(ජයන්ත සමරකෝන්)
රටේ සමාජ ආර්ථික ප්‍රශ්නවලට නිසි විසඳුමක් නොමැතිකමින් ජනතාව තුළ නැගෙන කෝපය අම්පාර, හා දිගන සිද්ධීන්වලින් පුපුරා ගොස් ඇතැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඊයේ (8) පැවැසීය. එදා ’83 කළු ජූලිය සරල සිද්ධියක් ලෙස සළකා කටයුතු කළ ජේ. ආර්. ජනාධිපතිවරයාට එය
බූමරංගයක් වූ ආකාරය අප අමතක කළ යුතු නැතැයිද බොරැල්ල කොටා පාරේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
සමාජවාදී ජනතා පෙරමුණ විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි. ගුණසේකර මහතා මෙසේද කීය.
’83 කළු ජූලියට අවුරුදු 35ක් පිරෙන අවස්ථාවකදියි මේ සිද්ධිය වෙන්නේ. එදත් මේ ආකාරයෙන්ම තමයි ඒ දේවල් ආරම්භ වුණේ. එදා එම සිද්ධින් සුළු සිදුවීම් ලෙසට සළකා හදිසි තත්ත්වය ඇතිකරන්නට සතියක් පමණ ගතවුණා. එදා ජේ.ආර්. ජනාධිපතිවරයා ජාතිය අමතා කතා කළේ සියල්ල අවසන් වුණාට පසුවයි. එහි විපාක අවුරුදු 30ක් යනතුරුම අපට දරාගන්නට සිදුවුණා. කොමියුනිස්ට් පක්ෂය වශයෙන් මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය ගැන අපි කණගාටු වෙනවා. විපතට පත් ඒ සියලුම දෙනාට දේපළවලට වන්දි ගෙවිය යුතුයි.
මේ කිසිම සිදුවීමක් ඕපපාතිකව සිදුවන්නේ නැහැ. මේ අවස්ථාවේදී පදනම් විරහිත කතා නොකළ යුතුයි. අන්තවාදී කොටස් සිටිනවා. පහුගියකාලයේ ඇතිවූ ආර්ථික බිඳ වැටීම මගින් ජනතාව මත ඇතිකර තිබෙන බලපෑම අවතක්සේරු නොකළ යුතුයි. ආණ්ඩුවේම සංඛ්‍යාලේඛන අනුව ජනතාවගේ ක්‍රය ශක්තිය පුදුමාකාර විදියට අඩුවෙලා. එවැනි අවස්ථාවක සමාජය තුළ අසහනකාරි තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.
ඕනෑම රටක ඛේදවාචකයක් සිදුවන්නේ සරල සිද්ධියකින්. එය බලයේ සිටින රජයට පාලනය කිරීමට බැරි අවස්ථාවක් නම් ඒකට බුද්ධි අංශයක් සිටිනවා. බුද්ධි අංශයේ වාර්තා ගැන ආණ්ඩුව තුළම විවේචන තිබෙන බවද කිව යුතුයි.
අම්පාර සිද්ධිය බුද්ධි අංශය නිවැරැදිව වාර්තාකළා නම් පූර්ව නිගමනයකට ඒමට තිබුණා. ඒත් දිගනට යනතුරු ඒ දේ සිදුවී නැහැ. සිද්ධියක් වුණාට පස්සේ හදිසි නීතිය දාලා හරියන්නේ නැහැ. ඒ වගකීම භාරගත යුත්තේ රජයයි. රජයට බලය දීලා තියෙන්නේ සිවිල් සමාජය ආරක්ෂා කිරීමට. අන්තවාදී කොටස් මේවා වෙන පැත්තකට හරවනවාද දන්නේ නැහැ.
1958 භාෂා ප්‍රශ්නය, 1983 කළු ජූලිය මේවාට හොඳම උදාහරණයි. එදා වමේ පක්ෂ තහනම් වුණා. පක්ෂ නායකයින් අත්අඩංගුවට ගත්තා. ඒ අයගෙන් එක් කෙනෙක් මම. සීඅයිඩී එකෙන් එදා ප්‍රශ්න කරද්දි මේ සිදුවීම පිටුපස ජේ.ආර්. ජයවර්ධන සිටින බවට මට කට උත්තරයක් දුන්නා. ඒක තාමත් සීඅයිඩී එකේ තිබෙනවා. මේ සිදුවන දේවල් දේශපාලනීකරණය කරන්නට එපා. ඒවා රටට අහිතකරයි.
මේක සිවිල් ප්‍රශ්නයක්. ගිනි ඇවිලෙනවා. මෙහිදී දේශපාලනඥයින්ට වගකීම වැඩියි. අපේ ඇමැතිවරුන්ට තමන්ගේ
දිව ප්‍රවේසම් කරගන්නට කියා ඉල්ලා සිටිනවා. මේවා ඉතාම සංවේදී ප්‍රශ්න. මුස්ලිම් ජනතාව සිංහල ජනතාව සමග එකටයි ජීවත් වෙන්නේ. ඒ අය ඇවිස්සෙන ආකාරයෙන් කටයුතු කිරීම අනතුරුදායකයි. එල්.ටී.ටී.ඊ. යුද්ධයක්
අත්විඳ තිබුණට සිවිල් යුද්ධයක් ගැන අපිට අත්දැකීම් නැහැ. එදා 83 කළු ජුලිය ඇවිළුණේ දමිළ ජනතාවට එරෙහිවයි.
අපට විරුද්ධව නැගී සිටියේ තමිල්නාඩුව පමණයි. ඒත් මෙදා මුස්ලිම් ජාතිකයින් සමඟ ජාතිවාදී අරගලයක් ඇතිවුණොත් ඊට එරෙහිව නැගී සිටින්නට ලෝකයේ මුස්ලිම් රටවල් 54ක් තිබෙනවා. මෙය ජාත්‍යන්තර වෙළෙඳාමට, මැද පෙරදිග රැකියා ප්‍රශ්නයට බරපතළ බලපෑම් ඇතිවිය හැකි තත්ත්වයක්. අපේ තේ ගන්නේ මැද පෙරදිග රටවල් බව අමතක කරන්නට එපා. මේ තත්ත්වය අපි තේරුම්ගත යුතුයි. දේශපාලන පක්ෂ වශයෙන් එකට එක්වී මේවාට මුහුණදිය යුතුයි.
එදා ජාතික ප්‍රශ්නයට විසඳුමක් නැති නිසයි මුස්ලිම්, ද්‍රවිඩ පක්ෂ අපේ පක්ෂවලින් වෙන් වෙලා වෙනම බිහිවුණේ. අපි ඔක්කොම එකට සිටියනම් මේ ප්‍රශ්න දුරදිග යන්නේ නැහැ. 1956, 1971, 1983, 1986, 1989 සිද්ධීන්වලට පසුබිම වුණේ සමාජ ආර්ථික ප්‍රශ්නයි. අද වෙන්නෙත් ඒ දේමයි. එක තැන පල්වෙන ආර්ථිකයක් යටතේ මේ සිදුවීම වළක්වන්නට බැහැ. ආර්ථික ප්‍රතිපත්තියක් නැතිවනකොට, වෙළෙඳපොළ කඩා වැටෙන විට, විරැකියාව වැඩිවනවිට
මිනිස්සු වෙනත් ආකාරයකින් විසඳුම් සොයන්නට පෙළඹෙනවා.
එල්.ටී.ටී.ඊ.යට වඩා භයානක ප්‍රතිඵල මේ තුළින් එන්නට පුළුවන්. දැනටමත් මුස්ලිම් රටවලින් පණිවුඩ එනවා. එක්සත් ජාතින්ගේ මහ ලේකම් වරයාත් ඊයේ (7) පණිවුඩයක් එවා තිබෙනවා. 1983 වසරේ කළු ජුලියේදී එ.ජා. මහ ලේකම්වරයා පණිවුඩයක් එව්වේ දින කීපයක් ගිහිල්ලයි. අපි සිටින්නේ 2018 මිස 1983 නොවෙයි. ලෝකය එන්ට එන්ටම පුංචි වෙනවා. ෆේස්බුක් තහනම් කරන්නට පුළුවන්. ඒත් ඒවායේ සීමාවන් තිබෙනවා. සිවිල් සමාජය තුළ ගැටුම් ඇතිවීම හොඳ නැහැ. මෙවැනි අවස්ථාවක ආරක්ෂක හමුදා ඉතා ප්‍රවේශම් විය යුතුයි. එදා වමේ පක්ෂ ගැටුම්කාරී අවස්ථාවලදී එකට සිටියා.
අපේ වගකීම් අපි ඉටුකළ යුතුයි. හදිසි නීතිය වැරැදි විදියට පාවිච්චි නොකළ යුතුයි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේවා තේරුම් ගන්න ඕනෑ. අපට සිවිල් යුද්ධයක අත්දැකීම් නැහැ. සිවිල් යුද්ධයක් ඇතිවුණොත් රටත් ඉවරයි. ඒ නිසා සියලුම පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින්නේ හැඟීම් පාලනය කර බුද්ධියෙන් කටයුතු කරන ලෙසයි. ලංකා සම සමාජ පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
දිගන සිද්ධිය ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණට සම්බන්ධ කරන්නට රජය උත්සාහ කරනවා. ඉන් දේශපාලන වාසි ගන්නට හදනවා. වැරැදි මත ප්‍රකාශ කරනවා. හදිසි නීතිය ඇඳිරි නීතිය වැරැදි විදියට පාවිච්චි නොකිරිම ආණ්ඩුවේ වගකීමක්. පලිගැනීම්, අවස්ථාවාදී දේවල් නොකළ යුතුයි. මෙම සිද්ධිදාමය ගැන සොයා බැලීමේදි පොලිසිය නිද්‍රාශීලීව කටයුතු කළ බව පෙනෙනවා. ඉහළින් ආ නියෝග යක් බවට සැක හිතෙනවා.
ජාත්‍යන්තර වශයෙන් දැනට සාවද්‍ය මතයක් ප්‍රචාරය වෙනවා. මෙය රටට හොඳ නැහැ. සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් හිටපු මන්ත්‍රී රාජා කොල්ලුරේ මහතා මෙසේ කීය. මෙම සිද්ධිය නිසා රටම කම්පා වෙනවා. රටටම බලපා ඇති ප්‍රශ්නයක්. නුවරට පමණක් නොවෙයි. නැවතත් මෙවැනි දේවල් ඇති නොවන විදියට ක්‍රියා කිරීම ආණ්ඩුවේ වගකීමක්. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති ගාමිණි වීරසිංහ, දේශවිමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති ගලගම ධම්මරංසි හිමියෝද අදහස් දැක්වූහ.