නීති එන තෙක් නොසිට වගකීම්-යුතුකම් ඉටුකරමු


නිරෝධායන නීති කඩ කරන පිරිස්වලට දැඩි දඬුවම් පැමිණවිය හැකි වන පරිදි නව නීතිරීති ඇතුළත් ගැසට් පත්‍රයක් අද හෙටම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැතිනිය පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. ඒ අනුව රෝගය බලපවත්වන ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිශ්චය කරන බල ප්‍රදේශයක සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගැනීමට තිබූ අවහිර, බාධක ඉවත්වනු ඇත. නීතිරීතිවලට ගරු නොකරන තමන්ගේ සෞඛ්‍යය පමණක් නොව ඇසුරු කරන සමාජයේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව නොසැලකිලිමත්ව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන නව නීතිරීති අනුව ඔවුන්ට රුපියල් දසදහසක දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ මෙම දඬුවම් දෙකම හෝ නියම කිරීමට නව ගැසට් පත්‍රය අනුව හැකියාව ලැබෙනු ඇත.

 කොරෝනා සමාජයේ විවිධ ක්ෂේත්‍ර කරා විහිද යමින් පවතින පසුබිමක මෙවැනි නීති පැනවීම පිළිබඳව කිසිවකුටත් දොස් පැවරිය නොහැක. පොලීසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා තිබුණේ නිරෝධායන රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළත් එයින් අදහස් වන්නේ ජනතාව තලාපෙළා දැමීමක් නොවන බවය. එය සිදු කරන්නේ ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ යහපත් චේතනාවෙන් බව ද ඔහු කියා තිබිණි. විය යුත්තේද එයයි. ජනතාව ආරක්ෂා කිරීම සඳහා නීතිරීති ප්‍රමාණවත් නොමැති නම් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා නීති හදාගෙන හෝ ආරක්ෂාව සැලසීම වඩාත් යෝග්‍ය පියවර වෙයි.

එය එසේ වනවිට පෙන්වා දිය යුතු තවත් කාරණාවක් තිබේ. එනම් නිරෝධායන නීතිරීති කැඩෙන්නේ මහජනතාවගේ අතින් පමණක් නොවීමය. විශාල ආයතන, රෝහල්, පොදු ගමනාගමන සේවා සහ ඇතැම් රාජ්‍ය ආයතන පවා ප්‍රමාණවත් තරම් සෞඛ්‍යාරක්ෂක පියවර කෙරෙහි අවධානය යොමු නොකරන බවට උදාහරණ තිබේ. දැනට පවතින තත්ත්වය අනුව එවැනි දුර්වලතා මගහරවා නොගෙන මහජනතාව පමණක් පීඩාවට පත් කිරීම සුදුසු නොවන බව සිහිපත් කරමින් නව රීති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව සඳහන් කරමු. මහ රෝහලේ පවා වාට්ටු වසා දැමූ, සරසවි දෙකක සිසුවියන් ගොදුරු කරගත්, ගුවන් තොටුපොළට සහ පෞද්ගලික බැංකුවලට ද රිංගාගත් කොරෝනා වයිරසය හැකි පමණ පාලනය කරගැනීම මේ අවස්ථාවේ හැටියට ප්‍රමුඛත්වය ලබා දිය යුතු කාරණයයි. එහෙත් ඒ සඳහා මහජනතාව ද ස්වේච්ඡාවෙන්ම තම සහයෝගය ලබා දීම ද අත්‍යවශ්‍ය බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

අප එසේ කියන්නේ ලොව පුරා යළිත් වරක් කොරෝනා වේගයෙන් පැතිර යන ස්වභාවයක් දකින්නට ලැබීම හේතුවෙනි. අපට කොතරම් අවශ්‍ය වුවද රෝගය දැන්ම ලෝකයෙන් තුරන් වන බවට ලකුණක්වත් නැත. මේ යථාර්ථය අපි සියලු දෙනා අවබෝධ කරගත යුතු වෙමු. සෙසු වෙනත් රටවල ද නිරෝධායන නීතිරීති ඉතාම තදින් ක්‍රියාත්මක වන්නේ ද එම හේතුවෙනි. සිංගප්පූරුව වැනි රටවල මුහුණු වැස්ම නොමැතිව පාරට බැසීම පවා දඩ ගැසුම්වලට ලක්වන වරදක් හැටියට නීතිගත කර තිබේ. එපමණක් නොව කාර්යාල ඇතුළු  මහජනතාව ගැවසෙන සියලු ස්ථානවල නිරෝධායන නීති අකුරටම පිළිපැදිය යුතු අතර එම නීතිරීති කඩ කරන පුද්ගලයන්ගේ තරාතිරම නොබලා තදින්ම දඬුවම ක්‍රියාත්මක කෙරේ. අපේ රටේ ද නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ඒ ආකාරයටමය.

මෙරට වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් බැවින් එය මෙරට තුළ පාලනය කළ පමණින් සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි බවය. අද හෙටම ඉවර නොවන කොරෝනා සමඟ ජීවත් වීමට අප සියලු දෙනා ඉගෙනගත යුතු බව ද එසේම වෙනදා මෙන් සම්පූර්ණයෙන් ඇඳිරිනීතිය පනවා සමාජ ක්‍රියාකාරීත්වය නවතා මේ වසංගතයට මුහුණ දිය නොහැකි බව ද ඒ මහතා පෙන්වා දී තිබිණි. මෙය රටේ මේ මොහොතේ පවතින යථාර්ථය බව අපි සියලුදෙනා විසින් තේරුම් ගත යුතු වෙමු.

එම යථාර්ථය අනුව හැඩගැසීමට නම් තමතමන්ගේ පරෙස්සම කෙරෙහි උපරිම අවධානයකින් ක්‍රියා කිරීම හැර අපට ගත හැකි වෙනත් මගක් නැත. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇති පරිදි මූලික සෞඛ්‍යාරක්ෂක පියවර අනුගමනය කිරීම හරහා අපට අපේ ආරක්ෂාව සලසාගත හැකිය. විශේෂයෙන්ම මුහුණු වැස්ම භාවිතයත්, නිරතුරුවම දෑත් සෝදා ගැනීමත් අත්‍යවශ්‍යම කාරණයකට හැර බැහැර නොයාමත් අප කාටත් ඉතා පහසුවෙන් කළ හැකි දේ වෙයි. රටේ සියලුම කාර්යාල සහ සේවා ස්ථාන, ව්‍යාපාරික ආයතනවලදී ද මේ නීති හරිහැටි අනුගමනය කිරීම කොරෝනා වයිරසය පාලනය කරගත හැකි හොඳම මාර්ගය නම් අප සියලු දෙනාටම ඒ මාර්ගයේම ගමන් කළ හැකි නම් දැඩි නීතිරීතිවල අවශ්‍යතාව ද අඩු වනු ඇත. එහෙත් නාහෙට නාහන පිරිස් ද අප සමාජයේ සිටින බැවින් නව නීති පැනවීම ඉතා වැදගත් බව ද සඳහන් කරමු. කොරෝනා බලපෑම විසින් මුළු ලෝකයම වෙනස් කර තිබියදී අපට පමණක් නොවෙනස්ව සිටිය නොහැක.

(***)