ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව රාජ්‍ය නායකයා, අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තුව ආණ්ඩුව ලෙස සැලකේ. මෙලෙස සංවිධානය වන ආණ්ඩුවක පැවැත්මට බලපාන ප්‍රධාන සාධකය සාමූහික වගකීම සහ පොදු ප්‍රතිපත්තියක් අනුව ක්‍රියා කිරීමයි.
එහෙත් වත්මන් ආණ්ඩුව දෙස විමසුම් ඇසින් බලන විට ආණ්ඩුවක තිබිය යුතු මෙම සාමූහිකත්වය අපේක්ෂිත අයුරින් නොපවත්නා බව පසක් වෙමින් තිබේ. ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණවලට එරෙහිව ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ නියෝජනය කරන මැති ඇමැතිවරු එළිපිට මත දක්වති. ඉන් නොනැවතී ආණ්ඩුවේ තීරණවලට එරෙහිව කැබිනට්ටුව නියෝජනය කරන අමාත්‍යවරුම නඩු පවරති. මේ ගැන ඔවුන්ගෙන් විමසූ කල පවසන්නේ නිරෝගී ආණ්ඩුවක දේශපාලන මත ගැටුම් ස්වාභාවික බවත් එය ආණ්ඩුවේ පැවැත්මට උපකාරී වන බවත්ය. එහෙත් ඔවුන්ගේ මෙම තර්කය ජනතාවට නම් පෙනෙන්නේ විහිළුවක් ලෙසය. ඒ මීට පෙර කිසිම අවස්ථාවක ආණ්ඩුවේ ඇමැතිවරුන් ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ අවස්ථාවක් මෑත ඉතිහාසයේ සටහන් නොවන බැවිනි. ආණ්ඩුව කිසියම් විදේශ ආයෝජනයක් කැඳවූ විට එය රට විකිණීමක් ලෙස ආණ්ඩුවේම ඇමැතිවරු මහජන රැස්වීම් තබා ප්‍රකාශ කරති. මෙය දූෂිත ගනුදෙනුවක් යැයිද කියති. මේ ආකාරයට සිදුවන දේශපාලන හැලහැප්පීම් නිසා ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යය ආරක්ෂා වන්නේ කෙසේද යන්න ඔවුන්ගේ මෙම ක්‍රමෝපා ගැන නොතේරෙන ජනතාවට නම් ප්‍රශ්නයකි.
හවුල් ආණ්ඩු තිබෙන විට මත ගැටුම් ඇතිවිය හැකිය. ඒ ඒ පක්ෂවලට විවිධ මත තබාගැනීමටද අයිතිය තිබේ. ඔවුන් ඒ සියල්ල රතු ඉර නොපනින සීමාවේ රඳවා ගන්නට පරෙස්සම් විය යුතුය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ හරය වන සාමූහික වගකීම යම් අමාත්‍යවරයකු උල්ලංඝනය කරන්නේ නම් එය යුක්ති සහගත නොවේ. අමාත්‍යවරුන් එලෙස ක්‍රියා කරන විට සාමාන්‍ය මන්ත්‍රීවරුද එය ආදර්ශයට ගනිති. එහෙත් ආණ්ඩුව පාලනය කරන ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ නායක කාරකාදීන්ටද මෙම තත්ත්වය නිවැරැදි කිරීමේ වගකීමක් ඇත. මෙරට මෑත අතීතයේ මෙලෙස සාමූහික වගකීම කඩකිරීම නිසා අමාත්‍යවරුන් ගණනාවකට තනතුරු අහිමි වූ අවස්ථාද තිබේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ එම්.ඩී.එච්. ජයවර්ධන, සිරිල් මැතිව්, රොනී ද මැල් ආදී ඇමැතින් ගණනාවක් රජයෙන් ඉවත් කළේ සාමූහික වගකීම හා විනය උල්ලංඝනය කිරීම නිසාය. ප්‍රේමදාස රජය සමයේ ලලිත් ඇතුළත්මුදලි හා ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන අමාත්‍යවරුන්ගේ ඇමැතිකම පමණක් නොව මන්ත්‍රී ධූරයද අහෝසි කළේ දෝෂාභියෝගයට විපක්ෂවීමට කැබිනට්ටුවේදී එකඟ වී පසුව දෝෂාභියෝගයට පක්ෂව ක්‍රියා කිරීම නිසාය.
ආණ්ඩුව පමණක් නොව නිවසක වුවද යහපැවැත්මට බලපාන ප්‍රධාන සාධකය වන්නේ විනයයි. මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් මේ විනයේ වගකීම ඉහළින්ම බලපවත්වයි. රජයේ යම් තීන්දුවකට හෝ මතයකට විරුද්ධ නම් එය ආණ්ඩුව තුළ විවේචනය කරනවා විනා දේශපාලන රඟ මඬලට විත් ආණ්ඩුව විවේචනය කිරීම සාධාරණද යන්න ප්‍රශ්නයකි. සමහර විට දේශපාලනඥයන් ඊළඟ මැතිවරණයේදී වැඩි මනාප ලබාගන්නට රට වෙනුවෙන් හඬ නගනවා යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මෙලෙස ක්‍රියා කරනවා වන්නට පිළිවන. එය ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂ සාධනය සඳහා කරන්නක් මිස රටේ යහපැවැත්ම උදෙසා බලපාන්නක් නොවේ.
මේ වන විට රටේ පොදු ජනතාවට බලපාන ප්‍රශ්න රාශියකි. අධික ණය බර, ගෑස් සම්බන්ධයෙන් හටගෙන තිබෙන අර්බුදය, පොහොර ප්‍රශ්නය, දරාගත නොහැකි ජීවන වියදම, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය, කොරෝනා වසංගතය මෙම ප්‍රශ්න පත්‍රයේ ඉහළ ප්‍රමුඛතාවක් සටහන් කරයි. එහෙත් ඒවා පසෙක තිබියදී දැන් ආණ්ඩුවේ අභ්‍යන්තර අවුල් වියවුල් කළමනාකරණය නොකර ඒවාද අර්බුද බවට පත්වන්නට ඉඩ දී තිබෙන සැටියක් දක්නට ලැබේ. ජනතා ප්‍රශ්න සැබවින්ම හඳුනාගෙන ඒවාට සංවේදීව ප්‍රතිචාර දැක්විය යුතු මොහොතක වත්මන් රජය ඒ සඳහා සාමූහික කැපවීමක් කරන්නේද යන්න මුළු මහත් සමාජයම නගන ප්‍රශ්නයයි. වත්මන් ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක ජනතාවක් මනාපය පළ කළහ. ආණ්ඩුවට මැතිසබයේ තුනෙන් දෙකක බලයක් හිමිකර දුන්නේය. එහෙත් එසේ වූවාය කියා යමෙකුට හිතූ මනාපයට අත්තනෝමතික ලෙස ක්‍රියා කරන්නට මෙම ක්‍රමය තුළ අවකාශ නැත. විශේෂයෙන්ම ආණ්ඩුවේ ඉහළ සහ පහළ ස්ථර අතර තිබිය යුතු අනවරත සම්බන්ධය බෙහෙවින් දුර්වල අඩියකට පත්ව ඇතිව බව දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන පුවත්වලින් ගම්‍ය වේ.
එසේම ජන මතයට කන්දීම අතින්ද ආණ්ඩුවේ දුර්වලතාව කැපී පෙනේ. විශේෂයෙන්ම රසායනික පොහොර ප්‍රශ්නයේදීද ජනමතය නොතකා ආණ්ඩුව හිතන දේම කරන්නට යාමෙන් අනාගතයේ සාගතයක් පවා හටගනු ඇතැයි මුදල් අමාත්‍යවරයාම වරක් පවසා තිබුණි. ඒ නිසා දැන්වත් ආණ්ඩුව යථාර්ථය තේරුම් ගත යුතුය. ජනතාවගේ සැබෑ ප්‍රශ්න කෙරෙහි සංවේදීවීම අත්‍යවශ්‍ය කරුණකි. මෙය රාජ්‍ය නායකත්වයේ සිට පහළටම පැවතිය යුතු තත්ත්වයකි. එසේම ආණ්ඩුවේ විනය ආරක්ෂා කරගෙන ඉදිරියට යාම ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ වගකීමය. එසේ නොකළොත් ආණ්ඩුව මෙන්ම රටද ඉබාගාතේ යන තත්ත්වයකට පත්වීම ‘වයිමාටවත්’ වැළැක්විය නොහැකි වනු ඇත. එම නිසා ආණ්ඩු කරන්නට තිබෙන ඉදිරි වසර තුනක කාලය සලකා 2022 සිට හෝ ජනතා ප්‍රශ්නවලට සංවේදී වන විනයගරුක ආණ්ඩුවක් ක්‍රියාත්මක වනු දැක්ම පොදුජන අපේක්ෂාව බව සටහන් කරමු.
(***)