පළාත් සභාව උතුරට බැරි ඇයි?


 

 

උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය වෙමින් තිබෙන අවස්ථාවකදී නොයෙක් අදහස්, විවේචන ඉදිරිපත් වන ආකාරයක් දැක ගන්නට පුළුවන. උතුරේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතුය යන අදහස ඉදිරිපත් කරන පිරිසක්ද සිිටිති. ඒ වගේම 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව තවත් කණ්ඩායමකගේ අදහස වී තිබේ. පළාත් සභා සම්පූර්ණයෙන් අහෝසි කිරීමට කතා කරන පිරිසක්ද සිටිති. පළාත් සභා බලතල ලැයිස්තුවේ ඇති ඉඩම් හා පොලිස් බලතල අහෝසි කළ යුතු බවට නැඟෙන මතයක්ද තිබේ. එහෙත් අප දරන්නේ එවැනි මතයක් නොවේ. 13 වැනි සංශෝධනය හෝ පළාත් සභා සහ එහි ඇති බලතල අහෝසි කිරීමේ වුවමනාවක් නැත. ඒ වගේම උතුරේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වුවමනාවක් ද නැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වී ඇති කරුණු කාරණා එලෙසම පිළිගෙන ආණ්ඩුව සූදානම් වන්නේ උතුරු පළාතේද පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය. සමහරුන් කියා සිටින්නේ මෙසේ නොකළ යුතු බවය. මේවා එක් එක්කෙනාගේ අදහස්ය. විවිධ කණ්ඩායම්, පුද්ගලයන් ගෙන හැර දක්වන මෙවැනි අදහස්වලට ආණ්ඩුව නැමෙන්නේ නැත. ව්‍යවස්ථා වෙනසක් කරනවා නම් එය කරන්නේ පාර්ලිමේන්තුවේ පත් කළ විශේෂ කාරක සභාවේ ඇති වන පොදු එකඟත්වයක් ඇතිවය. අප සිටින්නේද ආණ්ඩුවේය. අපටද නොයෙක් අදහස් තිබේ. එසේ තිබුණා යැයි කියා ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණය වෙනස් කරන්නේ නැත. ආණ්ඩුවේ තීරණය වී තිබෙන්නේ කවුරු මොනවා කිව්වත් උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමය.

උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න මතු කරන්නේ කරුණු දෙකක් පදනම් කරගෙනය. ඉන් එක් කරුණක් වන්නේ පොලිස් බලතලය. ඉඩම් බලතල අනෙක් කරුණය. දැනට වසර විසි ගණනක් තිස්සේ ක‍්‍රියාත්මකවන අනෙක් පළාත් සභාවලටවත් ඉඩම් හා පොලිස් බලතල ලබා දී නැත. එනිසා මේවා තවමත් ක‍්‍රියාත්මක වී නැත. මේ බලතල තවමත් ව්‍යවස්ථාවේ සඳහන් වී ඇති ඒවා පමණි. එවැන්නකට මෙතරම් බියක් දක්වන්නේ ඇයි දැයි ප‍්‍රශ්නයකි. ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධ පනත් සම්මත කර තිබේ. මේ බලතල ක‍්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ආණ්ඩුවට ඇති. ස්වෛරී බලයකි. මේ ස්වෛරී බලය ඇත්තේ පාර්ලිමේන්තුවටත්, ආණ්ඩුවටත් පමණි. විධායකයේ පූර්ණ බලයද ආණ්ඩුවට  තිබේ. නීතියක් ක‍්‍රියාවට නඟනවාද නැද්ද යන්න ආණ්ඩුවේ බලය මත තීරණය වන්නකි. නීතියක් සම්මත කිරීමේ හෝ වෙනස් කිරීමේ බලය පාර්ලිමේන්තුවට තිබේ. ඒ නිසා උතුරේ පළාත් සභා මැතිවරණය සහ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් හෝ ගැටලූවක් නැත.

 ඕනෑම කාරණයකදී විවිධ අදහස් තිබිය හැකිය. එයට ආණ්ඩුව ඇතුළේ කියා හෝ ඉන් පිටත කියා වෙනසක් නැත. 18 වැනි සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේදී ද නොයෙක් අදහස් විවේචන, චෝදනා ආදිය තිබුණි. එයට විරුද්ධ කණ්ඩායම්ද සිටි බව අමතක නොකළ යුතුය. අප ද එයට විරුද්ධ වුණි. ඒ අපේ කඳවුර එකට තබා ගැනීමටය. ඒ ආණ්ඩුවේම සිටිමිනි. එසේ යැයි කියා 18 වැනි සංශෝධනය ගෙන ඒම නතර වූයේ නැත. එය සම්මත කෙරුණි. එනිසා මේ අවස්ථාවේදී ද නොයෙක් කරුණු කාරණා මතුවන්නට පුළුවන. එසේ යැයි කියා ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් කිරීමේ වුවමනාවක් නැත.

පවත්නා මේ පසුබිම යටතේ 13 වැනි සංශෝධනය අවශ්‍යද යන ප‍්‍රශ්නය මතු කරන්නට පුළුවන. මෙවැනි ප‍්‍රශ්නයක් හමුවේ පුළුල්ව බලන කෙනෙකුට පෙනී යන කරුණක් තිබේ. එනම් 13 වැනි සංශෝධනය පමණක් නොව අපේ මුළු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවය. මුලින්ම අපට අනවශ්‍ය කුමක් දැයි යමකු ප‍්‍රශ්න කළ හොත් දිය හැකි හොඳම පිළිතුර ජනාධිපති ක‍්‍රමය බවය. මේ ජනාධිපති ක‍්‍රමය මුලින්ම ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. එවැනි කරුණු සම්බන්ධයෙන් කතා නොකොට පසෙක ඇති සාධක අල්ලාගෙන සිටීමේ පලක් නැත. ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන අතරම 13 වැනි සංශෝධනය මීටත් වඩා සංවර්ධනය කළ යුතුය. අපට අනවශ්‍ය මේ ජනාධිපති ක‍්‍රමය සහ ඡුන්ද ක‍්‍රමය වෙනුවට අලූත් පාලන තන්ත‍්‍රයක් සකසා ගැනීමට යොමු වීම අවශ්‍යය. 13 වැනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන්නා වූ පළාත් බලය තවත් සංවර්ධනය කිරීමට ද ඒ සමගම අවධානය යොමු කළ යුතුය.

මේ රටේ කිසිවකුත් ඉල්ලා නොසිට සහ මේ  රටේ අවශ්‍යතාවක් නොමැතිව ඉන්දියාව 13 වැනි සංශෝධනය බලෙන් පැටවූවාය යන චෝදනාව එදා පටන්ම තිබෙන්නකි. මෙවැනි චෝදනාවලට පදනමක් නැත. මෙවැනි කතා සත්‍යයෙන් තොරය. 13 වැනි සංශෝධනය ඉන්දියාව අපට බලෙන් පැටවූයේ නම් එය පාර්ලිමේන්තුවේ සම්මත කළේ කෙසේද? මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළ පසු ආණ්ඩු කීයක් මේ රට පාලනය කළාද? පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඉන්දියාවට යටත්ව සිටි අයෙක් නොවේ. ඔහු ඉන්දියාවට අවශ්‍ය ආකාරයෙන් නටන්නට ගියේ නැත. එහෙත් ඔහු  පවා 13 වැනි සංශෝධනය පිළිගෙන තිබුණි. පළාත් සභා මැතිවරණ පැවැත් වූයේද එතුමාය. උතුරේ සටන් තත්ත්වයක් ඇති වී තිබුණි. පළාත් සභා ගෙන එන්නේ එය අහෝසි කිරීමටද? මේ දක්වා පැවැති සහ වත්මන් ආණ්ඩුව පවා පළාත් සභා පිළිගෙන තිබේ. පළාත් සභා අනවශ්‍ය නම් මේ සෑම ආණ්ඩුවක්ම මේ ක‍්‍රමය පිළිගනීවිද? සෑම කෙනකුම මේ ක‍්‍රමය පිළිගෙන ඇති බව මෙයින් පැහැදිලිය. සෑම කෙනකු ම මෙයට ඡුන්දය දී ඇති බවත් අමතක නොකළ යුතු කරුණකි. වසර විස්සකටත් වඩා වැඩි කාලයක් තිස්සේ වරින් වර මැතිවරණ පවත්වමින් ඉදිරියට ගෙනැවිත් තිබෙන පළාත් සභා මේ රටට අවශ්‍යද යන ප‍්‍රශ්නය ඇසීමට තරම් හේතුවක්වත්, තත්ත්වයක්වත්, නිමිත්තක්වත් නැත.

13 වැනි සංශෝධනයත් ඒ හරහා ඇති කළ පළාත් සභාත් ගෙනාවේ උතුරේ පැවැති යුද්ධයට විසඳුම් සේවීමේ අපේක්‍ෂාවෙනි. එතෙක් සටන් වැද සිටි එල්.ටී.ටී.ඊ ය පවා මෙයට එකඟ වී සිටි බව අමතක නොකළ යුතුය. එහෙත් පසුව ඔවුන් යළිත් ආයුධ අතට ගත්තේ විවිධ හේතු ගෙනහැර දක්වමිනි. එයින් පෙනෙන්නේ උතුරේ පළාත් සභා ක‍්‍රියාත්මක වීමට එල්.ටී.ටී.ඊ ය ඉඩ නොදුන් බවය. ජාතික ගැටලූවට විසඳුමක් ලබාදීමට තිබූ අවස්ථාව මේ නිසා ඇහිරී ගියේ යැයි යමකු කියා සිිටින්නේ නම් එහි ඇති වැරැද්දක් නැත. කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊය අවි අතට ගත් නිසා මුලින්ම ඔවුන් පරාජය කිරීමේ වුවමනාවක් තිබුණි. එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමේ කටයුත්ත කිරීමට අපට හැකි වුණි. එසේ පරාජය කිරීමෙන් පසු මුලින්ම නැගෙනහිර මැතිවරණය පැවැත්වුණි.

නැගෙනහිර පළාත් සභාව පිහිටුවා එම පළාතේ ජනයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබේ. එම පළාතේ ජනයාගේ ප‍්‍රශ්න පළාත් මට්ටමේදී විසඳීමට මේ අනුව කටයුතු කර ඇති බව පැහැදිලිය. මේවාට කාටවත් දොස් පැවරිය නොහැක. වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශ සලසාදීමේ කිසිදු වැරැුද්දක් නැත.
දැන් කටයුතු කරමින් සිටින්නේ උතුරු පළාතට මේ වගකීම ඉටුකරලීමටය. උතුරු පළාතත් ලංකාවේම කොටසකි. එනිසා මේ පළාතට පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීමේ හැකියාවක් නැත. ඒ පළාත වෙනම තිබිය නොහැක. එහෙත් ඇතැම් අය අදහස් කරගෙන සිටින්නේ ලංකාවෙන් වෙන් වූ පළාතක් හැටියට මේ ප‍්‍රදේශය පවත්වාගෙන යාමටය. එම තත්ත්වය වෙනස් කිරීමේ හැකියාව අපට තිබේ. ඒ අනෙක් පළාත්වල මෙන් උතුරු පළාතේද පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙනි.

ජාතික ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් මේ අතර තුර කතාවනු පෙනේ. එහෙත් ජාතික ප‍්‍රශ්නය යනු කුමක්දැයි පැහැදිලි කරගන්නා බවක් පෙනෙන්නට නැත. ජාතික ප‍්‍රශ්නය යනු ජාතිය එක්සත් කිරීමේ ප‍්‍රශ්නයයි. එක්සත් කරන්නේ කුමන ජාතියක් දැයි තවත් අයකු ප‍්‍රශ්න කළ හැකිය. එක්සත් කරන්නේ ලාංකික ජාතියයි. ඒ අනුව බලනවිට ජාතික ප‍්‍රශ්නය වන්නේ ලාංකික ජාතිය එක්සත් කිරීමය. ලාංකික ජාතිය එක්සත් කිරීමට පසුබිමක් රාමුවක් පළාත් සභාවලින් ඇති කරගත යුතුය. එසේ නැතිව යුද්ධයට විසඳුමක් නොවේ. යුද්ධයට විසඳුම වන්නේ යුද්ධයයි. දැන් එය අවසන්ය. දැන් තිබෙන්නේ ලාංකික ජාතිය එක්සත් කිරීමේ ඓතිහාසික කාර්යය ඉටුකිරීමටය. උතුරේ මැතිවරණයත් එයට අවශ්‍ය සාධකයකි.

ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමට පළාත් සභා හරහා බලය බෙදීම ප‍්‍රමාණවත්ද? නැත. මෙය මීට වඩා සංවර්ධනය කළ යුතුය. අඩු ලූහුඬුකම් තිබේ නම් ඒවා සකසා ගත යුතුය. පළාත් සභා මීට වඩා සංවර්ධනය කළ යුත්තේ මධ්‍යම රජයේ බලයට යටත්වය. පාර්ලිමේන්තුවට යටත්වය. දැනට ව්‍යවස්ථාව තිබෙන්නේ එලෙසය. ඒ තත්ත්වය එලෙසම පවත්වා ගන්නා අතර  විෂයන්, වගකීම්, පවරන්නට පුළුවන. එවිට සිදුවන්නේ ගැමියාට වඩා සමීප ආණ්ඩු පාලනයක් පැවතීමය. සබරගමුවේ ජනතාවට කොළඹ ඒමේ වුවමනාවක් එවැනි පසුබිමක් යටතේ මතුවන්නේ නැත. තමන්ගේ කටයුතු තමන්ගේ පළාතේදීම අවසන් කර ගැනීමට පුළුවන.

පළාත් සභා සුදු අලියකු යැයි කීම අමූලික බොරුවකි. පළාත් සභා සුදු අලියකු නම් කැබිනට් මණ්ඩලය ඊට වඩා කොතරම් ලොකු සුදු අලියෙක්ද? කැබිනට් මණ්ඩලයේ අනූවක් පමණ සිටිනා බව අමතකද? පළාත් සභා නඩත්තුවට වැය වන්නේ පළාත් සභාවලට වෙන් කරන මුදලින් සියයට හතක් පමණි. කාර්යාලයීය නඩත්තුව, පිරිස් බල නඩත්තුව, ගොඩනැගිලි ආදී භෞතික සම්පත් නඩත්තුව කවුරු වුවත් කළ යුතුය. මේවාට පළාත් සභාද මධ්‍යම ආණ්ඩුවද කියා වෙනසක් නැත. යථාර්ථය එයයි.

ඉඩම් හා පොලිස් බලතල තවමත් කිසිදු පළාත් සභාවකට ලබා දී නැත. ඒ නිසා මේවා සම්බන්ධයෙන් කලබල විය යුතු නැත. එහෙත් ඉදිරියේදී මේ අයගේ වගකීමේ තත්ත්වය සම්බන්ධයෙන් සලකා බලා මේ බලතල අවශ්‍ය නම් යම් ප‍්‍රමාණයකට දීමට පුළුවන. මේ ලබාදිය හැකි වන්නේ පළාත් පොලිස් බලතල පමණි. ජාතික පොලිස් බලතල නොවේ. පළාත් පොලිස් බලය ජාතික පොලිස් බලයට යටත් වූවකි. පොලීසියේ ප‍්‍රධානියා වන්නේ පොලිස්පතිවරයාය. රටේ  ඕනෑම තැනක යමකට මැදිහත් වීමට අවශ්‍ය නම් ඒ සඳහා වන බලය පොලිස්පතිවරයාට තිබේ. මෙය වෙනත් ආකාරක තර්ජනයක් වන්නේ නැත. එනිසා පළාත් පොලිස් බලයක් හා පළාත් ඉඩම් බලයක් ලබාදිය යුත්තේ පළාත් සභාවල වගකීම් මට්ටම සැලකිල්ලට ගෙනය. මේ සියල්ලම අවසාන වශයෙන් මධ්‍යම ආණ්ඩුවේ මඟ පෙන්වීමට, ජාතික සැලසුමට යටත්ය.

ලබාදෙන ඉඩම් හා පොලිස් බලතලවල සීමා සම්බන්ධයෙන් අදාළ උප ලේඛනයේ දක්වා තිබේ. ජාතික පොලිසි යටතට ගැනෙන කරුණු සහ පළාත් පොලිසියට පැවරෙන වගකීම් ඒ අනුව වර්ගීකරණය කර ගැනීමට පුළුවන. එක් එක් පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත් කෙරෙන්නේ අදාළ පළාතේ මහ ඇමැතිවරයාට වග කියන ආකාරයෙනි. මහ ඇමැතිවරයාගේ නිර්දේශයෙන් පත්වන නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අදාළ පළාතේ පොලිිසි පාලනයවීම ප‍්‍රශ්නයක් නොවේදැයි යමකු ඇසිය හැකිය. එවැනි ප‍්‍රශ්න මතු කිරීමේ වුවමනාවක් නැත. මහ ඇමැතිවරයාට වගකියන ආකාරයෙන් පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරු පත් කරන්නේ පොලිස් පතිවරයාය. මේ නිසා නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස්  පොලිස්පතිවරයාටද වගකිව යුතුය. මොවුන් ලංකා පොලිස් සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මිස වෙනත් අධිකාරීවලට යටත් අය නොවේ. පවතින කාර්යමණ්ඩල පටිපාටි සහ විනය ක‍්‍රියාමාර්ග අනුව මොවුන් අනිවාර්යයෙන්ම පොලිස්පතිවරයාට අවනත විය යුතුය. ලංකාවේ  ඕනෑම පළාතක පොලිස් කටයුතු කිරීමට අවශ්‍ය යැයි හැඟී ගියහොත් එම කටයුතු කිරීමට අවශ්‍ය බලය ව්‍යවස්ථාවෙන්ම පොලිස්පතිවරයාට ලබා දී තිබේ. එනිසා මේවා අතර ගැටුම් ඇති වීමට අවකාශයක් නැත. පළාත් පොලිස් කොමිසමේ සිටින්නෝ  ජනපතිගේ සහ පොලිස්පතිගේ නියෝජිතයෝය. අනවශ්‍ය බියක් මවාගත යුතු නැත.

මේ බලතල දීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියන අයද සිටිති. ජාතික ආරක්‍ෂාව යනු කුමක්ද? ජාතික ආරක්‍ෂාව යනු රාජ්‍ය බලය පැහැර ගැනීමට තිබෙන අනතුරය. එවැනි අනතුරක් තිබේ නම් වහාම ක‍්‍රියාත්මක වීමට රාජ්‍යයේ ත‍්‍රිවිධ හමුදාවට සහ සියලූ බල තන්ත‍්‍රයට හැකියාව තිබේ. ඊට අවශ්‍ය බලය තිබේ. එනිසා හුඹස් බියක් අවශ්‍ය නැත. කොහේවත් නැති යකුන් මවා පෙන්වන්නේ උතුරේ ජනතාවට මේ අයිතිය ලබාදීම වැළැක්වීමටය. ඒ උතුරේදී දෙමළ ජාතික සන්ධානය ජය ගනීවි යැයි යන ස්ථාවරයේ සිටිමිනි. උතුරු පළාත් සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය වැනි පක්‍ෂයකට හිමි වී ඔවුන් ඒ බලය මෙහෙයවීම මේ අයට දරාගත නොහැක. මේ පළාත ජය ගැනීමට අප උත්සාහ කරන අතර ජය ගැනීමට නොහැකි වුවොත් අප කරගත යුත්තේද එවැනි පක්‍ෂයකට බලය ලබා ගැනීමට ඉඩදී ලංකාවේ රාමුව තුළ පාලන කිරීමට අවස්ථාව ලබා දීමය. නොබෙදුණු ලාංකික රාජ්‍යයක් තුළ පළාතේ වගකීම ඉටුකිරීමට පටන් ගත යුතු බව ඔවුන්ට දැන්විය යුතුය. ඔවුන් ලාංකික එක්සත්කමට එකතු කර ගත හැක්කේ එවිටය. එදා පටන් අප උත්සාහ දරා තිබෙන්නේද ඒ වෙනුවෙනි.

දෙමළ ජාතික සන්ධානය උතුර ජයගෙන ඉඩම් හා පොලිස් බලතල ඉල්ලා සිටියහොත් කරන්නේ කුමක්ද? මේවා සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන්ව පැවතියද ඒවා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම මධ්‍යම ආණ්ඩුවේ අයිතියකි. මධ්‍යම ආණ්ඩුව මේවා දියයුතු ප‍්‍රමාණයට දෙනු ඇත. නොදිය යුතු ප‍්‍රමාණයට නොදෙනු ඇත. ව්‍යවස්ථාවේ සඳහන් වුවද මේවාට පනත් දෙකක් සම්මත කර තිබේ. එනිසා ආණ්ඩුවට වුවමනා වෙලාවට හැර මේවා ක‍්‍රියාවට නඟන්නේ නැත. මේවා තීරණය කරන්නේ ජාත්‍යන්තර බලපෑම්වලින් නොවේ. ජාත්‍යන්තරය බලපෑම් කළේ ප‍්‍රභාකරන්ට බලය දීමටය. එහෙත් අප ඒවාට ඉඩ දුන්නේ නැත. අපේ රටේ ස්ෙෙරීත්වයට ඇඟිලි ගැසීමට ඔවුන්ට ඉඩක් නැත. කවුරු කුමන තර්ක ගොඩනැඟුවද මේ බලතල අවශ්‍ය නම් දිය යුතු ප‍්‍රමාණය දීම භෞමික අඛණ්ඩතාවට කිසිදු තර්ජනයක් නොවේ. මේවා කළ යුතු වෙලාව ආණ්ඩුවක් හැටියට සලකා බැලිය යුතුය.

දැනට ඉඩම් හා පොලිස් බලතල ක‍්‍රියාත්මක බලයක් නොවන නිසා මේවා අහෝසි කිරීමේ වුවමනාවක් නැත. එසේ කිරීමට හේතුවක්ද නැත.
බලතල සහිත පළාත් සභාවක් උතුරට දීම ඊළමකට තබන පළමු පියවර බවට මතයකි. ඊළාම් යනු නමක් පමණි. වෙනම රාජ්‍යයකට ඉඩ නැත.  ඕනෑම නමකට ඉඩදීමට අප කැමතිය. රටේ අනෙක් ප‍්‍රදේශවලටද විවිධ නම් තිබේ. එනිසා උතුරට ‘‘ඊළාම්’’ යන නම භාවිත කරන්නේ නම් ඊට මගේ විරුද්ධත්වයක් නැත. එහෙත් අඛණ්ඩ වූ භෞමික ප‍්‍රදේශයක තිබෙන ස්වෛරී ලංකාව කිසි ලෙසකින්වත් වෙනස් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩක් නැත.

බලය බෙදීමට දිස්ත‍්‍රික් සභා වැනි ක‍්‍රමයකට යාම වඩා සීමා සහිතය. එවිට කටයුතු වන්නේ එම දිස්ත‍්‍රික්කයේ පමණි. පළාතක සම්පත් ජනයා හා එකිනෙකා සම්බන්ධ කිරීමේදී එක් ව්‍යූහයක් ප‍්‍රමාණවත්ය. පළාතක් යනු රටේ සැලකිය යුතු භූමි හා සම්පත් ප‍්‍රමාණයකි. මේවා ක‍්‍රියාත්මක කිරීමට පළාතේ ජනයාට අවස්ථාව දීමක් අප කරන බව පැහැදිලිය. එය ප‍්‍රජතන්ත‍්‍රවාදය පුළුල් කිරීමකි. දිස්ත‍්‍රික් ක‍්‍රමයට ගියවිට ව්‍යූහ දෙකක් අවශ්‍යය. පළාතට අවේණික පොදු දේ දිස්ත‍්‍රික්කවල තිබේ. එවිට මේ සියල්ල එකතු වනු ඇත. ජාතික වශයෙන් වැදගත් දේ පවතින්නේ මධ්‍යම රජය යටතේය. දිස්ත‍්‍රික් සභාවලට කවුරුත් අකමැති වූයේ එය අසාර්ථක නිසාය. එනිසා හොඳම ක‍්‍රමය පළාත් සභාය. මෙය විශාල වශයෙන් දියුණු වූයේ ඒවා හොඳින් අධීක්‍ෂණය වූයේ පළාත් සභා හේතුවෙනි. වැඩි පිරිසක් අඩු ප‍්‍රදේශයක් අධීක්‍ෂණයෙන් වඩා වැඩි අවධානයක් ප‍්‍රශ්නවලට යොමු වනු ඇත. අපේ මේ ක‍්‍රියාදාමයේ අරමුණ වන්නේ ජාතික එක්සත්කම ඇති කිරීමය. ක‍්‍රමය මෙය නොවේ නම් වෙනත් යෝජනා ඉදිරිපත් කළහැකිය.

අද ඇත්තේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්නයක් නොවේ. පළාත්බද ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිිතිය පිළිබඳ ප‍්‍රශ්නයකි. මෙයින් සිදුවන්නේ පළාතේ බහුතරය පිළිගැනීමයි. පාලනයේදී ඔවුන්ගේ පළාතේ දී ඔවුන් බහුතරයකි. එක්සත්කමට ඔවුන් සිය කැමැත්තෙන් එක් වන්නේ එවිටය. විවිධ හේතු මත උතුරෙන් විතැන් වූ ජනයා නැවත එනතෙක් මැතිවරණ කල් දැමීම, නොපැවැත්වීම අඥාදායක්තවයකි. අවශේෂ අයට පෙර සිටින අයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදිය යුතුය. උතුරේ මැතිවරණය පවත්වන්නේ ලංකාව එක්සත් කිරීමේ අවශ්‍යතාව මතය. එවිට අතීතය පදනම් කරගෙන අපට එරෙහිව විවිධ චෝදනා නැඟීමට ජාත්‍යන්තරයට ද නොහැක. අප දතට දත නොඉල්ලන ජාතියක් බව පෙන්නා දිය හැකිය.

උතුරේ බලය දෙමළ ජාතික සන්ධානයට ගොස් වර්ධරාජා පෙරුමාල් මෙන් කටයුතු කිරීමට ගියහොත් එය අහෝසි කිරීමේ බලය මධ්‍යම රජයට තිබේ. තිබෙන්නේ පළාත් සභාවලට අනියත බියක් නොවේ. සිංහල ජාතිවාදයයි, දෙමළ ජනයා බහුතරයක් සිටින පළාතේ පාලන බලය දීමට විරුද්ධ වීමය. එයත් සිංහල බලයට යටත් කළ යුතුය යන මතයේ සිටීම වැරැදිය.

 

සටහන -  චමින්ද මුණසිංහ