නිෂ්පාදකයා අනාථ නොකරන්න ... මම එදත් අදත් කියනවා


දශක හයක් පුරා ශ්‍රී ලාංකේය සිංහල සිනමාවට ඇය කළ මෙහෙවර විශිෂ්ටය. රංගන ශිල්පිනියක, චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරියක, නිෂ්පාදිකාවක ලෙස මෙන්ම ලේඛිකාවකද ලෙසින්ද ඇය කලා ක්ෂේත්‍රයේ පෑ මෙහෙවර අගනේය. දශක අටක දිවි ගමනේ අදටත් තම ජනප්‍රියත්වය මෙන්ම රුවෙන්ද වෙනස් නොවී එක ලෙසම පවත්වාගෙන යන මේ ජ්‍යෙෂ්ඨ රංගවේදිනිය නමින් ශ්‍රියානි අමරසේන වන්නීය.

ඇයගේ මෙහෙවර ඇගැයීම වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් ‘‘සිනමාවේ ශ්‍රියාවිය’’ නමින් 9 වැනිදා පස්වරු 6.00ට කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී ඇය විසින්ම රචනා කළ, තමන්ගේ සිනමා දිවියේ සොඳුරු සැමරුම් ඇතුළත් ‘‘මතක සිත්තම්’’ ස්වයං ලිඛිත චරිතාපදානයද එළිදැක්වේ. විවිධ අංග රැසකින් සමන්විත මෙම උළෙල පිළිබඳවත්, තමන්ගේ සිනමා දිවිය හා වත්මන් කලා ක්ෂේත්‍රය පිළිබඳවත් මේ ජ්‍යෙෂ්ඨ රංගවේදිනිය, අධ්‍යක්‍ෂිකාව සමඟ කතාබහ කෙළෙමු. කාර්යබහුල තත්ත්වයක සිටියද සිනමාවේ ශ්‍රියාවිය ‘‘රසවින්දන’’ සමඟ එක්වීමට අමතක කළේ නැත. මේ ශ්‍රියානිගේ හඬයි.

‘‘මම පාසල් යන කාලයේදී තමයි ‘‘නරි බෑණා’’ නාට්‍යයට දායක වෙන්නේ. එයින් පස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට ඇවිත්, ආපහු වේදිකා නාට්‍යයට ගිහිල්ලා, පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉඳලා, පිටපත් රචනා කොට, ගායන ක්ෂේත්‍රයටත් ගිහින් විශාල වැඩකොටසක් කළා. විවිධ අංශ ඔස්සේ මේ අවුරුදු 60 ක කාලයක් එක දිගට වැඩකරන්න ලැබීම ගැන කලාකාරිනියක් ලෙස මට ලොකු සතුටක්. ඒ වගේම අද මේ විදිහට මම ඉන්න එක ගැන තිබෙන්නේ ඊටත් වඩා ලොකු සතුටක්. මගේ ප්‍රේක්‍ෂකයෝ වගේම මගේ හිතාදර කට්ටියත් එක්ක එකතුවෙලා මේ ජීවිතය ගත කරන්න ලැබීම ලොකු දෙයක් ලෙසයි මා සලකන්නේ.

ඇත්තටම තෘප්තිමත්. මම කිසිම දෙයක් හඹාගෙන ගියේ නෑ. ජීවිතයේදීත් එහෙමයි. කලාවේදීත් එහෙමයි. මට හඹා යන්න වුවමනාවක් කවදාවත් තිබුණේ නෑ. අර චිත්‍රපටය ඕනෑ. මේ චිත්‍රපටය ඕනෑ කියලා කිසිම බලපෑමක් මම කාටවත් කළේ නෑ. එතනදී මට සතුටුවෙන්න පුළුවන් හැම දෙයක්ම ලැබුණා කියලා කියන්න පුළුවන්. මම සතුටින් හැමදේම කළේ. ඒ නිසා තමයි මට සතුටුවෙන්න පුළුවන් නිර්මාණ මට ලැබුණේ. හඹා ගියානම් ඒ දේවල් නොලැබෙන්න තිබුණා.

කලාව උතුම් දෙයක්. කලාව අපි හරි විදිහට තේරුම් අරන් එය පරිහරණය කළ යුතුයි. හරි විදිහට හැසිරෙන්න ඕනේ. එතකොට අපට මේ ෆීල්ඩ් එක ගැන කලකිරීමක් ඇතිවෙන්නේ නෑ. හැම ක්ෂේත්‍රයේම මේ කලකිරීම තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැල හැප්පීම් තිබෙද්දී, අපි හරි විදිහට හිටියොත්, කලාවේ යම් යම් දේවල් හරි විදිහට තේරුම් ගත්තාත් අපට හොඳ ගමනක් යන්න පුළුවන්. කලාව හරියට පෝෂණය කරන්න රජය ඉන්නවානේ. ඒ දේ ඔවුන් හරියට කළ යුතුයි.

දක්‍ෂ නිර්මාණ කරන්න පුළුවන්, රඟපාන්න පුළුවන් දක්‍ෂ පිරිසක් අපේ රටේ දැන් ඉන්නවා. ජාත්‍යන්තරය සමඟ කරට කර යන්න පුළුවන් දක්‍ෂ කාර්මික ශිල්පීන් අපට ඉන්නවා. එහෙත් නිර්මාණයක් කළාට පසු, එය එළිදක්වන්න හරි ක්‍රමවේදයක් නැතිකම නිසා තමයි අපේ කලාවට අද මේ තත්වය උදාවෙලා තිබෙන්නේ. මට සිතුණු එක දෙයක් තමයි, අපි ඒ කාලයේ යාපනයේ සිංහල චිත්‍රපට පෙන්වලා හොඳ ආදායමක් ලබාගත්තා. අද එකදු සිංහල චිත්‍රපටයක්වත් පෙන්වන්නේ නෑ. අඩුම ගණනේ දමිළ භාෂාවෙන් උප සිරැසි දාලා හෝ ඩබ් කරලා හෝ අපේ සිංහල චිත්‍රපට එහේ පෙන්විය යුතුයි. ඇත්තටම එයින් අපේ නිෂ්පාදකවරුන්ට හොඳ ආදායමක් ලබාගත හැකියි. එය රජයෙන් කරන්න ඕනේ දෙයක්.

අනෙක් කාරණය, අපේ රට වටේම තිබෙන්නේ ආසියානු රටවල්. ඊට එහා ජාත්‍යන්තර රටවල් තිබෙනවා. අපේ හොඳ නිර්මාණ රජය මගින් හා තානාපති කාර්යාල සේවය මගින් ඒ රටවල කිසියම් ක්‍රමවේදයක් අනුව සුමානයක් හරි, මාසයක් හරි පෙන්වන්න පුළුවන් නම් කොච්චර හොඳද? එය කරන්න උත්සාහ කළ යුතුයි. අපේ නිර්මාණවල තිබෙන උසස් බව අනුව අපට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන්. ඒ ක්‍රමවේද හදාගන්න කලාකරුවන්වන අපට බැහැ. අපට හොඳ නිර්මාණ කරන්න පුළුවන්. ඒවා එළිදක්වන ක්‍රමවේද හදන්න ඕනේ රජය හෝ තානාපති සේවය මගින්. එවැනි දෙයක් හැදුණොත් නිෂ්පාදකයා රැකගන්න පුළුවන්. එතකොට හොඳ නිෂ්පාදකරු තව තවත් චිත්‍රපට කරන්න පෙළැඹෙනවා. දැන් තිබෙන්නේ නිෂ්පාදකයා අනාථ කරන ක්‍රමයක්. මේ දේවල් මම එදත් කිව්වා. අදත් කියනවා. ඒවා ක්‍රියාත්මක කරනවානම් හරි වටිනවා.

තරු ගුණය, තරු බැබළවීම සමාජ ක්‍රමයත් එක්ක වෙනස් වෙනවා. එදා සිටි අප වැනි කලාකරුවන් අතළොස්සකට අදට වුණත් පිටරටවලදී පවා ඉහළ ඇගැයීමක් ලැබෙනවා. සමාජ ක්‍රම වෙනස්වීමත් එක්ක ඒ සියල්ල වෙනස් වෙනවා. අද එවැනි තරු බැබළවීමක් දකින්න නැති තරම්. ඒ තරු ගුණය තිබෙන අතළොස්ස පිරිස අතරේ මටත් ඉන්න ලැබීම ගැන සතුටක් තිබෙන්නේ.

ඇත්තටම අවුරුදු ගණනාවක් තිස්සේ මෙවැනි උපහාර උළෙලක් කරන්න මගේ හිතවතුන් අතරේ තිබුණා. මට නම් එහෙම සිතිවිල්ලක් ආවේ නෑ. ගොඩාක් දෙනා නිතරම කියන්නේ ඇයි ඔයා හැම දෙයක්ම කරලා තිබෙන්නේ. මෙහෙම උත්සවයක් කරන්නේ නැත්තේ ඇයි කියලයි අහන්නේ. මම ඒක කල් දම දමා හිටියේ. මට ඒක හිතිලා මගේ ජීවිත කතාව පොතක් විදිහට දිගටම ලිව්වා. ඒ පොත එක්තරා මට්ටමකට කොහොම හරි මට ගේන්න පුළුවන් වුණා. එය දැනගත් මගේ හිතවත්තු එය එළිදැක්වීමක් කරන්න වගේම එතනදී මට උපහාර උළෙලකුත් තියන්න ලෑස්ති වුණා. ඉතිං මටත් හිතුණා, මම ආ ගමන ගැන සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් නම්, එය ඉතා හොඳයි කියලා.

ඒ අරමුණෙන් තමයි ‘‘සිනමාවේ ශ්‍රියාවිය’’ උපහාර උළෙල ආරම්භ වෙන්නේ. මගේ දුව, පුතා, ලේලි, සැමියා ඇතුළු පවුලේ අයත්, හිතවතුන් රාශියකුත්, එකතුවෙලා තමයි මේ දේ කරන්නේ. කලා ක්ෂේත්‍රයේ මා සමඟ රඟපෑ මියගිය ප්‍රවීණ නළුවන් සිහිපත් කිරීමක් මෙහිදී සිදුකරනවා. එයට විවිධ අංග කිහිපයක් තිබෙනවා. එදා සිට රඟපෑ ජවනිකා මෙදා තරුණ පරපුර ඉදිරිපත් කරනවා. චන්න විජේවර්ධන තමයි නර්තන කටයුතු කරන්නේ. මගේ හිතවත් ඉඳුනිල් දිසානායක හා කුමාර් ද සිල්වා තමයි වැඩසටහන මෙහෙයවන්නේ. අනුර බණ්ඩාර රාජගුරු කියන ප්‍රවීණ පත්‍ර කලාවේදියා තමයි ප්‍රසංගයේ පිටපත ලිව්වේ. ඔහු හැම දෙයක්ම සම්බන්ධීකරණයත් සිදු කළා. ගායිකාවෝ පිරිසක් එකතුවෙලා මගේ චිත්‍රපට එකතු කරලා ගීතයක් ගායනා කරනවා. ඒක බන්ධුල නානායක්කාර වසම් රචනා කළේ. එඩ්වඩ් ජයකොඩි සංගීතවත් කළේ. චරිතා ප්‍රියදර්ශනී තමයි සම්බන්ධීකරණය කළේ. ඒක මට හරි වටින දෙයක්.

ඔය වගේ ගොඩාක් අංග මෙයට ඇතුළත් වෙනවා. සංගම් රැසකින් මට උපහාර පුදන්න ලෑස්ති වෙලා ඉන්නවා. මගේ කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙස මෙහිදී එළි දක්වනවා. ඉතිං දශක 6ක් පුරා මා කළ කී දෑ මොනවාද කියලා 9 වැනිදා BMICH ආවොත් බලාගන්න පුළුවන් වේවි.’’

 

(***)

- සමන්ත යහම්පත්