නියඟයත් දුප්පතා හිසමත


අපේක්ෂිත මෝසම් වැසි ප්‍රමාදය සමග ශ්‍රී ලංකාව නියඟයක් සහිත කාලගුණ තත්ත්වයකට ගොදුර වෙමින් සිටී. ජාත්‍යන්තර පර් යේෂණ අනුව මිනිසා මුහුණපාන ස්වභාවික විපත් විසි එකක් ගැන සඳහන් වේ. නියඟය එහි ප්‍රධාන කරැණකි. මිනිසා විසින්ම නිර්මාණය කරගනු ලබන කාලගුණ විපතක් වශයෙන් ද සැලකේ.

ඉදිරි සති කිහිපය තුළ දීර්ඝ නියංකාලයක් අපේක්ෂා කළ හැකිය. මෙය එල්නිනෝ තත්ත්වයක් බව ප්‍රකාශ වේ. පැසිපික් සාගරයේ උණුසුම හෙයින් වාතය ඉහළට නැග සුළං සමග වැහි වලාකුළු වෙනත් දිශාවකට යොමුවේ.

සාමාන්‍යයෙන් වසර හතකට පමණ වතාවක් මෙම තත්ත්වය වාර්තා වී තිබේ. නිරිත දිග මෝසම් වැසි පමා කරන්නට හේතුවන මෙම ස්වභාවය 1998 හා 2016 වසරවල වාර්තා වී ඇත. 

නියඟයෙහි බලපෑම අඩු ආදායම්ලාභීන්ට දරැණු ලෙස අත්විඳින්නට සිදුවීම අවාසනාවකි. ධනය ඇති සමාජය අවශ්‍යතා ඉක්මවා ජලය පරිහරණය කරයි. ජල සම්පත් මණ්ඩලය අනතුරැ අඟවන පරිදි අගනුවර හා තදාසන්න ප්‍රදේශවලට සැපයෙන නළ ජලයෙන් සෑහෙන කොටසක් වාහන සේදීම, විසිතුරැ ගෙවතු නඩත්තුව සඳහා භාවිතා කෙරේ.

අපතේ හරින නළ ජල ඒකක ගණන ද සැලකිය යුතු ප්‍රශ්නයක් බව දක්වයි. කාලගුණ තත්ත්ව වෙනස්වන විට එයට අනුරෑප වන පරිදි පැවැත්ම වෙනස්කරගැනීමේ අවශ්‍යතාව මතුවේ. නියඟයක දී, වගකීමක් සහිත ජලය පරිහරණය සම්බන්ධ අවබෝධයක් ජනතාවට සන්නිවේදනය කිරීම ප්‍රධාන සැලැස්මක කොටසක් විය යුතුය. බලධාරීන් ජල මූලාශ්‍ර ආරක්ෂා කරන්නට පොලිසිය යොදවන අතර ජනතාව පත්ව සිටින ඉරණම විනිවිද දකින්නේ නැත.

ජලයට හිමිකම් කියන අයිතිය ජනතාවට 
පිරිසුදු පානීය ජලය ලබාගැනීමේ අයිතියක් ජනතාවට ඇත. ජල මූලාශ්‍ර නිසි පරිදි සංවර්ධනය කර භාවිතා නොකිරීම සහ ස්වභාවික පැවැත්ම විකෘති කරන සංවර්ධන තීරණ ගැනීම යනාදිය වරදක් බව අවධාරණය කළ යුතුව තිබේ. ජනගහනය වැඩිවීම සමග මෙම තත්ත්වය සංකීර්ණය. පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි පරිදි වාසස්ථාන සංඛ්‍යාව ඉහළ යන පසු ජලය සම්පාදනය ප්‍රමාණාත්මකව වර්ධනය කර නැත. ස්වභාවිකව ගලා බසින ගංගා හරස් කර වේලි බඳින අතර නිසි දීර්ඝ අධ්‍යයන රහිත වාරිකර්මාන්ත ස්වභාවික පැවැත්මට හානිකර වී තිබේ.

අතීතයේ දී වාරි සංස්කෘතියක පිහිටි, අහසින් වැටෙන දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට යවන්නේ නැති ප්‍රතිපත්තියක සිටි රජ දරැවන්ගේ දවස සිට අද වන විට පරිවර්තනය වී ඇති තරම විශාල පරාසයක් ගෙන ඇත. ජල පද්ධතිවල රොන් මඩ පිරී ධාරිතාව අඩුවීම ගැන තොරතුරැ අනාවරණය වී තිබේ. වැව් හා ජලාශවල රොන් මඩ ඉවත් කරන සැලසුම්වල දුබලතැන් වරින්වර මාධ්‍ය අනාවරණය කර ඇත.

ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ පාරම්පරික අදහස් පසෙකට විසි කරන නිලධාරී තීන්දු හේතුවෙන් සුළු නියඟයක දී  පවා ජලාශවල  ජල මටට්ම වේගයෙන් පහත වැටෙන බව නිරීක්ෂණය කර ඇත. කෘෂිකර්මය පවා අඩු ජල භාවිතා තාක්ෂණයකට පරිවර්තනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කෘෂි විද්‍යාඥයන් පවා වී වගාවට ජලය විශාල සේ යෙදවීම ප්‍රශ්න කර ඇත. පැරණි ගොවියෝ වල් බිහිවීම වැළැක්වීමට ජලය කළමනාකරණය කරනලද නමුත් වර්තමානයේ දී වල් නාශක භාවිතා කරන අතර ජලය ද ඉවක් බවක් රහිතව යොදවයි. 

ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් සංගණනයක් කරන අතර ආරක්ෂා කළ යුතු ස්වභාවික සම්පතක් බව ජාත්‍යන්තර අධ්‍යයන වාර්තා ශ්‍රී ලංකාවට අනතුරැ ඇඟවීය. තමන්ගේම ළිඳක් පරිහරණය කරන අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කරගත් සමීක්ෂණයක් රජය කර ඇති අතර මෙම සමීක්ෂණය ළිං ජලයටත් බද්දක් ගැනීමට බව හුවා දක්වන ලද විපක්ෂ දේශපාලනඥයන් එහි වාර්තාවලින් අවධාරණය කරන ලද කරැණු කිසිම විමසීමකින් තොරව පසෙකට දමා ඇත.

2000 වසරේ දී පරිසර අමාත්‍යංශය සකස් කරන ලද  වාර්තාව මෙම විමර්ෂණ අතරින් තවත් එකකි. ආණ්ඩු වෙනස්වන අතර නිලධාරීහුද ස්ථාන මාරැවීම් ලබති. සකස් කරන ලද වාර්තා ආරක්ෂිතව තිබේ. නියඟයක් හෝ අධික වැසි සහිත කාලයක විනාශය අතරතුරැ නැවත අලුතින් අධ්‍යයනය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව නිරීක්ෂණය කළ හැකිය.

කෘෂිකාර්මික කටයුතුවලට අත්පත්ව ඇති ඉරණම
රට පුරා නියඟයක් පවතින අතර ජලය සොයා වෙහෙසෙන ජනතාවගේ දුක ජනමාධ්‍ය වාර්තා අනාවරණය කරයි. සතුන්ට ජලය සැපයීමට පවා යුහුසුළුවන පිරිසක් සිටිති. නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ආණ්ඩුව සහන බෙදන බව ආණ්ඩුවේම ආයතන දන්නේ නැත.

වාර්තා දක්වන පරිදි රට පුරා පවුල් 81,158 ක් තදබල ලෙස නියඟයෙහි බලපෑමට ලක්ව ඇත. පළාත් නමයකම අධික උණුසුම පවතින අතර දිස්ත්‍රික්ක දහ නවයක නියඟයක බලපෑම පවතින බව ආපදා කළමනාකරණ අංශ කියා සිටී. වැඩිම බලපෑම යාපනය දිස්ත්‍රික්කයට වන අතර සබරගමුව, නැගෙනහිර, වයඹ හා ඌව පළාත් ද දැනෙන පීඩාවකට ගොදුරැ වී සිටී. 

මෙම ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු අඩාල වී තිබේ. වී වගාවට හානි සිදුවී ඇති අතර මිරිස්, එළවළු හා බී ලූනු වගාවලට ජලය සැපයිය නොහැකි වී ඇති ගොවීහු ඒවා වැනසී යන ආකාරය බලා සුසුම් හෙළති. ඉවසාගත නොහැකි ඇතැම් පිරිස් වගාවට ගිනි තබා විනාශ කරන අතර එවැනි විනාශ කිරීම වන්දි ලබාගැනීමේ දී බාධාවක් බව නිවේදනය කරන්නට ඇමැතිවරැ හා නිලධාරීන් අකෘතඥවීම ද තවත් පැත්තකි.

තේ වගාවට ද දරැණු බලපෑමක් පවතී. සාමාන්‍යයෙන් තේ වගාව  ප්‍රශස්ථ මටට්මක පැවැතීමට පොහොර හා ජලය අවශ්‍ය කෙරේ. පොහොර මිල අනුව සීමාසහිතව යොදවන කුඩා තේවතු හිමියෝ නියඟයේ බලපෑම හේතුවෙන් තේ වගාව වියැළී යන තත්තවයක් යටතේ මහත් පීඩාවක පසුවෙති.

වගා හානිය හේතු කොට ගෙන ගොවියන්ගේ ආදායම අඩුවිය හැකි අතර අස්වැන්න නොලැබීම ඉදිරියේ පාරිභෝගිකයන්ට දැඩි අපහසුතා ඇතිවිය හැකිය. දැනටමත් එළවළු, පලතුරැ සහ ලූනු මිල ගණන් ඉහළ යමින් පවතින අතර  වී සහ සහල් තොග ප්‍රමාණවත්ව ඇති බවට බලධාරීන් කරන ප්‍රකාශවල ප්‍රතිඵල ඉදිරියේ දී හෙළිදරව් වනු ඇත. අසල්වැසි ඉන්දියාව ඔවුන්ගේ කෘෂි බෝගවලට කාලගුණ බලපෑම හේතු කොටගෙන සීනි අපනයනය තහනම් කර ඇති අතර ලූනු හා සහල් අපනයනයේ දී සීමා පනවා තිබේ. මෙම තත්ත්වයේ පීඩාව ඉදිරි කාලයේ දී වෙළඳ පොළ තුළ නිරීක්ෂණය කළ හැකි වනු ඇත. 

දුප්පත් මිනිසුන්ගේ නළ ජලය ද කපා හැරේ
කෘෂිකාර්මික කටයුතුවලට ජලය ප්‍රමාණවත් නොවීම බරපතළ තත්ත්වයක් නමුත් එයටත් වඩා සාහසික කරැණක් අවධානයට යොමු කළ යුතුව තිබේ. ජල ගාස්තු නංවන ලද ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි බිල් පත් නොගෙවන ජල පාරිභෝගිකයන්ගේ සැපයුම අත්හිටුවමින් සිටී. පසුගිය සතියේ දහස් ගණනකගේ ජල සැපයුම කප්පාදු කළ ජල සම්පත් මණ්ඩලය වහාම බිල් ගෙවන ලෙස බලකළ අතර නැවන සන්ධි කිරීමක දී රුපියල් දෙදහසක පමණ ගාස්තුවක් අය කර ඇත.

ආණ්ඩුවේ අමාත්‍යංශයක මෙවැනි අමනුස්ස විධි විධාන ගැන ප්‍රතිපත්ති සම්පාදක අංශ අවධානයට ගත යුතුය. ජලය හා විදුලිය හිඟ බිල්පත් ගෙවිය නොහැකි  වී සිටි දහස් ගණනක් සිය රන් ආභරණ උකස් කර බිල් ගෙවන ලද බව පාර්ලිමේන්තුවේ චණ්ඩි පාට් රඟපාන මහජනන නියෝජිතයෝ නොදනිති. රන් අබරණ උකස් ණය පොලිය සියයට දහ අට දක්වා අඩු කිරීමෙන් පසු බිල් ගෙවා ජලය ලබාගෙන නියඟයට මුහුණ දෙන බව ප්‍රතිපත්ති සම්පාදකයන් කල්පනා කරන්නේ නම්, එය ඉතාම බරපතළ වරදකි. 

රට තුළ පවතින කාලගුණය හා ජලය හිඟවීම සලකා බලා කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමකි. අඩුම තරමින් බිල්පත් ප්‍රමාදය අනුව සැපයුම විසන්ධි කිරීමේ නියෝග තාවකාලිකව නතර කළ යුතුය. ජල ගාස්තු අඩු කිරීම මානුෂික අවශ්‍යතාවකි. මිනිසුන් පිපාසයෙන් පෙලන කාලයක ජලයට ගාස්තු වැඩි කිරීම යුක්තිසහගත තත්ත්වයක් නොවේ. තීරණ ගන්නා අබුද්ධික පිරිස් ජනතාව නගන විලාපය නොදන්නා අතර මේවායේ අතුරැ ප්‍රතිඵල ඡන්දයක දී ප්‍රකාශ විය හැකිය. තමන්ගේ ජන කොටස් විඳින අතවර ගැන නොතකා දේශපාලනඥයන් කරන කටයුතු අනුමත කළ නොහැක.

ජල අවශ්‍යතාවයෙහි තරම බලධාරීන් නොදන්නේ ඇයි? නියඟයක් පවතින අවස්ථාවක පවතින අධික උණුසුම හේතු කොටගෙන ජලය වැඩිපුර පානය කරන සේ සෞඛ්‍ය අංශ අවවාද කර තිබේ. නුවර පෙරහර නැරඹීමට එන පිරිස්වලට ද ජලය ඇති තරම් භාවිතා කරන සේ සංවිධායකයෝ දැනුම් දී ඇත. බවුසර් යොදවා ජලය සැපයෙන තීරණ ගෙන තිබේ. සාමාන්‍ය දුප්පත් ජනතාව කෙරෙහි අනුකම්පා රහිත තීරණ අසාධාරණ බව අවධාරණය කළ යුතුය.

අනාගතය උදෙසා තීරණ ගැනීමේ වැදගත්කම
ජල මූලාශ්‍ර වියැළීම සමග විදුලිය උත්පාදනයට ද ප්‍රශ්න මතු වී තිබේ. ජල විදුලිය උත්පාදනය සියයට පහළොවක් දක්වා පහත වැටී ඇත. ගල් අඟුරැ හා දැවි තෙල් බලාගාර සඳහා දවසකට රැ. බිලියන 1.5 ක් වැය කරන්නට සිදුවී ඇත. කාසල්රී ජලාශයේ විදුලිය උත්පාදනය වෙනුවට කොළඹ නගරයට අවශ්‍ය ජලය සැපයීම ප්‍රධාන අවශ්‍යතාව සේ සලකා තීරණ ගැනීමට සිදුවී තිබේ.

උණුසුම සමග ජලය හා විදුලිය පරිහරණය දෙගුණ විය හැකි අතර එය පිරිවැය කළමනාකරණය කරගත නොහැකි තරමේ අර්බුදයක් විය හැකිය. නියඟය, අධික වැසි ඇතුළු කාලගුණ වෙනස්කම් හේතුවෙන් රටට ඇතිවන බලපෑම ගැන බලධාරීන් නොදන්නවා නොවේ. ස්වභාවික විපත් කළමනාකරණය කරගත හැකි යාන්ත්‍රණ ගැන නූතන සමාජය දැනුම්වත්ය.

පසුගිය නියඟය සමග චීනයෙන් ගෙන්වන ලද රසායනික ද්‍රව්‍ය වැහි වලාකුළු රුස් කිරීමට අත්හදා බලන ලද බව සඳහන් කළ යුතුය. ජල සංරක්ෂණය ගැන වැඩමුළු පැවැත්වීය. ජල මූලාශ්‍ර සංගණනයක් අරඹන ලද අතර බෝතල් කරන ලද පානීය ජලය ගැන විශාල අවධානයක් යොමු කළේය. මේවා කෙටි කාලීන අංශ බව දැක්විය යුතුය. රටට ගැළපෙන දීර්ඝ කාලීන විසඳුම් ද යෝජනා කළ යුතුව ඇත.

යාපනය ජනතාව නියඟයෙන් පීඩා විඳින නමුත් විශාලතම මුහුදු පද්ධතියකින් ආවරණය වී තිබේ. මුහුදු ජලය පිරිසුදු කර භාවිතා කරන රටවල් ගණන විශාල බව සඳහන් කළ යුතුය. ක්වෙට් රාජ්‍යය 1951 වසරේ සිට එය කරගෙන යයි. සිංගප්පූරැව සිය ජල අවශ්‍යතාවෙන් සියයට තිහක් මුහුදු ජල පිරිපහදුවෙන් ලබා ගනී.

ශ්‍රී ලංකාව මේ ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි? ඇතැම් රටවල් අප ජලය ප්‍රතිචක්‍රීය කර නැවත භාවිතා කරයි. මුළුතැන්ගේ භාවිතා කර ඉවතට යන ජලය හා නාන කාමරවල ජලය තමන්ගේම පිරිපහදු යන්ත්‍රවලට ඇතුළු කරන අතර ඒවායේ පෙරී එන ජලය වැසිකිළි කොමඩ් හා ගෙවතු වගාවට යෙදවේ.

පානීය ජලය තරමටම පිරිසුදු කළ හැකි තාක්ෂණය හේතුකොටගෙන යහපත් අත්හදා බැලීම් කරන රටවල් ඇත. ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, ජපානය, සිංගප්පූරැව, බෙල්ජියම හා දකුණු අප්‍රිකාව එවැනි අවස්ථා සම්පාදනය කරගෙන ඇත. නළ ජලය සපයන සෑම නිවෙසකටම කුඩා ජලපිරිපහදු ඒකක සවිකළ යුතු අතර එම ජලය ප්‍රතිභාවිතා කිරීම ශ්‍රී ලංකාවට හුරැ කළ යුතුවේ. ජලයට ගෙවන වියදම අඩු කරනු ඇති අතර විශේෂයෙන්  සංරක්ෂණය හා අරපිරිමැස්ම ගැන පාඩමකි. 

සාරා කන්දෙගොඩ