ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
තනි සුදු කලිසම් කෝට් ඇඳ ටයි පටියක් පැලඳි මහත්තයෙක් අමුතු ආකාරයේ ගමන් විලාසයකින් පාරේ ගමන් කරයි. ඔහුගේ හිසේ තොප්පියක්ද ඇත. කුඩා කොල්ලෙක් ඔහුගේ ඒ අමුතු වූ ගමන් විලාසය අනුකරණය කරමින් ඔහුට හොරෙන් ඔහු පිටුපසින් ඇවිද යයි. එය දකින ඔහුගේ පියා ඔහුට අඬ ගසා මෙසේ අසයි.
“උඹ දන්නවද ඒ මහත්තයා කවුද කියලා?”
“නෑ මං දන්නෙ නෑ”
“ඒ පොත් ලියන මහත්තයෙක්”
ඒ පොත් ලියන මහත්තයා පදිංචි වී සිටියේ කුඩා කොල්ලා විසූ නිවසට නුදුරිනි. ආසාවෙන් පොත් කියවීමට පුරුදු වී සිටි කොල්ලා වරින් වර එහි ගොස් ඔහුගෙන් පොත් ඉල්ලාගෙන කියවීමට පුරුදු වෙයි. ඔහුගේ කියවීමේ උනන්දුව දුටු පොත් ලියන මහත්තයා ද ඊට අනුබල දුන්නේ සතුටිනි.
ඒ පොත් ලියන මහත්තයා වූකලී කීර්තිමත් ලේඛක ජී.බී. සේනානායකයන් බව කුඩා කොල්ලා දැන ගත්තේ ඔහු ලොකුවී ඉගෙන ගත්තාට පසුවය. එදා විහිළුවට ඔහුගේ ගමන් විලාසය අනුකරණය කළ කුඩා කොල්ලා පසු කලෙක ඔහුගේ ගමන් මාර්ගය අනුව ගොස් පියදාස වැලිකන්නගේ නම් කීර්තිමත් ලේඛකයා බවට පත් වූයේය. කොළඹ කවි යුගයේ ආරම්භක අවදියට අයත්, බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා කවීන්ද්‍රයන් පියදාස වැලිකන්නගේට සිංහල හෝඩියේ අ යනු ආ යනු ඉගැන්වූයේය.
පියදාස වැලිකන්නගේගේ පියාත් ජී.එච්. පෙරේරා කිවිඳුත් අසබඩ ගම්හි විසූ මිතුරෝය.
පියදාස වැලිකන්නගේගේ පියා, එම්. ඩබ්ලිව්. සාදිරිස් සහෝදරයා වනාහි 1953 අගෝස්තු 12 හර්තාල් සටනේදී සමසමාජ පක්ෂයේ උග්‍ර සටන්කාමී වෘත්තීය සමිති නායකයෙක් වූ ඩී.ජී. විලියම් ආදි කම්කරු සහෝදරයන් සමග එක පෙරමුණේ සිටි සටන්කාමියෙකි.
ඔහුගේ පුත් පියදාස වැලිකන්නගේ තුළ උපන් බද්ධ සමසමාජ ප්‍රේමය එහි විපුල පලයක් යැයි සිතමි.
පියදාස වැලිකන්නගේගේ සහ මගේ මහ ගෙවල් තිබුණේ වැල්ලවත්ත ගල්කිස්ස ඡන්ද කොට්ඨාසයේ ගම් දෙකකය. ඔහු අත්තිඩියේය. මම කළුබෝවිලය. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහෝදරයාය.
අත්තිඩිය ගමෙන් බිහිවුණු කීර්තිමත් පුද්ගල චරිත තුනක් සහ චිත්තාකර්ෂණීය බෞද්ධ කලා නිර්මාණයක් මෑත කල හමුවෙයි. ඉන් එක් කීර්තිමත් පුද්ගල චරිතයක් නම් එකල කිතු රැව් නැංවූ ‘සිංහල කව් කිරුළ’ නම් පුරෝගාමී කවි සඟරාවේ කර්තෘ ධුරන්ධර කේ.වී.බී. අදිකාරම් කවීන්ද්‍රයාණෝය.
පියදාස වැලිකන්නගේ තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ එම්. ඩී. ගුණසේන මහතාගේ බාල සොහොයුරෙකු වන එම්.ඩී. චන්ද්‍රසේන මහතා විසින් තම ගමේ දරු පරපුර වෙනුවෙන් පිහිටුවන ලද මලගලගේ විද්‍යාලයෙනි. එකල එහි වැලිකන්නගේගේ ඉංග්‍රීසි ගුරුවරයා වූයේ, ශිෂ්‍ය අවධියේ පටන් මගේ සන්මිත්‍ර දයාරත්න රණතුංග සංගීතවේදියාණන්ගේ වැඩිමහල් සොහොයුරු, ගුවන්විදුලි නිවේදක, ප්‍රේමවංශ රණතුංගයන්ය.
ඉන්පසු පියදාස වැලිකන්නගේ දෙහිවල සෙන්ට් මේරිස් විද්‍යාලයට ඇතුළු වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන රිසියෙනි. විභාග සාමර්ථ්‍යයට මෙන්ම කථිකත්වයටද ඔහු තුළ පැවැති සහජ ශූරත්වය එහිදී ඉඳුරා ප්‍රකටව ගියේ එම විදුහල ද කීර්තිමත් කරමිනි.
නුගේගොඩ මණ්ඩලයේ පාඨශාලාන්තර කථික තරගයකි. එය පැවැත්වුණේ කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේය. එහි විනිශ්චය මණ්ඩල ප්‍රධානියා එකල බුද්ධඝෝෂ විද්‍යාලයේ මුල් ගුරු තනතුර දැරූ සුප්‍රකට පාඨශාලා ග්‍රන්ථ කර්තෘවර පී.රූබන් පීරිස් මහතාය. එම කථික තරගයේදී දෙහිවල සෙන්ට් මේරීස් විද්‍යාලයේ චතුර ශිෂ්‍ය කථික පියදාස වැලිකන්නගේ අන් සියල්ලන් පරදා පළමු තැන දිනාගත්තේය.
කලින් මුණ නොගැසුණද නමින් මා වැලිකන්නගේ ගැන දැන සිටියේ ලේක්හවුසියේ ‘ජනතා’ පුවත්පත මගිනි. ඒ අංකුර කෙටිකතාකරුවෙකු වශයෙනි. ඒ වන විට ඔහුද මා ගැන නමින් දැන සිටියේ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු වශයෙනි. පියදාස වැලිකන්නගේ නම් මේ ආධුනික කෙටිකතාකරුවා පසු කලෙක වෘත්තියෙන් රජයේ ගුරුවරයෙක් විය. ආධුනික තරුණ ගුරුවරයෙකු වශයෙන් ඔහුගේ දෙපා හා හපුරා කියා පිළිගෙන තිබුණේ මඩකලපු දිස්ත්‍රික්කයේ වාවින්න නම් දුෂ්කර පාසල් බිමය.
අනාගතයේ පියදාස වැලිකන්නගේ තුළින් කීර්තිමත් ලේඛකයෙකු පහළ කිරීම සඳහා ඔහුගේ ගුරු ජීවිතයේ ආරම්භයම භාග්‍ය සම්පන්න ලෙස උපස්ථම්භක වූ බව ඉඳුරා පැවසිය හැකිය.
එකල ‘සිළුමිණ‘ පුවත්පතට කැලෑ කතා ගොතා ලිවීමට මෙන්ම පොතක් ලිවීමටද වැලිකන්නගේ ආවේශ ගැන්වූයේ ‘මායා රංජන්’ ය. එකල අලුත පටන් ගත් දිනපතා පළවන ජාතික පුවත්පතක් වූ ‘දිවයින‘ කෙරෙහි වැලිකන්නගේගේ සිත ඇදී ගියෙන් ඔහු එහි ඉරිදා පත්තරයට නිතර ලිපි සැපයීමෙහි නිරත විය. ඔහු සමගම එකට නැඟී ආ, උපනිශ්‍රය ඇති තරුණ ලේඛකයන් දෙදෙනකු වූ පියසේන කහඳගමයන් හා දෙනගම සිරිවර්ධනයන්ද එදා ඒ අභිනව ‘දිවයින’ පුවත්පතට නිතර ලිපි සැපයූවන් අතර වූ බව මගේ සිහියට නැඟේ.
1965 පැවති මහා මැතිවරණයෙන් ජයගෙන හත්හවුල් ආණ්ඩුවක් පිහිටු වූ පසු එහි අධ්‍යාපන හා සංස්කෘතික ඇමති වූයේ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලයන්ය. යූ. ඇන්. පී. විරෝධී ගුරු පරපුරේ ගෙල සිඳලීමේ ගහල සංහාරය ඇරඹුණි. පියදාස වැලිකන්නයන් ද ඊට ගොදුරු විය. එක්සත් ජාතික පක්ෂ නායකයන් ‘ඇත්ත‘ හා ‘ජනදින‘ යන වාමාංශික පුවත්පත් දෙක තහනම් කළේ ආණ්ඩු විරෝධී චෝදනාව නගමිනි. තහනම ඉවත් කිරීමෙන් පසු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් ‘ඇත්ත’ පත්තරය යළි ඇරඹුවද ‘ජනදින’ පටන් ගැනුණේ මුල් පාලනාධිකාරයේ ප්‍රකාශනයක් ලෙසින් නොවේ. ඉන් පසු ‘ඇත්ත’ මෙන්ම ‘ජනදින’ පත්තරය ද ස්වාධීන ප්‍රකාශනයක් බවට පත් විය.
හය වැනි දශකයේ දී වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග වෙනුවෙන් පළවුණු ‘ජනදින’ - ‘ජනසතිය’ ජාතික පුවත්පත් දෙකත් මාක්ස්වාදය හිසින් ගත් පියදාස වැලිකන්නගේත් අතර සමීප පයුරුපාසානයක් හටගැන්ම කවර අරුමයක්ද? මුලදී අන්‍යොන්‍ය වශයෙන් නමින් පමණක් දැන සිටියද, ‘ජනදින‘ - ‘ජන සතිය’ නිසා නිතර නිතර එකට මුණගැසීමේ පල වශයෙන් තීව්‍ර ලෙස සංලග්නව ගිය වැලීගේත් මගේත් මිත්‍ර සන්ථවය වනාහි ශුද්ධ සාහිත්‍ය ප්‍රේමය සහ බද්ධ ‘සමසමාජ‘ දේශපාලනය කරණකොටගෙන සුහුඹුල්ව වැඩී ගොස් කුළුගැන්වී ගියේ දෙදෙනාම යාවජීව කුලුපගයන් බවට පත්වීමෙනි.
මා ‘ජනදින’ - ‘ජන සතිය’ පුවත්පත්හි විචිත්‍රාංග කතුවරයා ලෙස සේවයෙහි නිරතව සිටි එසමයේ එක්තරා දිනක තම සුපුරුදු ඉක්මන් ගමනින් මගේ මේසය ළඟට පැමිණ සුපුරුදු කෝල සිනාව පාමින් නවකතාවක අත් පිටපතක් මගේ අතට දුන් වැලිකන්නගේ එය කියවා මගේ අදහස් පළ කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ නෑඹුල් නවකතාව වූ එය ඔහු අතින් ලියැවී තිබුණේ එකල නාඹර තරුණ තරුණියන්ගේ හදවත් කුල්මත් කළ කරුණාසේන ජයලතුන්ගේ ‘ගොළු හදවත’ නවකතාවේ රසාවේශයෙන් බැව් මට හැඟුණි. එම යොවුන් ප්‍රේම කතාව ‘ජන සතිය’ පුවත්පතේ කොටස් වශයෙන් පළ කිරීමට මා විසින් යෝජනා කරන ලද්දේ එබැවිනි. ඉන් පසු එය ‘වලාකුළින් වැසුණු සඳක්‘ යන නමින් සෑම ඉරිදාවකම ‘ජන සතිය‘ පුවත්පතේ කොටස් වශයෙන් පළවුණේ එහි එන චරිත වෙනුවෙන් පෙනී සිටින රංගන ශිල්පීන් විසින් නිරූපිත එහි ඇතැම් අවස්ථා දැක්වෙන ඡායාරූපද සහිතවය.
පියදාස වැලිකන්නගේගේ නෑඹුල් නවකතාව වූ ‘වලාකුළින් වැසුණු සඳක්’ 1972 දී පළමුවරට ‘එක් අනුවේදනීය කතාවක්’ නමින් ග්‍රන්ථයක් ලෙස පළ කරන ලද්දේ ගොඩගේ ප්‍රකාශකයන් විසිනි. ‘එක් අනුවේදනීය කතාවක්’ වූකලී ඔහුගේ නෑඹුල් නවකතාව මෙන්ම මුද්‍රණයෙන් ප්‍රකාශිත නෑඹුල් සාහිත්‍ය ග්‍රන්ථයද විය.
පියදාස වැලිකන්නගේ අතින් බිහිවුණු කතා මගින් ඔහු අප හදවත් තුළ රඳවන්නේ මිනිස් ගුණ දහම්හි අගයයි.
(*** කරුණාරත්න අමරසිංහ)