පළාත් පාලන මැතිවරණය පිළිබඳ කණින් කොනින් විවිධ ආරංචි පැතිර යමින් තිබේ. පළමුව පළාත් පාලන මැතිවරණයක තිබෙන වැදගත්කම ජනතාව ලෙස අප වටහා ගත යුතුය. පළාත් පාලන ඡන්ද විමසුම සමහරු අර්ථ කථනය කරන්නේ පුංචි ආණ්ඩු ඡන්දය නමිනි. එහෙත් එම නාමකරණය සුදුසු නැති බව අප වටහා ගත යුතුය. ජනතාවට වඩා සමීප, ජනතාව හා බැඳුණු ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගත් දේශපාලන තල හතරක් තිබේ. ජනපති, පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලනයක දේශපාලන තල අතරින් සමහරු පළාත් පාලන ඡන්දය පුංචි මැතිවරණ ලෙස නම් කළත් එය කිසිසේත් අනුමත කළ හැකි හැඳින්වීමක් නොවේ. සැබැවින්ම මේවා පුංචි මැතිවරණ නොවේ. සාමාන්‍යයෙන් එක් දිනක් තුළ පවත්වන මැතිවරණයක් ජාතික මට්ටමේ මැතිවරණයකි.
ඒ අනුව 2018 දී පැවැත්වුණු පළාත් පාලන මැතිවරණය ජාතික මැතිවරණයක් ලෙස අපට අර්ථකථනය කළ හැකිය. එය ජාතික මැතිවරණයක් බවට පත්වන්නේ ජනතාව සමඟ තිබෙන සම්බන්ධතාව ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම ආදී කාරණා හරහාය. මේ ආදී කාරණා මත ජනතාවට සමීපම මැතිවරණය පළාත් පාලන මැතිවරණය ලෙස අපට නම් කළ හැකිය. අන් මැතිවණ සේම පළාත් පාලන මැතිවරණයත් ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් යාන්ත්‍රණය ක්‍රියාත්මක වී මෙහෙයවීම සිදුවන්නේ මැතිවරණ කොමිසමේ මෙහෙයවීමෙනි. අන් පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ මැතිවරණ සේම මෙම මැතිවරණයත් විශාල බල ඇණියක්, සේවක පිරිසක් හා ලක්ෂ සංඛ්‍යාත ඡන්ද දායක පිරිසක් දායක වෙමින් පවත්වන මැතිවරණයකි. ඒ අනුව ලංකාවේ සෙසු මැතිවරණ සේම පළාත් පාලන මැතිවරණයත් එකසේ වැදගත් මැතිවරණයක් බව අපට වටහා ගත හැකිය.
මේ වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත කාලය පැමිණ තිබේ. සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක නිල කාලය වසර 04කි. ඒ අනුව දැන් පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වී තිබේ. දැනට විෂය භාර අමාත්‍යවරයාගේ බලතල අනුව එය වසරකින් දීර්ඝ කර තිබුණත් 2023 මාර්තු 25ට පෙර මැතිවරණයක් පවත්වා ජනතා නියෝජිතයන් තෝරාපත් කර ගත යුතුය. අඛණ්ඩතාව පවත්වා ගනිමින් ජනතා සේවය හරියාකාරව පවත්වාගත හැක්කේ නියමිත කාලයට ඡන්දය පැවැත්වුවහොත් පමණි.
මේ කාරණාව 1987 පළාත් පාලන පනතින් පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබේ. එහි සඳහන් වන්නේ පළාත් පාලන ආයතන කල් ඉකුත්වීමට පෙර මාස 06ක් තුළ මැතිවරණය පැවැත්විය යුතු බවයි. එසේ නොවුණහොත් සහතික කළ අඛණ්ඩතාව බිඳ වැටේ. ජනවාරිය වනවිට මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් ජනතා අප්‍රසාදය වැඩිවීම වැළැක්විය නොහැකිය. මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය තැබීමට සූදානම් වුවත් එය දිනෙන් දින කල් යන්නේ කාගේ උවමනාවකටදැයි විමසා බැලිය යුතුය. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පළාත් පාලන පනතට අනුව ලබන මාසයේ අනිවාර්යයෙන්ම මැතිවරණය තැබීමට අවශ්‍ය පිඹුරුපත් සැකසිය යුතුය. එය අනුලංගනීය පැහැර නොහැකි වගකීමක් බව බලධාරීන් වටහා ගත යුතුය. ලබන මස වනවිට පළාත් පාලන ආයතනවල වසරකින් දීර්ඝ කිරීම තව දුරටත් වලංගු වන්නේ නැත.
මේ වනවිට මැතිවරණ කොමිසම ඡන්දයට සූදානම් වන බවක් පෙනේ. ඔවුහු ඡන්ද පෙට්ටි අලුත් වැඩියාවටත් නව ඡන්ද දායකයන් ලියාපදිංචියටත් මූලික පියවර තබා ඇත. මෙවැනි පසුබිමක් තිබුණත් නියමිත මැතිවරණය පවත්වාවිද? නැද්ද? යන උභතෝකෝටිකය නිර්මාණය වී තිබෙන්නේ ආණ්ඩුවේම සමහර මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ ගැන කල්පනා කරන විටය. සමහරු ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් පැවැත්වීමට මෙය සුදුසු කාලයක් නොවන බවයි. එයට හේතු විදියට ඔවුන් ඉදිරිපත් කරන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය විසඳීමට ප්‍රධාන තැන දිය යුතු බවයි. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් පමණ වැය වන නිසා මෙය මේ මොහොතේ නොකළ යුතු කටයුත්තක් ලෙස ඔවුහු අර්ථ දක්වමින් සිටිති. මේ අතර ආණ්ඩුව මැතිවරණය කර ඇරීමට සූදානම් වන බවට විපක්ෂය චෝදනා කරමින් සිටිති. මැතිවරණයක් පිළිබඳ මැතිවරණ කොමිසම උනන්දු වෙමින් සිටින්නේ මෙවැනි වාතාවරණයක් යටතේය.
මේ අතර තව ප්‍රශ්නයක් උද්ගතවී තිබේ. එනම් පළාත් පාලන මැතිවරණය පිළිබඳ ජනාධිපතිවරයා සිය යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමය. පසුගිය ඔක්තෝබර් මාසයේ දී ජනපතිවරයා වෘත්තීයවේදීන් සමග කළ සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණය පිළිබඳ ඔහුගේ අදහස ඉදිරිපත් කළේය. ඔහුගේ පළමු යෝජනාව වන්නේ පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව හරි අඩකින් අඩුකළ යුතුය යන්නයි. එය 8700 සිට 5000 දක්වා අඩුකළ යුතු බව ජනපතිවරයාගේ අදහසයි. දෙවන යෝජනාව ලෙස ජනපතිවරයා ඉදිරිපත් කරන්නේ ජන සභා ක්‍රමය හඳුන්වා දීමයි. ග්‍රාම නිලධාරි කොට්ඨාසයකින් ජන සභාවක් පිහිටුවීම හා එය පළාත් පාලන ආයතනවලට සම්බන්ධ කිරීම එම යෝජනාව වේ. මෙම යෝජනාව මීට පෙර ඉදිරිපත් කළේ යහපාලන ආණ්ඩුවේ කතානායකවරයාව සිටි කරු ජයසූරිය මහතාය. පළාත් පාලන ආයතනවලට සමාන්තරව ජන සභා පිහිටවිය යුතුය. ජනපතිවරයාගේ තුන්වන යෝජනාව වන්නේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ අධිකාරි බලය අඩු කිරීම සඳහා සභාපතිවරයා මූලික කරගත් කමිටු පිහිටුවීමයි. ඒ අනුව තනි පුද්ගලයකු විසින් භුක්ති විඳින අධිකාරි බලය අහෝසි වේ.
ජනපති රනිල්ගේ හතරවන යෝජනාව වන්නේ මැතිවරණ සම්බන්ධ වියදම් නියාමනයක් ඇති කිරීමයි. ඒ සඳහා ක්‍රමවේදයක් හැදීමයි. මේ යෝජනාව පළාත් පාලන මැතිවරණය සඳහා පමණක් නොවේ. එය සියලු මැතිවරණ සඳහා අදාළ යෝජනාවකි. ඒ අනුව මනාප ක්‍රමය අයින් කර පක්ෂ ලැයිස්තුව මත අපේක්ෂයන් ඉදිරිපත් කළ යුතුය. මනාප ක්‍රමය හේතු කරගෙන මැතිවරණ වියදම් ඉහළයාම සිදුවන්නේ නම් එය වහා වැළැක්විය යුතුය. මෙම යෝජනාව අනුව ඡන්ද දායකයාට තිබෙන්නේ අපේක්ෂකයාට ඡන්දය දීම නොව පක්ෂයට ඡන්දය දීමය.
ජනපතිවරයා ඉදිරිපත් කරන මෙම යෝජනා අපට එකවර බැහැර කළ නොහැකිය. එහෙත් අපට අනුමත කළ නොහැක්කේ මේවා ඉටුකර මැතිවරණයකට යාමට ජනපතිවරයා කරන යෝජනාවයි. ජනතා සභිකයන් අඩු කිරීම ඇතුළු මේ සියලු යෝජනා ප්‍රශංසනීය යෝජනාය. පසුගිය මැතිවරණය සඳහා පළාත් පාලන පනතින් සභිකයන් වැඩි කළේ කිසිදු පදනමකින් තොරවය. එය අමනෝඥ ක්‍රියාවකි. මෙම යෝජනාවට කිසිදු පක්ෂයක් ඒ කාලයේ විරුද්ධ නොවීම පුදුම සහගතය. සභිකයන් වැඩිවීම රටකට බරක් වන අතර මෙය කිසිසේත්ම දරාගත හැකි තත්ත්වයක් නොවේ. එක් නියෝජිතයෙක් වැඩි වෙනවා. යනු ටෙලිෆෝන්, රැස්වීම් දීමනා ගමන් වියදම්, ආදී සියලු වියදම් වැඩිවීමකි. ජනතා බදු මුදලින් අප කළ යුත්තේ කුමක්දැයි අප පළමුව වටහා ගත යුතුය. ජන සභා සංකල්පය හොඳ යෝජනාවක් වුවත් එය පැරැණි ග්‍රාමෝදය මණ්ඩලයට සමාන යෝජනාවකි. එහෙත් එහි නොගැළපෙන පැත්ත වන්නේ බලයේ සිටින පක්ෂයට එහි වැඩි බලතල හිමිවීමයි. සභාපතිවරයාට ප්‍රාදේශීය සභාවක් තුළ ලැබෙන තනි බලය ද අඩුකළ යුතුය. ඒ අනුව සභාපතිවරයා මූලික කරගත් කාරක සභා පිහිටුවීම හොඳ යෝජනාවකි.
ජනාධිපතිවරයා මෙම ගෙන එන යෝජනා කොතරම් සාධනීය වුවත් මේවා මැතිවරණ කල් දැමීමට යොදා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. එය ජනතා අයිතින් පැහැර ගැනීමකි. මෙම ප්‍රධාන අයිතිවාසිකම් උල්ලංඝනය නොකර කටයුතු කිරීමට ආණ්ඩුව වගබලා ගතයුතුය. 2015 දීත් මේ හා සමානම තත්ත්වයක් රටේ නිර්මාණය විය. එවකට පැවැති ආණ්ඩුව හිතාමතාම මැතිවරණය නොපවත්වා කල් දැමීමට කටයුතු කළ හැටි අපට මතකය. ඒ කාලයේ මැතිවරණය නොපැවැත්තුවේ සීමා නීර්ණ ගැටලුවක් මුල් කර ගනිමිනි. ඒ අනුව වසර තුනකින් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්විණි. 2007 දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් කියැවුණේ මැතිවරණ කල් නොදැමිය යුතු බවයි. විවිධ හේතු පාඨ ඉදිරිපත් කරමින් මැතිවරණ කල් දැමීම කිසිසේත්ම යුක්ති සහගත යෝජනා නොවේ. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ ආණ්ඩුවට වාසිදායක පිටියක් නිර්මාණය වනතුරු මැතිවරණයක් නොපවත්වා සිටීමයි.
පළාත් පාලන ආයතන දැනටමත් ජනතා වරම ක්‍රියාත්මක වන ආයතන නොවේ. තව දුරටත් මැතිවරණ කල් දැමීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ප්‍රශ්න කිරීමට ලක් කළ හැකිය. මැතිවරණ සිතියම අකුළා මැතිවරණ කල් දැමීමට උත්සාහ කිරීම අතීතයේ සිට ආණ්ඩු සිදු කළ නීච උත්සාහයක් බව ඉතිහාසය පිළිබඳ විමසන විට පෙනේ.
1970 සිරිමාවෝ මැතිනිය මැතිවරණය කල් දැමුවේ ව්‍යවස්ථාව හදන මුවාවෙනි. මෙය පූර්වාදර්ශය කර ගත් ජේ.ආර්. ආණ්ඩුව 83 දී මැතිවරණයකට නොගොස් ජනමත විචාරණයකින් බලය තහවුරු කර ගැනීම සිදුවිය. 94 දී චන්ද්‍රිකා බලයට පැමිණුනු විට පළාත් සභා මැතිවරණය කල් දැමුණු අතර මහින්ද රාජපක්ෂ සමහර මැතිවරණ කල් දැමීමට අමතරව දේශපාලන වාසි පතා සමහර මැතිවරණ කලින් පැවැත්වීය.
ඒ අනුව ලංකාවේ දේශපාලනඥයන් සිය පාලන පංතියට වාසිදායක ලෙස මැතිවරණවලට දින නියම කිරීම සහ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමඟ සෙල්ලම් කිරීම දශක පහක පමණ කාලයක සිට පැවැත එන්නක් බව අපට වටහා ගත හැකිය. ජනපතිවරයා ගෙන එන යෝජනා කොතරම් හොඳ වුවත් ඒවා සද්භාවයෙන් ගෙන එනවා දැයි යන සැකය ඇති වන්නේ අතීත සිදුවීම් පූර්වාදර්ශයක් වී පෙනෙන විටය. සමහරු පළාත් පාලන ආයතන සුදු අලියකු ලෙස ප්‍රශ්න කරමින් සිටිති. මෙම ක්‍රමවේදය සුදු අලියකු බවට පත් කළේ ද බලයට පත් වූ දේශපාලනඥයන් වීම කනගාටුවට කරුණකි.
මේ තත්ත්වය ඇතිවුණේ මේ ආයතන සඳහා නියෝජිතයන් විශාල ගණනක් පත්කර ගැනීම මතය. මේ වනවිට පළාත් පාලන ආයතන 341ක් තිබෙන අතර කොට්ඨාස ක්‍රමයට විශාල පිරිසක් පත්වීම සිදුවන්නේ නැත. මේ පත්වන නියෝජිතයනුත් ගරු කටයුතු නියෝජිතයන් නොවීම මෙවැනි ආයතන පහළ බැසීමට හේතුවකි. අද මෙවැනි ආයතනවල සිටින්නේ ගරු සේවයට පැමිණි පිරිසක් නොව වැටුපට, වරදාන, වරප්‍රසාදවලට වැඩ කරන පිරිසකි. මෙවැනි ආයතන සුදු අලි බවට තීව්‍ර වී තිබෙන්නේ මෙවැනි හේතුන් නිසාය. මේ අය ජනතා නියෝජිතයන් ද යන ගැටලුව අපට ඇතිවීම වැළැක්විය නොහැකිය. ජනතා අභිලාෂ පසෙක තබා ඔවුන්ගේ සුඛවිහරණයට වැඩ කිරීම හා රජයේ කොන්ත්‍රාත් කරන පිරිසක් බවට පත්වීම කිසිසේත්ම අනුමත කළ හැකි තත්ත්වයක් නොවේ. මේ හේතු කාරණා නිසා ජනතා නියෝජිතයන් පිළිබඳ ජනතා වෛරයක් ඇතිවී තිබේ. සුදු අලි නඩත්තු කරන ආයතන බවට පත්ව තිබෙන මෙම ආයතන විධිමත් කිරීමේ හැකියාව තිබේන්නේ ද අපටමය. මේ ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ හැකියාව තිබෙන්නේද අපටමය. මෙම ආයතනවල වගකීම් හරිහැටි හඳුනාගෙන කාර්ය භාරය පැවැරුමක් කළ යුතුය. කිසිසේත්ම පළාත් පාලන ආයතන බැහැර කළ යුතු ආයතන විශේෂයක් නොවේ. මෙය අත්‍යවශ්‍ය අංගයකි. උපතේ සිට මරණය දක්වා විශාල කාර්ය භාරයක් කරන ආයතනයකි. ජනතා නියෝජිතයන් හරිහැටි සිටින විට ගම්වල මහා මාර්ග, විදුලිය, සෞඛ්‍ය, ක්‍රීඩා පිටි වැනි ප්‍රශ්න තිබිය නොහැකිය. මෙම ආයතනවල තිබෙන වැදගත්කම අපට සුළුකොට තැකිය නොහැකිය. මෙම ආයතන ශක්තිමත් කිරීම කළ යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදී පදනම පුළුල් කළ යුතුය. මෙම පදනම බිඳ වැටුණු විට ජනතා මුදල් කාබාසිනියා වීම සිදුවේ. මෙම ආයතනවල සභාපතිවරුන් සුඛවිහරණයට මුල්තැන දී කටයුතු කිරීමෙන් ජනතා සේවය අමතක කිරීම සිදුවේ. පසුගිය කාලයේ එවැනි චෝදනා එල්ලවූ නගරාධිපතිවරු, සභාපතිවරු ගණනාවක් වූහ. සමහර නගරාධිපතිවරුන් වැසිකිළි පහසුකම් වෙනුවෙන් විශාල මුදලක් වැය කරද්දී සමහර සභාපතිවරුන් ගෘහභාණ්ඩ වෙනුවෙන් ලක්ෂ 06ක් වැය කළ අවස්ථා පිළිබඳ මාධ්‍ය වාර්තා පළවිය. ඒ අනුව අපට පෙනෙන්නේ මේවා මේ ආයතනවල වැරැද්ද නොව ඒවා යොදා ගන්නා ආකාරයේ තිබෙන වැරැද්දයි.
ඉදිරියේදී පළාත් පාලන ඡන්දය නිසි කලට පැවැත්වුවහොත් තරුණ නියෝජනයට සහ කාන්තා නියෝජනයට වැඩි ප්‍රමුඛත්වය ලබාදිය යුතුය. ඒවාවල අඩු ලුහුඬුකම් ඇතිවී තිබෙන්නේ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැතිවිටය. තරුණ නියෝජනය නාමයෙන් සමහරු තමන්ගේ ඥාතීන්ට ඒ අවස්ථා ලබා දෙනවා විනා සැබෑ තරුණ නියෝජනයක් සිදු නොවන බවයි. මේවා වැළැක්වීමට විශේෂ විධි විධාන යෙදිය යුතුය. කාන්තා නියෝජනයේ දී 25% කෝටාව අනිවාර්යයෙන් ලබාදිය යුතුය. ඒ සඳහා මැතිවරණ කොමිසමට බලය ලබාදී ඇත. ප්‍රදේශීය සභාවල කාන්තා නියෝජනය ඉස්මතුවන ආකාරයට කටයුතු සිදුවිය යුතුය. රටේ තිබෙන පුරුෂාධිපත්‍ය සමහර විටක එම ආයතනවල ද තිබෙන අවස්ථා තිබේ. ඒවා වෙනස් විය යුතුය. මේ සැම දෙයම සිවීමට නම් අනිවාර්යයෙන්ම ලබන වසරේ මුල් කාර්තුවේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය. එය වැළැක්වීමට කවුරු හෝ කටයුතු කරන්නේ නම් ඒ සියලු බලවේග පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ජනතාව පෙරට ආ යුතුය.
(*** අමිල චින්තක ගමගේ)