදෙනාට තරුණියන් දෙදෙනෙකු විවාහ කර දීමට මල්ලිකා උනන්දු වූවාය. ඇයට අවශ්‍ය වූයේ මෙම දරුවන්ට හොඳ තැනකින් විවාහයක් කරදීමේ අරමුණය.
විමුක්ති විවාහ වූයේ නුවර ප‍්‍රදේශයේ යුවතියක සමඟය. ඇය පාරම්පරික රදල පෙළපතකට නෑකම් කීවාය. ඇය රජයේ ඉහළ පෙළේ රැුකියාවක්ද කළාය.
නිලංකගේ බිරිඳත් මීගමුව ප‍්‍රදේශයේ වැදගත් පවුලක යුවතියකි. ඇය විමුක්තිගේ බිරිඳට වඩා කටකාර තැනැත්තියකි. ඔවුන් දෙදෙනාගේම මංගල උත්සවයන් රාජකීය ලෙස නගරයේ බොහොම ප‍්‍රසිද්ධ හෝටල්වල පැවැත්විණි. පුත‍්‍රයන් සමඟ ලේලියන් දෙදෙනාත් නැන්දම්මා වන මල්ලිකාත් මහගෙදර විසූහ.
ටික කාලයක් එලෙසට ගතවෙද්දි ලේලිලාගේ වැඩකටයුතු නැන්දම්මාට නොරිස්සීය. නිලංකගේ බිරිය වන අසංකා සමග ඇය නිතරම රණ්ඩු කරන්නට වූවාය. අසංකාද කටකාර එකියකි. ඇයද කරබා නොසිට රණ්ඩු කළාය. ඇතැම් අවස්ථාවලදී රණ්ඩුව බේරන්නේ විමුක්තිගේ බිරිය වන සුජානිය.
එහෙත් සුජානි නොමැති දිනවල රණ්ඩුව තව තවත් දික් ගැස්සේ. එවිට ටික කාලයක් යනතුරු නැන්දම්මාත් ලේලියත් කතා නොකර සිටී.
රණ්ඩු ඇතිවන හැම මොහොතකම නිලංක අනුමත කරන්නේද සිය මවගේ කීම්ය. එහිදී තව තවත් රණ්ඩුව දුරදිග යන්නේ ඔවුනොවුන් අතර තව තවත් ප‍්‍රශ්න ඇති කරමිනි.
‘‘අසංකා... අසංකා’’
නිලංක සිය බිරියට කතා කළේ තරමක ශබ්දයෙනි.
ඇයි?
මොකක්ද මේකෙ තේරුම නිලංක එසේ අසනවිට ඇය ඉවත බලාගත්තේ නිලංකට රවා බලමිනි.
‘‘ඇයි ඔයාලා රණ්ඩු වෙන්නේ අසංකා...’’
‘‘මමද පටන්ගන්නෙ? ඔයාගෙ අම්මනෙ. ඔයාටත් ඉතින් මගෙ වැරදිමනෙ පේන්නේ... කාගෙද වැරැුද්ද කියලා බලන්නෙ නෑ හැමදේටම මටම කෑගහනවා.’’
‘‘හරි හරි පොඞ්ඩක් ඉන්නකො කේන්ති ගන්නෙ නැතිව. අම්මට කේන්ති යනවා. එයා වයසයිනෙ. ඔයා ඕවා ගණන් ගන්න එපා.’’
නිලංක සිය බිරිය වෙතට ළංවෙමින් පැවසුවේ ඇයව සනසන්නට මෙනි.
අසංකා දෙස හොරැුහින් බැලූ නිලංක ටිකක් ඉවසන්නකො හොඳ ළමයා වගේයි පවසා සිටියේ ඇයගේ මුහුණට තට්ටුවක්ද දමමිනි.
එලෙසට කාලෙ ගතවෙද්දි මල්ලිකා බැණ වැදුණත් අසංකා ඉවසාගෙන සිටියේ නිලංකගේ කියමන් නිසාය. විමුක්තිත් සුජානිත් අලූත් නිවසකට යන්නේ මේ කාලයේදීය. ඔවුන් නිවසින් පිටව යන විට අසංකාට දැනුණේ දැඩි සිත් වේදනාවකි. අක්කා යනවට මම කැමති නෑ. අසංකා සුජානිගේ අත අල්ලාගෙන පැවසුවේ ඉතා දුක්බර ලෙසින්ය.
අපි ඔක්කොටම මෙහෙ ඉන්න බෑනෙ නංගි. ඔයාටයි මල්ලිටයි මෙහෙ ඉන්න පුළුවන්නෙ. තවත් මෙහෙ හිටියොත් ප‍්‍රශ්නත් වැඩිවෙනවා.
ඒ වුණත් අක්කෙ.. මට මේ මහ ගෑනිත් එක්ක ඉඳලා එපා වෙයි. අසංකා එසේ පවසමින් සුජානිට සමුදුන්නේ ඇගේ දෙපා වඳිමිනි.
අනතුරුව විමුක්ති තම මව වෙත ගොස් ඇගේ දෙපා වැන්දේය.
‘‘මගෙ රත්තරන් පුතාට දෙවි පිහිටයි!’’
මම එහෙනම් යන්නම් අම්මේ. විමුක්ති එසේ පැවසුවේ මව දෙස බලමිනි. මහගෙදරින් නොයන්නැයි මල්ලිකා බොහෝ වරක් විමුක්තිට පැවසුවත් ඔහු එයට එකඟ නොවුණි. එහෙත් එහි විසීමට සුජානි එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. සුජානිත් විමුක්තිත් නිවසින් ගිය පසුව මල්ලිකාට ඇතිවූයේ පාළුවකි.
ඔවුන්ගේ පිටව යාමත් සමඟ මහගෙදර ඉතා පාළු තත්ත්වයක් ඇතිවිණි. එහෙත් අසංකා නිවසේ වැඩ කටයුතුද නැන්දම්මා ගැනද සොයා බලා ඈට අවශ්‍ය උදව් උපකාරද නොපැකිළිව ඉටු කරන්නට වූවාය.
ඒත් එලෙසින් ඔවුන් දෙදෙනාට සිටිය හැකි වූයේ ඉතා කෙටි කලකි. අළුයට තිබූ ගිනි පුපුරක් මෙන් මල්ලිකාගේ කෝපය දිනක් පුපුරා යන්නට විය.
ඈ අසංකා සමඟ පෙර මෙන් රණ්ඩු කරන්නට පටන් ගත්තාය.
‘‘මගෙ පුතාගෙ ඔළුවට එක එක කුණු ගොඩවල් දාන්න එපා’’
‘‘කව්ද මමද කුණු ගොඩවල් දැම්මෙ....’’ රණ්ඩුව ඒ මොහොත වන විට එන්න එන්නම දරුණු විය.
කේළම් කියලා මගෙ පුතාව ඈත් කරන්න හදනවායි නැන්දම්මා පවසන විට අසංකාගේ හදවතද, ගතද දැඩි වන්නට ගියේ සුළු මොහොතකි. ඇයට එවර ඇති වූයේ දැඩි කේන්තියකි.
‘‘මට එක එක්කෙනා ගැන කේළම් කියන්න ඕන නෑ. ඕවා කියවකියව ඉන්න මට වෙන වැඩක් නෑනේ.’’
‘‘වැඩ... අපොයි ඔව් අනේ මගෙ කට කුමාරිහාමි වගේ ඉඳගෙන කකා බිබී ඉන්නවා විතරයි. වෙන මොනවද කරන්නෙ මේ ගෙදර..’’
රණ්ඩුව දුරදිග ගියේ නොසිතූ විලසිනි. අවසානයේ අසංකා නිවස අතහැර යාමට තීරණය කළාය. නැන්දම්මාගේ කට කැඩිච්ච කතා ඇසීමට ඇයට තවත් හැකියාවක් නොතිබිණි. රෙදි බෑග් සියල්ල සූදානම් කරගත් අසංකා තම ගම් පියස වෙත ගියේ නිලංකටත් දැනුම්දීමකින් තොරවය.
එදින නිලංක නිවසට පැමිණෙන විට ඔහුගේ මව සාලයේ පුටුවක වාඩිවී සිටි අතර මව දෙස බැලූ ඔහු කාමරය වෙත ඇදුණේ සිය මව එදිනත් මුහුණ නරක් කරගෙන සිටි බැවිනි.
අසංකා පෙනෙන්නට නොසිටි හෙයින් නිලංක ඇයට හඬ නඟා කතා කරන්නට විය.
‘‘එයා ගෙදර ගියා...’’ සාලයේ සිටි මව උස් හඬින් යුක්තව පවසන්නට වූයෙන් නිලංක ගල් ගැසුණාක් මෙන් විය. ඒ මොහොතේ තද නිශ්ශබ්ධතාවක් අවට පැතිරෙන්නට වුණේ සොහොන් බිමක නිහැඬියාවක් මෙනි.
නිලංක සිය කාමරයට විත් කල්පනා කරන්නට වූයේ අහස පොළොව ගැටලන්නට මෙන්ය. පසුදින ඔහු කාර්යාලයට ගියේද නැත.
පසුදින සවස අසංකාගේ නිවෙසට ඔහු ගියේ ඇය නැවතත් තම නිවෙසට කැඳවාගෙන ඒමේ බලාපොරොත්තුව ඇතිවය.
‘‘අසංකා අපි ගෙදර යමු’’
‘‘මට බෑ.. ඔයාගෙ අම්මත් එක්ක ඉන්න. කොච්චර හොඳින් ඉන්න හැදුවත් හැමදාම රණ්ඩු කරනවා. මම ඉවසුවා හොඳටම ඇති.’’
අසංකාගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැලෙන්නට වූයේ ඉතා දුක්බර ලෙසටය. කම්මුල මතින් වැටෙන කඳුළු බිඳු ඈ පිසදමන්නට වූවාය.
නිලංක කෙතරම් පෙරැුත්ත කළත් අසංකා ඔහුගේ නිවෙසට පැමිණියේ නැත. නිලංකගේ සියලූ බලාපොරොත්තු සුනු විසුනු වූයේ ඒ මොහොතේය.
නිලංක නැවත නිවෙසට පැමිණියේ සිය මුනිවත රකිමිනි. මේ හැමදේටම මුල අම්මා. ඔහුගේ සිත කියයි. ඒත් අම්මාට දොස් පැවරිය නොහැකිය.
අම්මාගෙන් වරදක් සිදුවුවද ඒ බව පැවසීමට ඔහුට නොපුළුවන.
කාලය ගතව ගියේ පවනට බඳු වේගයෙනි. අසංකා ඒ වන විටත් නිලංකගේ නිවෙසට පැමිණියේ නැත. අවුරුදු දෙක තුනක්ම එලෙසට ගතවිණි.
නැන්දම්මා, ලේලි ගැටුම් කොතරම් දුර දිග ගියාද කිවහොත් එය කෙළවර වූයේ දික්කසාදයෙනි.
ඊට මාස කිහිපයකට පසු නිලංකගේ මව විසින් කපුවකු මාර්ගයෙන් නැවතත් විවාහයක් කරදීමට කටයුතු සැලසුම් කරනු ලැබුවාය. මවගේ සිත තළාපෙළා දැමීමට නොහැකි වූ නිලංක ඊට කිසිවක් නොකියාම කැමැත්ත ප‍්‍රකාශ කළේ අසංකාගේ දික්කසාදයේ වේදනාවත් සමඟිනි.
ඒ විවාහ උත්සවයත් ජයටම පැවති අතර ඉන් මාස පහ හයකට පසුව නැවතත් සුපුරුදු පරිදි අලූත් ලේලිය සමග මල්ලිකා රණ්ඩු කරන්නට වූයේ පෙර පරිදිය. ඒ වන විට නිලංකගේ සිතද ඉතා දරුණු ලෙසට අවුල්වී තිබිණි. ඔහු දැඩි ලෙස මතට ඇබ්බැහි වූයේ මේ හේතුන් නිසාය. දුක් ගින්දරින් දැවෙන හිතට සහනයක් ඉන් ලබාගත හැකි යැයි ඔහු සිතන්නට විය.
මල්ලි ඔයා බොනවා වැඩියි. ඕක නවත්තන්න දිනක් විමුක්ති නිලංකට පැවසුවේ ඔහු බීගෙන නිවසට පැමිණි විටය.
එදින සුජානිත්, විමුක්තිත් ඔවුන්ගේ දරුවාත් මහගෙදර පැමිණ සිටියේ පවුලේ අයගේ දුක සැප සොයා බැලීමටය.
ඔහොම බීලා වාහන එළවන්න එපා... අයියාගේ ඒ වදනින් නිලංක කරබා ගත්තේ ඉබ්බකුගේ හිස, කටුව ඇතුළේ සඟවා ගන්නාක් මෙනි.
බමන මතින් සිටින්නෙකුට උපදෙස් දීමෙන් පලක් නැති බව විමුක්ති දනී. කාලය ගතව ගියත් නිලංකගේ වේදනාවේ නම් අඩුවක් නොමැත. ඔහු කීප වරක්ම අතපය කඩාගෙන රෝහල් ගතව සිටියේ මත්පැන් පානය කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.
ඒ කාලය අතරතුර නිලංකගේ අලූත් මනාළිය වන පියුමි වෙනත් පුද්ගලයකු සමග සම්බන්ධතාවක් ගොඩනඟාගෙන තිබිණි.
ඒ ආරංචිය කන වැකීමත් සමඟ නිලංකගේ හිතට දැනුණේ දැඩි සංවේගයකි. කිසිවක් කරකියා ගත නොහැකි ලෙස ඔහු ඒ ගැන කල්පනා කරන්නට වුණේ ජීවිතය පිළිබඳව කලකිරීමක් සිතේ තුරුලූ කර ගනිමිනි.
එදින නිලංක හොඳ හැටි මිතුරෝ කිහිප දෙනෙක් සමඟ මත්පැන් පානය කරන්නට වූහ. මත්පැන් සාදය අවසන් වන විට රාත‍්‍රී 12ත් පසුවී තිබිණි. වෙරි මතින් සිටි නිලංක වාහනයට ගොඩ වූයේත් ඉතා අපහසුවෙනි.
‘‘ඒයි.. ඔයාට පාර පේනවද’’ කල්ප නිලංකගෙන් ඇසුවේ ඔහුට කෙළින් යන්නටවත් නොහැකි වූ නිසාය.
‘‘මට කෙළින් යන්න පේනවා..’’ නිලංක එසේ පැවසුවේ වාහනය පණ ගන්වමිනි.
නිලංකගේ මෝටර් රථය සුදුවැලි තලය මතින් මාර්ගයට පැමිණියේ අධික වේගයකිනි. එහෙත් නිලංකට යා හැකි වූයේ ටික දුරකි.
ඉදිරියෙන් ආ ලොරියක නිලංකගේ මෝටර් රථය ගැටිණි. ඒත් සමග මෝටර් රථය ඔහුත් සමඟින් ඉදිරියට ඇදීගෙන ගොස් නැවතුනේ ගසක වැදෙමින්ය. ඉන් ඔහුගේ දෙපා සම්පූර්ණයෙන් බිඳී ගොස් තිබිණි.
මේ සිද්ධිය ආරංචි වීමත් සමඟ රෝහල වෙතට ගිය නිලංකගේ නිවසේ අයට දැකගත හැකිවූයේ සිහිසුන්ව ඇද වැටී සිටි ඔහුය. ඉන් දැඩිසේ ශෝකයට පත් නිලංකගේ මව බෙරිහන් දෙන්නට වූවාය.
පුතාට මේ කරදරේ වුණේ මං හින්දා.. මම තමයි මේ හැමදේකටම වග කියන්න ඕන. මල්ලිකා ළයෙහි අත් ගසමින් වේදනාවෙන් හඬා වැටෙන්නට වුණේ පිස්සියක මෙනි.
එහෙත් දැන් ඒ කිසි දෙයක් ගැන සිතා පලක් නොවේ. ජීවත්ව සිටින කාලයේදී හොඳින් ජීවත් වූවා නම් කිසි දේකට හඬා වැළපෙන්නට අවශ්‍ය නැත.
මරුවාගේ කටින් ගොඩ ඒමට නිලංකට හැකිවූ නමුත් ඔහු සදාකාලික අබ්බගාතයෙක් වූවේය.
මාස ගණනක්ම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගෙන නිවසට ගියත් ඔහු සදහටම රෝද පුටුවට සීමා වුණේ පවුලේ සියල්ලක්ගේම දෑස්වලට කඳුළු එක් කරමිනි.
ඔහු රෝද පුටුවෙන් යන එන විට මවට ඇති වූයේ නිම කළ නොහැකි වේදනාවකි. කරකියා ගත හැකි දෙයක් නොමැතිව ඇය කල්පනා කරන්නට වූයේ ඒ නිසාය. පපුවේ පත්තුවෙන ගින්දරත් සමග ඇය නොමැරී ජීවිතය ගත කළාය.
ලේලියන් ගැන පුතුන්ට කියූ කේළම් නිසා මෙවැනි විපතක් සිදුවේ යැයි ඈ කිසිසේත්ම නොසිතන්නට ඇත. ඇයට අවශ්‍ය වූයේ ලේලියන් තම මෙහෙකාරියන් ලෙස තබා ගැනීමය. ලොකු පුතාගේ බිරිඳ මේ හැමදේම ඉවසා සිටියත් අනිත් දෙදෙනාටම නැන්දම්මාගේ දොස් පරොස් නොරිස්සුවාය. නැන්දම්මා, ලේලි ගැටුම් එන්න එන්නම වැඩි වෙන්නට වූයේ ඒ නිසාය.
නිලංක සදාකාලික අබ්බගාතයෙකු වූ නිසා මාස්පතා වැටුප ඔහුට ලැබිණි. ඔහු වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි. නිලංකගේ අලූත් මනාළිය වූ පියුමි ඔහු වෙනුවෙන් හැම කටයුත්තක්ම ඉටු කර දුන්නේ නොපැකිළිවය. කිසි දේකින් අඩුපාඩුවක් කළේ නැත. නමුත් අවුරුදු 25 පමණ වයසේ සිටි ඇයටද ජීවිතේ තනිකමක්, අසරණකමක් කාලයත් සමඟ දැනෙන්නට විය.
දින සති මාස එසේ ගතවීමත් සමග පියුමි පෙර පරිදිම ඇයගේ අනියම් සම්බන්ධය දිග දුර ගෙන ගොස් තිබිණි.
මෙවැනි ව්‍යසනයන්ට මූලික හේතුව වූයේ නැන්දම්මා, ලේලිය අතර ඇතිවූ හබයයි. එවැනි දේවල් නොවීමට වගබලා ගැනීම යහපත් සමාජයක් පතන අප කාගෙත් වගකීමයි.