ප්‍රවීණ පරිවර්තක රෝහණ වෙත්තසිංහ මහතාගේ නවතම පරිවර්තන කෘතිය ‘සයුරු තෙර සහන් බිම’ නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්වුණි. මතු දැක්වෙන්නේ ඒ පිළිබඳව අප කළ සංවාදයකි. ඒරන්ගේ ලෝකය, ගිනිගත් සඳ, ජීවිතය යළි ලදිමි, අවුෂ්ටිට්ස් හි නිවුන් සොයුරියෝ වැනි පරිවර්තන කෘති ද ධ්‍යාන චිත්‍රපට වින්දන වැනි සඟරා සංස්කරණය ද සතර දිගන්තය, අප්පොච්චිගේ සිනමාව වැනි තිර නාටක ද කලාසූරී ගුණදාස ලියනගේ වැනි ඇගැයුම් කෘති ද රෝහණගේ සාහිත්‍ය නිර්මාණ අතර කැපී පෙනේ.
• සයුරු තෙර සහන් බිම පරිවර්තනයට පදනම් වන්නේ යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධය හිස ඔසවමින් තිබූ හා රට රටවල ඒකාධිපති දේශපාලන බලවේගවල ප්‍රචණ්ඩත්වය මැද ගොඩනැඟෙන කතාවක්. මෙම කෘතිය පරිවර්තනය සඳහා ඔබේ සිත් ගැනීමට හේතු වූ කාරණා මොනවාද?
මා පරිවර්තනය කළ කෘති අතරින් බහුතරය ස්වයං ජීවන සටහන්. එමනිසා නැවත නවකතාවක් පරිවර්තනය කිරීමට මා තුළ ආශාවක් තිබුණා. ඒ අදහස ඇතිව ඉන්නා විටයි ඉසබෙල් අයියන්දේ ගේ අලුත්ම නවකතාව A Long Potol of the Sea කියවන්න ලැබුණේ. ඇත්තටම ඒ පොතට එක පැහැර මගේ හිත බැඳුණා.
පළමු කාරණය එය අයියන්දේගේ නවකතාවක් වීමයි. අනෙක ලාංකික අපට පවා සමීප චිලියානු කවියා පැබ්ලෝ නෙරූදාගේ ජීවමාන චරිතය ද මෙහි ප්‍රධාන පාත්‍ර වර්ගයා අතරටම මුසුවීම. තවත් වැදගත් කාරණයක් වුණේ මෙහි එන සමාජ දේශපාලනික තත්ත්වයන් වත්මනෙහි අප ජීවත් වන අන්දමේ අතීරණාත්මක යුගයකට ගැළපීම. උද්ඝෝෂණ, දේශපාලන ගැටුම්, උන්හිටි තැත් අහිමිවීම්, රට හැර යෑම්, වියෝවීම්, අවතැන් වීම්, ආහාර අහේනි වැනි අදටත් උත්තුංගව නැගී සිටින ප්‍රශ්න එදා එක්දහස් නවසිය තිස් ගණන්වලත් තිබුණා.
• ඉසබෙල් අයියන්දේ ඓතිහාසික නවකතා රචිකාවක ලෙසින් මෑතක දී සිය ශක්‍යතා ඉහළින් පළ කළ කෘතියක් ලෙස A Long Petal of the Sea කෘතිය විචාරක ඇගයුමට පාත්‍ර වූ බව පෙනෙනවා. මේ කෘතියේ කලාත්මක ගොඩනැගීම හා තේමාත්මක ගැඹුර ඔබ වටහා ගන්නේ කොහොමද?
ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධයේ සිට චිලියේ දරදඬු ජුන්ටා පාලකයා වූ පිනෝ ෂේ ගේ අවධිය දක්වා ඓතිහාසික සිද්ධි මාලාවක් ඔස්සේ මෙහි කතාව විකාශනය වෙනවා. ඇත්තටම බැලුවොත් 1938 සිට 1991 දක්වා අවුරුදු 53ක් පුරා පරම්පරා හතරක බැඳීම් හැලහැප්පීම් විෂය කර ගැනීමට අයියන්දේ උත්සාහ කළ බව පැහැදිලියි.
පාඨක විචාරක ප්‍රසාදය දිනාගත් ඇගේ මුල්ම නවකතාව House of the Spirits කෘතියේ සිටම අයියන්දේ ඓතිහාසික සමාජයීය හා දේශපාලනික බලපෑම් වස්තු විෂය කර ගන්නවා. හවුස් ඔෆ් ද ස්පිරිට්ස් කෘතියේ විසිවැනි සියවසේ ලතින් ඇමරිකානු රටවල වෙසෙන පීඩිත පන්තියේ ජනයාගේ අරගලය අයියන්දේගේ කතාවට පන්නරය සැපයුවා.
‘සයුරු තෙර’ කතාව ගොඩනැගී තිබෙන්නේ ඓතිහාසික තොරතුරු අතරට ප්‍රබන්ධිත චරිත එක් කිරීමෙන්. එක් අතකින් බලන විට මෙහි එන වෘතාන්තයක් සත්‍ය තොරතුරු ඇසුරෙන්ම ගොඩනැගුණු බව පැහැදිලියි. අයියන්දේට 1973 දී වෙනිසියුලාවේ දී හමුවූ එදා විනිපෙග් නෞකාවේ ගමන් ගත් මගියකුගෙන් බොහෝ විස්තර දැන ගැනීමට ලැබුණු බව කතාව ආරම්භයේ එන ඇගේ සටහනේ දැක්වෙනවා. එම මගියාගේ නම වික්ටර් ජේ. සයුරු තෙර ප්‍රධාන චරිතයක් වන වෛද්‍යවරයාගේ නමත් වික්ටර් ලෙසින් තැබුවේ ඔහුට කෘතගුණ දැක්වීමක් විදිහට වෙන්න පුළුවන්.
සත්‍ය සිදුවීම්, ප්‍රබන්ධිත චරිත වහල් කර ගනිමින් එක දිගට ගලායන කතාවක් ලෙසින් පෙළ ගැස්වීම සූර නවකතා රචිකාවියකට හැරෙන්න වෙන කෙනෙකුට කළ නොහැකියි. පෙර නවකතාවල දී මායා යථාර්ථවාදී (Magical Realism) කතා රීතියට ඈ නැඹුරු වුවත් මෙහිදී එම මඟ ගෙන නැහැ. ඒ වෙනුවට චරිත හා කාල වකවානුව රේඛීය තලයක් ඔස්සේ ගලා යා නොදී විටින් විට ඡේදනය වීම් සිදු කරනවා. ඇතැම් විට එය චිත්‍රපටයක සංස්කරණ රීතිය වගේ. එය හැඳින්වූයේ නොබැඳි කතා ආර (Non Linear Narrative Style) යනුවෙන්.
ගැහැනියකගේ ධී ශක්තිය අයියන්දේ බෙහෙවින්ම විශ්වාසය තබන එක් අංගයක්. සයුරු තෙර ප්‍රධාන කාන්තා චරිතය වන රෝසර් බාගේරා ගොපලු කෙල්ලක සිට දේශ දේශාන්තරවල සැරිසරන පියානෝ වාදන ශිල්පිනියක් දක්වා විකාශනය වන්නේ නවකතාකාරියකගේ එවන් සිතිවිලි ඔස්සේයි.
නිර්ධන පන්තියේ චරිත දෙස අප බලන්නේ සානුකම්පිත දෘෂ්ටියකින්. වික්ටර් දල්මවු නම් වෛද්‍යවරයා මොනතරම් අයුක්තියට අසාධාරණයට ලක්වුවත් මිනිස්කම අතින් බෝසත් ගුණ පෙන්වන චරිතයක්. සිය සොයුරාගේ අනාථ වූ ගැබිනි බිරියට පීතෘත්වය ලබාදීමට තරම් ඔහු පරාර්ථකාමී වෙනවා. ආදරය කාමුක බැඳීම් ගැන මෙම නවකතාවේ දී කියැවුණත් ඒ හැම දෙයක් ගැනම කතුවරිය බලන්නේ උපේක්ෂාවෙන්. මෙම කාල වකවානුව පිළිබඳ දීර්ඝ හැඳින්වීමකින් පසුවයි අයියන්දේ කතාව ලිවීමට මුල පුරා තිබෙන්නේ.
• ඉසබෙල් අයියන්දේ ලෝක සාහිත්‍යය තුළ වගේම ලාංකික පාඨකයා අතරත් කැපී පෙනෙන චරිතයක්. ඒ සඳහා බලපෑ ඇගේ සාහිත්‍ය භාවිතාව ඔබ හඳුන්වන්නේ කොහොමද?
අයියන්දේ මේ වනවිට නවකතා 26ක් ලියා තිබෙනවා. ඒවා භාෂා හතළිස් දෙකකට වැඩි ගණනකට පරිවර්තනය වී ඇති බවත් සඳහන් වෙනවා. ඒ සියල්ලෙහිම පිටපත් මිලියන හැත්තෑ හතරකට වැඩියෙන් ලොව පුරා අලෙවි වී තිබීමෙන්ම ඇගේ සාර්ථකත්වය මැන ගත හැකියි.
හැත්තෑ නව වැනි වියේ පසුවන ඇය අදටත් නවකතා රචනයේ යෙදෙනවා. A Long Petal of the Sea නවකතාව ඇය විසින් ලියන ලද්දේ 2020 දී. මේ වසරේදීත් ඈ The Soul of a Wamom නමින් සිය චරිතාපදාන කෘතිය එළිදක්වා තිබෙනවා. එහිදී ගැහැනියක වීමේ අරුත කුමක්ද? යන්න පිළිබඳව 1960 ගණන්වල සිට එනම් සිය යෞවනයේ සිට ඈ විග්‍රහ කරනවා. කීපවරක්ම විවාහ දිවියට පත් චිලී ජාතික ඈ අද වනවිට ජීවත් වන්නේ කැලිෆෝනියාවේ. ඈ ‘පෝලා’ නමින් කෘතියක් ලිව්වේ රෝගීව මියගිය සිය දියණිය පිළිබඳ හද කම්පාවෙන්.
අයියන්දේ 2022 වෙනුවෙන් ද ‘violeta’ නමින් පිටු 336ක නවකතාවක් ලියා තිබෙනා. ඒ සියක් වසක් ජීවත් වූ ‘විසොලේටා ඩෙල් වාලි’ නම් කාන්තාවගේ ජීවන අත්දැකීම් පාදක කරගෙනයි.
අයියන්දේගෙන් අප ගත යුතු අදර්ශය වන්නේ හැම වසරකම තමා ජීවිතය අලුත් කර ගන්නවා යන කියමනයි. ලාංකික පාඨකයාට විශේෂයෙන්ම සිංහල බසින් කියවන පිරිසට ඈ සමීපවී තිබෙන්නේ ඈ ලියූ හොඳම කෘති රැසක් අපේ මවු බසට නැගී තිබීම නිසයි. මායාවාස, ඊවාලුනා, පෝලා වැනි නවකතා ඒ අතර වැදගත්.
ඇගේ සාහිත්‍ය භාවිතාව තුළ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දේශපාලන සමාජයීය සංසිද්ධීන් මධ්‍යයේ හද පත්ලෙන්ම නැගෙන ප්‍රේම චමත්කාරය හෙවත් රොමැන්ටික් මුසුව ද ඉස්මතු වීමයි. සයුරු තෙර කතාවේ එන ඔෆීලියා, රෝසර් හා වික්ටර්ගේ චරිත තුළින්ම එය ප්‍රකාශ වෙනවා.
ගාර්සියා මාකේස් වැනි ලතින් ඇමෙරිකානු ලේඛකයකු ගේ අභාසය ද ඇගේ ඇතැම් කෘතිවල දකින්නට පුළුවන්. මායාවාස කෘතියේ දී ඈ මායා යථාර්ථවාදී රීතිය අනුගමනය කරන්නේ ඒ හේතුවෙන්. ඓතිහාසික නවකතා ජීවන සටහන් ශානරවලට ඇගේ කෘති වැඩි හරියක් ඇතුළත් වෙනවා. රූපක, උපමාලංකාර, උපකල්පනයන් මැවීමට අයියන්දේ තුළ ඇත්තේ ජන්ම ප්‍රතිභාවක්.
මෙහිදී අයියන්දේගේ මූලාශ්‍ර භාෂාව ස්පාඤ්ඤ වීම නිසා ඉංග්‍රීසියට නැගීමේ දී එහි මුල් ගුණය කෙතරම් රැඳී තිබෙනවා ද යන්න කීම අපහසුයි. කොහොම වුණත් කාන්තා ක්‍රියාකාරිණියක් ලෙස ඈ තුළ තිබෙන මතවාද ඈ මවන චරිත තුළින් ද දකින්න පුළුවන්.
● පැරැණි යුගයේ අපේ සාහිත්‍ය පෝෂණය සඳහා ප්‍රබල දායකත්වයක් ලැබුණේ උසස් පරිවර්තන කෘතිවලින්. එදාට සාපේක්ෂව අද අපට ගුණාත්මක පරිවර්තන කලාවක් තිබෙනවාද?
ඇත්තටම ඒ කාලෙ විශාල වශයෙන් උසස් රුසියානු කෘති සිංහලට පරිවර්තනය වුණා. මැක්සිම් ගෝර්කි, ඇන්තන් චෙකෝෆ්, ටෝල්ස්ටෝයි, දොස්තයෙව්ස්කි වැනි අග්‍රගණ්‍ය ලේඛකයන් මුල්වරට බහුතර පාඨක පිරිසක් අතරට ගියේ සිංහල පරිවර්තනවලින්. දැදිගම රුද්රිගු හර්ෂ පද්ම කුරණගේ වැනි පරිවර්තකයන් ඒවා සිංහලට නැගුවේ මුල් රුසියානු කෘතිය ඇසුරින් වීමයි වැදගත්ම දේ. ඒ.පී. ගුණරත්නයන් පරිවර්තනය කළ ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම කෘතිය අදටත් ආස්වාදනීයයි. සිරිල් සී. පෙරේරා, කේ.ජී. කරුණාතිලක වැනි පරිවර්තකයන් ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා. ආර්.එල්. ස්පිට්ල්ගේ ‘සුදු ගෝනා, සුදු වැද්දා’ පරිවර්තන යොවුන් පාඨකයන්ට මොනතරම් චමත්කාරජනක අත්දැකීම් ලාබ දුන්නාද? එම ලේඛකයන් ද්වීභාෂා උගතුන් වීමත් වැදගත් කරුණක්. ඇතැම් විට පාලි, සංස්කෘත භාෂා පවා මේ අය දැන සිටියා.
අද පරිවර්තන කාර්යයත් බොහෝ විට මුදලට යටවී ඇති බවකුයි පෙනෙන්නේ. ජනප්‍රිය කතා මාලා කතා සීමාවක් තුළ කළ යුතු පැවැරුමක් හැටියට බාර ගන්නා එම පරිවර්තකයන්ගෙන් අර්ථවත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් පසුගිය කාල වකවානුව තුළ ගාර්ෂියා මාකේස්, පාවුලෝ කොයියෝ, ඩර්හාන් පාමුක්, හරුකි මුරකාමා, කාලෙඩ් හුසේන්, වෙතන් බගාට්, වැනි ලෝ පක්‍රට ලේඛකයන්ගේ කෘති සිංහලට නැගුණා. එම නිසා අපට ගුණාත්මක පරිවර්තන කලාවක් ඇත්තේම නැහැ කියන්න බෑ. විවිධ මට්ටම්වල ලේඛකයන්ගේ කෘති කියැවීම තුළින් ජීවිතාවබෝධය පුළුල් කර ගැනීමේ අවස්ථාව අපට ලැබෙනවා.
කෙසේ වෙතත් පරිවර්තකයන් ලෙසින් ජනප්‍රියත්වය දිනාගන්න උත්සාහ කරන ඇතැම් කෙනකුගේ කෘති කියැවීමේ දී පාඨකයන් අවුලට පත්වෙන බවට මැසිවිලි නැගෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනකුගේ පරිවර්තන අසාර්ථකවී තිබෙන්නේ ඉංග්‍රීසි බැරිකම නිසා නොව සිංහල බැරිකම නිසයි. ඒ වගේම ඉංග්‍රීසි වචන බැම්මෙන් පැනලා හිතන්න බැරිකම නිසයි.
• හොඳ පරිවර්තන කෘති තෝරා ගැනීමටත් ඒවා අපට සමීප කිරීමටත් නිශ්චිත වැඩපිළිවෙළක අවශ්‍යතාව කෙබඳුද?
එය හුදෙක් තනි තනිව පෞද්ගලික මට්ටමින් කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා පොත් ප්‍රකාශන ආයතන සතුව ලොකු වගකීමක් තිබෙනවා. අනෙක් අතින් පළාත් සභා නගර සභා මගින් පුස්තකාල සඳහා පොත් තෝරා ගැනීමේ ව්‍යාපෘතිවලදිත් පරිවර්තන කෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීම ඉතාම වැදගත්. පුස්තකාල සඳහා වෙන් කෙරෙන මුදලිනුත් හොඳ පරිවර්තන කෘති මිල දී ගැනීම තුළින් දරුවන් ද පුළුල් ලෝකයක් දැකීමට සැලැස්විය හැකියි. එසේම හොඳ පරිවර්තන කෘති පිළිබඳ විද්වත් සාහිත්‍යවේදීන් සහභාගි කරවාගෙන මසකට දෙකකට වරක් හෝ සංවාද මණ්ඩපයක් පැවැත්වීමත් කාලෝචිතයි. මේ වගේ අවදානම් කාලයක සූම් තාක්ෂණය වැනි ක්‍රමවේදයක් ඔස්සේ වුව යම් අර්ථවත් කථිකාවක් ඇති කළ හැකියි.
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
ප්‍රවීණ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ