ශ්‍රී ලංකාවේ පුවත්පත් සඟරා මුලින් ම පවත්වාගෙන ගියේ ආගමික සන්නිවේදන මාධ්‍යයක් ලෙසටය. ඒ මගින් බොදුනුවන් කිතුනුවන් බවට පත් කිරීමට යත්න දරනු ලැබීය. එහිදී බොදු අදහස් විකෘති වීමක්, බුද්ධාගම පිළිබඳ වැරදි අදහස් සන්නිවේදනය වීමක් සිදු වූ නිසා ඊට පිළිතුරු දෙන්නට තමන්ගේම පුවත්පත් සඟරා අරඹමින් බොදුනුවෝ ඉදිරිපත් වූහ. ‘සිංහල බෞද්ධයා’ වැනි පුවත්පත් සඟරා ආරම්භ වූයේ ඒ අනුව ය. ඒ සමඟ බොදුනුවන් හා කිතුනුවන් අතර වාදවිවාද ඇති විය. පානදුරවාදය එවැන්නකි.
දශක කීපයක් තිස්සේ පැවති මේ සන්නිවේදන සංග්‍රාමය තුරල් වූයේ නිදහස් අදහස් මෝදු වන්නට පටන් ගත්තාට පසුවය. අපට මේ සඳහා බලපෑම් ඇති වූයේ භාරතයේ නිදහස් අරගලය නිසාය. ආගම් භේද, ජාති භේද, භාෂා භේද ආදී සියල්ල යටපත් කරමින් නිදහස සඳහා සියලු දෙනා එක්සිත්ව ඉදිරිපත් වූහ. ජාතික පුවත්පත් කරළියට ආවේ මේ තත්වය යටතේය. මුලින්ම ආවේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත්ය.
යටත් විජිත පාලකයන් ද මෙරට පාලනයේ වෙනසක් කරන්නට පත් කරන ලද ඩොනමෝර් කොමිසම කළ නිර්දේශය මත පාලක පක්ෂයත් ජනතාවත් අතර නිරන්තර සංවාදයක් ඇති විය යුතුය යන අදහස අනුව ‘කලම්බු ජර්නල්’ නමින් ඉංග්‍රීසි පුවත්පතක් ආරම්භ කළේ ය. එසේ ම රජයෙන් ‘ආණ්ඩුවේ ගැසට් පත්‍රය’ ද පළ කෙරිණ. ඒ පුවත්පත් දෙකෙන් ම සන්නිවේදනය සිදු වූයේ එක් අතකට පමණය. එහිදී සිදු වූයේ රජයේ අදහස් ජනතාවට ඉදිරිපත් කිරීම පමණය.
ප්‍රථමවරට අන්තර් සන්නිවේදනයක් රජයත් ජනතාවත් අතර ඇති වූයේ ‘සිලෝන් ඔබ්සර්වර්’ පුවත්පත ආරම්භ වීමත් සමඟය. එය පසුව ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් මිලදී ගනු ලැබූ අතර, එය සවස පුවත්පතක් ලෙස ලේක්හවුසියෙන් පළ කෙරිණ. දිනපතා පළ වූයේ ‘සිලෝන් ඩේලි නිවුස්’ හා ‘දිනමිණ’ යන පුවත්පත්ය. සති අන්තයේ ‘සිළුමිණ’ පළ කෙරිණ. තමන්ගේම බෙදාහැරීමේ ජාලයක් ඇති කොට ප්‍රථම වරට පාඨකයා ළඟ පුවත්පත් ගෙන යාම පටන් ගත්තේ ඩී.ආර්. විජයවර්ධන මහතා විසිනි. ඔහු මෙරට නිදහස් අරගලයට සහය වීම සඳහා මේ පුවත්පත් මෙහෙය වීය. එහිදී ප්‍රබල තැනක් හිමි වූයේ ඉංග්‍රීසි පුවත්පත්වලට ය. යටත් විජිත පාලකයන්ට හා ඔවුන්ට සහාය දුන් මෙරට ප්‍රභූ ප්‍රජාවට පොදු ජනතාවගේ අදහස් සන්නිවේදනය කෙරුණේ ඒ පුවත්පත්වලිනි. එහිදී සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ පත්‍රකලාවේදීන් අතර, ප්‍රකාශන නිදහස අගය කළ එක් සුවිශේෂී පුද්ගලයෙක් සිටියි. ඔහු අන් කිසිවකු නොව ‘සිලෝන් ඩේලිනිවුස්’ පුවත්පතේ කතු පදවිය දැරූ එච්.ඒ.ජේ. හුළුගල්ල මහතාය.
මෙරට පුවත්පත් කලාවේදීන් අතරේ දැවැන්තයකු ලෙස කැපී පෙනෙන හර්බට් ඇලෙක්සැන්ඩර් ජයතිලක හුළුගල්ල හෙවත් එච්.ඒ.ජේ. හුළුගල්ල උපන්නේ 1899 වසරේ මාර්තු 10 වැනිදා කුරුණෑගලදීය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ හුළුගල්ල ශිෂ්‍යයා, වැඩිදුර අධ්‍යාපනය සඳහා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වීම සඳහා කොළඹ ආවේය. මෙරට පුවත්පත් කලාවේදීන් අතරේ දැවැන්තයකු ලෙස පසු කාලීනව වැජඹුනත්, පුවත්පත් කලාවේදියකු වීමේ අදහසක් හුළුගල්ල ශිෂ්‍යයා තුළ නොවීය. ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරයකු වීමය. ඒ සඳහා ඔහු හොඳින් ඉගෙන ගත්තේය. රසායන විද්‍යාවෙන් ලංකාවේ පළමු වැනියා ලෙස සාමාර්ථයක් ද හිමි කර ගත්තේය.
හුළුගල්ලයන් පුවත්පත් කලාවට යොමු වූයේ දෛවයේ සරදමකටය. ඒ කාලය වන විට ඔහුගේ වැඩිමල් සොහොයුරියක ඩී.ආර්. විජයවර්ධන මහතාගේ සොහොයුරකු හා විවාහ වී සිටි නිසා කොළඹ ආ ඔහුට නැවතීමට සිදු වූයේ ඇය සමග ය. ඔහුට විජයවර්ධන මහතා හමුවූයේ එහි දීය. ඒ දවස්වල විජයවර්ධන මහතා අධිකරණ කටයුතු වාර්තා කිරීම සඳහා හොඳ ඉංග්‍රීසි දැනුම ඇති අයකු සොයමින් සිටියේ ය. හුළුගල්ල තරුණයා සමඟ කළ කතා බහේ දී ඔහු ගැන පැහැදුණු විජයවර්ධන මහතා ඔහුට තමා සමඟ එක්වන ලෙසට ඇරයුම් කළේය.
ඔහු 1918 වසරේ දී, ඩේලි නිවුස් පුවත්පතේ අධිකරණ වාර්තාකරු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණේය. එසේ පුවත්පත් කලාවට යොමු වන විට ඔහුගේ වයස අවුරුදු 17 කි. එදා රුපියල් 50 ක මාසික වැටුපකට රැකියාව ආරම්භ කළ හුළුගල්ලයන් මහත් උනන්දුවෙන් සහ කැපවීමෙන් අධිකරණ වාර්තාකරණ කටයුතුවල නියැළුණේය. වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමේ අදහස අත් හළ ඔහු ඒ වෙනුවට උසාවිය ආසන්නයේ පිහිටි නීති විද්‍යාලයට ඇතුළු විය. අවුරුදු 24 දී බැරිස්ටර් විභාගය සමත් විය. 1925 දී විවාහ වීමත් සමඟ වැඩි ආදායමක් අවශ්‍ය වූ බැවින්, නීතිඥවරයකු වශයෙන් සේවය කිරීමට ඔහු සූදානම් විය. එහෙත්, ඩී.ආර්. විජවර්ධනයන් ඊට කැමැති වූයේ නැත. ඔහු හුළුගල්ලයන්ගේ වැටුප රුපියල් 350 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත්තේය. වෙහෙස මහන්සිවී කැපවීමෙන් තම රාජකාරි කළ බැවින් කාගේත් ප්‍රසාදයට හුළුගල්ලයන් ලක් විය.
නිදහස උදෙසා, ඩී.ආර්. විජයවර්ධනයන්ගේ පුවත්පත්වලින් ගෙන ගිය ප්‍රබල ව්‍යාපාරයට ශක්තියක් වූයේ හුළුගල්ල මහතාය. එපමණක් නොව, හුළුගල්ල මහතා පසුකාලීනව ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක සහ සර් ජෝන් කොතලාවල යන අග්‍රාමාත්‍යවරුන් තිදෙනා යටතේම සේවය කළ අයෙකි. හුළුගල්ලයන් ප්‍රකට ගත් කතුවරයකු ද වෙයි.
ඩේලි නිවුස් පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කරද්දී පළවුණු කතුවැකියක් හේතුවෙන් හුළුගල්ලයන්ට සිරදඬුවමකට ලක්වීමට ද සිදුවිය. මෙය මෙරට ඉතිහාසයේ විශේෂයෙන් මාධ්‍ය ඉතිහාසයේ කැපී පෙනෙන සුවිශේෂී සිදුවීමකි. එම සිද්ධියට අදාළ කතාව ඇත්තෙන්ම අපූරුය. එදා විනිසුරුවරු කොළඹ තුරඟ තරඟ පිහිටියේ පැවැති තුරඟ තරඟයක් බැලීමට ගොස් සිටියහ. මේ බව ඩී.ආර්. විජයවර්ධනයන් දැන ගත්තේ, ඔහුගේ හිතවතකුගේ මාර්ගයෙනි. ඒ සම්බන්ධයෙන් ලියන්නැයි, විජයවර්ධන මහතා ඩේලි නිවුස් පුවත්පතට දැනුම් දුන්නේය. පසුදින ඬේලිනිවුස් පුවත්පතේ කතු වැකියක් ද ඒ ගැන පළ විය. ඒ, ‘ජස්ටිස් ඔන් හොලිඩේ’ නැතිනම් ‘නීතිය නිවාඩු යයි’ යන සිරස්තලය යටතේය. උසාවියේ නඩු ගොඩ ගැසී තිබිය දී විනිසුරුවරුන් තුරඟ තරඟ නරඹන්න යෑම එම කතු වැකියෙන් දැඩි ලෙස විවේචනය කර තිබුණි.
කතුවැකිය පළවීමත් සමඟ දැඩි ආන්දෝලනයක් හට ගත්තේය. එවකට ඬේලිනිවුස් පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කළේ හුළුගල්ල මහතාය. පුවත්පතක කතු වැකිය ලියන්නේ කතුවරයා හෝ කතුවරයාගේ අනුදැනුම පරිදි ඔහු විසින් එය පවරන වෙනත් මාධ්‍යවේදියෙකි. පුවත්පත් කලාවේ සම්ප්‍රදාය එයයි. වෙනත් මාධ්‍යවේදියකු කතු වැකිය ලියුවත් නැතත්, කතු වැකියේ වගකීම කර්තෘවරයා විසින් බාර ගත යුතුය. විනිසුරුවරුන්, තමන්ගේ රාජකාරි අතපසු කොට, තුරඟ තරඟ පිටියේ තුරඟ තරග නැරඹීමට යෑම කතු වැකියෙන් දැඩි ලෙස විවේචනය කිරීම, අධිකරණයට සිදුවුණු අපහාසයක් බව පෙන්වා දෙමින් ඩේලි නිවුස් කතුවරයා වූ හුළුගල්ල මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරිණි.
ඒ අනුව හුළුගල්ල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය. හුළුගල්ල මහතාට එරෙහිව පැවරූ නඩුවේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළේ අගවිනිසුරු සිඩ්නි ඒබ්‍රහම්, එම්.ටී. අක්බාර් සහ එෆ්.එච්.බී. කොක් යන තිදෙනා වූ අතර රාජ නීතිඥ ආර්.එල්. පෙරේරා, රාජ නීතිඥ ඒ.එච්.වී. පෙරේරා සහ ජේ.ආර්. ජයවර්ධන යන නීතිඥවරුන් හුළුගල්ල මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියහ.
එදා විනිසුරුවරුන්, තුරඟ තරග නැරඹීමට ගොස් සිටිය අධිකරණයේ වාරවසාන නිවාඩුවට අයත් දිනයක බැවින් එය රාජකාරි පැහැර හැරීමක් නොවන බව පැමිණිලිකාර පාර්ශ්වයේ තර්කය විය. ඒ අනුව ඩේලි නිවුස් පුවත්පතේ කතු වැකියෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව තහවුරු කෙරුණි. හුළුගල්ල මහතා වරදකරු විය. ඔහුට රුපියල් දහසක දඩයක් සහ එක් දින සිර දඬුවමක් නියම විය. ඒ සිරදඬුවම නම් එදින නඩු කටයුතු අවසන් වන තෙක් අධිකරණයේ රැඳී සිටීමය. ඒ අනුව ඔහු ද නීතිඥයකු වූ නිසා නීතිඥ මණ්ඩලය සමඟ විශේෂ අසුනක් පනවා හුළුගල්ලයන් නඩු කටයුතු අවසන් වනතුරු උසාවියේ රඳවනු ලැබීය. තමාට එරෙහිව ලබා දුන් එම නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් හුළුගල්ල මහතා අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් ප්‍රතික්ෂේප වූ බව පැවැසෙයි.
ඉංග්‍රීසි පුවත්පත් කලාවට පමණක් නොව සිංහල පුවත්පත් කලාවට ද හුළුගල්ල මහතාගෙන් ඉමහත් සේවයක් සිදු විය. ඒ ‘ලංකාදීප’ හා ‘දවස’ පුවත් ආරම්භ කරමින් සිංහල පුවත්පත් කලාවේ මහ පෙරළියක් කළ ඩී.බී. ධනපාල මහතා භාරතයේ සිට මෙරටට ගෙන්වා ගැනීම හේතුවෙනි. ගැටවර වියේ දී වැඩිදුර අධ්‍යාපනය සඳහා සිය ගුරුතුමා වූ ජී.පී. ආරියරත්න මහතා සමග ඉන්දියාවට ගිය ධනපාල මහතා ඉගෙන ගන්නා ගමන් එරට ඉංග්‍රීසි පුවත්පත්වලට ලිපි සැපයීය. උපාධියෙන් පසු එහි පුවත්පතක ඔහුට රැකියාව ලැබුණේය. ඒ නිසා ලංකාවට ඒමට ඔහුගේ අදහසක් නොවීය. එහෙත් ලංකාවට ඔහු තුළ වූ කැමත්ත නිසා එහි සිටි ‘ඩේලිනිවුස්’ පුවත්පතට නිතිපතා විශේෂ ලිපි සැපයීය. ව්‍යක්ත ඉංග්‍රීසියෙන් සැපයූ ඒ ලිපි නිසා ප්‍රතිවාදී ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතට වඩා ඉදිරියෙන් සිටීමට ‘ඩේලිනිවුස්’ පුවත්පතට හැකි විය. ඒ ලිපි පළ කළ එවකට කර්තෘ පදවිය හෙබ වූ හුළුගල්ල මහතා ඔහුට මුදල් යවන ගමන්, සිය පුවත්පතට අවශ්‍ය අනාගත විශේෂාංග ගැන ද දැනුවත් කළේ ය. මේ නිසා ඔවුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ගොඩ නැඟුණේය.
ධනපාල මහතාගේ ලිපි ගැන පැහැදුණු ඩී.ආර්. විජයවර්ධන මහතා හුළුගල්ල මහතාගෙන් ඔහු පිළිබඳ විස්තර විමසා ඇත. අවසානයේ දී ‘ඔහු දක්ෂයෙක්. ඔහු ගෙන්වා ගන්න. එහෙට වැඩිය හොඳ පඩියක් අපි දෙමු’ යැයි කියා ඇත. හුළුගල්ල මහතාගේ ලිපිය ලැබීමෙන් පසු ඔහු ගැන පැහැදීමෙන් පසුවූ ධනපාල මහතා ඔහුගේ ඉල්ලීම පරිදි අවුත් ‘ඩේලි නිවුස්’ පත්‍රයේ විශේෂාංග කතුවරයා ලෙස වැඩ බාර ගත්තේ ය. ඔහුගේ අදහස් අනුව පත්‍රයට නවාංග රැසක් එක් විය. ධනපාල මහතා ‘ජේනුස්’ නමින් ලියූ දේශීය කලා විචාර ලිපිය සිංහල පාඨකයන් අතර පවා ජනප්‍රිය විය.
මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ලංකාවට ආවේ මේ කාලයේ දීය. එතුමා සමග සම්මුඛ සාකච්ඡාවක් ඩේලිනිවුස් පත්‍රයේ පළ කිරීමට ඩී.ආර්. විජයවර්ධන මහතාට අවශ්‍ය විය. ඒ පිළිබඳව හුළුගල්ල-දෙපොළට දැනුම් දුන් පසු දෙදෙනාම ගොස් තාගෝර්තුමා හමු වී ඔහු සමග පැය දෙකකට වැඩි කාලයක් සාකච්ඡා කරමින් සිටියහ. සාකච්ඡාව අතරතුර ඒ කිසිවක් සටහන් කර ගත්තේ නැත. කාර්යාලයට පැමිණ සාකච්ඡාව ඉක්මනින් මුද්‍රණයට යැවිය යුතු නිසා දෙදෙනා වෙන් වෙන්ව මතකයෙන් ලියූහ. එය අනුමැතිය සඳහා තාගෝර්තුමාට යැවූ අතර ඒ ලිපිය කිසිදු සංශෝධනයකින් තොරව එතුමන් විසින් අනුමත කර ඇත. ලිපිය සම්පූර්ණයෙන්ම පළ වූයේ ධනපාලගේ නමිනි. එය හුළුගල්ල මහතාගේ මහඟු ගුණාංගයක් ලෙස දක්වමින් ධනපාල මහතා සිය ‘අමං දෝස් ප්‍රසන්ට්’ ගතෙහි සඳහන් කර ඇත. හුළුගල්ල මහතා ඩේලිනිවුස් පත්‍රයේ කතුවරයා වුවද ඔහු කිසිවකුටත් අණ දෙන්නට නොගිය බවත්, නිදහස්ව කටයුතු කළ බවත්, ඔහුට ඕනෑම විෂයයක් ගැන කතා කරන්නට මෙන් ම ලියන්නට ද හැකියාවක් තිබුණු බවත් ධනපාල මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
1948 වසරේ පෙබරවාරි 4 වැනිදා හුළුගල්ල මහතා ලේක්හවුස් ආයතනයෙන් ඉල්ලා අස්විය. ඒ එවකට රෝගාතුරව සිටි ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් පත් කරනු ලැබූ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා දුන් නියෝගයකට එරෙහි වෙමිනි. හුළුගල්ලයන් වසර 30 ක් ලේක්හවුස් ආයතනයේ සේවය කළේය. 1930 දී ඔබ්සර්වර් පත්‍රයේ කර්තෘ වශයෙන් පත් කරනු ලැබුවේ එතෙක් ඒ පදවියේ කටයුතු කළ ඉංග්‍රීසි ජාතික ක්‍රෝදර්ගේ ඉවත් වීමෙන් පසුවය. ඉන්පසු 1931 දී ඬේලි නිවුස් පත්‍රයේ කර්තෘ පදවියට ද පත් කරනු ලැබීය. ඒ පදවිය සිංහලයකුට හිමි වූ ප්‍රථම අවස්ථාව එය විය. ඒ අනුව හුළුගල්ල මහතා වසර 17 ක්ම සේවය කළේ ඬේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙනි.
හුළුගල්ල මහතා ඔබ්සර්වර් හා ඩේලි නිවුස් පුවත්පත්වල කර්තෘ ධුරයන්හි කටයුතු කළා පමණක් නොව පසුකාලීනව ඔහු එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ලේකම්වරයකු ලෙසත් අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කර ඇත. විජයවර්ධන මහතා දිවයිනෙන් බැහැරව සිටි අවස්ථාවල ලේක්හවුස් ආයතනයේ විවිධ කටයුතු පිළිබඳ උපදෙස් හා පැවරුම් සියල්ලක් ම එවන ලද්දේ හුළුගල්ල මහතාට ය. ‘ප්‍රිය හර්බට්’ කියා එවූ එවැනි ලියුම් රැසක් ‘ඩී. ආර්. විජයවර්ධන චරිතාපදානය’ට ඇතුළත් කර තිබේ.
තැන්පත් නිවුණු ගති ඇති හුළුගල්ල මහතා කිසි විටෙකත් ආවේගශීලී නොවීය. ඔහු ලංකාවේ නිදහස් අරගලය පැවති කාලයේ මෙරට සිදු වූ බොහෝ කටයුතුවලට නිහඬව දායකත්වය සැපයීය. ඔහු නියෝජනය කළේ ඉංග්‍රීසි මාධ්‍යය නිසා එවකට පැවති පාලක පක්ෂයට ස්වදේශීය නායකයන්ගේ අදහස් සන්නිවේදනය කිරීමේ දී ඔහු කළ මෙහෙය අප්‍රමාණ විය. එවකට සිටි නායකයන් බොහෝ දෙනකු ඔහුගේ සමීපතම මිතුරන් විය. සර් ඩී.බී. ජයතිලක, ඇෆ්.ආර්. සේනානායක, ඩී.ඇස්. සේනානායක, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සර් ජෝන් කොතලාවල, සර් ජේම්ස් පීරිස්, ඊ.ඩබ්ලිව්. පෙරේරා, ඊ.ජේ. සමරවික්‍රම වැනි නායකයෝ ඒ අතර වූහ.
යටත්විජිත බවින් නිදහස් වූ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතා එම ධුරයට පත්වුණු විගස හුළුගල්ල මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කිරීමට පියවර ගත්තේය. එතැන් සිට වසර 6 ක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු කටයුතු කළේය. 1954 දී අග්‍රාමාත්‍යවරයා වූ සර් ජෝන් කොතලාවල මහතා විසින් හුළුගල්ල රෝමයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත් කරනු ලැබීය. 1966 වසරේ ගුවන් විදුලි කොමිෂන් සභාවේ සභාපති ලෙස ද හුළුගල්ල මහතා කටයුතු කළ අතර ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කළේ ද එතුමන් විසිනි.
(***)
(එච්.ඒ.ජේ. හුළුගල්ල සිලෙක්ටඩ් ජර්නලිසම් ග්‍රන්ථය ඇසුරිනි)♦
ලුසිත ජයමාන්න