2005 වසරේ සිට, වසර 19 ක් තිස්සේ, වසා දමා තිබුණු අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වට රවුම දක්වා දිවෙන මාර්ගය, මීට දින කීපයකට පෙර මහජනතාවට විවෘත කෙරුණි. ඒ, වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුවය.
අරලියගහ මන්දිරයට යාබදව ඉදි කර තිබුණු ආරක්ෂක කුටි කොළඹ මහ නගර සභාව විසින් මේ වනවිට ඉවත් කරනු ලැබ තිබේ. ඒ අනුව, ‘අරගලයෙන්’ පසු, අගමැති නිල නිවස හෙවත් අරලිය ගහ මන්දිරය යළිත් කාගේත් අවධානයට ලක් වී අවසන්ය.
අරලිය ගස්වලින් සහ සුදෝ සුදු අරලිය මලින් පිරි උද්‍යානයකින් සමන්විත බැවින්ම, කොළඹ 3, ආර්.ඒ. ද මැල් මාවතේ අංක 150 ලිපිනයේ පිහිටි මහල් දෙකකින් සමන්විත අරලියගහ මන්දිරය’ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වෙයි. ලන්දේසි පාලන අවධිය දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන මෙම මන්දිරය, වසර 200 කටත් වඩා පැරණිය. ලන්දේසි පාලන අවධියේ දී ස්කාගාරයක් වූ මෙහි මුල් ගොඩනැගිල්ල හැඳින් වූයේ ‘දි බ්‍රැන්ඩරි’ යන නමිනි. 1796 වසරේ, බ්‍රිතාන්‍යයන් වෙරළබඩ ප්‍රදේශ අත්පත් කර ගනිද්දී, එම ස්කාගාරයේ හිමිකරු වූයේ ඩැනියෙල් ඩිට්ලොෆ් නමැති සිටුවරයාය.
ඩැනියෙල් ඩිට්ලොෆ් සිටුවරයා, ලංකාවෙන් නික්ම ගිය පසු, ෆ්‍රෙඩ්‍රික් බැරන් මයිලියුස් නමැති බ්‍රිතාන්‍යයන් යටතේ සේවය කළ ලන්දේසි ජාතිකයාගේ පෞද්ගලික නිල නිවස බවට පත් වූයේ මෙම මන්දිරයයි. ස්කාගාරයක් ලෙස පැවැති ගොඩනැගිල්ල, නිවහනක් ලෙස භාවිතයට ගත හැකි පරිදි මුල් ගොඩනැගිල්ල වෙනස් කර ඇති අතර එම සැලැස්ම වසර 150ක් පමණ නොවෙනස්ව පැවැතිණි.
1805 දී මයිලියුස්ගේ අභාවය සිදුවිය. 1903 වසරේ දී මෙම මන්දිරය රජය සතු වනතුරුම යුරෝපීය ජාතිකයන් වරින් වර මිලට ගෙන පෞද්ගලික නිවහනක් ලෙස භාවිත කර ඇත. මෙම නිවහන ‘අරලියගහ මන්දිරය’ (Temple Trees) ලෙස නම් කරනු ලැබ ඇත්තේ 1856 දී මෙම මන්දිරය මිලට ගත් ජෝන් ෆිලිප් ග්‍රීන්ය. මන්දිරය අලංකාර කිරීමටත්, වර්තමානයේ පවතින අකාරයට උද්‍යානය නිර්මාණය කිරීමටත් ඔහු විසින් විශාල ධනයක් වැය කළ බව පැවැසෙයි.
1892 දී සිදු වූ ජෝන් ෆිලිප් ග්‍රීන්ගේ අභාවයෙන් පසු අරලියගහ මන්දිරයේ හිමිකරු වූ ඔහුගේ සොහොයුරු ස්ටැනිෆෝත් ග්‍රීන්ට මෙම භූමියෙහි ලංකාවේ ප්‍රථම අයිස් කර්මාන්තශාලාව අරම්භ කිරීමට ඉඩ සලසා දුන් බව ද පැවැසෙයි. ස්ටැනිෆෝත් ග්‍රීන්ගේ අභාවයෙන් පසු ‘අරලියගහ මන්දිරය’ සහ අයිස් කර්මාන්තශාලාව වෙන්දේසි කළ අතර එය මෙසර්ස් ටැරන්ට්, හෙන්ඩර්සන් සහ සමාගම විසින් මිලදී ගනු ලැබ ඇත. හෙන්ඩර්සන් ‘අරලියගහ මන්දිරය’ සිය වාසස්ථානය බවට පත් කර ගෙන ඇති අතර 1899 වසරේ දී ලංකාවේ උපආණ්ඩුකාර පදවිය දැරූ ශ්‍රීමත් එවෙරාඩ් ඉම් තර්න් හට එය කුලී පදනම මත ලබා දී ඇත.
අරලියගහ මන්දිරය රජය විසින් මිලට ගෙන ඇති අතර, 1903 වසරේ නොවැම්බර් මස සිට ලංකාවේ උපආණ්ඩුකාරවරයාගේ නිල නිවස ලෙස භාවිත කර ඇත. ශ්‍රීමත් එවෙරාඩගෙන් පසු උපආණ්ඩුකාර ධුරය අහෝසි කර ඒ වෙනුවට යටත්විජිත ලේකම් ධුරය පිහිටුවීය. ලංකාවේ ප්‍රථම යටත්විජිත ලේකම්වරයා වූයේ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ඈෂ්මෝර්ය. ඔහුගේ පටන් 1931 වසරේ ඩොනමෝර් කොමිසම මගින් යටත්විජිත ලේකම් ධුරය අහෝසි කර ඒ වෙනුවට මහලේකම් ධුරය ඇති කරන තුරුම සියලුම යටත්විජිත ලේකම්වරුන්ගේ නිල නිවස වූයේ අරලියගහ මන්දිරයයි.
1925 වසරේ දී ආණ්ඩුකාර නිල නිවස වූ ‘රැජින නිවස’ අබලන් වීම නිසා, එවකට ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි සහ ආර්යාව, ‘අරලියගහ මන්දිරයේ’ කලක් වාසය කර ඇත. මෙරට ප්‍රථම මහලේකම් වූ ශ්‍රීමත් හෙන්රි බෝදිලියන්ගේ සිට ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ග්‍රේම් ටයිරෙල්, ශ්‍රීමත් මැන්වෙල් වෙඩර්බර්න්, ගයි ස්ටැන්ලි වොඩ්මන්, රොබට් ඩ්‍රේටොන්, ශ්‍රීමත් චාර්ල්ස් කොලින්ස් දක්වා සියලු මහලේකම්වරුන්ගේ නිල නිවස වූයේ ද අරලියගහ මන්දිරය’ යි.
රජයේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වාස්තු විද්‍යාඥ වයින් ජෝන්ස්, අග්‍රාමාත්‍ය නිල නිවසකට උචිත අයුරින් අරලියගහ මන්දිරයේ අලුත්වැඩියා කළ අතර, 1948 ජනවාරි 19 වන දින ඩී.ඇස්. සේනානායක මැතිතුමා අරලියගහ මන්දිරයේ වාසයට පැමිණියේය. 1948 වසරේ දී, ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ පසු, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස බවට අරලියගහ මන්දිරය පත්විය. ඒ අනුව ‘අරලියගහ මන්දිරය’ සිය නිල නිවස බවට පත් කරගත් ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ ඩී.ඇස්. සේනානායක මැතිතුමාය.
අරලියගහ මන්දිරය වරින්වර අවස්ථා ගණනාවකදී අලුත්වැඩියා කෙරුණි. නවාංග එකතු කෙරුණි. එසේ වුවත්, ඝනකම් බිත්ති, වාතාශ්‍රය ඇති ඉඩකඩ සහිත කාමර, වා කවුළු සහිත විශාල දොර ජනෙල්, ක්‍රමයෙන් පහළට බෑවුම් වන උළු සෙවිලි කළ උස් වහල යනා දී ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්වත්වය පිළිඹිබු කරන මෙම මන්දිරය, 1948 වසරේ සිට මේ දක්වා, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වෙයි.
(***)
ලුසිත ජයමාන්න
අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වෙබ් අඩවිය ඇසුරිනි