පරිසරය විනාශ කරන්නේ රට කාන්තාරයක් කරන්නද?


හෙට දවස නිර්මාණය වන්නේ ඊයේ දවස සම්බන්බන්ධයෙන් අද ඇතිකර ගන්නා තීන්දු තීරණ නිගමන මතිනි. එළඹගත් සිහියෙන් යුතු ප්‍රඥාවන්තයෝ ඊයේ දවස නිවැරැදිව කියවා ගනිති. එසේ නොවන්නෝ ඊයේ රෑ වැටුණු වළෙහි අද මහ දවලේත් වැටිති.

අත්‍යවශ්‍ය පෙරවදන අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ පුවතක්  සම්බන්ධයෙනි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ  පෞද්ගලික ඉඩමකට යාමට හොරගල ගල්පොත්ත හේන් යාය රජයේ කැලය මැදින් යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් කිලෝමීටර එක හමාරක් දිග මාර්ගයක් ඉදිකිරීම හේතුවෙන් විශාල  වනාන්තර ප්‍රදේශයක් විනාශ වී ඇතැයි පරිසරවේදීන් සහ ගම්වාසීන් චෝදනා  කරන බවය.

මුළු රටම අරගල බිමක් බවට පත්ව තිබේ. නිර්පාක්ෂික පොදු ජනයා මෙන්ම විවිධ තරාතිරම්වල ජනයා නිරුත්සාහකව සාමකාමී අරගල බිම්  නිර්මාණය කළහ. මෙම  අරගල බිම් නිර්මාණය වූයේ ගුවන්ගත බඩු මිලට එරෙහිව පමණක් නොවේ. බඩගින්නට එදිරිව පමණක් නොවේ. ගෑස් හිඟය ඉන්ධන පෝලිම් නිසා පමණක් නොවේ. නිදහසින් පසු ගෙවා ආ හැත්තෑ හතර වසරක මජර නාස්තිකාර  හා දූෂිත මෙන්ම චෞර ක්‍රියාදාමයන්ට එරෙහි රළ ගසන විරෝධයද සටන් බිම් නිර්මාණය වීමට හේතු සාධක සැපයීය. විශේෂයෙන්ම ජාතික සම්පත් විනාශය මෙන්ම පරිසර විනාශය නූතන දියුණු සමාජය නොඉවසයි. උපනූපන් පරම්පරාවලට නිදහසේ හුස්ම ගත හැකි රටක් සම්බන්ධ අත් නොහළ අපේක්ෂාවෙන් පණ පෙවුණු ජනයාගේ පණ ගැහෙන රිද්මය හඳුනා ගන්නේ නම් අද දවසේ අප පුවත්පතට මෙබඳු පුවත් වාර්තා කිරීමට සිදුවන්නේ නැත.

ඉහත වනාන්තර ඉඩමට පිවිසීමට  විකල්ප මාර්ග පහක් හඳුනාගෙන තිබියදීත් මෙම සුවිශේෂි වනාන්තර පද්ධතිය දෙකඩ කරමින් ඇළ මාර්ග තුනක් සම්පූර්ණයෙන්ම අවහිර කර දේශපාලනඥයකුගේ බලය භාවිත කර මෙම මාර්ගය ඉදිකරමින් තිබෙන බව නිරීක්ෂණ චාරිකාවකදී දැන ගන්නට ලැබුණු බව පරිසරවේදී සජීව චාමිකර මහතා  අප පුවත්පතට පවසා තිබිණි. වනාන්තරයේ ඇති ඇළ මාර්ග සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබීම හේතුවෙන්  ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂවල වාසස්ථානද විනාශවන බව ඒ මහතා පෙන්වා දී තිබිණි.

මෙම වනාන්තරය කෙනකුට අනුව‘‘කැලෑවක්’’ විය හැකිය. මේ කැලය සංහාරය කරමින් යන්නේ එසේය. එහෙත් මෙම වනාන්තරය එබඳු කැලෑවක් නොවේ. වන  සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තරයක් වන මෙහි ලංකාවට ආවේණික මහ කොණ්ඩ කවුඩා, හබන් කුකුලා, රත් මහ කෑරලා, අළු කෑඳැත්තා, ගිරා මලිත්තා, රන් නළල් කොට්ටෝරුවා, හිස කළු කොණ්ඩයා  වැනි පක්ෂීහු වාසය කරති. එම වනාන්තරය දෙකඩ කරමින් නව මාර්ගයක් තනන්නේ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

කොටපොළ ප්‍රාදේශීය ලේකම් ශානිකා අයි. පෙරේරා මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පුද්ගලයකුට හිමි මධ්‍යම පාන්තික ඉඩමකට ප්‍රවේශ වීමට වසර දහයකට වැඩි කාලයක් පුරා මාර්ගයක් ඉල්ලා තිබූ බවය. ඒ සඳහා මිනුම්දෝරු දෙපාර්තමේන්තුවෙන් විකල්ප මාර්ග පහක් පෙන්වා දී තිබූ බවත් ඉන් එක් මාර්ගයක් නීත්‍යානුකූල පිඹුරක් මගින් ඉඩමට ප්‍රවේශවීම සඳහා ඇති මාර්ගයක් බවය. පසුව මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව, ජනපද නිලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වවල නිලධාරීන්  කැඳවා මෙම මාර්ග පහෙන් වඩාත් සුදුසු මාර්ගය කුමක්දැයි විමසූ බවත් වැඩි ආයතන සංඛ්‍යාවක් එකඟ වූ ව්‍යවස්ථාපිත නීත්‍යානුකුල මාර්ගය සඳහා එකඟ වූ බවය. එමෙන්ම වන සංරක්ෂණ ජනරාල් ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය සහිතව මෙම මාර්ගය සඳහා අනුමැතිය ලබාදී ඇති බවය.

කොටපොළ ප්‍රාදේශීය ලේකම්තුමිය එසේ ප්‍රකාශ කළත්  පරිසරවේදීන් හා ගම්වාසීන් පවසන්නේ පෙර කී ප්‍රවේශ මාර්ග තිබියදී යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් කිලෝමීටර එක හමාරක් දිග නව මාර්ගයක් ඉදිකරන බවය. ඒ සඳහා දේශපාලන රැකවරණය හා ආශිර්වාදයද හිමිවන බවය.

රට වනාහි මිනිසා පමණක් නොවේ. පරිසරය යනුද මිනිසා පමණක් නොවේ. මිනිසා යනු මෙම සොබා දහමේ එක් අංගයක් පමණි. ගහකොළ, ඇළ දොළ, සතා සීපාවා මෙම පරිසරයේ අනෙකුත් අංග වේ. මිනිස් ජීවිතය පරිපූර්ණත්වයට පත්වීමට මෙන්ම ජීවත්වීමට  මෙම අනෙකුත් අවශේෂ අංග  අත්‍යවශ්‍ය වේ. එහෙත් ‘ඔක්සිජන් කන්නදැයි’ අසන දේශපාලනඥයන් සිටින රටේ ඔවුන්ටම අනුගත බූරු පුරවැසියන්ට සොබාදහම යනු මුදල් කොළ පමණි. ගස් කොළන් දෙපළු කර ඒවා මුදල්වලට විකුණා තම පැවැත්ම සරිකර ගැනීමට ඔවුහු උත්සාහ කරති. මේ රට මේ තරම් අගාධයකට ඇදවැටුණේද එහෙයිනි.

ඊයේ දවස නිවැරැදිව කියවා ගත යුතු වන්නේ එහෙයිනි. ඊයේ දවසෙන් පාඩම් ඉගෙන නොගැනීම යනු ස්වයං විනාශයට පාවාඩ එළීමකි. වඩාත් යහපත් හෙට දවසක් සම්බන්ධ ප්‍රාර්ථනාවන්ගෙන් පිරීගත් මිනිසුන්ට මෙබඳු පුවත් ළය විනිවිදින කිණිසි තුඩක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. එහෙයින් මෙම ජාවාරම්කාර එමෙන්ම පරිසර සංහාරයකයන්ට එදිරිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුය.

(***)