ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව අද (29) හජ් උත්සවය සමරනු ලැබේ. පහත ලිපිය ඒ නිමිත්තෙනි.
ඉස්ලාම් ධර්මය අනුගමනය කරන බැතිමතුන් අනිවාර්යයෙන් ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් පහ අතුරින් අවසන් වගකීම වනුයේ හජ් වන්දනය ඉටු කිරීමය. එය අනිවාර්ය කර ඇත. එසේ වුවද හජ් වන්දනය ඉටු කිරීම අනිවාර්ය වෙන්නේ ඒ සඳහා අවශ්‍ය සම්පත් ඇති සහ ශරීර සෞඛ්‍යයෙන් පිරිපුන් අයටය.
හජ් වන්දනය යනු ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් මුහම්මද් නබි තුමාණන් මෙන්ම ඉස්ලාමයේ අනෙකුත් නබි වරුන් ඉපදී ආගමික ප්‍රචාර සිදු කළ දේශය වන සෞදි අරාබියට ගොස් එම ඓතිහාසික ස්ථාන දැක බලා ගැනීමයි. මේ භූමියේදී විශේෂ යාඥාවන් කිරීම මගින් තමන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වන බවද ඉස්ලාමය කියයි.
හජ් වන්දනය ඉටු කිරීම සඳහා මක්කා සහ මදීනා නගර ඇතුළු ඓතිහාසික ප්‍රදේශවලට යන බැතිමතුන් මේ හජ් වන්දනය ගැන යම් කිසි දැනුමක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ. ඉස්ලාමීය බැතිමතකු පිළිපැදිය යුතු නැත්නම් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වගකීම් පහකි. ඒ අතර පළමුවැන්න වනුනේ විශ්වාසයයි. අල්ලාහ් දෙවියන් වහන්සේ සහ මුහම්මද් නබි තුමාණන් විශ්වාස කිරීම වන අතර දෙවැන්න පස් වේල් සලාතය ඉටු කිරීමත් තුන්වැන්න රාමලාන් මාසයේ උපවාසය සුරැකීමත් හතර වැන්න සකාත් නම් වන දුගී බද්ද ගෙවීමත් වන අතර පස්වැනි සහ අවසන් වගකීම ලෙස හජ් වන්දනය ඉටු කිරීමත් සඳහන් වෙයි.
හජ් උත්සවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල්හජ් මස දස වැනි දිනයේදී පවත්වනු ලබන උත්සවයයි. මෙය හජ් වන්දනය හෙවත් ලෝකයේ නන් දෙස සිට සෞදි අරාබියේ මක්කම නගරයට යන ලක්ෂ සංඛ්‍යාත බැතුමතුන් හජ් වන්දනය අවසන් කළ දිනයේදී පවත්වනු ලබන උත්සවයයි.
එය හජ් වන්දනය සඳහා ගිය නොගිය සියලු දෙනාම එක්ව සමරනු ලබයි. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල්හජ් මස 10 වැනි දින හජ් උත්සවය පැවැත්වෙයි.
මෙය සෞදි අරාබියට ගොස් හජ් වන්දනය ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ඇති ශරීර සෞඛ්‍යයෙන් හෙබි සියලු දෙනාට අනිවාර්ය වගකීමකි.
ඉස්ලාම් ධර්මය මුහම්මද් නබිතුමාණන් පරිපූර්ණ කළ නමුත් එය ලොව පළමු මිනිසා වන ආදම් නබිතුමන්ගෙන් ආරම්භ වූ බව ඉස්ලාමය කියයි. මෙම දීර්ඝ ගමනේදී වසර 5000 කට පමණ පෙර සමාජයට යහ මාර්ගය පෙන්වීම සඳහා බිහි වූ නබි ඉබ්‍රාහිම් තුමන්ගේ සහ එතුමන්ගේ පුත් නබි ඉස්මයිල් තුමන්ගේ ද ජීවිත කාලයේදී සිදු වූ සිදුවීම් සිහි කිරීමද මෙම හජ් වන්දනයේ ප්‍රධාන අරමුණකි.
හජ් උත්සවය පරිත්‍යාගයේ උත්සවය ලෙස සැලකෙයි. නබි ඉබ්‍රාහිම් තුමන්ගේ කාලයේ සිදු කළ පරිත්‍යාග මෙම සැමරුමට මූලික වෙයි. නබි ඉබ්‍රාහිම් තුමන් යනු ශුද්ධ වූ කහ්බා දේවස්ථානය මිහි මත නැවත ස්ථාපිත කළ නබිවරයාණෝය. එතුමන්ගේ ජීවිත කතාව සහ හජ් උත්සවය අතර ඍජු සම්බන්ධතාවක් ඇත. නබි ඉබ්‍රාහිම් තුමන් විවාහව සිටියේ හාජරා මවු තුමිය සමඟයි. මෙම දෙපළට දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් නොසිටි අතර එතුමන්ට වයස අසූවේදී පුත් කුමරකු ලැබිණ. එම කුමරාට ඉස්මයිල් ලෙස නම් තැබිණි.
කාලයක් ගත වී කුඩා පුත් කුමරා ඇවිද දිව යන කාලය එළඹෙද්දී ඉබ්‍රාහිම් නබි තුමන්ට දේව පරීක්ෂාවන් රැසකට මුහුණ දීමට සිදු විය. ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් එතුමන් කළ කැපකිරීම් සිහි කිරීම වෙනුවෙන්ම මෙම හජ් උත්සවය වෙන් කර ඇති බව ශුද්ධ වූ කුරාණයේද සඳහන් වෙයි.
ඉස්මයිල් කුමරා කුඩා බිළිඳකුව සිටියදී දෙවියන් වහන්සේගෙන් නියෝගයක් ඉබ්‍රාහිම් නබි තුමන්ට ලැබිණ. එයින් කියවුණේ තම කුඩා බිළිඳා සහ මවු හාජරා තුමියද සමඟ කාන්තාරයට රැගෙන ගොස් තනි කර එන ලෙසයි. එම දේව අණ අනුව නබි ඉබ්‍රාහිම්තුමාණෝ සිය බිළිඳා රැගෙන එන ලෙස හාජරා තුමියට පැවසූහ. ඒ අනුව ගහක් කොළක් ජල බිඳක් නැති කාන්තාරයේ බිළිඳා සහ මව තනි කර ඉබ්‍රාහිම් නබි තුමාණෝ පෙරළා පැමිණියහ.
හාජරා මවු තුමිය බිළිඳා වඩාගෙන ඔබ මොබ ඇවිදිමින් සිටියදී කුඩා බිළිඳා ජලය ඉල්ලා කෑගසන්නට විය. ජල බිඳක් නැති කාන්තාරයේ මවු හාජරා තුමිය කෙසේ නම් ජලය හොයන්නද ඇය සිය බිළිදා කාන්තාරයේ තනි කර දෙපැත්තෙන් දිස් වන සෆා මර්වා යනුවෙන් හඳුන්වනු ලබන කඳු ගැට දෙක අතර එහා මෙහා දිව යමින් බිළිඳාට ජල බිඳක් සෙයා ගියාය.
ඒ ක්ෂණයෙන් බිළිඳාගේ දෙපා මුලින් මහ විශාල උල්පතක් මතු වී ජලය ගලා යන්නට විය. එම ජල කඳ දැක මවු හාජරා තුමිය සම් සම් යැයි පවසුවාය. එහි තේරුම නවතින්න නවතින්න යනුවෙනි. එම ජලයෙන් කුඩා බිළිඳාගේ පිපාසය නිවා ගැනීමට හැකි විය. ඕනෑම රෝගයක් සුව කිරීමට සමත් ඔසුවක් ලෙස මුස්ලිම් ජනතාව අතර අදත් ප්‍රසිද්ධ මෙම සම් සම් ළිං ජලය අද ද ලෝකය පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාව සිය නිවෙස්වලට රැගෙන යමින් සිටිති.
කුඩා ඉස්මයිල් කුමරු ළමා වියට එළැඹීමත් සමඟ නබි ඉබ්‍රාහිම් තුමන්ට තවත් දේව අණකට කීකරු වන්නට සිදුවිය. එවිට එතුමන්ට ලැබුණේ තම කුඩා ඉස්මයිල් කුමරා කැලයට රැගෙන ගොස් දෙවියන් වෙනුවෙන් බිලි දෙන ලෙසයි. එයටද අවනත වූ ඉබ්‍රාහිම් නබි තුමා දෙව් අණට කීකරුව පුත් කුමරාද කැටුව කැලයට ගොස් කුමරුන්ව බිලි දෙන්නට සූදානම් විය. ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේගේ දැනුම් දීම අනුව එම ස්ථානයට දෙව් ලොව සිට එවනු ලැබූ එළුවකු කුර්බාන් කිරීම මගින් එම වගකීම ඉටුකෙරිණි.
මුස්ලිම් ජනතාව අදත් හජ් උත්සව සමයේ කුර්බාන් නමින් හඳුන්වනු ලබන සත්ව මාංශ දානය ලබා දෙනු ලබන්නේ මෙම සිදුවීම සිහි කිරීම පිණිසය. ඉස්ලාමය සත්ව ඝාතනය ආගමිකව පවරා ඇති එකම අවස්ථාව මෙයයි.
මුස්ලිම්වරුන්ට සීමා සහිත සතුන්ගේ මාංශ අනුභවයට අවසර හිමිව තිබේ. එසේ වුවද ආගම විසින් සතුන් ඝාතනය කර දෙවියන් වහන්සේ වෙනුවෙන් කුර්බාන් කරන ලෙස අවසර දී ඇත්තේ වසරකට දින තුනක් පමණි. මෙම දින තුන වනුයේ හජ් උත්සවය පවත්වනු ලබන දිනය සහ ඉන් පසුව එන දින දෙකය. වෙනත් කිසිදු දිනෙක සිදු කරනු ලබන සත්ව ඝාතන ආගමික නියමවලට පටහැණිය.
හජ් උත්සවය පවත්වනු ලබන්නේ සෞදි අරාබියේ මක්කම සහ ඉස්ලාමයේ නබිවරුන් ජීවත් වූ ප්‍රදේශ මුල්කර ගෙනය. ලෝකයේ නන් දෙස සිට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවරද හජ් වන්දනය ඉටු කරමින් සිටිති.
හජ් වන්දනය යනු ලෝකයට පරිත්‍යාගය, සාමය සහ සහජීවනයට මනා ආදර්ශයක් ලබා දෙන උත්සවයකි. මෙහි ප්‍රධාන උත්සවය සෞදි අරාබිය මුල් කරගෙන සිදු වුවද, ලෝකයේ වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව දුල් හජ් මස දහ වැනි දින යෙදෙන ඊදුල් අල්හා නම් වන හජ් උත්සවය සමරති. පරිත්‍යාගය, සාමය සහ සහජීවනය මුල් කරගෙන පවත්වනු ලබන මෙම හජ් උත්සවය වෙනුවෙන් සියලු දෙනාට සුබ පතමු. සියලු දෙනාට ඊද් මුබාරක්!
සටහන - මොහොමඩ් ආසික්