පළාත් සභා රටට තවදුරටත් අවශ්‍යද?


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ මාතෘකාව යළිත් දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් වීම එයට හේතුව වී තිබේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව තම ප්‍රචාරක ව්‍යාපාරය තුළ වැඩි බරක් තැබීමටද ක්‍රියාකරමින් සිටියි.

තම දේශපාලන දිවියේ අඩසියවස පසුගියදා සටහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපගේ සහෝදර සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ එක් ප්‍රධාන අවශ්‍යතාවක් වන්නේ පළාත් සභා ක්‍රමය වෙනස් කිරීම බවය. පසුගිය යහපාලන රජය පළාත්පාලන සහ පළාත්සභා ඡන්ද ක්‍රම මුළුමනින්ම අවුල් කර ඇති බවටද ඔහු දැඩිව චෝදනා කර තිබිණි. පළාත් සභා ඡන්ද පැවැත්වීම මේ වනවිට වසර දෙකකින් පමණ ප්‍රමාද වෙමින් තිබෙන බවද සඳහන් කළයුතුය.

මෙහිදී මූලිකවම සලකා බැලිය යුතු කරුණක් වන්නේ පළාත් සභා ක්‍රමය මේ රටට දැන් අවශ්‍යද යන්න බව අපගේ වැටහීමය. ඒ සම්බන්ධව මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ දේශපාලන පක්ෂ අතර අර්ථවත් සමාලෝචනයක් සිදුවිය යුතු යැයි අපි සිතමු. එවැනි සංවාදයකදී මේ රටේ මහා සංඝරත්නයද විද්වතුන්ද ඇතුළු මහජනතාවගේ සහභාගීත්වයක් තිබීමද අවශ්‍යය. මේ රටේ පළාත් සභා පවත්වාගෙන යන්නේ දෙවැනි පෙළේ දේශපාලනඥයන්ගේ බඩගෝස්තරය සඳහා මිස ජනතාවට සේවයක් සැලසීමේ අරමුණකින් නොවන බවට රට තුළ පුළුල් මතවාදයක් පැතිර තිබීම ඊට හේතුවය. ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන පළාත්පාලන ව්‍යුහයක් තිබෙන රටකට පළාත්සභා පවත්වාගෙන යාම නිෂ්ඵල වියදමක් බව අපගේද වැටහීමයි.

බොහෝමයක් ජනතාව පළාත් සභා දකින්නේ රටේ මහජන මුදල් කාබාසිනියා කර දමන සුදු අලියකු වශයෙනි. එය එසේ නොවන බවට මතයක් ජනතාව තුළ ඇති කිරීමට පළාත් සභා මෙතෙක් කල් නියෝජනය කළ මැති ඇමැතින්ගේ සේවය අසමත් වී ඇති බවද පෙන්වා දිය යුතුය. පළාත් සභා ගොඩනැගිලි අහස උසට ඉදිකොට ඒවා නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට සියලු‍ වරප්‍රසාද සහ සැප පහසුකම් ලබාදීමෙන් පමණක් පළාත් සභා ක්‍රමය පැවැත්විය යුතු බවට ප්‍රබල මතයක් ජනතාව තුළ ඇති කිරීමට නොහැකි බව සියලු‍ දේශපාලනඥයන් දැනගත යුතුය.

මේ වනවිට පළාත් සභා කිහිපයක් අකර්මණ්‍ය වී වසර දෙකකටත් අධික කාලයක් ගතවී තිබේ. එහෙත් මේ පළාත් සභා අක්‍රිය වීම ජනතාවට දැනුණු බවක් රට තුළින් පෙනෙන්නේ නැත. ජනතාව තුළ ඒ පිළිබඳ කිසිදු සංවාදයක් නැත. පළාත් සභා තුළින් සිදුවන්නේ මහජන මුදල් මකර කටට යැවීම පමණක් නම් එවැනි සංවාදයකට ඉඩක්ද නැත. ඒ ගැන සියලු‍ දේශපාලන පක්ෂ එකතු වී තීන්දුවක් ගතයුතුය. ඒ සඳහා මුල් පියවර තැබිය යුත්තේ මීළඟ මහමැතිවරණයෙන් බලයට පත්වන ආණ්ඩුවයි.

මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතු වන්නේ පළාත් සභා ක්‍රමයේ අනාගතය පිළිබඳ තීන්දුවක් ගැනීම රටේ පැවැත්විය යුතු මැතිවරණ කලට වේලාවට නොපැවැත්වීම සඳහා ලබාදෙන අවසරයක් නොවන බවය. පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා වන මැතිවරණ නිසි වෙලාවට එකම දිනයක පැවැත්වීම අවශ්‍යය.

යහපාලන ආණ්ඩුව ඇති කරගත් අර්බුද ඇතුළේ ඡන්ද පැවැත්වීම එකම අච්චාරුවක් බවට පත්විය. එය පළාත්පාලන ඡන්දයටද බලපෑවේය. ඊට පෙර පැවැති ආණ්ඩු පළාත් සභා ඡන්ද පැවැත්වූයේ තමන්ට හිතූ හිතූ වෙලාවලදීය. මේ ක්‍රම දෙකම දේශපාලන වශයෙන් බරපතළ වැරුද්දකි. මහජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමකි. වහාම මේ පිළිබඳව තීන්දුවක් ගත යුතුය. පළාත්පාලන ඡන්දය නිසි වෙලාවට පැවැත්වීමෙන් වැළකී සිටීමට නොහැකි වනසේ අණපනත් සැකසිය යුතු අතර පළාත් සභා සුදු අලියා අහෝසි කිරීමටද තීන්දු ගත යුතුය.

අනෙක් අතට මේ රටේ ඡන්දයක් පැවැත්වීමට විශාල මුදලක් වැය වන බවද සැලකිල්ලට ගතයුතුය. කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඒ වියදම තවත් බිලියන 03කින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව මෙවර මහ මැතිවරණයේ සමස්ත වියදම බිලියන 10ක් වනු ඇති බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. 16,263,885ක ජනතාවක් ලබන මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. ඒ අනුව මන්ත්‍රීවරුන් 225 තෝරා පත්කර ගැනීමට එක් ඡන්දදායකයකු සඳහා රුපියල් 6,14,000ක් වැය කළ යුතුය. අවසාන විග්‍රහයේදී එක් මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට ආසන්නව රුපියල් මිලියන 44ක් වැය කෙරෙයි. ඒ අනුව මීළඟ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේදී පළාත් සභා 09ක මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට වැය කරන මුදලින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට හෝ සෑම පළාතකටම අංගසම්පූර්ණ රෝහලක් බැගින් ඉදිකිරීමට පවා හැකිවෙයි. ඒ මුදලින් පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් නඩත්තු කිරීම ජාතික අපරාධයක් නොවන්නේද?