පන්නිල කිරිගල ලෙනකත් බලංගොඩ මානවයා විසූ ලකුණු


ශ‍්‍රී ලංකාව ආදි මානවයන් ජිවත්වු ප‍්‍රදේශයක් බවට බළන්ගොඩ මානවයාගේ පොසිල හමුවීමෙන් පසු පුරා විද්‍යාඥයන්ගේ නිගමනය විය. එම පොසිල හමුවූයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටදොඹ ලෙනේ පස් ස්ථර කිහිපයක් යට තිබීමෙන් ය. 

 

පස් තට්ටුව

 

මේ ආදි මානවයා හොමෝ සේපියන් සිංහලීන්ස් බළන්ගොඩනික්ස්  (Homo Sapien Sinhalins Balangodaencis) ලෙස හදුන්වයි. මෙකී මානවයා ගල්ගුහා ආශ‍්‍රීතව ජිවත්වූ, ගොලූබෙල්ලන් ආහාරයට ගත් බවට වු සාධකත්, ගල් ආයුධ ඔවුන් භාවිතා කරන්නට ඇති බවටත් පුරා විද්‍යාඥයන්ගේ මතය වේ.
මෙම බටදොඹ ගල්ගුහාව පිහිටා ඇති ස්ථානය අනුව සැලකීමේදී එහි සිට ශ‍්‍රීපාදය තෙක් ඇත්තේ කිලෝ මීටර් පහළොවක් දහ අටක් තරම් වූ දුරකි. ඉන් බටහිර ප‍්‍රදේශයේ ඇත්තේ මිටියාවතකි. නැගෙනහිරට, උතුරට සහ දකුණට ඇත්තේ කදු පන්ති කිහිපයක් ය. බටදොඹ ලෙනේ සිට කිතුල්ගල බෙලිලෙනට ඇත්තේද කිලෝමීටර් විසි පහකට නොවැඩි දුරකි. බෙලිලෙනෙන් ද පුරා විද්‍යා සාධක හමුව තිබේ.

එම ක`දු පන්ති ආශ‍්‍රිතව ගල්ගුහා රැසක්ම ඇති බව ජන විශ්වාසයයි. කුරුවිට එරත්න පාරේ පිහිටි බටතොට ගල් ගුහාව ඉන් එකකි. වර්තමානයේ එය දිවා ගුහාව ලෙසින් හ`දුන්වයි. දැන් එතැන ඇත්තේ විහාරස්ථානයකි. ආදි මානවයන් එහි විසුවේද යන්නට සාක්කි හමුවී නැත.

එහෙත් ආදි බළන්ගොඩ මානවයා විසු බටදොඹ ලෙනට උතුරින් ඊට කිලෝ මීටර් අටක දහයක දුරකින් පිහිටි ගල් ලෙනකින් ආදි මානවයන් විසූ බවට සැක සිතිය හැකි සාධක රැසක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තිදෙනෙකු ඇතුළු කණ්ඩායමක් පසුගිය දිනවල සිදුකළ පර්යේෂණයකින් පසු  නිරික්‍ෂණය කර තිබේ.  කිතුල්ගල බෙලිලෙනත් බටදොඹ ලෙනත් අතර මැදවු ප‍්‍රදේශයකින් මෙම ලෙන හමුවී තිබේ. 

නාවල විවෘත විශ්ව විද්‍යාලයේ අරවින්ද රවිභානු සුමනරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් වන සමිත් පවිත‍්‍ර කුමාරසිංහ සහ රොහාන් ඉන්දික විජේතුංග මෙම පරීක්‍ෂණය කළ ශිෂ්‍යයින් තිදෙනායි.

‘‘අපි ශ‍්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ සාමාජිකයන්. මීට අවුරුදු තුනකට ඉස්සර වෙලා ඒ ආයතනයෙන්  ECO SCIENCE OF INVISIBLE SABARAGAMUWA කියලා පර්යේෂණ ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒකේ තුන්වැනි අදියර සබරගමු පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දෙහි ඕවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්නිල ග‍්‍රාමය ආශ‍්‍රී භූගෝල විද්‍යාත්මක පසුබිම පර්යේෂණයන්ට ලක්කළා.’’ අරවින්ද රවිභානු සුමනරත්න ශිෂ්‍යයා පැහැදිලි කළේය.

 

සිය පර්යේෂණයන් ගැන සදහන් කරන අරවින්ද රවිභානු සුමනරත්න ශිෂ්‍යයා :

 අරවින්ද රවිභානු සුමනරත්න ශිෂ්‍යයා

‘‘මේ පර්යේෂණයේ දී පන්නිල ගමේ කිරිගල කියන ප‍්‍රදේශයේ ගල් ගුහාවක් අපේ නිරීක්‍ෂණයන්ට ලක්වුණා. මෙතනට යන්න තියෙන්නේ කොළඹ රත්නපුර ප‍්‍රධාන පාරේ පරකඩුව හන්දියෙන් වමට හැරිලා. බැවිල හන්දිය පහුකරලා ඉදිරියට ගිහිං පන්නිල හන්දියෙන් දකුණට ගිහිනුයි. ක`දුකර ප‍්‍රදේශයක්. වර්තමානයේ ජනාවාස වුණ ප‍්‍රදේශයක්. තේ සහ රබර් වගාව වැඩිපුර තියනවා. තැනින් තැන කුරු`දුත් වගා කරලා තියනවා. මේ වගාවන් ස`දහා කැලෑ එළිපෙහෙලි කරලා තියනවා.’’

‘‘මේ කිරිගල කන්දේ ගල්ලෙන අපි නිරීක්‍ෂණය කරද්දී ගම්වැසියෙක් එතන යම් ක‍්‍රියා කාරකමක් කරලා තිබුණා. ගල්ලෙනේ ගල වහලයක් සේ භාවිතා කරලා ඔහු කටුමැටි ගහලා කුඩා කාමරයක් හදලා තිබුණා. හැබැයි මෙතැන යම් සුවිශේෂත්වයක් ඇතියි කියලා අපිට සැකයක් මතුවුණා. ඒ නිසා අපි අපේ පර්යේෂණයන් තවත් උනන්‍දුවෙන් කරන්න පටන් ගත්තා.’’‘‘මේ ගල්ගුහාව ඇතුළෙ පස්යට තිබිලා අපට ගොලූබෙලි කටු, ගල් ආයුධවලට සමාන ගල් කැබලි හමුවුණා. ඇතැම් තැන්වල ගල් කැබලි ගොඩවල් හමුවුණා. මේ ගොලූබෙලි කටු වැඩිදුර නිරීක්‍ෂණයේදී වර්ග තුනකට අයත් ගොලූබෙල්ලන්ගේ කටු බවට අපට ඒත්තු ගියා. ඒවා ආදි මානවයන් ආහාරයට ගත්ත ඒවා මෙන්ම ආභරණ ලෙස පැළ`දීමට යොදාගත් ඒවා විය හැකියි. ඒ වගේම මේ කදුකර ප‍්‍රදේශය ආශ‍්‍රිතව බෝලගල් ද තැනින් තැන හමුවුණා. ඒවාට සමාන බෝල ගල්  පහළ ජලාශි‍්‍රත ප‍්‍රදේශවලද දක්නට ලැබුණා. පස් ස්ථර කිහිපයක් යටින් මේවා හමුවීම නිසා මේ බෝලගල් වසර දහස් ගණනකට පෙර කවුරුන් හෝ ඒ ප‍්‍රදේශයට ගෙන එන්නට ඇතැයි අපි උපකල්පනය කළා.’’

 

‘‘ලංකාවෙන් හමුවූ ආදි මනාවයා වූ හොමෝ සේපියන් සිංහලීන්ස් බළන්ගොඩනික්ස් (Homo Sapien Sinhalins Balangodaencis) ගේ පොසිල තිබුණු බටදොඹ ලෙනට මෙතන ඉදලා ලොකු දුරක් නෑ. කදුකර මග ඔස්සේ කිලෝ මීටර් දහයටත් වඩා අඩු වෙන්න පුලූවන්. ඒ නිසා අපිට ලොකු සැකයන් ඇතිවුණා මේ කිරිගල ලෙන සම්බන්ධයෙන්. තවදුරටත් අපි පර්යේෂණ කරද්දී අපිට ගොලූබෙලි කටු ලෙන තුළවූ පාෂාණ ස්ථර යට තිබිලා හමුවුණා. ඒවා සමහරක් එකම ආකාරයෙන් හිල් කරලා තිබුණා. බටදොඹ ලෙන වගේම මේ ලෙනත් ආදි මානවයන් වර්ෂාවෙන් ආරක්‍ෂා වෙන්නත් රාත‍්‍රිය ගත කරන්නත් යොදාගත්ත තැනක් වෙන්නැති කියලයි අපේ විශ්වාසය.’’


‘‘බළන්ගොඩ මානවයා ජීවත්වුණේ මෙසොලිතික් (MESILITHIC)  සහ නියෝලිතික් (NEOLITHIC) කියන යුග දෙක අතරයි. ඒනිසා මේ කාලයේ ජීවත්වූ මානවයා තුළින් යම් බුද්ධි මට්ටමක් වාර්තා වෙලා තියනවා. මේ සාධක හමුවූ කිරිගල ප‍්‍රදේශය මුහුදු මට්ටමින් අඩි 715ක් උසයි.’’

රොහාන් ඉන්දික  විජේතුංග ශිෂ්‍යයා


මෙම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ නිරීක්‍ෂණ අනුව ආදි මානවයා ජිවත්වූ බවට සැකකරන සාධක ඇති කිරිගල අවට අක්කර දෙකක ප‍්‍රදේශයේ  උද්භිද වටිනාකමක් ඇති ශාක විශේෂ 250ක් පමණ නිරීක්‍ෂණය වූ බවද පවසයි. ශ‍්‍රී ලංකාවටම ආවේනික වූ නිල් බිනර (Exacum trinervium), නෙථ (Strobilanthes viscosa&) නාවා (Syzygium gardneri), ගල් මොර (Cinnamomum membranacea), කැකුණ (Cmbrium zeylanicum), කටු ඉඹුල් (Boxbax ceiba), නාරිලතා, කොරකහ, ඉරරාජ (Reia trimen)මෙන්ම අනුරාධපුර රිටිගල කන්දේ දී හමුවන  උඩවැඩියා විශේෂ දෙකක්වූ Oberonia thwaitesli  සහ Vanda testacea යන විශේෂ ද හමුවූ බව ඔවුහු කියති.
‘‘අපිට මේ පර්යේෂණයන් කරද්දි ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ස්වාභාවික විද්‍යා පීඨයේ මහාචාර්ය එල්.කේ. සේනාරත්න,  හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ 

 

පශ්චාත් උපාධි අධ්‍යායතනයට එක්වෙලා කටයුතු කරන කමල් අබේවර්ධන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  විශ‍්‍රාමලත් සහකාර අධ්‍යක්‍ෂවරයෙක් වූ එම්.ඒ.අයි.ආර්. මඩගම්මන යන මහත්වරුන්ගේ උපදෙස් නොඅඩුව ලැබුණා’’ අරවින්ද රවිභානු කීවේය.

එසේම මෙම පර්යේෂණයේදි ඔවුන් සිය තොරතුරු සනාථ කිරීමට Flora of Ceylon    " Trees and shrubs of SriLanka " Chek list of the flowerins plants of SriLankaයන ග‍්‍රන්ථ පාදක කරගත් බවද පැවසුවේය.

‘‘අපි මේ සම්බන්‍ධව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දන්වලා තියනවා. මේ ස්ථානය පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස ඉස්මතු කිරීමේ දී විශාල සමාජ ගැටලූවක් තියනවා. අවට වැසියන් එවැනි දේකට අකමැතියි. ඒ ඔවුන් විසින් භුක්ති වි`දින ඉඩම් ඔවුන්ට අහිමි වෙයි කියන බය නිසා. නමුත් අපි විශ්වාස කරනවා මෙතැන පුරාවිද්‍යා පර්යේෂණ ඇරඹුවොත් අපේ ආදි මානවයන් ගැන තවත් තොරතුරු රැසක් හොයාගන්න පුලූවන් වේවි කියලා. ඒ ස`දහා වගකීිම තියෙන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට. අපි හොයාගත්ත ගොලූබෙලි කටු ආදි ද්‍රව්‍ය අපි වැඩිදුර පරීක්‍ෂණවලට ඒ අයට දුන්නා.’’ අරවින්ද රවිිභානු ශිෂ්‍යයා කීවේ ය.

 

අජිත්ලාල් ශාන්තඋදය

 

ගල්ලෙන

 

 මෙවන් ගොලූබෙලි විශේෂයක් බටදොඹ ලෙනෙන්ද හමුවී ඇත

 

ආදි මානවයන් ආහාරයට ගත් බවට සැකකරන ගොලූබෙලි කටු

 

ආදි මානවයන් ආහාරයට ගත් බවට සැකකරන ගොලූබෙලි කටු