ගීතය, සංගීතය, සිනමාව, විචාර කලාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රබල නිර්මාණ බොහොමයක් දායාද කොට ඇති මහාචාර්ය සුනිල් ආරියරත්න මහාතගේ අගනා පර් යේෂණ කෘති එකතුවේ තවත් එක් කෘතියක් ‘වණ්ණම් විනිස’ නමින් පසුගියදා එළිදැක්වුණි. මෙම සංවාදය පැවැත්වෙන්නේ එය නිමිතිකොටගෙනය. සිංහල වණ්ණමෙහි උපත එහි විවිධ ප්‍රභේද නූතනය දක්වා එහි විකාශනය ඇතුළු කාරණා රැසක් මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය තුළ ගැඹුරු විමර්ශනයට ලක්වේ.
● ‘වණ්ණම් විනිස’ ඔබේ පර්යේෂණ කෘති මාලාවේ තවත් එක් පියවරක් ලෙස සැලකිය හැකියි. වණ්ණම් කලාව කෙරෙහි අවධානය යොමු කිරීමට බලපෑ විශේෂ කාරණා මොනවාද?
මේ සංගීත පර් යේෂණ කෘති මාලාවේ ආරම්භය සිදුවුණේ ‘බයිලා කපිරිඤ්ඤා’ කෘතියෙන්. ඉන්පසු බොහෝ දෙනාගේ එතෙක් අවධානයට ලක් නොවුණ ක්ෂේත්‍ර බොහොමයක් සම්බන්ධව පර් යේෂණ කෘති කිහිපයක්ම ලියා පළ කිරීමේ අවස්ථාව ලැබුණා. ඒත් ‘වණ්ණම් විනිස’ රචනා කරන විටත් වණ්ණම් සම්බන්ධයෙන් ලේඛකයන් විසින් පළ කරන ලද ප්‍රශස්ත මට්ටමේ කෘති කිහිපයක්ම පළවී තිබුණා. එසේ තිබියදීත් ඒ සම්බන්ධව කෘතියක් පළ කිරීමට කල්පනා කළේ එම කෘතිවල අඩංගු නොවූ කරුණු රාශියක් මා සතුව පැවැති නිසයි. වණ්ණමෙහි ඇති දෙමළ ඥාතීත්වය මීට පෙර ඒ සම්බන්ධයෙන් පළවූ පොත්පත්වල ගැඹුරින් සාකච්ඡා වී තිබුණේ නැහැ.
බොහෝ දෙනා ‘වණ්ණම’ කියන වචනයත් වැරැදි අදහසින් භාවිත කළ බවක් පෙනුණා. අදත් බොහෝ විට තහවුරු වී ඇත්තේ ඒ වැරැදි අදහසයි. ‘වණ්ණම්’ යන වචනය එන්නට ඇත්තේ ‘වර්ණම්’ යන දෙමළ වදනින් හෝ ‘වැනුම’ යන සිංහල වදනින් යැයි ඔවුන් කල්පනා කළා. ඒත් ඒ සියලුම අර්ථකථන සාවද්‍යයි. ‘වණ්ණම්’ කියන්නෙ දෙමළ ශුද්ධ වචනයක්. ඒ ග්‍රන්ථයේ ‘වණ්ණම්’ යන්නෙහි ‘ණ’ යන්න සඳහා මුර්ධජ අක්ෂරය භාවිත කළේ ඒ දෙමළ උරුමය පැහැදිලි කරන්නට අවශ්‍ය වූ නිසයි.
• ඒ සඳහා සාධක සැපයෙන දෙමළ සාහිත්‍යයේ දැකිය හැකි මූලාශ්‍ර මොනවාද?
දෙමළ සාහිත්‍යයේ පැරැණිම කෘතියක් ලෙස සැලකෙන්නේ ‘තොල්කාප්පියම්’ ග්‍රන්ථයයි. එය වියරණ ග්‍රන්ථයක්. වසර දහසකට වඩා පැරැණි මෙම ග්‍රන්ථයේ වණ්ණම් වර්ග සියයක් පිළිබඳව විස්තර ඇතුළත් වෙනවා. ඊටත් අවුරුදු සියයකට විතර පස්සෙ පළවන ‘වීරසෝලියම්’ කෘතිය ‘වණ්ණම්’ පිළිබඳව කරුණු සොයා බැලීමේ වැදගත් මූලාශ්‍රයක්. වීරසෝලියම් කෘතිය අයි.එම්. පීටර් සිල්වා මහතා විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලැබ තිබෙනවා. එම කෘතියෙහි වණ්ණම් වර්ග විස්සක් ගැන සඳහන් වෙනවා.
පැරැණි වණ්ණම් සම්බන්ධයෙන් කිරිඇල්ලේ ඥානවිමල හිමි 1939 දී කළ හැඳින්වීමක පැහැදිලිව සඳහන් කරනවා ‘වණ්ණම්’ යන වචනය ‘තොල්කාප්පියම්’ කෘතියේ දැක්වෙන බව. ඒත් අසූ ගණන්වලදී සී.ද.එස්. කුලතිලක මහතා දහඅට වන්නම් පොත ලියනතුරු වණ්ණම් ගැන ලියූ කිසිම කෙනෙක් ඥානවිමල හිමියන්ගේ අනාවරණය ගැන අවධානය යොමු කොට තිබුණේ නෑ. එහෙම කළා නම් ‘වණ්ණම්’ ගැන අර සාවද්‍ය ප්‍රකාශය දිගින් දිගටම මතු වෙන්නේ නෑ.
• වණ්ණම්වල දෙමළ ඡන්දස් ශාස්ත්‍රය සිංහල ඡන්දයට බලපෑවාද?
‘සිදත් සඟරාව’ සිංහල භාෂාව සම්බන්ධව අපට හමුවන පැරැණිම වියරණ ග්‍රන්ථය. එළු සඳැස් ලකුණෙන් ජන්දස් ගැන කියැවෙනවා. සිදත් සඟරාව කවියෙන් කළ වියරණ ග්‍රන්ථයක්. පුදුමයට කරුණ නම් ‘තොල්කාප්පියම්’ සහ වීරසෝලියම් යන දෙමළ ග්‍රන්ථ දෙකත් දෙමළ භාෂාවට කවියෙන් කළ වියරණ ග්‍රන්ථ. වීරසෝලියම් ග්‍රන්ථය සිදත් සඟරාවට සමීප බලපෑමක් කළ කෘතියක්. ප්‍රාණාක්‍ෂර, ගාත්‍රාක්‍ෂර යන වචන පවා සිදත් සඟරාවට ගන්නෙ වීරසෝලියම්හි ආභාසයෙන්. ඒත් ‘වණ්ණම්’ ගැන වචනයක්වත් සිදත් සඟරාවෙ දැක්වෙන්නෙ නෑ. ඒ අනුව සිංහල ඡන්දස් ශාස්ත්‍රයට දෙමළ ඡන්දස් ශාස්ත්‍රයේ බලපෑමක් ලැබුණයි හිතන්න බෑ.
• වණ්ණම් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවිට අප බොහෝ දෙනාගේ අවධානය යොමුවන්නේ ‘දහඅට වණ්ණම්’ හා උඩරට වණ්ණම් සම්ප්‍රදාය වෙතයි. ඒත් ඔබ මෙරට පැවැති වණ්ණම් සම්ප්‍රදායන් හතරක් පිළිබඳව හෙළිදරවු කරනවා?
ඓතිහාසික ලේඛනවලට අනුව වණ්ණම් මෙරට සමාජයට එන්නෙ මහනුවර යුගයෙ නරේන්ද්‍රසිංහ රාජ්‍ය සමයේ. ඒ රාජ සභාවල ගායනා වූ ප්‍රශස්ති කාව්‍ය සමඟ. ඒත් ඒ කිසිම කාව්‍යයක ‘වණ්ණම්’ කියල වචනයක් කියැවෙන්නෙ නෑ. වණ්ණම බිහිවීමට හේතු වෙන්නෙ මේ රටේ වඩුග රාජපරම්පරාවයි. අපේ රජවරු ඉන්දියාවේ මධුරාපුරයෙන් දෙමළ හෝ තෙළිඟු කාන්තාවන් ගෙන්වාගෙන විවාහ කරගැනීමේ සම්ප්‍රදායක් එකල පැවැතියා. මහනුවර යුගයේ ඒක මුලින්ම කලේ දෙවැනි රාජසිංහ රජුයි.
මේ පසුබිම තුළ බොහෝ දෙනා අතර ජනප්‍රියව තිබෙන්නේ ‘උඩරට වණ්ණම්’ පමණක්ය යන්න පැහැදිලි කරුණක්. මම ආචාර්ය උපාධිය කරන කාලෙත් අවධානයට ලක්වී තිබුණේ උඩරට වණ්ණම් පමණයි. ඒත් අද වනවිට පහතරට, සබරගමු වණ්ණම් රාශියක් පිළිබඳව පර් යේෂණ සොයා පාදාගෙන තිබෙනවා. සී.ද.එස්. කුලතිලක මහතා 1982 දී සඳහන් කරනවා ‘පහතරට වණ්ණම්’ තිබුණත් ඒවා අද වන විට අභාවයට ගිහින් කියලා. ඒත් 2000 වසරේදී මහාචාර්ය ලයනල් බෙන්තරගේ පහත රට වණ්ණම් 32ක් පිළිබඳ තොරතුරු ග්‍රන්ථාරූඪ කරනවා.
කුලතිලක මහතා ම සඳහන් කරනවා රජරට වණ්ණම් සම්ප්‍රදායක් පැවැතියත් එය ඇත්තේ ජනප්‍රවාදයේ පමණක් බව. ඒත් පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් කුමාරතුංග රජරට වණ්ණම් 21ක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කරනවා. එසේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශ්‍රියානි රාජපක්ෂ සහ මහාචාර්ය බණ්ඩාර වික්‍රමසිංහ සබරගමු වණ්ණම් රැසක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ඒ අනුව අද වනවිට වණ්ණම් සම්ප්‍රදායන් හතරම අධ්‍යයනය කිරීමේ අවස්ථාව අපට ලැබිල තියෙනවා. මට අවශ්‍ය වුෙණත් මේ වණ්ණම් සම්ප්‍රදායන් සමූහයම එක තැනකට ගෙනැවිත් විමර්ශනය කිරීමයි.
• සිංහල සමාජය තුළ තහවුරු වූ වණ්ණම් ගායනාවල භාෂා භාවිතයේදී යම් සාහිත්‍යමය අගයක් ඇති බව පෙනෙන්නට තිබෙනවා. මේවයේ කර්තෘත්වයක් හෙළි වෙනවාද?
පහතරට හැර අනෙක් සියලුම වණ්ණම්වල කර්තෘ ආඥාත ලෙසයි සැලකෙන්නේ. ඇතැමුන් ඒවායේ කර්තෘත්වය කවිකාර මඩුවේ කවියන්ට බැර කරනවා. තවත් අය දස්කොන් අධිකාරමට බැර කරනවා. ඒත් මේවායේ භාෂා ශෛලිය සහ ආකෘති විමසා බැලුවාම විවිධ අය විසින් මේ වණ්ණම් රචනා කරන්නට ඇතැයි සිතිය හැකියි.
ඒත් පහතරට වණ්ණම්වල භාෂා ශෛලිය එකිනෙකට සමානයි. වණ්ණමින් වණ්ණමට එය බැඳිල තියෙනවා. එහි කර්තෘත්වය ඒක පුද්ගල බව පෙනෙනවා. ඒ නිසා භරණ ගණිතාචාර්යවරයාගේ නමට එහි කර්තෘත්වය බැර කෙරෙනවා.
• නූතන කවියන්ට ගීත රචකයන්ට පවා මේ වණ්ණම් බලපා තිබෙනවා නේද?
ඒක ඉතා වැදගත් කරුණක්. මේ ප්‍රධාන වණ්ණම් සම්ප්‍රදායන් හතර හඳුනා ගැනීමෙන් පසුව නූතන රචකයන් අලුතින් වණ්ණම් රචනා කරන්න පටන් ගත්තා. ටීකාසීපද, පැල් කවි, කරත්ත කවි, සැහැලි, බයිලා කපිරිඤ්ඤා, මේ සෑම එකකටම අනන්‍යතාවක් තිබෙනවා. ඒත් වණ්ණම්වලට ඒ අනන්‍යතාව නැහැ. වණ්ණම යනු ධ්වනි, ජන්දස්වලින් යුත් රචනා බව සී.ද.එස්. කුලතිලක මහතා ප්‍රකාශ කළත් සෑම වණ්ණමකම ඒ තත්ත්වය දකින්නත් නැහැ.
අපේ කවියන් පසුකාලීනව වණ්ණම් ලියන්නට පටන් ගත්තා. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි 1939 දී උඩරට වණ්ණම් දහඅටේ තනුවලට අලුත්ම වණ්ණම් දහඅටක් ලිව්වා. ඒ උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයකුව සිටි සමයේදී. ආනන්ද විද්‍යාලයේ එවකට වණ්ණම් පන්තියක් පැවැත්වුණා. මේවා ලිව්වේ ඒ වෙනුවෙන්. අපේ පැරැණි වණ්ණම් ප්‍රශස්ත මට්ටමේ නැත යන තර්කය අනුවයි මහින්ද හිමියන් වණ්ණම් දහඅට අලුතින් රචනා කළේ.
මෑත කාලයේ අරීසෙන් අහුබුදු, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ඇතුළු පිරිසක් අලුත් වණ්ණම් විශාල සංඛ්‍යාවක් රචනා කළා. එවැනි වණ්ණම් හතළිස් දෙකක් ස්වර ලිපි සමඟ ‘ධම්මිකා ලංකාතිලක’ තම උඩරට වණ්ණම් අභිවහනයෙහි නූතන ප්‍රවණතා නම් කෘතියේ ඇතුළත් කළා.
අපට හමුවන පැරැණි වණ්ණම් ප්‍රශස්ත මට්ටමක නැති බව අපද පිළිගත යුතුයි. මා ඒ බව ‘වණ්ණම් විනිස’ කෘතියේ වණ්ණම් සාහිත්‍ය පිළිබඳ තොරතුරු ඇතුළත් පරිච්ඡේදයේ පැහැදිලි කරනවා. වණ්ණම් සාහිත්‍යයේ අපට හමුවන විශිෂ්ටතම කවියන් දෙදෙනා ලෙස සැලකිය හැක්කේ අරිසෙන් අහුබුදු සහ මානවසිංහයි. එයිනුත් විශිෂ්ටතම රචනාව වන්නේ ‘මහබෝ වන්නමයි’.
වණ්ණම කියන්නෙ ඇත්තටම ගායනා ප්‍රකාරයක්. පස්සෙ කාලෙ උඩරට ශිල්පීන් එය නර්තන ප්‍රකාරයක් බටව පත්කොට ගන්නවා. උඩරට වණ්ණම්වල තියෙන කර්ණාටක සංගීතය. එය උඩරට රාජ සභාවෙ භාවිත වුණ බව පෙනෙනවා. ඒත් කාලයාගේ ඇවෑමෙන් මේ ගායනා ඉදිරිපත් කරනු ලැබුවේ සිංහල කවියන් විසින්. මේ හේතුවෙන් පසුකාලීනව වණ්ණම්වල පැවැති කර්ණාටක ලක්ෂණ නැතිවෙලා ගියා.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිශ්ශංක අබේරත්න කර්ණාටක සංගීතය පිළිබඳ ප්‍රාමාණිකයෙක්. ඔහු පවා පිළිගන්නවා පසුකාලීන වණ්ණම්වල කර්ණාටක සංගීත ලක්ෂණ නොමැති බව. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රකාශ කරන්නේ ජනගී අතර තිබෙන වණ්ණම් සංගීතය ජනගී නාද මාලා අතික්‍රමණය කරන ලක්ෂණ ඇති බවයි. පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, විශාරද නන්දා මාලිනී වැනි අය වණ්ණම් නාදමාලා පදනම් කොටගත් ගීත ගායනා කොට තියෙනවා.
අමරදේවයන් ගයන ‘රන්වන් කරල් සැලෙයි සන්සුන් කමින් බරව’ ගීතය තුරගා වණ්ණමේ නාද මාලා ආශ්‍රය කොටගෙන නිර්මාණය වූවක්. නන්දා මාලිනී ගයන ‘රුක් අත්තන මල මුදුනේ’ ගීතය උකුසා වණ්ණමේ නාදමාලා අනුවයි නිර්මාණය වන්නේ. කාගේත් නිසි අවධානයට ලක් නොවුණු බී.එස්. පෙරේරා නම් සංගීතඥයා ලියූ ‘කොවුලන් හඬයි එයින් මිහිරක් නැඟෙයි’ ගීතයත් තුරගා වන්නම අනුව නිර්මාණය වූවක්.
• ශාස්ත්‍රීය පර් යේෂණ, විමර්ශන හා නිර්මාණ ඉසව් වෙත අවධානය යොමු කෙරෙන මානව ශාස්ත්‍ර විෂයන් පිළිබඳව වර්තමානයේ ඇති නැඹුරුව පිළිබඳව සතුටු විය හැකියැයි ඔබ සිතනවාද?
විශ්වවිද්‍යාලයෙන් මා විශ්‍රාම ගන්නා කාලය වනවිට මානව ශාස්ත්‍ර විෂයන් වෙත ශාස්ත්‍රීය සමාජයෙහි ඇති ඇල්ම අඩුවීමේ පෙරනිමිති පහළවෙලා තිබුණා. සිංහල ඉගෙනීම හෑල්ලුවීමට කාරණයක් වැනි මතයක් ඒ පිළිබඳ හීනමානයක් ඇතැම් සිසුන් තුළ තිබුණා. දැන් ඒක තවත් වර්ධනය වෙලා. ඒක ඛේදවාචකයක්.
ඒත් මානව ශාස්ත්‍ර විෂයන්ගෙන් මොන තරම් දේවල් සමාජයට ලැබිල තියෙනවද? මේ තත්ත්වය වෙනස් කිරීමේදී මානව ශාස්ත්‍ර විෂයයන් සමග බද්ධ වී සිටින අයගේ වගකීමක් හා යුතුකමක් තිබෙනවා නව ඥානයක් උත්පාදනය කොට සමාජයට දායද කිරීමට. ඒත් එවැනි පර් යේෂකයන් අද උදාසීනව කුසීත කමේ සිටින බවයි පෙනෙන්නේ. ඔවුන් පර් යේෂණ ගැන උනන්දුවන්නේ රැකියාවේ ඉලක්ක සපුරාගන්නතුරු පමණයි. මහාචාර්යකම ලැබුණට පස්සෙ පර් යේෂණවලට තිත තියනවා.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය සුනිල් ආරියරත්න
සංවාද සටහන ගාමිණි කන්දේපොළ