සමාජය හා නායකත්ව අතර පුඵල් සම්මුතියක් තිබේ. ආගමික, සිවිල් හා දේශපාලන නායකයන් වශයෙන් මෙම සම්මුතියට අදාළව පැතිකඩ ගණනාවකි. නිහඬ කතෝපකථනයක් වන මෙහි පාලකයන් සමග පවත්වන සම්මුතිය, ප්‍රජාතන්ත්‍රවාදී රටකට බෙහෙවින් අදාළය. පාලයකයන් හා ජනතාව අතර වගකීම හා යුතුකම් හා බැඳීම් සම්බන්ධයෙන් ලියා සටහන් නොකරන ලද සම්මුතියක් පිළිබඳ සාක්ෂි මානව ඉතිහාසය තුළ ඇත.
සම්මුතියෙහි පිළිවෙළ, සමාජ අවශ්‍යතා පදනම් කරගෙන කාලානුරූපව පරිවර්තනය වී තිබේ. ප්‍රතිපත්ති, ව්‍යවස්ථා, නීති හෝ සම්ප්‍රදාය ඇතුළු විශාල පරාසයක් ඔස්සේ පැමිණ ඇත. මෑත කාලය තුළ මෙරට පොදු ජනතාව හා දේශපාලන නායකයන් අතර පැවැතිය යුතු සම්මුතිය, සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳවැටී ඇත. එය ශ්‍රී ලංකාවට පමණක් බලපා ඇති කරුණක් නොවේ. ලෝකයේ සෑම රටකට පාහේ පාලකයන් හා ජනතාව අතර දුරස්ථභාවයක් දැකගත හැකිය. සන්නිවේදනයේ දියුණුව සමග පාලකයන් හා ජනතාව අතර පරතරය අඩු වී ඇති බව පෙනෙන අතර ඒ හා සමානව දුරස්ථභාවයක් ද පවතී. එය ජන සමාජ කළඹන බරපතළ හේතුවක් වී තිබේ.
පාලකයන් හා ජනතාව අතර තිබිය යුතුයැයි විශ්වාස කරන සම්මුතිය පළුදුවීම ඉදිරියේ ශ්‍රී ලාංකේය ජන සමාජය මුහුණ දි ඇති ඉරණම මෙහි දී සැලකිය යුතු අවධානයකට ගත යුතුය. දේශපාලන නායකයන් කෙරෙහි සෑම අංශයකින්ම විශ්වාසය බිඳ වැටී ඇත. නරක ප්‍රතිරූපයක් සමාජය තුළ පවතී. ඇතැම් කොටස් දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන තද ස්ථාවරයක පසුවේ. ආර්ථික අර්බුදයකට මුහුණ පා අරගලකාරී තත්වයක් තිබුණ කාලයේ එය පැහැදිලිව පෙනිණ. රටට අවශ්‍ය දිනන්නට පමණක් කල්පනා කරන නායකයන් නොවේ. දක්ෂ කණ්ඩායමකි. කණ්ඩායම් හැඟීමකින් කටයුතු කරන රටට, දැයට හිතවත් පිරිසකි.
නිදහස රදළ පෙළැන්තියකට බාරකිරීමෙන් පසු
පාලකයන් හා ජනතාව අතර පවතින සම්මුතිය යුග ගණනාවකට වෙන්කොට දැක්විය හැක. ස්වදේශිකයන් අතරින් කොටසක් තෝරාගෙන වෙනම පෙළැන්තියක් බිහි කළ අධිරාජ්‍යවාදීහු ඔවුන්ගේ යටත් විජිත පාලන කාලය තුළ ඇති කරගෙන තිබුණ සම්මුතිය වෙනස්ම එකකි. නිදහස ලැබීම සමග අධිරාජ්‍යවාදීන් සමග සමීපව සිටි, අධිරාජ්‍යවාදීන්ගේ භාවිතාව අනුව රට පාලනය කිරීම ආරම්භ කළ රදල පෙළැන්තියේ නායකයන්ට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය පැවැරිණ. නිදහස ලැබීමෙන් පසු වඩාත් අර්ථවත් ස්ථානයකට රට පත්කරගැනීමේ බලාපොරොත්තුවක් මෙරට ජන කොටස්වලට තිබුණි. ව්‍යවස්ථාව, නීතිය හා අධිකරණය, අධ්‍යාපනය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ ක්‍රමය අනුව අලුත් සම්මුතියක් කෙරෙහි අපේක්ෂා ඇති විය. දේශීය නායකයන් ආර්ථික හා සමාජ දියුණුව සඳහා ගත් තීරණ පසු කාලීනව මෙරට ප්‍රජාවගේ සතුටට හේතු වූයේ නැත. ගැටලු උත්සන්න වූ අතර විසඳුම් නොමැතිකම ජාති, ආගම්, පක්ෂ වශයෙන් බෙදුණු දේශපාලනයේ තදබල විවේචනයට හේතු විය. ඡන්ද දිනන සැලැස්මක් සඳහා දේශපාලනඥයන් ආකෘතිගතවීම හේතුකොටගෙන ඔවුන්ගේ ජනප්‍රියභාවය නඩත්තු කරන ක්‍රම ඇතුළු විය. දුප්පත් ජනතාවට සහන සැපැයීම එහි එක පියවරකි’. සහන සඳහා ධනය උත්පාදනය කළ යුතුවේ. බලයට පත්වන ආණ්ඩු ධනය උත්පාදනයට සමත් වූයේ නැත.
කෘෂිකාර්මික යුගයෙන්, කාර්මික යුගයටත් පසුව සේවා හා ඉන් අනතරුව තාක්ෂණික කාල පරිච්ජේදයකට ද ආර්ථිකය හා නිෂ්පාදන ක්‍රම සංශෝධනය වී තිබේ. ක්‍රමවේද නවීකරණය වූ අතර වෙළඳ පොළ කටයුතු ඉතාම සංකීර්ණ තත්වයකට පත්විය. තරගකාරීත්වය හා කාර්යක්ෂමතාව වැනි අංශ සාර්ථකත්වය සඳහා වැදගත් කාරණයක් බවට පත් වූ අතර ලෝකයේ වෙනත් රටවල සිදුවන වෙනස්කම් හා නවීන ක්‍රමවේද සලකා කාලෝචිත පරිදි තීරණ නොගැනීම දුර්වලතාවකි. මේවායෙන් සිදුවූයේ අකාර්යක්ෂම, ගතානුගතික පැවැත්මකට පත්වීමය. උත්පාදන ශක්තිය පිරිහී ගිය අතර එය හේතුකොටගෙන ආර්ථික පීඩනය ඉහළ යන පසු සමාජය නොසන්සුන් වූ බව සඳහන් කළ යුතුව තිබේ. අපේක්ෂා කළ අවස්ථා අහිමිවන පසුබිම තුළ නොසන්සුන්තා වර්ධනය වී කැරළි කෝලාහල හා පසුව මරාගෙගන මැරෙන ත්‍රස්තවාදයක් දක්වා පැතිර ගියේය.
කැරලි කෝලාහල පැනනගින්නට ද පසුබිමක්
අවස්ථා අහිමිවන අතර ජීවත්වීම දුෂ්කර තැනකට පත්වන පසු සමාජය හා පාලකයන් අතර තිබිය යුතු සම්මුතිය තර්ජනයකට ලක්වේ. හැත්තෑ එකේ කැරැල්ල, අසූ හතේ භීෂණය, උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ආරම්භ වී රට පුරා පැතිරුණ භයානක ත්‍රස්තවාදී ක්‍රියා සහ පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අන්තවාදී සිදුවීම් මෙම සඳහන් කරන සම්මුතිය අනතුරට පත්වීමේ තරම දක්වන අවස්ථා බව සඳහන් කළ යුතුව තිබේ. ඒවායෙන් සිදු වූ හානි ශ්‍රී ලංකාව තව දුරටත් ආර්ථිකය දුබල කරන අතර සමාජය දරුණු විසම චක්‍රයකට තල්ලු කර ඇත.
සිද්ධි හටගන්නාවිට එහි අභ්‍යන්තරික පසුබිමක් තිබුණ අතර ඒවා හඳුනාගෙන නිවැරදි කළ යුතුව තිබුණි. යුක්තිය, සාධාරණත්වය ඉල්ලා සිටි අතර පැරණි ගතානුගතික අදහස්වලට ජනතාව එකඟ වූයේ නැත. ධනය ඇති කොටස් පාලකයන් වශයෙන් බලයට පත්ව සමාජය බලාගන්නා සම්මුතිය වෙනුවට තමන්ට ද ආණ්ඩුවේ පාලන තන්ත්‍රයට ඇතුළුවීමටත් තීන්දුගැනීමටත් ඇති අයිතිය තියුණු ලෙස ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ, ඒවායේ ප්‍රධානීන් අලුත් තරුණ නායකයන්ට ඉඩදීම වෙනුවට තමන්ට අවශ්‍ය පුද්ගලයන් තෝරා ඔවුන් නායකයන් ලෙස සලකා පත්කරගැනීමට මහජනතාවට බලකළේය. එය සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටුණ පසු සමාජය තමන්ට ලැබෙන අවස්ථා ගැන සැක පහළ කළේය. පාලකයන් සුඛ විහරණය කරන අතර තමන් දුප්පත්වන බවට ආකල්ප සමාජය තුළ පැතිරිණ.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම සම්බන්ධයෙන් රටවල් අතර වෙනස්කම් ඇත. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බ්‍රිතාන්‍යයේ ක්‍රමවේදවලට වඩා වෙනස්ය. එරට ප්‍රාන්තවල ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපති, නඩු විභාග කරන විනිසුරු, විදුහල්පතිවරයා දක්වා ජනතා ඡන්දයෙන් තෝරාගැනේ. ප්‍රංශයේ ප්‍රජාතන්ත්‍රවාදය මෙයට වඩා වෙනස් විධායක ආකාරයක් ගනී. ප්‍රජාතන්ත5වාදී රාමුව තුළ ව්‍යවස්ථාවට වැදගත් තැනක් හිමි නමුත් බ්‍රිතාන්‍ය පාලනයේ දී සම්ප්‍රදාය ඉහළින් තිබුණි. සමාජය සමග සම්මුතිය වැදගත් සේ සැලකිණ. ඉන්දියාව හෝ සිංගප්පූරුවේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ වෙනස් පැති ඇත. ශ්‍රී ලංකාවට ද තමන්ගේ උරුමය, අතීතය හා බැඳුණු අනන්‍යතාව සමග ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම මුහුණූවරක් අනුගමනය කරන්නට තිබුණි. ජනතා අදහස් අනුව සමාජයේ තහවුරු කරගත යුතු සම්මුතිය ඉහළින් තබා නායකත්ව ගුණාංග සහිත ප්‍රජාන්ත්‍රවාදී ක්‍රම ඇති කිරීමට උනන්දු නොවූ අතර අවසානයේ දී පාලකයන් හා සමාජය අද පවතින දරුණු අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල නශ්ඨාවශේෂ වශයෙන් ඉතිරි කර තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදයේ හරය හා වටිනාකම් ගිලිහී ගිය දේශපාලනය
මහජන නියෝජිතයන් අතරින් බහුතරයක් ස්ථිර ප්‍රතිපත්තියක් නැති, අතිශය දූෂිත හා කොල්ලකාරී කණ්ඩායමක් බව ජනතාව තීන්දු කර තිබේ. එයට හේතු ඇත. බලයට පත් පසු මහජන මුදල් වැය කර ජීවත්වන ආකාරය මහජනතාවගේ පිළිකුලට හේතු වී තිබේ. දේශපාලන පක්ෂ, ඒවායේ නායකයන්, ප්‍රධාන සාමාජිකයන් ගැන පොදුවේ මෙම විවේචනය ඇත.
දේශපාලන පක්ෂයක මතය, ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. නායකයන්ගේ හැසිරීම හේතුකොටගෙන ජනතාව අතරින් වැඩි කොටසක් පක්ෂ ප්‍රතිපත්ති පවා ප්‍රතික්ෂේප කරන තැනක පසුවේ. ප්‍රතිපත්ති වෙනුවට බලය අරමුණු කරගෙන කරන පක්ෂ මාරු කිරීම් හා ලජ්ජාවක් නැති අන්දමට හැසිරෙන, ආත්මාර්ථකාමී දේශපාලනඥයන්, හේතුකොටගෙන දැනට පවතින ක්‍රමය ජනතාවට එපා වී තිබේ. පැරැණි වාද අමතක කර පක්ෂ මාරුකරන, ඉතා ආවේගයෙන් දොස් කියු පක්ෂවලට එකතු වීමෙන් පසු හොඳ කියන්නට වචන වෙනස් කරන පටු අවස්ථාවාදී දේශපාලනය කෙරෙහි බලවත් කලකිරීමට පත්ව ඇත. නිදහස ලැබූ කාලයේ නායකයෝ ගෞරවය දිනාගැනීම සඳහා කටයුතු කළහ. වර්තමානයේ දේශපාලනඥයන් ලාභ සත්කාර සලකා ක්‍රියාකරන ආකාරය වෛරයට පවා හේතු වී ඇත. මෙහි අවසානය කුමක් ද යන්න අවබෝධ කරගත යුතුය. නායකයන්, ජනතාව අතර පවතින සම්මුතිය, එහි බිඳ වැටීමෙන් පසු රටක් පත්වෙන තැන ගැන අවබෝධකරගෙන වහාම තීරණ ගත යුතුය.
යුක්තිය, සාධාරණත්වය හා සමාන අවස්ථා සම්බන්ධයෙන් පාලකයන් හා ජනතාව පවතින පරතරය ගැන ද ප්‍රශ්න මතු වී තිබේ. විනිවිදභාවයක් රහිත තීරණ ඇතැම් හේතුකොටගෙන බලවත් වියවුල් සහගත තත්ව ඇත. දූෂණය, වංචා ගැන කියැවෙන අතිශයෝත්කි අවබෝධ කරගත නොහැකිව සිටී. විශාලතම දූෂණ සිද්ධි ගැන තොරතුරු බලයේ සිටිනවිට අමතක කෙරේ. අධිකරණ ක්‍රියාමාර්ග පවා නැත. ඡන්දයක දී කරන අධික වියදම කලකිරීමට හේතු වී ඇත. රටක ඉදිරියෙන් තිබිය යුතු සාරධර්මවලට ගරු කිරීම, වැඩිහිටියන් වශයෙන් සමාජ ප්‍රගමණය සඳහා ක්‍රියාකළ යුතු ආකාරය බිඳ වැටීමට පසුබිමක් වී ඇත. මෙම වැරදි නිවැරදි කරගත නොහැකි වුවහොත් අවසානයේ දී නැවත වතාවක් රට තුළ විශාල විනාශයක් ඇතිවන අවදානමක් තිබේ. පැවැති අරගලය එයට උදාහරණයකි. එහි ගිනි නිවී නැත. ජනතාව බලකර දක්වන ලද, කරුණුවලට විසඳුම් ලැබුණේ නැත. සාධාරණ අවස්ථා ඇති කරන ලෙස කරන හඩ නොසලකා හැර තිබේ. ආර්ථික අර්බුදය හේතු කොටගෙන නැගී සිටි මෙරට ජන කොටස් නැවතත් ඇවිලවිය හැකි අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති දරුණු අභියෝගයකි.
මැද පන්තියේ ගුප්ත නිහඬතාව
අප සියලු දෙනාම දන්නා කරුණු හේතුකොටගෙන පිරිහී, බෙලහීන වී ඇති දේශපාලන ක්‍රමය ජනතාවට එපා වී ඇත. මහජන නියෝජිතයන් පත් කර ගැනීමේ දී ඡන්දය භාවිත කිරීමට පවා වැඩි උනන්දුවක් නැත. දේශපාලනයට එන හොඳ පුද්ගලයන් පවා එකම මිණුම් දණ්ඩකින් සලකන හෙයින් යහපත් පරමාර්ථ සහිතව දේශපාලනයට එකතුවීම ද අඩු වී ඇත. සම්මුතිය, ගෞරවය හා නායකයන් කෙරෙහි ඇති ළැදියාව තව දුරටත් විනාශවෙමින් තිබේ. දුර්වල පාලන ක්‍රමය තව දුරටත් ආරක්ෂා කරගෙන යාම දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව මිස මහජනතාවගේ වුවමනාව නොවන තැනට පත්ව ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහජනතාව අතර පිළිගැනීමක් නැත්නම් මේ ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යාමේ වුවමනාව කුමක්ද යන්න ප්‍රශ්න කළ යුතුය.
ඕනෑම ආණ්ඩුවක් යමක් කරන ආකාරය ගැන විවේචනයක් තිබේ. නායකයන් ගේ හැසිරීම ගැන ගත හැකි තීරණ ඇත. විවේචනය, අලුත් අදහස් හා ප්‍රායෝගික සැලසුම් දේශපාලන ක්‍රමය නිවැරදි කර අලුත් සම්මුතියක් ගොඩනැගීම අරමුණු කරගෙන ක්‍රියාවට නැංවිම අවශ්‍යය. පරිවර්තනය ඇතිකරන්නට මැද පන්තියේ ජන කොටස්වලට වගකීමක් ඇත. නගරයට පැමිණ, උත්සාහයෙන් ගොඩනැගෙන දරු පවුල් තුළ රට නැවත යථා තත්වයට ගෙන එන කැක්කුමක් ඇත. එය අවදිකර, පෝෂණය කරගත යුතුවේ. රට හදන්නට බැරි අතර අනාගතය සදහා දරුවන්ගේ වෙනත් රටකට යවන්නට සූදානම්වන, අනාගතය කෙරෙහි අවශ්‍යතාවක් ඇති කොටස සමාජය අලුත්කරන තීන්දු ඉදිරියේ ඉතාම වැදගත් පාර්ශවයකි. ක්‍රමය ගැන ඇති කලකිරීම හේතුකොටගෙන ඔවුහු තද ගුප්තභාවයක පසුවන අතර තමන්ගේ දෙයක් බලාගෙන පැත්තකට වෙන පද්ධතියකට කොටු වී සිටිති. ලෝකයේ රටවල් වෙනස් කරන අලුත් අරමුණු හා පරමාර්ථ ඇතිකරන ලද වැදගත් ජන සමාජය මෙවැනි තීරණයක පසුවීම සුදුසු තත්වයක් නොවේ. ආගමික නායකයන්, බුද්ධිමතුන් හා අනුන් ගැන සිතන සියලු දෙනා ඉදිරියට පැමිණිය යුතු අතර රට ගොඩනගන්නට හැකි බලවේගයක් බවට එකතු විය යුතුය.
බටහිර වින්තනය අගය කිරීම හෝ බටහිර වටිනාකම් ගැන සාකච්ඡා කිරීම හෝ සමාජයේ පැවැත්මට වැදගත් නැත. පවතින ක්‍රමය ගැන ඇති කරන විවාදයකින් ඉනික්බිතිව රටට ගැළපෙන අලුත් පාලන ක්‍රමය ගැන තීන්දුවක් ගැනීම අවශ්‍යය. ඉන්දියානු ජන සමාජය ඔවුන්ගේ පාලනය එසේ සකස්කරගෙන තිබේ. සිංගප්පූරුව තමන්ට අනන්‍ය පාලනයක් බිහි කරගෙන ඇත. ශ්‍රී ලංකාව සිය අනන්‍යතාව හඳුනාගෙන රටට තිබුණ උරුමය පදනමක් කරගෙන අලුත් දැක්මක් අනුව සමාජ සම්මුතියකට ගමන් කළ යුතුය. බිඳවැටුණ තැනින් නැගී සිට මැදහත්ව ක්‍රමය සකස්කරගත යුතුය. පවතින සංකීර්ණතා විසඳාගැනීම අපටඇති වගකීමක් වන අතර ලෝකයේ අනෙක් රටකින් විසඳුම් බලාපොරොත්තුවීම වරදකි.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.
(***)