ගත වූ මාසයක දෙකක කාලයක් තිස්සේ රටපුරා දක්නට ඇත්තේ අසහනකාරී වාතාවරණයකි. රටම අරගල භූමියක් වී ඇති සැටියක් පෙනේ. ගාලුමුවදොර පවත්නා අරගලය රටේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් පුළුල් කර ගැනීම පිණිස පැවැත්වෙන බව ප්‍රකාශිතය. එමෙන්ම ගාලුමුවදොර අරගලය තුළ කිසියම් විනයානුකූල බවක් ද පෙනෙන්නට තිබේ. සාමාන්‍ය ජනයාට හිරිහැර පීඩා අවම වන ලෙස තරුණ අරගලකරුවෝ තමන්ගේ සටන පවත්වාගෙන යති.
සටන්, අරගල, උද්ඝෝෂණ, ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් සහිත රටවල්වලට ආවේණික සංසිද්ධීන්ය. එහෙත් එම සටන් සහ අරගලවලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ උරුමක්කරුවන් වන සාමාන්‍ය ජනයාට හිරිහැරයක් නොවිය යුතුය යන්න පොදු පිළිගැනීමය. අරගලයක දී හෝ උද්ඝෝෂණයක දී තමන්ගේ ආවේග පිට කළ හැකි නමුත් සමාජය පොදුවේ ඉන් පීඩාවට පත්වේ නම් අරගලයට දිගුකාලීන පැවැත්මක් නැත. අපට මෙම අදහස සිහිපත් වූයේ මේ දිනවල රටපුරා දක්නට ලැබෙන විවිධ අරගල, උද්ඝෝෂණ සහ විරෝධතාවලට සම්බන්ධව මැවෙන අමුතු පුවත් හේතුවෙනි.
අද රටේ සෑම තැනම විවිධ පෝලිම්ය. ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම පිණිස සෑදුණු පෝලිම් අගනුවර මෙන්ම සෑම ප්‍රධාන නගරයකම දැකගත හැක. මුල් කාලයේ මෙකී පෝලිම් විනයානුකූලව ක්‍රියාත්මක වන බවක් පෙනුණ ද දැන් දැන් ඉන්ධන හා ගෑස් පෝලිම්වලද අරගලකාරී වාතාවරණයක් හටගෙන තිබේ. ඉන්ධන හා ගෑස් පෝලිම්වල රැඳී සිටින ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑම එක් අතකින් යුක්ති සහගතය. ඔවුන් දින ගණන්, වරු ගණන් නොකා නොබී පෝලිම්වල රැඳී සිටියත් තමන්ට අවශ්‍ය ඉන්ධන ටික හෝ ගෑස් ටැංකිය නොලැබේ නම් ඒ අයගේ කෝපය මිශ්‍රිත ආවේග උත්සන්න වීම වැළැක්විය නොහැකිය.
එහෙත් පෝලිම්වල රැඳී සිටිනා ඇතැම් අයගේ හැසිරීම් රටා විසින් සාමාන්‍ය ජනයා පීඩාවට පත් කෙරෙන සිදුවීම් වාර්තා වීම ඛේදයට කරුණකි. තමන්ට අවශ්‍ය ඉන්ධන සහ ගෑස් නොලැබීමෙන් කුපිතවන්නන් මහා මාර්ග වසා දමා හෝ වෙනත් ආකාරයකට මාර්ග අවහිර කර අරගල කිරීම මෝස්තරයක් බවට පත්ව ඇත. මේ දිනවල පැවැත්වෙන අපොස සා.පෙළ විභාගයට සහභාගි වන දරුවන්ගේ ගමන පවා වළක්වමින් මෙබඳු උද්ඝෝෂණ කරන තැනැත්තන්ගේ නොහික්මුණු චර්යාවන් පසුගිය දිනවල සමාජ මාධ්‍යයෙන් ද වාර්තා විය. එසේම අසරණ රෝගීන් රැගෙන යන ගිලන් රථ, සාමාන්‍ය මාර්ග ප්‍රවාහන බස් රථ, ඉන්ධන ප්‍රවාහන බවුසර, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන රථවාහනවලට පවා මඟ අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ හා අරගල විසින් තමන්ගේම පන්තියේ මිනිසුන්ට හිරිහැර කිරීම කොතරම් යුක්ති සහගතද? යන්න ප්‍රශ්න කරනු වටී. මෙහිදී අප දුටු තවත් සංවේදී ශෝචනීය සිද්ධියක් ද වේ. ඒ විවාහ මංගල්‍යයකින් පසුව මනාල යුවල ගමන් ගත් වාහනයක් මහරගමට ආසන්න නගරයක දී තෙල් උද්ඝෝෂකයන් විසින් ආපසු හරවා යැවීමයි.
මෙබඳු සිදුවීම් යුක්ති සහගතභාවය සහ සදාචාරය අතින් මෙන්ම නීතිමය අතින් ද වරදකි. මහා මාර්ගයක් දිගටම වසා තබා උද්ඝෝෂණ කරන්නට කිසිවකුට හිමිකමක් ඇතැයි අපි නොසිතමු. මහා මාර්ග රටේ සමස්ත ජනතාවටම අයත් පොදු දේපළකි. එම මාර්ග සාදා ඇත්තේ ජනතා බදු මුදලිනි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය අනුව තමන් කැමති තැනකට ගමන් බිමන් යාමට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස තහවුරු කර තිබේ. මානව හිමිකම් රකින්නටත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නටත් උද්ඝෝෂණය කරනවා යැයි කියන අයට රටේ පොදු ජනයාට ගමන් බිමන් යාමට ඇති අයිතිය උදුරා ගන්නට කිසිදු ඉඩක් නැත.
මෙහිදී ආරක්ෂක අංශවලට පැවරෙන වගකීම ඉතා විශාලය. පසුගියදා ගාලුමුවදොර උද්ඝෝෂණයට පහර දුන් අවස්ථාවේ මෙන්ම ඉන් පසුව මැති ඇමැති නිවාස ගිනිබත් කිරීමේ සිදුවීම්වල දී විශේෂයෙන්ම පොලිසිය ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව තිබේ. ඒ ගැන දැන් අධිකරණ ගණනාවක ද පොලිස් අපරාධ විමර්ශන අංශවල ද පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මකය. එසේ තිබියදී තවමත් මහාමාර්ග වසා දමා මේ ආකාරයට ජනතාවට පීඩාවට පත්වන ලෙස උද්ඝෝෂණය කිරීම පාලනයට ආරක්ෂක අංශ ගන්නා උත්සාහය ඉතාම ඇල්මැරුණු ස්වභාවයේ එකක් බව පෙනේ. ඇතැම් ස්ථානවල පොලිස් නිලධරයන් ඉතා කාර්යක්ෂම හා ප්‍රශස්ත ලෙස එබඳු තත්ත්වයන් පාලනය කරතත් බොහෝ ස්ථානවල එවැන්නක් සිදු නොවේ. නීතිය අතට ගෙන බලපුළුවන්කාරකම් පෙන්වීම යුක්තිය හෝ සාධාරණය නොවේ. තමන්ගේ අත දිගු කළ හැකි නමුත් එය අනෙකාගේ නාසයේ වැදීමට ඉඩ දීම වරදක් යැයි ප්‍රකට කියමනක දැක්වෙන්නේ එබැවිනි.
එක් අතකින් ජනතාවට දරාගත නොහැකි ආර්ථික ප්‍රශ්නය. අනෙක් අතින් සමාජයේ සාමය බිඳ වැටෙමින් පවතී. නීතිය සහ විධානය ඉතා ශක්තිමත් පදනමක සිට ක්‍රියාත්මක කළ රටකට සිදුව ඇති විපත කුමක්දැයි පූර්ව නිගමනයකට එළඹිය නොහැකි තරම් තත්ත්වය ව්‍යාකූලය. ජනතාවට දේශපාලනඥයන් දිරවන්නේ නැති තැනට පත්වන්නේ තමන් මැතිසබයට පත් කළ මහජන නියෝජිතයන්ගේ අපේක්ෂිත යුතුකම් හා වගකීම් ඉටු නොවන නිසාය. 225ම එපා එපා යැයි ඔවුන් හඬ නගන්නේ එබැවිනි. මෙම බරපතළ ස්වභාවය ආණ්ඩුව කරවන බලධරයන් වටහා ගත යුතුය. ජනතාවගේ හිස ගිනිගෙන තිබේ. දැවෙන ප්‍රශ්න රාශියක් නිසා ආවේගයට පත්ව සිටින සමාජය සන්සුන් කළ යුත්තේ ඒ අයගේ ප්‍රශ්න විසඳීමෙනි. එසේ නොකරතොත් මෙම අර්බුදය තවත් මෝරා යනු ඇත. එහි ප්‍රතිවිපාක මෙයට වඩා සහාසික වන්නටද ඉඩ තිබේ.
(***)