පළමුවත් දෙවැනුවත් තාක්ෂණය පාසලට


දීර්ඝ නිවාඩුවකට පසු දරුවන් පාසලට කැඳවන තීරණයක් ඇත. කොවිඩ් වසංගතයේ බලපෑම මත අවස්ථා ගණනක්, සංචරණ සීමා යටතේ පැවැතිණි. අධ්‍යාපන කටයුතුවලට තියුණු බලපෑමක් එල්ල විය. අන්තර්ජාල පහසුකම් යටතේ ක්‍රමානුකූලව කරගෙන යාමට බලවත් වෑයමක් තිබුණ නමුත් එහිදී ද මතු වූ සංකීර්ණ ගැටලු ගණනාවකි. වෘත්තීය ප්‍රශ්න, ආකල්ප ගැටලු වෙනම සාකච්ඡා කළ යුතුය. පාසල නැවත විවෘත කිරීමෙන් පසු, කළු ලෑල්ලේ ආකෘතියෙන් ඔබ්බට ගමන් කිරීම ගැන ප්‍රතිපත්ති විවාදයක් අවශ්‍යය.

ජංගම දුරකතන හා අන්තර්ජාල භාවිත කිරීම දරුවන්ට තහනම් වී තිබුණි. කොවිඩ් වංසගතය සමග ගුරුන් හා දෙගුරුන්ට ක්‍රමානුකූලව එයින් බැහැර වෙන්නට සිදු විය. වාර්තා වෙන කරුණු අනුව පෙරපාසල පවා ‘ඔන්ලයින්’ ක්‍රමයටය. යුගයට අනුව පරිවර්තනය වීම අගය කළ යුතුය. විදේශ රටවල පවා අධ්‍යාපන කටයුතු තාක්ෂණයට නැඹුරු වී ඇති වකවානුවකි. දුරස්ථව ඉගෙනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. උතුර දකුණ බේද රහිතව අධ්‍යාපනය ලබා දිය හැකි ක්‍රමයකි.

පාසල් නැවත ආරම්භ කළ පසු පවා දෙමුහුන් ක්‍රමයකට අධ්‍යාපන පහසුකම් සකස් කිරීම උචිතය. පොත් මුද්‍රණය, බර පාසල් බෑග් සහ වාහන තදබදය හේතුවෙන් කාලය නාස්ති කරන පාසල් වෑන් සංස්කෘතිය වෙනස් කරන්නේ කෙසේ ද යන්න මධ්‍යස්ථව අධ්‍යයනය කළ හැකිය. පෙළ පොත් අන්තර්ජාලයට එකතු කිරීම හා සාමාන්‍ය පරීක්ෂණ අන්තර්ජාලයෙන් කළ හැකිය. සටහන් පොත් පමණක් දරුවන්ට සෑහේ.

අවශ්‍ය විෂය කරුණු ලියාගත හැකිය. පාසලට එන දින ගණන වෙනස් කිරීමෙන් අධ්‍යයනයේ කොටසක් නිවෙසේ සිට කරගෙන යන හැකියාව තිබේ. ප්‍රායෝගික හැදෑරීම් සඳහා පාසලට පැමිණිය හැක. එවැනි පියවර තුළින් සෞඛ්‍ය ආරක්ෂාව පමණක් නොව දරුවන්ගේ මානසික තත්ත්වය ද උසස් කෙරේ. ඍජු අධීක්ෂණය හා නිසි මග පෙන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ටත්, දෙමාපියන්ටත් විශාල වගකීමක් පැවැරෙන බව ද මෙහි ලා සඳහන් කරන්නට අවශ්‍යය. ගුරු පුහුණු ක්‍රම වහාම වෙනස් කළ යුතු අතර දුරස්ථ අධ්‍යයනය ගැන සැසි පවත්වා අලුත් පසුබිමක් සකස් කළ යුතුව තිබේ.

තාක්ෂණය හේතු කොටගෙන සමාජ බෙදුම් රේඛාවක් නිර්මාණය නොකිරීමට වග බලාගැනීම ඉතාම වැදගත් කාරණයකි. ඇති නැති පරතරය හැදෙන්නේ අන්තර්ජාලය භාවිත කරන්නට ඇති පහසුව සමග බව ජාත්‍යන්තරයේ අද පවතින පිළිගැනීමයි. ‘කොළඹට කිරි - ගමට කැකිරි’ යන ප්‍රකට ව්‍යවහාරය එන්නේ පාසලේ ගොඩනැගිලි, විද්‍යාගාර හා පිහිණුම් තටාක වැනි පොදු පහසුකම් පරතරය සමගය. එවැනි දේ වෙනුවෙන් අසීමිත ධනයක් වැය කරන්නට සිදු වූ අතර දෙමාපියන් සහ පෞද්ගලික අංශය එහි දී එකතු වී ක්‍රියා කළ ආකාරය ද සිහිපත් කරන්නට අවශ්‍යය.

අන්තර්ජාලයෙන් අධ්‍යාපනය ලබන්නට නිසි යටිතල පහසුකම් සම්පාදනය කිරීම රජයේ වගකීමකි. දැනට ජාලගත පහසුකම් රට පුරා එක හා සමානව නැත. දුෂ්කර ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් විඳින හිරිහැරය වගකිව යුතු අංශ නොදන්නවා නොවේ. නගරයෙන් එපිට දරුවන්ගේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් අවශ්‍යය.

අන්තර්ජාල ඉගෙන ගැනීමක දී හොඳම පාසලේ දේශනවලට ශ්‍රී ලංකාවේ එහා කෙළවරක සිටින දරුවකුට පවා ප්‍රවේශ විය හැකිවනු ඇත. එය ඉතාම වටිනා අවස්ථාවකි. පාසල් පන්ති කාමර රටට විවෘත වුවහොත් දැනට විසඳාගත නොහැකිව ඇති ටියුෂන් තරගයට ද උත්තරයක් වෙන්නට බැරි නැත. අවශ්‍ය තීරණ ගැනීම වැදගත්ය. සන්නිවේදන පහසුකම් සපයන ආයතන දිරිමත් කර දුෂ්කර ප්‍රදේශවලට ජාලගත පහසුකම් සැපැයීමේ දී රජයෙන් මුදල් ගෙවන ක්‍රමයක් ඇති කළ හැක. පුරුදු රාමුවෙන් එපිට දෙමුහුන් එනම්, පාසල හා අන්තර්ජාලය එකට එකතු කරන අධ්‍යාපනයක් සඳහා සැලසුම් සකස් කළ යුතු අතර, එයට අධ්‍යාපන බලධාරීන් පමණක් නොව දෙමාපියන් ද ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතුය.


(***)


මිලින්ද මොරගොඩ
www.milindaprashna.wordpress.com