පසුතැවීම් සඳහා නොයෙකුත් හේතු සාධක ඇති බව අපි සියල්ලෝම ප්‍රායෝගිකව අත්දැක ඇත්තෙමු. ඉහත ධම්මපද දේශනයෙන් තථාගතයන් වහන්සේ ලෝක සත්වයා වෙත සන්නිවේදනය කරනුයේ දුර්ලභව ලබාගෙන ඇති මිනිස් බව එසේ දුක්මුසුව සැමරිය යුතු එකක් නොකරගත යුතු බවය. බුද්ධ ධර්මය මනෝමූලික ධර්මයකි. ක්‍රියාව සඳහා මුල් වන්නේ චේතනාව බව කර්ම විග්‍රහයේදී මනාව පැහැදිලි කර තිබේ.
තම තමන්ගේ ජීවිත පිළිබඳව නැවත හැරී බැලීමේදී තම ජීවිත කාලය තුළ සිදුකරන ලද ක්‍රියාවන්ගෙන් කොතරම් සංඛ්‍යාවක් එකී කඳුළින් තොරව සිහිපත් කළ හැකි දැයි ගණනය කරගත හැකිවේ. එසේම කඳුළු බර මුවින් වේදනාකාරීව සිහිපත් කෙරෙන ක්‍රියා පිළිබඳව ද සිතා බැලිය හැකිය. බොහෝ විට බොහෝ දෙනා සිදුකරන ක්‍රියා සියල්ලම සෞම්‍යවූත් සුන්දරවූත් ක්‍රියා නොවේ. අසුන්දර කඨෝර වූ ක්‍රියාවන් ද බහුල වේ.
ධර්මයෙන් අපට උපදෙස් දී ඇත්තේ එබඳු වේදනාකාරීව සිහි කළ යුතු ක්‍රියාවන් සංඛ්‍යාත්මක වශයෙන් අඩු කරගැනීම පමණක් නොව එබඳු දෑ සිදු නොකර සිටීම සඳහා ශික්ෂණයක් ඇති කරලීම සඳහාය. බෞද්ධ ශික්ෂා මාර්ගය තුළ මනාව දැකිය හැකි වන්නේ එබඳු අනුපූර්ව ක්‍රියාමාර්ගයක් බව ඉතා ප්‍රකට කරුණකි. එම ආගමික මඟ කොසලකා හරිමින් අශික්ෂිතව සිතින් සිතා වචනය හා කය මෙහෙයවමින් සිදු කරන කඨෝර ක්‍රියා නිසා පසුතැවීමට සිදු වේ. එම ක්‍රියා පාප ක්‍රියා නමින් නම් කෙරේ. එබඳු වූ අයහපත් ක්‍රියාවන් පිළිබඳව පුද්ගල මනසට දැනෙනුයේ සිසිලක් හෝ සහනයක් නොවේ. එහි ස්වභාවය වන්නේ ගිනියම් බව, අසහනය හා අසංතෝෂය ද මතු නොව දැවීම හා තැවීමය. එබඳු වූ පීඩාකාරි ස්වභාවය තමන්ගේ ජීවිත අපේක්ෂා අවුල් කරයි. සදාකාලික රෝගීන් බවට පත්වීමේ මානසික ප්‍රවණතාවක් ද ඇති කරන අයුරු ඉතා ප්‍රායෝගිකය. එම පීඩාකාරී කායික මානසික ස්වභාවය සංසාරගත ජීවිතය සමග එක්ව ගමන් කරමින් දුක් විපාක ලබාදීමේ ස්වභාවය බුදු දහමෙන් ප්‍රකාශ වේ. එසේම පුද්ගලයා විසින් වඩ වඩාත් ප්‍රවර්ධනය කරගත යුතු සුන්දර සුඛාස්වාදනීය වූ කඳුළින් තොර යහපත් ක්‍රියාදාමයන්ගේ සංඛ්‍යාව වැඩි කරගැනීමේ වගකීම තම තමන් සතු වේ. සංඛ්‍යාත්මකව එසේ සිදු කිරීම නිසා ලැබෙන මානසික සුවය ඉහලෝක වශයෙන් ඉතා නීරෝගී සම්පන්න ජීවිත ලබාදීමේ හැකියාව මතු නොව සාංසාරිකව ද එබඳු පුද්ගලයන් පුණ්‍යවන්තවූත්, සැනසිලිදායිවූත් පාරලෞකික ජීවිතයකට ද උරුමකම් ලබන බව දහමින් ප්‍රකාශිතය. ඒ බව ධම්මපද පාලියෙහි දැක්වෙන මෙම ගාථා ධර්මයෙන් මනාව පැහැදිලි කර දී ඇත.
නතං කම්මං කතං සාධු
යංකත්වා අනුතප්පතී
යස්ස අස්සුමුඛෝ රෝදං
විපාකං පටි සේවතී
තථාගතයන් වහන්සේ විසින් දේශිත මෙම දේශනය තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් පවින් වළක්වා පුණ්‍ය ධර්මයේ යෙදවීම සඳහා උත්සුක කිරීමේ තවත් අවස්ථාවක් ලෙස දැක්විය හැකිව තිබේ. යහපත්ව යමක් කරන්නා යහපත් පුද්ගලයකු වන්නේ මතු නොව එම ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවක් හෙවත් කුසල ධර්මයක් ලෙස අපි හඳුනාගෙන සිටිමු. තම ජීවිතය තුළ එබඳු ක්‍රියා සපුරාගත් පුද්ගලයා කෙසේවත් පසුතැවීමකට ලක් නොවේ. එම පුණ්‍යකර්මය සඳහා හේතු වූයේ අකුසල මූලයකි. එසේ නම් ඉන් ලැබෙනුයේ ද යහපත් ප්‍රතිඵලයකි. එබඳු ආකාරයෙන් තම ජීවිතය පිළිබඳ අතිශය සොම්නසින් සිහිපත් කරමින් උදම් ඇනීමෙහි යෙදුණ විවිධ පුද්ගල චරිත බෞද්ධ සාහිත්‍යය තුළින් කොකෙතුත් දැකගත හැකිය. දුර්ලභව ලබන ලද මිනිසත් බව සඳහා නිසි අගයක් ලබා නොදෙමින් අවසන දුක්මුසු මුහුණින් ජීවිතයට සමු දීමේ ඛේදනීය ස්වභාවය ධර්මයෙන් දක්වා ඇත්තේ හද සසල කරන අයුරෙනි. ‘අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා යොබ්බනේ ධනං’ යනාදී ලෙසින් ගෙවාලූ දිවි ගමන උසස් හැසිරීම්වලින් තොර වූයේ මතු නොව තම යොවුන් විය ද උපයාගත් කිසිවකින් තොරව අපතේ හැරීම පිළිබඳව සඳහන් කර ඇත්තේ දිය සිඳී ගිය විල්තෙරක තනිව පසුතැවිලි වන වියපත් කොස්වාලිහිණියකු උපමාකොට දක්වමිනි.
මෙහි දැක්වෙන ‘අනුතප්පති’ යන පාලි වචනයේ අදහස ලෙස දැක්වෙන්නේ අනුව පසුතැවිලි වීම යන්නය. එනම් තමන් විසින් සිදුකරන ලද භයානකවූත්, දරුණුවූත්, කඨෝරවූත් පාප ක්‍රියාවන් පිළිබඳව සිහි කරමින් කනස්සල්ලට පත්වීමය. මෙම මානසික පීඩනය පුද්ගල මනසට ප්‍රථමයෙන්ම දැනෙනුයේ පමණක් නොව ශාරීරිකව ද මහත් සේ පීඩාකාරී බවක් ඇති කරනු ලැබේ. එසේ වීම සඳහා සිදුකරන ලද අයහපත් ක්‍රියා නිසා පසුතැවිලි සහගත වූ දූෂිත මනසෙහි පීඩනය ශරීරයෙහි මූලික ජීවාංගයක් වූ රුධිරය අපිරිසිදු කිරීමට සමත් වන අතර එය මුළු සිරුරම රෝගී තත්ත්වයට පත්කිරීම සඳහා හේතු වේ. සිදුකරන ලද භයංකර වූ සැහැසි ක්‍රියාවන් සිහිපත් වන වාරයක් පාසා සිත කම්පනයට පත්වන්නේ මතු නොව එනිසාම ශාරීරික වශයෙන් දැවීම්, තැවීම් ආදී පීඩා එබඳු පාපකර්ම සඳහා ලබාදෙන දිට්ඨ ධම්ම වේදනීය විඳවීමක් ද වනු ඇත. ‘අස්සුමුඛෝ රෝදං’ යනුවෙන් දැක්වෙනුයේ හැඬූ කඳුළින් යුතු මුහුණ වන්නේ මතු නොව කඳුළු පිරි දෙනෙතින් යුත් දුක්බර වූ මුහුණය. එසේ කඳුළින් තෙමුණ දුක්බර මුහුණක් උරුම කරදීම සඳහා හේතු වන්නේ තමා විසින් සිදුකරන ලද ප්‍රාණඝාත ආදී භයානක දුෂ්චරිත වන අතර ඉන් අසහනකාරීව පීඩා විඳිමින් සිට පරලොව යාමෙන් අපායගාමී වීමෙන් පසුව ද හඬමින් වැළපෙමින් අප්‍රමාණ නිරාදුක් විඳීම පිළිබඳ දහමින් අනාවරණය කරනු ලැබේ. එමෙන්ම, ‘න සාධු’ යන වචනයෙන් උපදෙස් දෙනු ලබන්නේ ලබන ලද මිනිස් බව විවිධ පාපධර්මයන්හි නියැළෙමින් අයහපත් කරගැනීම නුසුදුසු බවයි. පසුතැවීමේදී දෙනෙත කඳුළින් බර වීම ගලා එන උණු කඳුළින් තම හදවතට දැනෙන වේදනාකාරී බවෙහි සත්‍ය ප්‍රකාශනයක් වන්නේ මතු නොව ‘කඳුළ’ මෙබඳු ලතැවුලෙන් යුතු දුක් සහගත වූවක් මෙන්ම සතුටකදී ඇති වන හැඟීම්බර වීමේ ස්වභාවය ද කිසිවකුටත් අරුමයක් නොවේ. එසේ වන්නේ දුකෙහි හෝ සතුටෙහි ප්‍රකාශනයක් ලෙස කඳුළක් නොසලන ලද පුද්ගලයකු මානව සමාජය තුළදී සොයාගත නොහැකි වන බැවිනි. සියල්ලන්ටම පොදු ජීව විද්‍යාත්මක ස්වරූපයක් වූ කඳුළෙහි එබඳු ස්වරූප දෙකක් ප්‍රචලිත වන අතර, සියල්ලන්ටම ඉතා හොඳ හැඳිනීමක් ඇති කඳුළු සැළීම උපමාවක් වශයෙන් දක්වා සසර පුරා හැඬීමට වැළපීමට හේතු වන භයානක අකුසල කර්මවලින් තම ශ්‍රාවකයන් අත්මුදවා ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් මෙහිදී උතුම් මගපෙන්වීමක් සිදු කර ඇති අයුරු දැකගත හැකිය.
භාග්‍යවතුන් වහන්සේගේ මෙම උතුම් දේශනාව සඳහා විෂයය වී ඇති කරුණ ද ඉතා රසවත් කතාපුවතක් වන්නේ මතු නොව ඒ සඳහා පාදක වී ඇත්තේ සැවැත්නුවර වැසි දිළිඳු ගොවියෙකි. ඔහුට හිමි වීමට නියමිත රාජ දඬුවම් මෙන්ම සෝවාන් වීම සඳහා ඇති හේතු සම්පත් ද තථාගතයන් වහන්සේට දර්ශනය වූයේ උදෑසන මහා කරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බැලීමේදීය. එබඳු ආකාරයේ අයහපතක් වන්නේ නම් ඉන් මුදවාගැනීම මෙන්ම මග ඵල ලාබයක් ලැබෙන්නේ නම් එය ලබාදීමේ අවස්ථාව උදාකරලීම මහා කාරුණිකයාණන් වහන්සේගේ දිනචර්යාවෙහි ප්‍රමුඛතම කාර්යයකි. බොහෝ දුර බැහැර ගෙවා ඒ සඳහා වැඩම වීම සිරිතක් වන්නේය. එම ගොවියා ද දිවා කාලයෙහි එළැඹෙන අව් රශ්මියෙන් මිදී සීසෑම් ආදී කටයුතු සඳහා කුඹුරට ගොස් සීසෑමෙහි නිරතව සිටි අතර, පෙර දා රාත්‍රියෙහි ධනවතකුගේ නිවසක් බිඳ සොරාගන්නා ලද ධනයෙන් සඟවා තබන ලද රන්මසු පොදියක් තම කුඹුරෙහි ඇති බව නොදැන සිටියේය. සොරකමෙහි යෙදුණ සොරුන්ට ද සොරෙන් එහි සිටි එක් සොරෙක් රන්මසු දහසක් සහිත පියල්ලක් කුඹුරෙහි සොරොව්ව ආසන්නයෙහි සඟවා තබා ඇති අයුරු බුදු නැණින් දුටුයේ මතු නොව ඉන් ගොවියාට සිදුවන හානියෙන් මුදවාගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ ද උදෑසන අනඳ තෙරුන් සමග එම කුඹුරට වැඩම කළ අතර, ගොවියා උන්වහන්සේ වැඳ තම වැඩෙහිම යෙදෙමින් සිටියේය. බුදුරදුන් ද එම මසු පියල්ල තිබූ ස්ථානය පසු කරමින් ඉදිරියට වැඩමවන අතර ගොවියාට ද ඇසෙන සේ අනඳ හිමියන් අමතා විස සහිත සර්පයා දුටුවේ දැයි විමසාලූ අතර, උන්වහන්සේ ද දුටු බව ප්‍රකාශ කළහ. එම දෙබස ඇසීමෙන් අනතුරුව එම ස්ථානයට ගිය ගොවියා ප්‍රකාශිත පරිදි විස සහිත සර්පයකු නොදක්නේ නමුදු එහි වූ රන්මසු පොදියක් දැක එය මඩින් වසා දමා තම කටයුත්තෙහි යෙදුණේය. මේ අතර, රාජපුරුෂයන් ද තමාට ලැබුණ සොරකම පිළිබඳ පැමිණිල්ලට වහා ක්‍රියාත්මක වෙමින් ලබන ලද බුද්ධිමය තොරතුරු ඔස්සේ පරීක්ෂණ කරනුයේ පා සලකුණු පිරික්සමින් එම කුඹුරට පැමිණ සඟවන ලද වස්තුව සමග ගොවියා ද අල්වාගෙන දණ්ඩනයට පත්කරන ලදී. මෙසේ විවිධ ශාරීරික පීඩාවන්ට පත්වෙමින් දඬුවම් විඳින ගොවියා තමාට සිදු වූ අනපේක්ෂිත විපත පිළිබඳව කල්පනා කරනුයේ බුදුරදුන් අනඳ තෙරුන්ට විස සහිත සර්පයා දුටුවේ දැයි පෙන්වන ලද්දේ මෙම අනතුර විය හැකි යැයි සිතනුයේ “ආනන්දය විසඝෝර සර්පයා දුටුවේ ද?” යනුවෙන් බුදු මුවින් ප්‍රකාශිත වැකිය නැවත නැවත ප්‍රකාශ කළේය. රාජපුරුෂයන් ඒ පිළිබඳ විමසීමේදී භාග්‍යවතුන් වහන්සේගේ ඉහත ප්‍රකාශය ඇතුළු සියලු කරුණු නොසඟවා ප්‍රකාශ කිරීමෙන් පසු දඬුවමින් මුදවන ලදුව නිදහස ලැබීය. මෙම සිදුවීම පාදක කොටගත් බුදුරදුන් සිහි කරන පමණින් පසුතැවීමට හේතු වන ‘කඳුළින් තෙමුණ මුහුණින් විපාක විඳීමට සිදුවන බියකරු වූ නොමනා දේ නොකළ යුතු යැයි’ දේශිත දහම් දෙසුමට සවන් දුන් ගොවියා සෝවාන් බවට පත්වීමේ පුවත අපේ ධර්ම සාහිත්‍යය මගින් වාර්තා කොට ඇති අයුරු ඉතා මනරම්ය.
තථාගතයන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ අද දිනයෙහි බුද්ධ චරිතයෙහි මෙන්ම ශාසන ඉතිහාසයෙහි ද වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වී තිබේ. බුද්ධත්වයෙන් නව මසක් සපිරීමත් සමඟ ඇරැඹෙන ධර්ම චාරිකාව අතරතුර ජටිල දමනයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ මහවැලි ගඟ අසබඩ මහියංගණයට වැඩම කොට ඇත්තේ යක්, රකුස් ආදී නම්වලින් හඳුන්වා ඇති ආදිවාසික අපේ මුතුන්මිත්තන් ද දහම් මඟට පමුණුවාලීම සඳහාය. එහිදී සෝවාන් තත්ත්වයට පත් සුමන සුරිඳුන්ගේ ඉල්ලීම අනුව තථාගත ශ්‍රී හස්තයෙන් ලබාදුන් කේෂ ධාතුන් වහන්සේ නිධන් කොට තනවන ලද මහියංගණ මහා සෑය ශ්‍රී ලාංකික බොදුනුවන්ගේ මූලික ආගමික සංකේතය වේ. එහි විශේෂත්වය වන්නේ, බුදු රදුන් ධරමාන අවධියෙහිම දෙවිඳකු විසින් නිර්මාණය කරන ලද ලොව පැරැණිතම ආගමික සලකුණක් වීමය. පසුකාලීනව රහත් තෙරනමක් විසින් තථාගත ග්‍රීවා ධාතුන් වහන්සේ ද මෙහි තැන්පත් කිරීම නිසාය. මෙම උතුම් පුර පොහොය දිනයෙහි මෙවන් ශාසනික තොරතුරු ද සමරමින් කඳුළින් සිහිපත් කෙරෙන අකුසල ධර්මයන්ගෙන් ඈත්ව කුසල් දහම්හි නිරතව සසරින් එතෙර වීමට අදිටන් කරගත යුතුය.
(***)
කොළඹ හැව්ලොක් සිටි සාම විහාරාධිපති
අතපත්තුකන්දේ ආනන්ද නාහිමි