ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබේ.
එහෙත් ජනාධිපතිවරයාගේ නිල කාලය ‘‘වසර හයකට වඩා’’ දීර්ඝ කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසකගේ සහයෙන් එය සම්මත කොට ජනමත විචාරණයකින් ඊට මහජන අනුමැතියද ලබාගත යුතු යැයි එම ව්‍යවස්ථාවේම තවත් වගන්තියකින් කියවේ.
එහි දෙවැනිව සඳහන් කරන ලද වගන්තියේ ඇති “වසර හයකට වඩා” යන්න “වසර පහකට වඩා’’ යනුවෙන් නිවැරැදි විය යුතු යැයිද එය එසේ නිවැරදි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරන්නට යන බවද ආණ්ඩුව කියයි.
එය කළ යුතු බව සැබෑය. එහෙත් එම ගැටලුව ඇති කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී වසර හයක් ගත වී ඇත. ඒ කාලය තුළ ඒ ගැටලුව නිසා කිසිදු ප්‍රශ්නයක් ඇති වූයේ නැත. එසේ නම් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්නට දින ගණනාවක් තිබියදී ආණ්ඩුව දැන් එය නිවැරැදි කරන්නට වලිකන්නේ ඇයි?
මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය තුළ කුමක් හෝ දහං ගැටයක් සඟවා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් වසරක් හෝ බලයේ සිටින්නට දරන උත්සාහයක් ලෙස විනා මෙම උත්සාහය තේරුම් ගත නොහැකිය. මෙරට දේශපාලන සදාචාරය එබඳුය.
එවැනි උත්සාහයක් නැත්නම් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට සැබවින්ම ඉදිරිපත් වන්නේද? ඉදිරිපත් වන්නේ නම් ඒ ඔහුගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙසද? නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුවේ) අපේක්ෂකයා ලෙසද? ස්වාධීනවද? පොදු සන්ධානයකින්ද? මේ කිසිවක් පැහැදිලි නැත.
එජාප ඉකුත් මාර්තු 10 වැනිදා කුලියාපිටියේ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීය. ‘‘සැබෑම’’ යන තේමාව යටතේ පැවැති එය එම පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැස්වීම ලෙස හඳුන්වනු ලැබීය. ඉන්පසු ජූනි 6 වැනිදා එම පක්ෂයේ දේශපාලන කාර්යාලය කොළඹ අර්නස්ට් ද සිල්වා මාවතේ විවෘත කෙරිණි. ඒ අනුව වික්‍රමසිංහ මහතා එජාප අපේක්ෂකයා ලෙස තරග කරන්නට යන බව පෙනේ. එපමණක් නොව වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවන්නට ඉකුත් පෙබරවාරි 20 වැනිදා ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කෙරිණි.
එහෙත් ඒ අතර හවුලේ මැතිවරණයට මුහුණදීම සම්බන්ධව වික්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් අතර සාකච්ඡා කිහිපයක්ද මෑතකදී පැවැත්විණි. එසේ තිබියදී තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද විටින් විට පැවසීය. ඒ අපේක්ෂකයා වික්‍රමසිංහ මහතා යැයි හැඟෙන ආකාරයේ ප්‍රකාශද එම පෙරමුණේ නායකයෝ කරති. එම පක්ෂ දෙක කුමන ප්‍රතිපත්තිමය පදනමකින් මෙම සාකච්ඡා කරන්නේද යන්න පැහැදිලි නැත. ඇත්ත වශයෙන්ම එක්ව යළි බලයට එන්නේ කෙසේද යන්න ඔවුන්ගේ එකම සාකච්ඡාවකි.
එසේ තිබියදී වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමඟි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 25 දෙනකු දිනා ගතහොත් පමණක් වික්‍රමසිංහ මහතා සමග එක්ව ජනාධිපතිවරණයට මුහුණ දෙන බව පොදුජන පෙරමුණේ නායකයන් කොන්දේසි පනවා ඇති බව පුවත්පත්වල පළවී තිබිණි.
මෙය අපූරු කොන්දේසියකි. මැතිවරණයකදී දේශපාලන පක්ෂ එක්වන්නේ නම් එසේ කළ යුත්තේ රටේ ප්‍රශ්න විසඳීම සඳහා අවම වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගෙනය. මෙතැනදී කරන්නට යන්නේ ප්‍රතිපත්තිමය හෝ වැඩපිළිවෙළක් මත එකඟතාවක් ඇති කර ගැනීම නොව තුන්වැනි පක්ෂයකින් පිරිසක් කඩා ගැනීම මත එකතු වීමය. එය ප්‍රතිපත්ති පසෙකලා කෙසේ හෝ මැතිවරණ ජය ගැනීම් ප්‍රයත්නයකි.
දේශපාලන පක්ෂ වෙනත් පක්ෂවලින් පුද්ගලයන් දිනා ගැනීම වරදක් නොවේ. එහෙත් එය සිදුවිය යුත්තේ ප්‍රතිපත්තිමය පදනමකිනි. මෙහිදී සිදුවන්නට යන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් පුද්ගලයන් දිනා ගැනීමක්ද? නැත. ඇතැම් විට මෙසේ මන්ත්‍රීවරුන් දිනා ගත යුතු වන්නේ වරදාන දීමෙනි. නැතහොත් අනාගත වරදාන පෙන්වීමෙනි. සමහර විට ඊළඟ මැතිවරණයේදී තමන්ට අපේක්ෂකත්වය හෝ ජයග්‍රහණය නොලැබෙනු ඇතැයි සිතන මන්ත්‍රීවරුන් පහසුවෙන්ම මුදලට ගත හැකි වනු ඇත.
මේ අශීලාචාර දේශපාලනය කෙතරම් දුරට සමාජගත වී ඇත්ද යත් එසේ මුදලට හෝ වරදානවලට මන්ත්‍රීවරුන් තමනට නතුකර ගන්නා දේශපාලනඥයන් මෙන්ම එසේ නතු වන මන්ත්‍රීවරුන්ද එය දක්ෂකමක් ලෙස හෝ හපන්කමක් ලෙස වහසි බස් දොඩනු ඇත. එය හරියටම පාර්ලිමේන්තුවේ ආසනයකට හෝ ජනවරමක් නොලැබ එජාපයේ ජාතික ලැයිස්තුවේ තනි මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම දක්ෂකමක් ලෙස හා හපන්කමක් ලෙස වික්‍රමසිංහ මහතාත් එජාපයේ අනෙක් නායකයනුත් විටින් විට උදම් ඇනීම වැනිය. තම නායකයාට ජනවරමක් නැතිවීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. මෙහි ඇති සදාචාර විරෝධී බව සමාජයේ හෝ අඩු තරමින් උගතුන් අතර හෝ සාකච්ඡාවට බඳුන් නොවේ. ජනමාධ්‍ය ඒ ගැන ප්‍රශ්න නොකරයි.
එක් අතකින් ගත් විට, ශ්‍රී ලංකාව සදාචාර විරෝධී වරදාන ව්‍යවස්ථාගත කොට තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් කරනු ලැබිය හැක්කේ ඇමැතිවරුන් 30 දෙනකු පමණි. එහෙත් විශාල පක්ෂයක් හා තවත් පක්ෂයක් එක්ව ගොඩනගන ‘‘ ජාතික ආණ්ඩුවක’’ ඇමැති ධුර සංඛ්‍යාව තීරණය කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසිනි. එනම් ප්‍රායෝගික වශයෙන් ගත් කල බහුතරය ඇති ආණ්ඩු පක්ෂය විසිනි. එවිට සිදුවන්නේ ඇමැති ධුර සංඛ්‍යාව පනහක් දක්වා වුවද වැඩිවීමයි.
එය නිවැරැදි වන්නේ කෙසේද? රටට විද්‍යාත්මක වශයෙන් අවශ්‍ය වන්නේ ඇමැතිවරුන් 30 දෙනකු නම් ඊනියා ජාතික ආණ්ඩුවකදී වුව එය වෙනස් විය යුතු නැත. ජාතික ආණ්ඩුව ගොඩනැගෙන්නේ ප්‍රතිපත්තිමය පදනමකින් නම් එහිදී එකට එක්වන පක්ෂ එම ඇමැති ධුර 30 තමන් අතර බෙදා ගත යුතුය. එයද කළ යුත්තේ ආණ්ඩුවේ පක්ෂවලට කරන සැලකිල්ලක් වශයෙන් නොව ආණ්ඩුවේ අවශ්‍යතා හා අදාළ පක්ෂවල සිටින මන්ත්‍රීවරුන්ගේ විශේෂඥතා දැනුම හා කුසලතා පදනම් කර ගෙනය. අප කතා කරන්නේ දේශපාලන සදාචාරය ගැන නම් එහිදී විශාල පක්ෂයකට වඩා කුඩා පක්ෂයකට ඇමැති ධුර වැඩියෙන් වුවද ලැබිය හැකිය.
එහෙත් සිදුවන්නේ එය නොවේ. ‘‘ජාතික ආණ්ඩුවක්’’ පිහිටුවීම සඳහා ඇමැති ධුර දී ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ අනෙක් පක්ෂ ආණ්ඩුවට එක්කර ගැනීමය. ඇමැති ධුර හෝ අඩු තරමින් වෙනත් වරප්‍රසාද නොලැබේ නම් එම කුඩා පක්ෂ ආණ්ඩුවට එක්වන්නේ නැත. මෙය අල්ලස් මගින් කුඩා පක්ෂ ආණ්ඩුවට එක් කර ගැනීමකි. ඒ සඳහා මහජන මුදල් වැයකොට ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීම ව්‍යවස්ථාව අනුමත කරයි.
එජාප හා පොදුජන පෙරමුණ අතර මෙතෙක් කල් පැවැති සබඳතාව වුවද පැවැත්ම සඳහා ඇතිකර ගත්තක් විනා කිසිදු ප්‍රතිපත්තිමය එකඟතාවක් අනුව ඇති කර ගත්තක් නොවේ. 2022දී එම පක්ෂ දෙක ආණ්ඩුව පවත්වාගෙන යන්නට එක්වීමට පෙර පොදුජන පෙරමුණේ මතය අනුව වික්‍රමසිංහ මහතා බෙදුම්වාදයට ගැතිකම් කරන විදේශ බලවේගවල අවශ්‍යතා සපුරන අයෙකි. එජාපයේ විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග වත්මන් ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන හේතුව යැයිද කීහ. ආර්ථික අර්බුදයට රාජපක්ෂවරුන් තිදෙනකු ඇතුළු පිරිසක් වගකිවයුතුයැයි පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට පසුව මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයකින්ද එම මතය ඉදිරිපත් කෙරිණි.
අනෙක් අතට 2015 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී එජාපයේ ප්‍රධානම පොරොන්දුවක් වූයේ රාජපක්ෂ පාලනයේ දූෂණ පිළිබඳ පරීක්ෂණ කොට වැරැදිකරුවන්ට දඬුවම් දීමයි. ‘‘කවුද හොරා, මහින්ද හොරා’’ යැයි වරක් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප මන්ත්‍රීහු පාර්ලිමේන්තුවේදී එක දිගට සටන්පාඨ කීහ. මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම මුදල් නාස්තියක් බව කියාපෑම සඳහා එජාප නායකයෝ එහි ටික දිනක් වී ගබඩා කළහ.
එහෙත් 2022 දී දෙපාර්ශ්වයේම පැවැත්ම තර්ජනයට ලක්වූ විට ඔවුහු කිසිදු ප්‍රතිපත්තිමය පදනමක් නැතිව කොන්දේසි විරහිතව එක්වූහ. ඉන් පසුද ජාතික සම්පත් විකුණන බවටද ජනතාවට දරාගත නොහැකි අයුරින් බදු පනවන බවටද පොදුජන පෙරමුණට චෝදනා කරයි. එහෙත් බදු හා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය පිළිබඳ ආණ්ඩුවේ යෝජනාවලට සහාය දෙයි. අවශ්‍ය අවස්ථාවලදී පාර්මේන්තුවේදී ඡන්දයද දෙයි.
2022 ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මහතා තරග කළේ සමගි ජනබලවේගයේ සහයෝගය ඇතිවයි. ඒ සඳහා ඔවුන් අතරද බලය ලබා ගැනීමේ එකඟතාවක් විනා ප්‍රතිපත්තිමය එකඟතාවක් නොතිබූ බව පෙනෙන්නේ එම ජනාධිපතිවරණයෙන් පසු ඔවුන් වෙන්ව කටයුතු කිරීම නිසාය. ඉන්පසු ඩලස් අලහප්පෙරුම මහතාගේ නිදහස ජනතා සභාවේ පිරිසක් සජබ සමඟ එකතු වුවද අලහප්පෙරුම මහතා එක් වූයේ නැත. දැන් ඔහුද අන් මාවතක් නැතිව සජබට එක්වන්නට යයි. අඩු තරමින් එතැනදී හෝ රට ගොඩ ගැනීම හා ගොඩනැගීම පිළිබඳව අවම පොදු වැඩ පිළිවෙළක් ඔවුන් ඇති කර ගත් බවක් දැනගන්නට නැත. පෙනෙන්නට තිබෙන්නේ කෙසේ හෝ හිස දියෙන් මතුපිට තබා ගන්නට දරන වෑයමක් පමණි.
තවත් ප්‍රශ්නයක් නම් එජාප හා සජබ එක් නොවී සිටින්නේ කුමන ප්‍රතිපත්තිමය පදනමින්ද යන්නයි. අනෙක් පක්ෂ කෙසේ වෙතත් එම පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය වෙනසක් තිබෙන බවක් නම් පෙනෙන්නේ නැත. 2020 දී එම පක්ෂ වෙන් වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මැතිවරණ ජය ගත නොහැකියැයි දශක දෙකක් තිස්සේ එජාප තුළ ගොඩනැඟුණු මතවාදය නිසාත් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඇති වූ ආරවුල නිසාත්ය. ප්‍රතිපත්තිමය මතභේද නිසා නොවේ.
ප්‍රතිපත්තිමය වෙනස්කම් ගැන කතා කළ කණ්ඩායම් පැවැත්ම සඳහා එක්වීමත් එවැනි වෙනස්කම් නැති කණ්ඩායම් පැවැත්ම සඳහා වෙන්ව සිටීමත් සදාචාරමය වශයෙන් සාධාරණීකරණය කළ නොහැකිය.
රටේ පවතින තත්වය විසින් යම් කණ්ඩායමකට ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් කණ්ඩායමක් සමග තාවකාලිකව එක්ව දේශපාලන ක්‍රියාමාර්ග ගන්නට සිදුවිය හැකිය. කොටි සංවිධානය වෙනම රටකට සමාන‘‘අන්තර් කාලීන ස්වයං පාලන අධිකාරිය’’ යනුවෙන් 2003 දී වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ විට එජාප ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට එකඟ විය. වත්මන් සජබ නායකයන්ද එවිට සිටියේ එජාපයේය. එය පරාජය කරන්නට තමන්ට නොහැකි නිසා ජවිපෙ එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා එජාප පාලනය පෙරළා දැමීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දුන්නේය. එහෙත් ඔවුන් එම ක්‍රියාවලියේදී 2004 මහ මැතිවරණයේදීත් 2005 ජනාධිපතිවරණයේදීත් එජනිස පිළිබඳව ජනතාවට සහතික දීමෙන් කළේ වරදකි. එය තේරුම් ගත් නිසාදෝ දූෂණයෙන් ඉහවහා ගිය මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට 2015දී එජාපයට සහය දෙන විට ඔවුහු එජාප ගැන සහතික දීමෙන් වැළකී සිටියහ.
දේශපාලන සදාචාරය කුමක් වුවත් පොදුජන පෙරමුණට හා එජාපයට නම් දැන් එක්සත්ව මැතිවරණයට මුහුණදීමෙන් තොරව පැවැත්මක් නැත. එහෙත් නායකයන්ට එක්විය හැකි වුවත් ඡන්දදායකයන්ට එක්විය හැකිද යන්න කිව හැක්කේ මැතිවරණයෙන් පසුවය.
(***)
එම්.එස්.එම්. අයුබ්