දහතුන – දහතුන - දහතුන. මෙය අවසානයක් ද නැති ප්‍රතිඵලයක් ද නැති සංවාදයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යැයි පවසමින් ඉකුත් ජූලි 26 වැනිදා ‘‘සර්ව පාක්ෂික’’ සමුළුවක් කැඳවීය. දැන් එම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගනු ලැබ ඇත.
පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ වික්‍රමසිංහ මහතා එහිදී ද අවධාරණයෙන් කීවේ ආර්ථික ප්‍රශ්න පිළිබඳව හා පොලිස් බලතලවලින් තොරව 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳවය. සංවේදී කරුණක් වන පොලිස් බලතල පළාත් සභාවලට පැවරීමෙන් තොරව 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නැයි ඔහු එහිදී සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.
ඉහත කී ‘‘සර්ව පාක්ෂික’’ සමුළුව පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සිරස්තලය ලෙස යොදා තිබුණේ සියලු පක්ෂ සමග 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම යනුවෙනි. නිවේදනයේ විස්තරාත්මක කොටසේ සඳහන් වූයේ සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවත් උතුර, නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳවත් පක්ෂ නායකයන් දැනුවත් කිරීම සමුළුවේ අරමුණ බවය. එහෙත් එම සමුළුවද මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගිය දශක හතරක් තිස්සේ කෙරුණු සිය ගණනක් වූ සාකච්ඡා මෙන් කිසිදු එකඟතාවක් හෝ ඉදිරි සාකච්ඡා දිනයක් පිළිබඳ දැනුම්දීමක් හෝ නැතිව අවසන් විය.
දශක හතරක අත්දැකීම් අනුව අනුමාන කළ හැක්කේ දැනට පාර්ලිමේන්තුවේ කෙරෙන සංවාදයටද එවැනිම ඉරණමක් අත්වනු ඇති බවය. විශේෂයෙන්ම සිංහල මෙන්ම දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ මේ කාරණයේදී ජනාධිපතිවරයාගේ මතයට විරුද්ධ වීම නිසාත් ජනාධිපතිවරයාගේ අරමුණ ද ප්‍රකාශිත අරමුණට වඩා වෙනස් යැයි පෙනෙන නිසාත් එවැනි දෙයක් සිදුවීමේ සම්භාවිතාව ඉතා ඉහළය.
2017 දී පළාත් සභා නීතිමය අර්බුදයක් නිසා අකර්මණය වීම, 2018 ව්‍යවස්ථා අර්බුදය, 2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර, 2020 කොවිඩ් ගෝලීය වසංගතය හා එතැන් සිට උග්‍ර වූ ආර්ථික අර්බුදය සහ මහජන නැගිටීම්, එහි ප්‍රතිඵයක් ලෙස 2022 දී ඇති වූ දේශපාලන අර්බුදය හා පාලනයේ ඇති වූ වෙනස්වීම් ආදී ප්‍රශ්න නිසා යටපත් වූ හා සැමට අමතක වූ ජනවාර්ගික ප්‍රශ්නය යළි කරළියට ගෙන එනු ලැබුවේ ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් නොවැම්බර් මස අයවැය විවාදයේදීය. ඒ 2023 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු 75 වැනි නිදහස් දින උත්සවයට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බවට කළ ප්‍රකාශයකිනි.
එතැන් සිට ඔහු විටින් විට දුන් පොරොන්දු හා කළ ප්‍රකාශ අනුව මතුවන ප්‍රශ්නයක් නම් ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම යන්නෙන් හා 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම යන්නෙන් ඔහු අදහස් කරන්නේ එකම කරුණක්ද නැත්නම් කරුණු දෙකක්ද යන්නයි.
විටෙක ඔහු අසුවල් දිනට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බව පවසයි. තවත් විටෙක අසුවල් දිනට පෙර 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව පවසයි. මෙම ප්‍රකාශවල පරස්පර විරෝධී භාවයක් නැතැයි අප සිතන්නේ නම් ඔහු ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම යන්නෙන් හා 13 වැනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම යන්නෙන් අදහස් කරන්නේ එකකි.
එහෙත් 75 වැනි නිදහස් දිනට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා යැයි පසුගිය දෙසැම්බර් 13 වැනිදා ඔහු කැඳවූ ‘‘සර්ව පාක්ෂික’’ රැස්වීමේ දී පෙබරවාරි 4 වැනිදාට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්නේ නම් ඊට පෙර එනම් ජනවාරි 31 වැනිදාට පෙර 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කොට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි දෙමළ පක්ෂ ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම අනුව පෙනෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම යනු 13 වැනි සංශෝධන පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් ඔබ්බට ගිය කටයුත්තක් බවය. ඒ දෙක එකක් නොව දෙකක් බවය. ජනාධිපති වරයාද මෙම ඉල්ලීමට එදා එකඟ විය. එහෙත් දෙකෙන් එකක්වත් ඉටු නොවීය.
ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම හා 13 වැනි සංශෝධන පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම යනු කාරණා දෙකක් නම් පසුගිය කාලයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශ ගණනාවක් එකිනෙකට පරස්පරය. නොවැම්බර් මාසයේදී හා දෙසැම්බර් මාසයේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්නට කතා කළ ඔහු ජනවාරි 15 වැනිදා ජාතික තෛපොංගල් උත්සවය අමතමින් වසර දෙකක් තුළ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව පැවසීය. යළිත් එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියේ දී මේ වසර තුළ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බව කීවේය. පසුගිය මස සිය ඉන්දීය සංචාරයට පෙර යළිත් පොලිස් බලතල පළාත් සභාවලට නොපවරා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව කීවේය. එම සංචාරයෙන් පසු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීය. දැන් පොලිස් බලතල පළාත් සභාවලට නොපවරා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂවල අදහස් විමසයි.
දෙමළ පක්ෂ පවසන්නේ 13 වැනි සංශෝධනය දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන හෙයින් එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තවත් සාකච්ඡා කළ නොහැකි බවයි. එහෙත් පළාත් සභාවලට පොලිස් බලතල නොපවරා එම සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු යැයි මතයක් දැරීමටත් ඒ මතය පාර්ලිමේන්තුවේ දී හෝ පිටස්තර සංවාද මණ්ඩපයක දී හෝ සාකච්ඡාවට භාජන කරවීමටත් ජනාධිපතිවරයාට ඇති අයිතිය කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඔහුගේ අරමුණ පිළිබඳ ප්‍රශ්න මතුවීම වෙනම කාරණයකි.
පළාත් සභාවලට පොලිස් බලතල නොපවරා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නටනම් තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වේ. මන්දයත් එම බලතල එම සංශෝධනය මගින්ම පළාත් සභාවලට පවරනු ලැබ ඇති හෙයිනි. පළාත් සභාවලට මෙතෙක් එම බලතල ක්‍රියාත්මක කළ නොහැකි වූයේ මෙතෙක් සිටි කිසිදු ජනාධිපතිවරයෙක් ඒ සඳහා වූ යාන්ත්‍රණය සකස් කොට නොදීම නිසාය. එනම් පළාත්වලට නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ වෙන් වෙන් පොලිස් කොට්ඨාසයක් (ඩිවිෂන් එකක්) පිහිටුවීම සිදු වූයේ නැත.
එසේ වුවද නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාසවල සීමා පළාත් සීමා සමග සමපාත වන අයුරින් යළිත් සකස් කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය පෙබරවාරි මාසයේ දී නව පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී සඳහන් කළේය. එසේ කළ යුත්තේ ඇයි? ඒ වන විට ඔහු ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බවට ද 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් විසඳන බවටද ප්‍රකාශ කොට තිබූ හෙයින් පළාත් පදනමින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ පළාත් පොලිස් කොට්ඨාස පිහිටුවීම එම යෝජනාවේ අරමුණ වී යැයි කෙනකු සිතීම සාධාරණය. එහෙත් ඔහු දැන් පළාත් සභාවලට පොලිස් බලතල නොදිය යුතුය යන මතයේ සිටී.
පළාත් සභාවලට පොලිස් බලතල නිසි ලෙස පැවරීම ජාතික ආරක්ෂාවට තර්ජනයකැයි ඇතැම් පිරිස් සිතති. එහෙත් ජනාධිපතිවරයා එවැනි මතයක් මෙතෙක් ප්‍රකාශ කොට නැත. ඔහු ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ පොලිස් බලතල පිළිබඳ කාරණය ඉතා සංවේදී නිසා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ දී මුලින් පහසු කාරණා ඉටුකොට පසුව මෙම කාරණාවට යා හැකිය කියාය.
1988 13 වැනි සංශෝධනය සම්මත වූ දා සිට එම සංශෝධනය මගින් පළාත් සභාවලට බෙදා දෙන ලද විෂයයන් ගෙන් පළාත් සභා යටතේ කොහෙත්ම ක්‍රියාත්මක නොවූයේ පොලිස් බලතල හා ඉඩම් බලතලයි. එහෙත් සංවේදී කාරණාවකැයි සලකා දැන් ජනාධිපතිවරයා පළාත් සභාවලින් ඉවත් කළ යුතු යැයි කියන්නේ පොලිස් බලතල පමණි. ඉන් අදහස් කෙරෙන්නේ ඉඩම් බලතල පිළිබඳව එවැනි සංවේදී බවක් දැන් නැති නිසා විය යුතුය. දකුණේ ජාතිවාදී පක්ෂ හෝ එම ප්‍රශ්නය මතු නොකිරීම නිසාද එම කරුණ දැන් සංවේදී කාරණාවක් ලෙස ඔවුන් ද නොසලකන බව පෙනේ.
13 වැනි සංශෝධනයෙන් ඉඩම් බලතල පළාත් සභාවලට පැවරුව ද රටේ ඉඩම්වල අයිතිය පවතින්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය කාලයේ තීන්දු කොට තිබිණි. ඉඩම් ප්‍රශ්නයේ සංවේදී බව නැතිව ගියේ ඒ නිසා විය යුතුය.
පොලිස් බලතල සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක සී.වී. විග්නේශ්වරන් පසුගියදා ජනාධිපතිවරයාට යෝජනා කොට තිබුණේ පළාත් පොලිසිය පිළිබඳ බියක් පවතී නම් එම පොලිසියට වෙනත් ආයුධ නොදී බැටන් පොලු පමණක් දිය යුතු බවය. එහෙත් මේ කාලයේ සුළු සුළු සොරකම්වලට හා කෝලාහලවලට පවා භයානක ආයුධ පාවිච්චි කෙරෙන තත්ත්වයක් යටතේ එවැනි පොලිසියකට සොරකම් හෝ කලකෝලාහල මැඩ පැවැත්විය නොහැකිය. ඔහුගේ යෝජනාව ප්‍රායෝගික නොවේ.
පළාත් සභාවල බලතල වෙනස් කිරීමට පෙර දැනට එම සභා ක්‍රියාත්මක කරන බලතල යටතේම පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු යැයි දෙමළ පක්ෂ මෙන්ම විරුද්ධ පක්ෂ ද ඉල්ලා සිටී. එහෙත් එම වෙනස්කම් කිරීමෙන් පසු පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයැයි ජනාධිපතිවරයා පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. එජාප මැතිවරණවලට දක්වන බියත්, යෝජිත මෙම වෙනස්කම්වල සංකීර්ණ බවත් එකට ගෙන සලකා බලන කල 13 වැනි සංශෝධනය පිළිබඳ වත්මන් සංවාදයේ අරමුණ පළාත් සභා මැතිවරණ තවදුරටත් කල් දැමීමදැයි යන සැකය මතුවේ.
පොලිස් හා ඉඩම් බලතල ඇතුළු පළාත් සභාවල බලතල සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පක්ෂ එක මතයක නැත. ඒ අනුව 13 වැනි සංශෝධනය පිළිබඳ සංවාදය ඉදිරියට යාමේ දී එම පක්ෂ අතර ආරවුල් ඇති වීමට ඉඩ තිබේ. එය ද වත්මන් සංවාදයේ අරමුණක් විය හැකිය.
එසේම මෙම සංවාදය උණුසුම් වුවහෝ රටේ ආර්ථික ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය එම සංවාදය වෙතට මුළුමනින්ම යොමු විය හැකිය. එය මෙම සංවාදයේ තවත් අරමුණක් විය හැකිය.
13 වැනි සංශෝධනය පිළිබඳ වත්මන් සංවාදය නිසා පළාත් සභාවලට වැඩි බලතල ලැබෙනු ඇතැයි දකුණේ ඇතැම් පිරිස් සිතන බව පෙනේ. එසේම පළාත් සභාවල බලතල මෙමගින් අඩුවනු ඇතැයි දෙමළ පක්ෂ සිතන බව ද පෙනේ. එහෙත් මෙම සංවාදය සංවාදයකින් ඔබ්බට යාමේ ඉඩකඩ ඉතා අවම හෙයින් ඒ දෙපාර්ශ්වයට බිය වීමට හේතුවක් නැත.
(*** එම්.එස්.එම්. අයුබ්)