නිවැරැදි විචාරයක් නැතිවුණාම සාහිත්‍යය අයාලේ යනවා


තීරු ලිපි රචකයකු, ගීත පද රචකයකු, ලේඛකයකු මෙන්ම සංස්කාරවරයකු ද වන නීතිඥ අනුර හෑගොඩ අගනුවර තරුණ කවි සමාජයේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරයි. දීර්ඝ කාලයක් ලන්ඩන් නුවර වෙසෙමින් ලාංකික සාහිත්‍යයේ පෝෂණය වෙනුවෙන් දායක වෙමින් සිටින අනුර හෑගොඩ සංස්කරණය කළ නවතම කෘතිය ‘ලන්ඩන් කවි’ නමින් ලන්ඩන් කවි සරණියේ ප්‍රකාශයක් ලෙස පසුගියදා  එළිදැක්වුණි. වීමංසා මෙවර සංවාදය නීතිඥ අනුර හෑගොඩ මහතා සමඟ පැවැත්වෙන්නේ ‘ලන්ඩන් කවි’ කෘතිය පසුබිම් කොටගෙනය.

• ‘ලන්ඩන් කවි’ කෘතියට ඇතුළත් වන්නේ  බ්‍රිතාන්‍යයේ සහ මෙරට වෙසෙන ශ්‍රී ලාංකික කවියන්ගේ කවි එකතුවක්. ඔබ මුලින්ම 2003 දී ලන්ඩන් කවි පළ කරන්නේ නොමිලයේ පළ කෙරෙන මුද්‍රිත සඟරාවක් හැටියටයි. පසුව එය ඔබ අන්තර්ජාලයට එක් කරනවා.‘ලන්ඩන් කවි’ කෘතියක් ලෙස පළකිරීමට ඔබ කල්පනා කළේ ඇයි?

ඔබ කිව්වා වගේම ‘ලන්ඩන් කවි’ මුද්‍රිත සඟරාවක් හැටියට කලාප දොළහක් පළ කරන්නට අවස්ථාව ලැබුණා. එය අන්තර් ජාලයෙන් නිකුත් කෙරුණේ 2021 වසරේ සිටයි. ‘ලන්ඩන් කවි’ වල ප්‍රධාන අරමුණ වුණේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික කවි කිවිඳියන්ගේ නිර්මාණ ඉදිරිපත්  කිරීම වුවත් ක්‍රම  ක්‍රමයෙන් එය ශ්‍රී ලංකාවේ මෙන්ම විප්‍රවාසී කවියන්ගේද කවිවලින්  පිරී ගියා.

කවියකු හැටියට ශ්‍රී ලංකාවේ අද බොහෝ විට අගයක් ලැබෙන්නේ මුද්‍රිත කවි සංග්‍රහයක් එළිදැක්වුවාට පසුවයි. ඒත් ෆේස් බුක් වගේම අන්තර්ජාලයේත් තමන්ගේම  බ්ලොග් අඩවිවලත් කවියන්ගේ අපූර්ව නිර්මාණ අපට හමුවෙනවා. මේකෙන් වැටහෙන්නෙ ලෝකයේ කොතැන ජීවත් වුවත් ලාංකිකයන්ගෙන් තවමත් කවිය  ගිලිහී ගොස්  නොමැති බවයි. මට මුණගැසුණු එවැනි නිර්මාණ කෘතියක් හැටියට සංග්‍රහ  කරන්න කල්පනා කළා. 

• ‘කෘතියක් මුද්‍රණයෙන් නිකුත්වීම’ කියන කාරණය ඔබ හැමවිටම අගයමින් කතා කරන දෙයක්. තාක්ෂණය මේ තරම්  දියුණු විවිධ මාධ්‍ය ඔස්සේ කියැවීම හා නිර්මාණ පළවීම ව්‍යාප්තව ඇති යුගයක කවි පොත් මුද්‍රණයෙන් නිකුත්වීම ගැන මේ තරම් උනන්දුවන්නේ ඇයි? 

අන්තර්ජාලය සහ ෆේස්බුක් හරහා දක්ෂ කවියන් බිහිවී සිටිනවා. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි මේ නිර්මාණ කියවලා දවසක් දෙකක් යනකොට නැවත  මුණගැහෙන්නෙ අලුත් නිර්මාණයක්. මුලින් දුටු කවිය ගැන සමහර විට නැවත කතා කරන්න ලැබෙන්නේ නෑ. පොතක් එහෙම නොවෙයි. එය බොහෝ දෙනා අතට පත්වෙනවා. එකතුවක් හැටියට  තියෙනවා. නිතර භාවිතයට ලැබෙනවා.
මම හිතන්නෙ තාක්ෂණය මොනතරම් දියුණු වුණත් පොතක් කියැවීමෙන් ලබන වින්දනය වෙන තාක්ෂණික මාර්ගයකින් ලබන්න බැහැ. කවිය පමණක් නොවෙයි වෙනත්  කවර සාහිත්‍ය ක්ෂේත්‍රයකට වුවත් මේ කාරණය පොදුයි. සුභාෂිතය, කවි සිළුමිණ, කාව්‍යශේකරය, ගුත්තිලය ඇතුළු පුරාණ සාහිත්‍යයේ වටිනාකම් අදටත්  රැකිල තියෙන්නෙ මුද්‍රණය නිසයි. සීගිරි ගීවල  වටිනාකම් රැඳුණෙ ලේඛනය නිසයි. ඒ නිසා මුද්‍රිත ලේඛනයට අභියෝග කරන්නට වෙනත් කුමන තාක්ෂණික භාවිතයටවත් හැකිවේවි යැයි මා සිතන්නේ නෑ. 

• ඒත් ලෝකයේ බොහෝ රටවල් දැන් ‘ඊ පොත්’ සංකල්පයට හුරුවෙමින් සිටිනවා නේද?

ඇත්ත, ඒත් පොතක් අතට අරගෙන කියවන සැහැල්ලුව ඒවායේ තියෙනවද? අපි ඒ කියැවීම ඇතුළෙ කරන්නේ වෙනත් ප්‍රවෘත්ති  බලනව වගේම  ඔහේ කියවාගෙන යාමයි. නිදහසේ රසවිඳින්නට එයින් ලැබෙන ඉඩ හරිම අඩුයි. කවි පොතක කවියක් පෙරළගත්තම ඒ දිහා අපි බලාගෙන ඒක රසවිඳිනවා. නැවත නැවත බලනවා. සමහර පද පේළි  යටින් ඉරි අඳිනවා. එයින් රසවින්දනයට නිදහස ලැබෙනවා.

•  ‘සංස්කරණ කවි පොත්’ බොහොමයක දක්නට ලැබෙන්නේ නමක් දිනාගත් කවියන්ගේ නිර්මාණ පමණයි. එහෙත්  ඔබ මේ කෘතියේ ප්‍රවීණයන්ගේ කවි අතරට ආධුනිකයන්ගේ කවි රැසක් එකතු කරනවා. ඇයි ඒ? 

කෝ. ආනන්ද හිමි, බණ්ඩාර ඇහැළියගොඩ, බුද්ධදාස ගලප්පත්ති වැනි ප්‍රවීණයන්ගෙ නිර්මාණ අතර ආධුනික කවියන්ගේ නිර්මාණ බොහොමයක් මෙහි තිබෙනවා. කොටින්ම කිසි දවසක මුද්‍රණයකින් කවියක් එළි නොදැක්වූ  ආධුනිකයන්ගේ කවි පවා මේ සංග්‍රහයට ඇතුළත්. මට ඕනෑ වුණේ ජ්‍යෙෂ්ඨ කවියන්ගෙ නිර්මාණ සමඟ මේ නිර්මාණත් එක කෘතියකට සංග්‍රහ කරන්නයි.

 සතුටට කාරණය නම් මෙයින් එම ආධුනිකයන් ලැබූ උනන්දුව හේතුවෙන්  කිප දෙනෙක්ම කවිපොත් පළ කිරීමේ සූදානමින් සිටීමයි. වජිර ජයවර්ධන ඒ අතරින් එක් අයෙක්. කපිල කුමාර කාලිංග වගේ ප්‍රවීණයෙක් කියල තිබුණා ඔහු කෙටි කවි ලියන්න උනන්දු වුණේ ‘ලන්ඩන් කවි’ නිසා බව. මේ ආධුනික කවියන්ට අන්තර්ජාලයට හෝ ෆේස්බුස් එකට ඕනෑ තරම් කවි ලියන්න පුළුවන්. එ්ත් ඔවුන්ගේ හීනය තමයි  මුද්‍රිත කෘතියක ඔවුන්ගේ කවියක් පළවී තිබෙනවා දැකීම.

• ඔබ අගනුවර තරුණ කවි සමාජයේ වත්මන් සභාපතිවරයා හැටියටත් කටයුතු කරනවා. ලාංකික කවියේ වර්තමාන ප්‍රවණතා ගැන මොකද හිතන්නේ?

මුළු ලෝකයම අද  තාක්ෂණය ඔස්සේ ඉදිරියට   පැමිණ සිටිනවා. සාහිත්‍යයත් එයින් වියුක්ත වෙන්නෙ නෑ. කවිය, ගීතය, නාට්‍යය, නවකතාව කෙටිකතාව තාක්ෂණය ඔස්සේ  ඉදිරියට පැමිණීම නරකයි කියලා මම කියන්නෙ නෑ. ඒත් ඒ තත්ත්වය තිබියදීම දියුණුම රටවල පවා අදටත් කවිය  මුද්‍රණය වෙනවා. 

ලංකාව මෑත කාලෙ කවිය ගත්තොත් මම දැක්කෙ තරුණ කවියන්ගෙ බොහෝ විට තියෙන්නෙ විරෝධාකල්ප කවි. ‘ලන්ඩන් කවි’ සඟරාවෙන් අපිට එක මාසෙක‘අරගලයේ කවි’ කියල කලාපයක් කරන්න වුණා - තරුණයන් ඒ කෙරෙහි වඩාත් උනන්දුවක් ද්‍ැක්වූ නිසා. පොදුවේ ගත්තාම අලුත් පරපුර කවිය කෙරෙහි දක්වන උනන්දුවත් ඔවුන් එය නව මානයකින් ඉහළට ඔසවා තැබීමට ගන්නා  මහන්සියත් අගය කළ යුතුයි.

 මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, නුවන් තොටවත්ත, අසංක රුවන් සාගර, ඇතුළු නව පරපුරේ බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් මේ වෙලාවෙ මතකයට එනවා. ලක්ශාන්ත අතුකෝරල වගේ කවියන් කවියේ නව ප්‍රවණතා මතුකරමින් සිටිනවා. ඒ නිසා ලාංකික කවිය පිළිබඳව යහපත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් බවයි මගේ නම් විශ්වාසය.

• නව කවියේ ඔබ මේ කියන නව ප්‍රවර්ණතා කෙරෙහි විචාරකයන්ගේ ප්‍රමාණවත් අවධානය යොමු වී ඇතැයි සිතනවාද?

සාහිත්‍ය විචාරයේ මීට දශක කිහිපයකට පෙර පැවැති සාධනීය මට්ටම අද තිබෙනවාද කියන එක ගැටලුවක් තමයි. ඒත්  අන්තර්ජාලයේ බොහෝ දෙනකු නව කවිය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර බලද්දී විචාරකයන්ගේත් රසිකයන්ගේත් මේ කෙරෙහි ඇති උනන්දුව කෙතරම්ද කියන එක පේනවා. එදාටත් වඩා කවියට රසික පරම්පරාවක් සිටින බවයි එයින් පෙනෙන්නේ. ඒත් එදා වගේ විචාරකයන්ට ලියන්න, කතා කරන්න මාධ්‍යවල  ඉඩ කඩ සීමා වීමත් සාහිත්‍ය විචාරය මතු නොවීමට එක හේතුවක්.

මොනව වුණත් අපි හිතන්න ඕනෑ කවිය විතරක් නොවෙයි ඕනෑම කලා ක්ෂේත්‍රයක් ඉදිරියට යාමට විචාරය අත්‍යවශ්‍ය බව. එතකොට තමයි නිර්මාණකරුවාට තම නිර්මාණයේ සාර්ථක අසාර්ථක තැන් අඳුනගෙන ඊට වඩා උසස් නිර්මාණයක් කරන්නට ඉඩ ලැබෙන්නෙ. හොඳ පොත මොකක්ද ඒවායේ සාධනීය තැන් මොනවද කියල පාඨකයාට දැනගන්න නම් විචාරකයාගේ  මඟපෙන්වීම අවශ්‍ය වෙනවා.

හරිහමං විචාරයක් නැති වෙනකොට ඕනෑම කෙනෙකුට කවියක් නවකතාවක් නාට්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒත් ඒවා නිර්මාණාත්මක  ගුණය හීන වෙලා අයාලේ යන්න තියෙන හැකියාව වැඩියි. හොඳ නිර්මාණයක් බිහිවෙන්න නම් නිෂ්පාදනය වගේම විචාරය විවේචනයත් අත්‍යවශ්‍යයි.


අගනුවර  තරුණ කවි සමාජයේ සභාපති  නීතිඥ අනුර හෑගොඩ

සංවාද සටහන ගාමිණි කන්දේපොළ