ලංකාවට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නේ නිරිත දිග මෝසම සහ ඊශාන දිග මෝසමෙනි. ඒ දෙක අතර කාල අන්තර් මෝසම් නමින් හැඳින්වෙයි.
නිරිත දිග මෝසම මැයි මස අග සිට සැප්තැම්බර් දක්වා පවතියි. ඒ කාලයේ දී මුළු වර්ෂාපතනයෙන් සියයට 30ක් ලැබෙයි. ඊශාන දිග මෝසම දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා පවතියි. ඉන් ලැබෙන්නේ සමස්ත වර්ෂාපතනයෙන් සියයට 26කි. පළමුවැනි අන්තර් මෝසම මාර්තු සහ අප්‍රේල් මාසවල පවතින අතර ඉන් මුළු වර්ෂා පතනයෙන් සියයට 14ක් ලැබෙයි. ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා පවතින දෙවැනි අන්තර් මෝසමෙන් සියයට 30ක වර්ෂාපතනයක් ලැබෙයි.
වැදගත්ම දෙය එයයි. එනම් රටට ලැබෙන මුළු වර්ෂාපතනයෙන් සියට 30ක් මාස දෙකක් ඇතුළත ලැබීමය. නිරිත දිග මෝසමේ දී සියයට 30ක වැස්සක් ලැබෙන්නේ මාස පහක් ඇතුළතදීය.
අනෙක නිරිත දිග මෝසමෙන් වැස්ස ලැබෙන්නේ රටේ නිරිත දිග ප්‍රදේශවලට පමණකි. දෙවැනි අන්තර් මෝසමේ දී මුළු රටටම වැසි ලැබෙයි. ඒ නිසා ලංකාවට දෙවැනි අන්තර් මෝසම ඉතා වැදගත්ය.
වියළි කලාපයට දෙසැම්බර් සිට ජනවාරි අතර කාලයේදී වැස්සට පස්සේ නැවත සැලකිය යුතු වැස්සක් ලැබෙන්නේ සැප්තැම්බර් අගදී සහ ඔක්තෝබරයේදීය. දැන් පවතින්නේ වියළි කලාපයට විශාල වැස්සක් ලැබෙන කාලයක් නොවේ. මේ කාලයේදී වැසි වසින්නේ නිරිත දිග ප්‍රදේශවලටය. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටය. නිරිත දිග මෝසමෙන් වැසි ලැබෙන්නේ ඒ පළාත්වලටය.
ඊෂාන දිග මෝසමේ දී උතුරු නැගෙනහිර උතුරු මැද, වයඹ පළාතේ කොටසකට සහ ඌව පළාතට සේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වන නුවරඑළිය වැනි ප්‍රදේශවලට වැසි ලැබෙයි. එහෙත් අන්තර් මෝසම් දෙකේදීම රට හැම තැනකටම පාහේ වැස්ස ලැබෙයි. උදය කාලයේ හොඳට පායලා හවසට වහින සංවන වැසි ලැබෙන්නේ ඒ අන්තර් මෝසම් දෙකේදීය. ඒ නිසා ලංකාවට වඩාත් වැදගත් වන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල දී ලැබෙන වැස්සය. වියළි කලාපයේ වැව්වලට වතුර රැස්කරගන්නේ ඒ කාලයේදීය. ඒ වැසි රටාව බොහෝ කාලයක සිට පවතියි.
ලංකාවට ලැබෙන වාර්ෂික වර්ෂා පතනය ‘මිලි මීටර් 1,875කි. ලැබෙන ඒ වර්ෂාවේ ලොකු වෙනසක් සිදුවී නැති වුණාට දැන් කෙටි කාලයක දී තද වැසි ලැබෙයි. දවසකදී මිලි. මිටර් 100 සිට 150 අතර වැසි ලැබීමේ වැඩි ප්‍රවණතාවක් දැන් දක්නට ලැබෙයි. සරලව කිවහොත් කලින් දවස් 150කදී ලැබෙන වැස්ස දවස් තිහක දී හතළිහකදී වගේ ලැබෙන තත්ත්වයක් දැන් දැන් දක්නට ලැබෙයි. ටික දවසක් ඇතුළත වැඩි වැස්සක් ලැබුණාම ඒ වතුරින් වැඩි හරියක් මුහුදට ගලාගෙන යයි. පොළොවට උරා ගන්නවාට වඩා පොළොව දිගේ ගලාගෙන යාම වැඩි වෙයි. එසේවීම අපට පාඩුය. එවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ගෝලීය උණුසුම් සමග ඇතිවන දේශගුණ විපර්යාස හේතුවෙනි.
2015 ඔක්තෝබර් නොවැම්බර් මාසවල දී ඉතා හොඳින් වර්ෂාව ලැබිණි. එහෙත් 2016 මෝසම් හතරේදීම ලැබිය යුතු වැස්ස නොලැබෙයි. එහෙත් 2016 මැයි 15 සහ 16 දිනවල කොළඹ නගරයේ ජල ගැලීම් ඇතිවෙයි. ඒ දවස් දෙකේ දී මහ වර්ෂාවක් ලැබීම හේතුවෙනි. 2015 දී හොඳ වර්ෂාපතනයක් ලැබුණු නිසා 2016 වැස්ස සාමාන්‍ය පරිදි නොලැබීම ලොකුවට නොදැනෙයි.
එහෙත් 2017 දී එය ලොකුවට දැනෙයි. හේතුව 2016 මෝසම් හතරම අසාර්ථක නිසාය. ඒක අවුරුද්දක දී එසේ වුණාට එය දේශගුණ විපර්යාසයක් ලෙස නොසලකයි. 1950 ගණන්වල ඇති වුණාය කියන ගංවතුර මට්ටමක් තවමත් ඇතිවී නැත.
සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයට වඩා අමතර ගෝලීය උෂ්ණත්වයක් ඇතිවී තිබෙන්නේ වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මහා පරිමාණයෙන් මුදා හැරීම නිසාය. තත්ත්වය මෙසේම පැවතුණොත් 2030 දී ගෝලීය උෂ්ණත්වය අංශක දෙකකින් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පුරෝකතනය කරති. ඒ නිසා 2030 වෙද්දී ගෝලීය උෂ්ණත්වය අංශක 1.5කට සීමා කරන්නැයි ලෝකයම ඉල්ලා සිටියි. ඒ සඳහා කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරීම අඩු කළ යුතුය. කාබන්ඩයොක්සයිඩ් ගබඩා බිහි කළ යුතුය.
කාබන්ඩයොක්සයිඩ් ගබඩා කියන්නේ ගස් කොළන්වලටය. ගස් කොළන් වැඩි වූ විට වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් තැන්පත්වීම අඩුවී ගස්වල ගබඩා වෙයි. එසේම රටක් ලෙස අප බලශක්ති වැඩියෙන් නිෂ්පාදනය කරන්නේ ඛනිජ තෙල්වලිනි. එමගින් ද පරිසරයට විශාල වශයෙන් කාබන්ඩයොක්සයිඩ් එකතු වෙයි. එය අඩුකළ හැක්කේ සුළං, හිරු එළිය සහ ජීව වායු මගින් බලශක්තිය නිපදවා ගැනීමෙනි. එසේ නොකළොත් දේශගුණ කාලගුණ ව්‍යසන වැඩිවෙයි.
වසර 2030 වෙද්දී ලංකාවේ වියළි කලාපය තව තවත් වියළි තෙත් කලාපය තව තවත් තෙත් විය හැකි බවට පුරෝකතනයක් පවතින්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම මත පදනම් වෙමිනි. ජලය තිබෙන තැන්වල වාෂ්පීකරණය වැඩි වුණාම වළාකුළු නිර්මාණය වී හොඳට වසියි. වතුර අඩු තැන්වල වාෂ්පීකරණය වැඩි වුණාම තව තවත් වේළෙයි. ඒවා අනා වැකි නොවේ. දැන් මෙහෙම නම් ඉදිරියේදී මෙසේ විය හැකිය. කියන උපකල්පනය. පරිසරයට කරන විනාශ මත 2030 දී ඇති වෙතැයි කියන තත්ත්වය ඊට පෙර ද උද්ගත විය හැකි හෙයිනි. ගස් කොළන් කැපීම දිගින් දිගටම ඉහළ යයි.
තාර දැමීම්, කොන්ක්‍රීට් කිරීම් සහ කුට්ටි ගල් ඇල්ලීමෙන් මහ පොළොවට ජලය උරා ගැනීමට තිබෙන ඉඩ කඩ අහුරා දමයි. වෙනදා සුළු වෙලාවක වැස්සකින් පවා මහ පොළාව තෙත් වෙයි. එහෙත් දැන් දවස පුරා සහ දවස් ගණන් වැස්සත් මහපොළොව තෙත් නොවෙයි. ඊට හේතුව දියුණුවේ නාමයෙන් කරන අවිචාර වැඩය. වැසි වතුරටත් පොළොවට උරා ගැනීමට නොදෙයි. පීලි දමා ඒවා කොන්ක්‍රීට් කාණුවලට හරවයි. ළිං වසා දමයි. එසේ කළ විට පොළෙවේ තෙතමනය නැති වෙයි. එමගින් නියඟයේ බලපෑම ඉහළ යයි.
ලංකාව ගෝලීය උණුසුමට බලපාන කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදා හරින්නේ අඩුවෙනි. ඒවා වැඩියෙන් පරිසරයට මුදාහරින්නේ ඇමෙරිකාව සහ චීනය වැනි රටවල්ය. කවුරු මොන රට පරිසරයට ඒවා නිකුත් කළත් ඒවා රැඳෙන්නේ වායු ගෝලයේය. එහි බලපෑම හැමෝටමය. සියලු රටවලටය. ඒ බලපෑම අවම කර ගැනීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවලටම නොවේ. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විවිධ සංවිධාන සේම පුද්ගලයන්ට ද ඒ වගකීමෙන් නිදහස් විය නොහැකිය. ගස් කොළන් වැවීමට ආණ්ඩුවටම කිව යුතු නොවේ. එය මිනිසුන්ට ද කළ හැකිය.
පුරෝකතනවල හැටියට ගෝලීය උණුසුම තව තවත් ඉහළ ගියොත් විදුලි පංකා, වායු සමිකරණ, ශීතකරණ යනාදිය පාවිච්චිය තව තවත් ඉහළ යයි. එමගින් බලශක්ති අවශ්‍යතාව තවත් ඉහළ යයි. ඉහළ යන බලශක්ති අවශ්‍යතාව සපුරා ගන්නේ ගල් අඟුරු සහ ඛනිජ තෙල්වලින් නිපදවන විදුලියෙනි. එමගින් ගෝලීය උණුසුම තව තවත් ඉහළ යයි. උණුසුම ඉහළයාම ඉවරයක් නොවී තව තවත් වැඩිවෙයි. එය වැළැක්වීමට කළ යුත්තේ හිරු එළියෙන් සුළං බලයෙන් සහ ජීව වායුවලින් විදුලිය නිපදවීම ඉහළ නැංවීමය. එහෙත් සිදුවන්නේ එය නොවේ. තාප බලාගාර තව තවත් වැඩි කිරීමය.
කළ යුතු දෙය නොකර නොකළ යුතු දෙය කිරීමෙන් වර්ෂා පතන රටාව තව තවත් වෙනස් විය හැකිය. තද වැසි වැඩි විය හැකිය. සුළි කුණාටු වැඩි විය හැකිය. නියඟ ජල ගැලීම් සහ ගංවතුර වැඩි විය හැකිය. සියල්ල එසේ වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසර සාධක අසමතුලිත වීම මතය.
දැන් පවතින එල්නිනෝ තත්ත්වය ද වායුගෝලයේ ප්‍රතික්‍රියාවකි. එල්නිනෝ කියන්නේ පැසිෆික් සාගරයේ පීරූ දූපත් ආසන්න මුහුදේ මතුපිට උෂ්ණත්වය වෙනදාට වඩා ඉහළ යාමටය. එමගින් සුළං රටා වෙනස් වෙයි. ඔරලෝසුවක ක්‍රියාකාරිත්වයට ඇති සියල්ල ක්‍රියාත්මක විය යුතුය. යම් දැත්තක් ක්‍රියාත්මක නොවුණොත් වෙනස් වුණොත් ඔරලෝසුවේ වෙලාව වෙනස් වෙයි.
එසේම ලෝකයේ දේශගුණයත් කොහෙන් හරි තැනකින් වෙනස් වුණොත් එය මුළු ලෝකයටම බලපායි. පීරූ දූපත් දකුණු ඇමරිකාවේ තිබුණාට එහේ සාගරයේ වන වෙනස්කම් අපට බලපාන්නේ එලෙසිනි. සාමාන්‍යයෙන් මේ මාසවල දී එල්නිනෝ තත්ත්වයක් ඇති වුණොත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී හොඳ වර්ෂාපතනයක් ලැබෙයි.
නිරිත දිග මෝසමේ දී සාමාන්‍යයෙන් මධ්‍යම කඳුකරයට වැසි ලැබෙයි. එහෙත් එල්නිනෝ තත්ත්වයක් තියෙද් දී නිරිත දිග මෝසමේ දී කඳුකර ප්‍රදේශවලට වැසි අඩුවෙයි. මේ වතාවේ සිදුවී තිබෙන්නේ එයයි. මෝසමේ හැටියට එල්නිනෝ බලපෑම වෙනස් වන බව ඉන් හෙළිවෙයි. ඔක්තෝබර් නොවැම්බර් මාසවල දී හොඳ වැස්සක් ලැබෙයි. එහෙත් ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙද්දී වැස්ස යළි අඩුවෙයි. එසේ වන්නේ එල්නිනෝ තත්ත්වයක් පවතින නිසාය.
එල්නිනෝ තත්ත්වයක් අවුරුදු තුනක් හතරක් ඇතුළත යළි පැමිණිය හැකිය. ලානිනා කියන්නේ එලිනිනෝ තත්ත්වයේ අනෙක් පැත්තය. පැසිෆික් සාගරයේ පීරූ දූපත් අසල මුහුදේ මතුපිට උෂ්ණත්වය වෙනදාට වඩා අඩු වුණාම නැතිනම් සීතල වුණාම ඇතිවන තත්ත්වය ලානිනා නමින් හඳුන්වයි. ලානිනා තත්ත්වයක් අවොත් ඔක්තෝබර් නොවැම්බර්වලදී අපට වැස්ස අඩුවෙයි.
ගිය අවුරුද්දේ තිබුණේ ලානිනා තත්ත්වයකි. 2022 ඔක්තෝබර්, නොවැම්බර් මාසවල දී වැස්ස අඩු වුණේ එහෙයිනි. මේ සැරේ වැඩිවී පැමිණියේ එහි බපෑමය. නිරිත දිග මෝසමේ දී අනෙක් ප්‍රදේශවලට බොහෝ වැස්සක් නොලැබුණත් සාමාන්‍ය වර්ෂාවක් ලැබෙයි. එහෙත් මෙවර ඒ සාමාන්‍ය වැසිවත් නොලැබුණේ 2022 පැවැති ලානිනා තත්ත්වය නිසාය.
එහෙත් කාලගුණය සහ දේශපාලණය තීරණ කරන එකම සාධකය එල්නිනෝ නොවේ. එල්නිනෝ වැනිම සංසිද්ධියක් ඉන්දියන් සාගරයේ ද ඇතිවෙයි. අප එය හඳුන්වන්නේ ‘‘ඉන්දියන් ඕෂන් ඩයිකෝල්’’ නමිනි. ඉන්දියන් සාගරයේ නැගෙනහිර හා බාහිර ප්‍රදේශවල ඌෂණත්වයේ වෙනසක් ඇති වුණොත් එමගින් ද ලංකාවේ අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවෙයි.
ලංකාව ගොඩබිමෙන් වෙනත් රටවල් සමග සම්බන්ධ නොවුණාට අපේ කාලගුණය සහ දේශගුණය තීරණය වන්නේ භාහිර සාධක මත බව තේරුම් ගත යුතුය. එසේම වෙනත් රටවල ඇතිවන සංසිද්ධි මත බව දැන් අපට තේරෙයි. ඒ බලපෑම අවම කර ගැනීමට අප කළ යුත්තේ පරිසර හිතකාමීව ජීවත් වීමය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශගුණ විපර්යාස සහ පර් යේෂණ අධ්‍යක්ෂ අනුෂා වර්ණසූරිය
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්