නීතියේ සදාචාරයේ විකෘතිය


ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළේය.

මෙම නිවේදනයේ තේරුම පැහැදිලි නැත. මන්දයත් නීතිය අනුව සිදුවිය යුත්ත විනා මෙම නිවේදනය මගින් මැතිවරණ කොමිෂන් සභාව අලුතින් කිසිවක් ජනතාවට දැනුම් දී නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට මාසයකට නොඅඩු කාලයකට පෙර හා මාස දෙකකට නොවැඩි කාලයකට පෙර ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම පැවැත්විය යුතුය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාලයේ ඉතිරිය සඳහාය. රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගෙන  නොවැම්බර් 17 වැනිදා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමග සිය නිල කාලය ආරම්භ කළේය. ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ නිල කාලය අවසන් විය යුත්තේ මේ වසරේ නොවැම්බර් 17 වැනිදාය. එතැන් සිට ආපස්සට දින 60ක් හා දින 38ක්  ගණනය කොට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාල පරාසය මෙම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

එය නීතිය අනුව සිදුවිය යුත්තක් විනා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණයක් නොවේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කෙරෙන්නේ එම කාල පරාසය තුළ නිශ්චිතවම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයයි. එය ඉදිරියේ දී සිදුවිය යුත්තකි.

කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයට තමන් තරග කරන බවට ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් අතරින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත්තේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂ සමග සන්ධාන ගත වී තරග කරන්නේ ද නැත්නම් තනිව තරග කරන්නේ ද නම් අපේක්ෂකයා කවුරුන්ද? යනාදී කිසිවක් තීරණය කරගත නොහැකිව අවුලක පැටලී සිටින බව පෙනේ.

අපේක්ෂකත්වය පවුලෙන් පිටත කෙනකුට දීමට රාජපක්ෂවරුන් සූදානම් නැති බව පෙනෙන අතර පවුලේ කෙනකු අපේක්ෂකත්වය සඳහා තෝරා ගැනීමද ඔවුනට දුෂ්කර වී ඇති බව ද පෙනේ.

පසුගිය මහ මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමෙන් එකදු ආසනයක් හෝ දිනා ගැනීමට අපොහොසත් වූ එජාපයට වත්මන් ආර්ථික අර්බුදයේ ක්ෂණික වග උත්තරකරුවන් වූ පොදුජන පෙරමුණ මහජන කෝපයෙන් බේරා ගැනීම නිසා ජනාධිපතිවරණය පිළිබඳ තීරණය තවදුරටත් දුෂ්කර එකක් වී ඇති බව පෙනේ. එම පක්ෂය ජනාධිපතිවරණය පිළිබඳව වහසි බස් දෙඩුව ද නිල වශයෙන් තම අපේක්ෂකයා නිවේදනය නොකර සිටින්නේ ඒ නිසාය. පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී තරග කරන්නේද?  නැද්ද? යන්න තවමත් නොවිසඳුණු ගැටලුවක් වී තිබීම ඊට තවත් හේතුවකි.

එසේ වුවද මහජන මුදල් හා ජනාධිපති ධුරයේ සහයෝගය දිනා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් ඔහුගේ පක්ෂය වන එජාපයත් උත්සාහ කරන බව පෙනේ. එම උත්සාහය සාධාරණ මැතිවරණයක් පිළිබඳ සංකල්පයට පටහැනි වන හෙයින් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් මේ වනවිටත් ඒ පිළිබඳව ප්‍රතිචාර දැක්වීමට පටන්ගෙන තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆ්රල් සංවිධානය ඉකුත් 3 වැනිදා එජාපයේ මෙම සදාචාර විරෝධී කටයුතුවලට විරෝධය දක්වමින් ජනමාධ්‍යයට අදහස් දැක් වූ අතර ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට ද ලිපියක් මගින් පැමිණිලි කොට තිබේ.

ආණ්ඩුව පසුගිය වසරේ ජනසවිය හා සමෘද්ධි වැඩසටහන්වලට සමාන වූ දුප්පතුන්ට මුදල් බෙදාදීමේ වැඩ සටහනක් ආරම්භ කළේය. එය ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ සමාජ ආරක්ෂණ ජාලය නම් වූ සංකල්පය යටතේ ක්‍රියාත්මක කෙරෙන්නකි. ඊට අමතරව පවුල් ලක්ෂ 27කට මාස දෙකකට සහල් කිලෝ දහය බැගින් බෙදා  දෙන්නට ආණ්ඩුව පියවර ගෙන ඇත. ඒ අතර පවුල් විසි ලක්ෂයකට ඉඩම් බෙදා දීමේ ‘‘උරුමය’’ නම් වූ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරයි. නාගරික නිවාස 50,000ක් ඒවායේ පදිංචිකරුවන්ටම අයිතිකර දීමට ද කටයුතු කෙරෙමින් පවතී.

මේ අතර වතුකරයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89 ක ජනතාවට නිවාස 10,000ක් ඉදිකොට දීම සඳහා රුපියල් කෝටි 1000ක් වෙන් කොට ඇති බව ද කියවේ. එසේම දුෂ්කර පළාත්වල පාසල්වල සිසුවියන් 800,000කට වසරකට සනීපාරක්ෂක තුවා බෙදා දෙන්නට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ආණ්ඩුව ජනාධිපතිවරණයක් අත ළඟ තිබිය දී මහජන මුදල් යොදමින් මැතිවරණ දේශපාලනයේ යෙදෙන බවට පැෆ්රල් ආයතනය චෝදනා කරන්නේ මේ වැඩසටහන් පෙන්වමිනි. 

පැෆ්රල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා ආණ්ඩුවේ තවත් ක්‍රියා මාර්ගයක් ද මෙම ලැයිස්තුවට එකතු කරමින් ආණ්ඩුව විවේචනය කරයි. එනම් සංවර්ධනයේ මුවාවෙන් මැතිවරණය වෙනුවෙන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට රුපියල් දස ලක්ෂය බැගින් වෙන් කිරීමයි. මෙම මුදල් කුමක් සඳහා කෙසේ වියදම් කරන්නේ ද යන්න තීරණය කරනු ලබන්නේ පළාත් ආණ්ඩුකාරවරුන් විසිනි. ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයාගේ නියෝජිතයෝය. ඒ අනුව එම මුදල් රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා අනියමින් යෙදවෙනු ඇතැයි පැෆ්රල් ආයතනය චෝදනා කරයි.

මෙසේ පක්ෂයක මැතිවරණ දේශපාලනය වෙනුවෙන් මහජන මුදල් අයුතු අන්දමින් යොදා ගැනීම සම්න්ධයෙන් පැෆ්රල් ආයතනය මැතිවරණ කොමිෂන් සභාවට ද ලිපියක් මගින් පැමිණිලි කොට තිබේ. ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති තත්වය යටතේ පමණක් නොව පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති තත්වය යටතේ මෙම මුදල් අවභාවිත කෙරෙන බව එම ලිපියෙන් පෙන්වා දෙනු ලැබ ඇත. ඉකුත්  වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණ කල් දමනු ලැබ තිබෙනවා විනා අවලංගු කරනු ලැබ නැති බවත් එහෙයින් පූර්ව මැතිවරණ කාල නීතිරීති තවමත් වලංගුව  පවතින බවත් මෙම ලිපියෙන් සිහිපත් කරනු ලැබ තිබේ.

ඒ අනුව ඉකුත් 7 වැනිදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලනඥයන් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත. එහෙත් මේවායින් ඇතැම් ව්‍යාපෘති ආරම්භ කිරීමේ උත්සව පැවැත්වුණේ ජනාධිපතිවරයාගේම ප්‍රධානත්වයෙනි. එසේම ජනමාධ්‍ය මගින් මේවායේ වාසිය ගන්නට ජනාධිපතිවරයාගේ පක්ෂය වන එජාපයට බාධාවක් නැත. දැනටමත් මේවා ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති වශයෙනි.

අනෙක් අතට, එජාප මේවා කරන්නේ නීතිය හෝ සදාචාරය ගැන නොදැන නොවේ. එසේම බලයේ සිටින සෑම පක්ෂයක්ම මෙසේ මැතිවරණ කාලවල දී මහජන මුදලින් ඡන්දදායකයන්ට  අල්ලස් දීම සිදුවේ. මෙතැන සිදුවන්නේ නීතිය හා සදාචාරය  නොදැන සිටීම නොව ඒවා තුට්ටුවකටවත් මායිම් නොකිරීමය. රට පුරා පැවැති මැතිවරණයක දී සෘජු මහජන ඡන්දයෙන් තමන්ගේ එකඳු අපේක්ෂකයකු හෝ තෝරා පත්කර ගැනීමට තරම්වත් ජන වරමක් නොල ද පක්ෂයකට අහඹු සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපති ධුරය ලැබුණු විට ජනමතය අමතක කොට  එය දක්ෂකමක් ලෙස එම පක්ෂය සලකයි නම් එවැනි පක්ෂයක් මහජන මුදලින් අයුතු දේශපාලන වාසි ලැබීම වරදක් සේ දකිනු ඇතැයි කෙසේවත්  සිතිය යුතු නැත. 

අනෙක්  අතට එජාප වත්මන් ආර්ථික අර්බුදය දේශපාලන වශයෙන් වාසියට හරවා ගෙන තිබේ. ඒ මිථ්‍යාවන් දෙකක් ප්‍රචාරය කරමිනි. එකක් නම් රට බංකොලාත් භාවයට පත් වූ විට රට බේරා ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ තත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා නොබියව ඒ සඳහා ඉදිරිපත් වීය යන්නයි. අනෙක නම් ජනාධිපතිවරයා රට ආර්ථික වශයෙන් මුදාගෙන ඇතැයි යන්නයි. තමන්ගේ ධෛර්යය අත්දැකීම් හා ජාත්‍යන්තර සබඳතා හේතුවෙන් තමන් බංකොලොත් වූ රට භාර ගත් බව වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය .

2022 මැයි 9 වැනිදා තම ආධාරකරුවන් ගාලුමුවදොර පිටියේ සාමකාමීව උද්ඝෝෂණය කළ පිරිසට පහර දී ඇති වූ දේශපාලන වියවුල්කාරීත්වය හමුවේ එවක අගමැති වූ  මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට සිදු වූ විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධුරය භාර ගන්නා ලෙස විරුද්ධ පක්ෂයට විවෘත ආරාධනාවක් කළේය. එවිට ඊට ඉදිරිපත් වූයේ වික්‍රමසිංහ මහතා පමණක් නොවේ. මඳක් අදිමදි කොට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද  ඊට එකඟ  විය. එහෙත් ඒ වනවිට වික්‍රමසිංහ මහතා  හා රාජපක්ෂ මහතා අතර එකඟතාවක් වූයෙන් ‘‘ඔබ ප්‍රමාද වැඩි’’ යැයි රාජපක්ෂ මහතා ප්‍රේමදාස මහතාට දැනුම් දුන්නේය.

එසේම තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු පමණක් සිටින හෙයින් වත්මන් පාර්ලිමේන්තුවෙන්ම 15 දෙනකුගෙන්  යුත් කැබිනට් මණ්ඩලයක් තෝරාගෙන රට පාලනය කරන්නට ඉඩ දී රාජපක්ෂ මහතාත් වික්‍රමසිංහ මහතාත් ඉවත් වන්නේ නම් තමන් රට භාර ගන්නා බව අනුර කුමාර දිසානායක මහතා ද ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබිණි.

ඉන් අනතුරුව 2022 ජූලි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට අත්හැර පලා ගිය විට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ  ඡන්ද විමසීමක් පැවැත්විණි. ඊටද දිසානායක මහතා මෙන්ම ඩලස් අලහප්පෙරුම මහතා ද ඉදිරිපත් වූහ. එහෙයින් එදා රට භාර ගැනීමට කිසිවකු  ඉදිරිපත් නොවූ බව කීම නිවැරැදි නොවේ.

එදා පැවැති තත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ඊළඟ ජනාධිපතිවරණය දක්වා හෝ ආර්ථික කළමනාකරණය කරගත හැකි බව වික්‍රමසිංහ මහතා  දැන සිටියේය. ඒ අනුව පක්ෂය  සෝදා පාළුවට ලක්ව යළි බලයට පත්වීම සිහිනයකට පමණක් සීමා වී සිටි වික්‍රමසිංහ මහතා එදා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඉදිරිපත් විය. අනෙක් අතට 2015 සිට රාජපක්ෂවරුන් හා වික්‍රමසිංහ  මහතා අතර ගොඩනැඟී තිබූ අවබෝධය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේද එදා තේරීම වූයේ වික්‍රමසිංහ මහතාය.

ආර්ථිකය  වළපල්ලටම යැවූ ගෝඨාභය රාජපක්ෂ මහතාම රට එතැනින් මුදා ගැනීමේ එකම විකල්පය වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතටද අවසාන කාලයේදී ප්‍රවිෂ්ට වී සිටියේය. 2022 මාර්තු 16 වැනිදා ජාතිය අමතා කතා කරමින් රාජපක්ෂ මහතා එය නිවේදනය කළේය. මූල්‍ය අරමුදල සමග සාකච්ඡා තමන් ආරම්භ කළ බවට එජාපය කරන ප්‍රකාශය සත්‍ය නොවේ.

එම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර  මූල්‍ය හා නීති උපදේශකවරුන් පත් කළේත් දේශීය වශයෙන් එම සාකච්ඡා ඉදිරියට ගෙන ආ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එම තනතුරුවලට පත් කළෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාය. වත්මන්  ඇමැති මණ්ඩලය පත් කළේ ද ඒ මහතාය. කොටින්ම ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් වැඩ සටහන සඳහා යාන්ත්‍රණය මුළුමනින්ම සකස් කළේ ඔහුය.

එමගින් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් යළි ණය ලැබිණි. එයින් විදේශ විනිමය ප්‍රශ්නය තරමක් විසඳිණි. 2022 පැවැති බඩු මිල අඩු නොවුණ ද  පෝලිම් නැති වී සහනදායි තත්වයක් ඇති වූයේ ඒ අයුරිනි. එහෙත් පැරැණි ණය හා අලුත් ණය ගෙවිය යුතුය. ඒ සඳහා වැඩ පිළිවෙළක් ආණ්ඩුවට නැත. අපනයන ආර්ථිකයක් පිළිබඳ මන්ත්‍රයක් ජප කෙරෙනවා විනා ඒ සඳහා සැලැස්මක් හෝ දැක්මක් ආණ්ඩුවට ඇති බව නොපෙනේ. කෙසේ වෙතත් පෝලිම් නැති සහනදායි තත්වය ආණ්ඩුවේ නායකයන්ට දේශපාලන වශයෙන් ප්‍රයෝජනයට ගත හැකිය.

(*** එම්.එස්.එම්. අයුබ්)