ප්‍රාර්ථනා සඵල කරන ආර්ථිකයක්


සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- ජනපති සටනේ අවසන් අදියරට පැමිණ සිටිනවා. පෙර නොවූ විරූ සංකීර්ණ පසුබිමක් ඇති වී තිබෙන මොහොතක ඔබේ ස්ථාවරය කුමක් ද?

පිළිතුර:- මම හිතන්නේ ඔබ කියන සංකීර්ණභාවය ඇති වෙලා තිබෙන්නේ මෙවර ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් ගණනක් ඉදිරිපත් වීම නිසා. ඒ වගේම සියයට 10 ඉක්ම වන අපේක්ෂකයන් කීපදෙනෙක්ම සිටින පළමු ජනපතිවරණය වෙන්නටත් පුළුවනි. සමහර විචාරකයන්ට අනුව ඉතිහාසයේ පළමුවරට දෙවැනි මනාපය ගණින්න වෙන්නටත් පුළුවනි. මගේ නම් අදහස දෙවැනි මනාපයක් ගණින්නට අවශ්‍ය වෙන එකක් නැහැ. පළමු වටයෙන්ම අප ජයග්‍රහණය කරාවි යැයි ස්ථිර විශ්වාසයක් මට තිබෙනවා.

ප්‍රශ්නය:- මේ මොහොත වන විට ජාජබ සහ ජනපති රනිල්ගේ පාර්ශව ගෙනයන මැතිවරණ මෙහෙයුම අනුව බලන විට ඔබ ඔය කියන කාරණා කෙතරම් ප්‍රායෝගික ද?

පිළිතුර:- මා නම් හිතන්නේ මේ වන විට එකම ප්‍රායෝගික මැතිවරණ මෙහෙයුම ගෙනයන්නේ සමගි ජන සන්ධානය බවයි. අපගේ ආර්ථික වැඩපිළිවෙළ වන Blueprint එක දැනට පක්ෂවලින් ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ අතරින් එකම ප්‍රායෝගික වැඩපිළිවෙළ බව ස්වාධීන විචාරකයන්ගේ අදහසයි. ජාතික ජන බලවේගයට හෝ ජනපතිවරයාට හෝ සහය දෙන සමහර විද්වතුන් සහ විචාරකයන් පවා ඒ කාරණය පිළිගන්නවා. මොකද අපි යෝජනා කරන සෑම සහනයකටම අදාළ ආදායම හොයාගන්නේ කොහොමදැයි අපි පැහැදිලිව කියා තිබෙනවා. ඒ වගේම අප කියන වැඩපිළිවෙළට අදාළ කාලරාමුවක් සහිතව ප්‍රකාශ කරලා තියෙනවා. ලංකාවේ කාලරාමුවක් සහිත එකම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තිබෙන්නේ අපි.

ජනපතිවරයා රට කරවන ආකාරය පසුගිය වසර දෙකහමාර තුළ අප දැක්කා. රටේ ණය බර රටේ වෘත්තිකයන් සහ වැඩ කරන ජනතාව මත පටවලා, තමන්ගේ මිතුරු කණ්ඩායමට සියලු‍ සහන දීම තමයි එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය. එතුමාගේ ප්‍රතිපත්ති අප පසුගිය වසර දෙකහමාරේ ප්‍රායෝගිකවම දැකලයි තියෙන්නේ.

අනෙක් අතට ජාජබ ගැන කියනවා නම් ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉතාම ලස්සනයි. එහෙත් ඒවායින් අතිශය බහුතරය ප්‍රායෝගික නැහැ. විශේෂයෙන්ම ඒ යෝජනාවලට අනුව ආදායමත් අඩු කරලා වියදමත් වැඩි කරලා රටක් කරන්නේ කොහොම ද කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක්. ප්‍රායෝගිකව සැලකුවාම ඒ කියන යෝජනා ක්‍රියාත්මක කරන්න වෙන්නෙ නැති බවයි මගේ අදහස. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමග අපේ ඉදිරි ක්‍රියාමාර්ගය මොන වගේ ද, අප ඒ වැඩසටහනේ දිගටම ඉන්නවාද, නැද්ද, යන්න ගැනත් එහි පැහැදිලි පිළිතුරක් නැහැ. මේ අවස්ථාවේ IMF වැඩසටහනෙන් ඉවත් වීම කියන්නෙ රට ආපසු දශක ගණනක් පසුපසට යන තීරණයක් බව ඕනෑම කෙනෙක් දන්නා කාරණයක්. ඒ ගැන පැහැදිලි පිළිතුරක් ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන්නෙ නැහැ. උදාහරණයක් ලෙස එහි කියනවා ජාජබ රජයක් යටතේ වයස අවුරුදු 40ට වැඩි සැම පුරවැසියකුටම සෞඛ්‍ය පරීක්ෂාවක් කිරීමක් ගැන. මේ සඳහා වාර්ෂිකව රු. බිලියන 200ක් වැය වෙනවා. එහෙත් ඒ මුදල හොයාගන්නේ කොහෙන්දැයි සඳහන් වෙන්නෙ නැහැ. ඉතින් මේ කරුණු කාරණා සලකා බලන විට මගේ නම් අදහස ඒ ලියවිල්ල ඉතාම වගකීම් විරහිත සහ ප්‍රායෝගික නොවන ලියවිල්ලක් බවයි.

ප්‍රශ්නය:- මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනතාව හමුවේ පොරොන්දු ගොන්නක් තබා තිබෙනවා. රටේ පවතින ආර්ථික පසුබිම යටතේ මේවා ප්‍රායෝගිකව ඉටු කළ හැකි ද? මොකක්ද ක්‍රමවේදය?

පිළිතුර:- ඔබ අහන්නේ සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන නම්, ඔව්, ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක් එහි තිබෙනවා.

මෙහිදී එක තීරණාත්මක වෙනසක් මා දකිනවා. ඒ තමයි වත්මන් ජනපතිවරයා ළඟ ආර්ථික විද්‍යාඥයන් නැහැ. ජාතික ජන බලවේගය සතුවත් නැහැ. මේ දෙපක්ෂය සමගම ඉන්නේ ආර්ථිකය ගැන බොහොම සරල දැනුමක් තිබෙන උදවිය. වෘත්තීය මට්ටමින් රාජ්‍ය/පෞද්ගලික අංශවල වැඩ කරලා, ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන සමග වැඩ කරලා, බැංකු මෙහෙයවලා, මූල්‍ය ආයතන මෙහෙයවලා පළපුරුද්දක් ඇති කිසිවකු ඒ තැන් දෙකේම නැහැ. ඒක ඔවුන් කරන යෝජනා විශ්ලේෂණය කර බැලු‍වම පැහැදිලිව පෙනෙනවා. මා හිතන්නේ ඉදිරි වසර පහේ අපේ රට බාරදෙනවා නම් ඒ දිය යුත්තේ වෘත්තීය ආර්ථිකවේදීන් ඉන්නා කණ්ඩායමකට පමණයි. එහෙම නොවුණොත් ලංකාව විශාල අනතුරකට මුහුණ දෙනවා. 

ප්‍රශ්නය:- රටේ වියදම් පාර්ශ්වය දෙගුණ තෙගුණ කරන ආකාරයේ පොරොන්දු පත්‍රයක් ඉදිරිපත් කළත්, ක්ෂණිකව මේවා කිරීමට ආදායම් උත්පාදනය කරන්නේ කොහොමද?

පිළිතුර:- පළමුවෙන්ම, අප ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුළ එහෙම වියදම දෙගුණ තෙගුණ වීමක් වෙන්නෙ නැහැ. ඇත්තටම ආදායම්-වියදම් පරතරය අඩු වීමක් සහ අතිරික්තයක් ලැබීමක් තමයි සිද්ධ වෙන්නේ. දෙවැනි කාරණය, අප යෝජනා කරන සහන, දැනටත් දිය හැකි මට්ටමකයි අප ඉන්නේ. මම ඔබට උදාහරණයක් කියන්නම්. කුඩා කුඹුරු ගොවීන්ගේ ගොවි ණය කපාහැරිය යුතු බවට මම යෝජනා කළේ දැන් මාස ගණනකට කලින්. එවෙලේ රජය කිව්වේ එය කිසිසේත්ම කරන්නට බැරි බවයි. එහෙත් ඡන්දය ප්‍රකාශයට පත් කරලා සති කීපයක් ඇතුළත රජයෙන්ම ඒ ණය ක්ෂණිකව කපාහැරියා. රාජ්‍ය සේවක වැටුප් නැංවීම, බදු අඩු කිරීම් ආදියත් එහෙමයි.

ඒ නිසා අප යෝජනා කරන සහන, දෙන්න බැරි සහන නොවෙයි. මේ වන විට ආදායම් බදු, ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා සියයට 45ක් වැඩියෙන් එකතු වෙලා තිබෙනවා. ඒ වගේම රඳවා තබාගැනීමේ බද්ද  සියයට 76ක් වැඩිපුර එකතු වෙලා තිබෙනවා. ඊට අමතරව දිගුකාලීන සැලැස්ම ගැන කියනවා නම් අප යෝජනා කරලා තිබෙනවා DPI  හෙවත් ඩිජිටල් යටිතල පද්ධතියක්. ඒ හරහා සියලු‍ම බදු ගෙවන්නන් සහ සියලු‍ම ගනුදෙනු එක ඩිජිටල් පද්ධතියක් හරහා නිරීක්ෂණය වෙනවා. එමගින් දැනට බදු නොගෙවන පිරිසක් ඊට එකතු වෙනවා වගේම දැනට බදු දැලෙන් ආවරණය නොවන ගනුදෙනු විශාල ප්‍රමාණයකුත් ඊට එකතු වෙනවා. එමගින් අපේ බදු දැල වඩා පුළුල් වෙනවා සහ බදු එකතු කිරීම කාර්යක්ෂම වෙනවා. ඒ වගේම බදු පැහැර හැරීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වගේ ඇහිරෙනවා. ඒ හරහා දැනට රජයට නොලැබෙන විශාල ආදායමක් ලබාගන්න හැකි වෙනවා. මේ ආදායම පාවිච්චි කරලා ජනතාවට සහන දෙන්න කිසිම බැරිකමක් නැහැ.

ප්‍රශ්නය:- බදු සංශෝධන හරහා ජනතාවගේ බදුබර සැහැල්ලු‍ කරන බව කියනවා. එයින් අහිමි වන්නේ රයේ ආදායමයි. එක පැත්තකින් ආදායම අහිමි කරගන්නා විට තව පැත්තකින් වියදම නැංවෙනවා. මෙහෙම රටක් කරන්න පුළුවන් ද?

පිළිතුර:- මේ කාරණා දෙකම  එනම් බදු වෙනස් කිරීම සහ පඩි වැඩිකිරීම යන දෙකම  සඳහා භාණ්ඩාගාරය අනුමැතිය දීල අවසානයි. වැටුප් වැඩි කළේ ස්වාධීන වැටුප් කොමිසමකින්. බදු අඩුකිරීමට එකඟ වුණේ භාණ්ඩාගාරය. වගකිවයුතු විපක්ෂයක් ලෙස අපි එම තීරණවලට අතපොවන්න ගියේ නැහැ. ඔවුන් කියනවා නම් කළ හැකියි කියලා, අපි ඒ සහන සැලසීමට බාධා කරන්නෙ නැහැ. අප යෝජනා කරන්නේ ඊට එහා ගිය වැඩපිළිවෙළක්. අපේ යෝජනා තුළ රාජ්‍ය ආදායම අඩුවීමක් නොවෙයි වැඩිවීමක් තමයි වෙන්නේ. ඒ වැඩිවන ආදායම තුළ තමයි අප කියන සහන දෙන්නට ඉඩක් හැදෙන්නේ. එහි වෙනස වන්නේ, අප රාජ්‍ය ආදායම වැඩි කරන්නේ සාමාන්‍ය පොදු මහජනතාවට පැටවෙන බර අඩු කරලා, බදු ගෙවිය යුත්තන්ට ඒ බර දරන්න සැලැස්වීම මඟිනුයි.

මා ඔබට එක උදාහරණයක් පෙන්වන්නම්. අපි පුද්ගල ආදායම් බද්ද සියයට 1 සිට සියයට 24 දක්වා ගෙන ඒම තුළ මධ්‍යම පාන්තිකයන්ට ලැබෙන සහනය වෙනුවෙන් රු, බිලියන 15ක බදු ආදායමක් අපට අහිමි වෙනවා. එහෙත්, පොදු ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීම නිසාත්, මාසිකව රු. ලක්ෂයේ බදු නිදහස් කාණ්ඩය එලෙසම පවත්වා ගන්නා නිසාත්, අලු‍තෙන් විශාල පිරිසක් බදු ජාලයට එකතු වෙනවා. අපි හිතමු බදු ගෙවන පිරිස සියයට 1කින් පමණක් වැඩි වෙනවා කියල. ඒ වුණත්, එමඟින් ලැබෙන අමතර බදු ආදායම රු. බිලියන 15 ඉක්මවා යනවා. අන්න ඒ ආකාරයටයි අපි බදු සංශෝධනත් කරන ගමන් රාජ්‍ය ආදායම ඉහළ නංවන්නේ. අප යෝජනා කරන බදු සංශෝධන නිසා බදු ආදායම අඩුවෙන්නෙ නැහැ, වාර්ෂිකව රු. බිලියන 170-200 අතර අමතර ආදායමක් රජයට එකතු වෙනවා. එහෙත් අප ගෙනෙන අමතර යෝජනාවලට වැය වන වියදම රු. බිලියන 170ක් පමණයි. ඒ අනුව අප රාජ්‍ය ආදායමේ හිඟයක් නොව අතිරික්තයක් තමයි පවත්වා ගන්නේ. මතක තබාගන්න මේ අතිරික්තය අප සොයන්නේ රටේ වැඩකරන පොදු මහජනතාවට පැටවෙන බදුබර අඩු කරන ගමන්. අත්‍යවශ්‍ය ආහාර මිල අඩුකරන ගමන්. පොහොර මිල අඩුකරන ගමන්. වඩා වැදගත්ම කාරණය, අප ඔක්තෝබර්-නොවැම්බර් මාසවල IMF එක ලංකාවට ආවම, ඔවුන් සමග සාකච්ඡාවට යන්නේ ඉතාම ශක්තිමත් රාජ්‍ය මූල්‍ය පදනමකට අදාළ යෝජනා සමගයි.

ප්‍රශ්නය:- “සැමට ජයක්” සහ Blueprint 3.0 එකිනෙකට වෙනස් බවට චෝදනා නැඟෙනවා. ඇත්තටම රට හදන ප්‍රතිපත්තිය රටට හෙළි නොකරන්නේ ඇයි?

පිළිතුර:- ඇත්තටම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ බ්ලු‍ප්‍රින්ට් එක එකිනෙකට වෙනස් කියා කවුරුන් හෝ චෝදනා කරනවා නම්, ඒ කෙනා මේ ලියැවිලි දෙකෙන් එකක් වත් කියවා නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නට ඕන, එහෙම පරස්පරයක් නැහැ. සැමට ජයක් යනු අපේ සමස්ත, සාකල්යමය (holistic) වැඩසටහන. ජාතික ආරක්ෂාවේ පටන් සෞඛ්‍යය, අධ්‍යාපනය, බලශක්තිය, නිවාස හා යටිතල පහසුකම්, ආදී මේ සියල්ල ආවරණය වන යෝජනා සහ ප්‍රතිපත්ති මාලාව තමයි, ඒ.

එතකොට බ්ලු‍ප්‍රින්ට් එක කියල කියන්නේ මේ සියල්ල කරන්න පුළුවන් වෙන ආකාරයට අපේ ආර්ථිකය හසුරුවන්නේ කෙසේ ද යන්න පැහැදිලි කරන අපේ ආර්ථික ප්‍රතිපත්තියයි. සරලව කෙනකුට මෙහෙම හිතන්න පුළුවනි. අපේ සමස්ත වැඩපිළිවෙළේ ආර්ථික අංගය විහිදුවා ලියන ලද වඩා ගැඹුරු ලේඛනය, අපේ step-by-step ක්‍රියාමාර්ග එකතුව තමයි බ්ලු‍ප්‍රින්ට් එක කියන්නෙ. ඒ නිසා මේ දෙක අතර එවැනි පරස්පරයක් නැහැ.

ප්‍රශ්නය:- දැනට ක්‍රියාත්මක වන IMF ගිවිසුම සංශෝධනය කරන බව කියනවා. එවැන්නක් කිරීම කෙතරම් ප්‍රායෝගික ද? එමෙන්ම එවැනි සංශෝධන රට අනතුරට හෙළීමක් නොවේද?

පිළිතුර:- පැහැදිලිව කියන්නට ඕන, අප දැනට ඉන්නා 18 වැනි IMF වැඩසටහනේ යම් සශෝධන කරන්නට කිසිදු බාධාවක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ වසරේ මුලත් එවැනි එක සංශෝධනයක් කරලා තියෙනවා. මෙහිදී අප කාරණා දෙකක් වෙන් වෙන්ව පැහැදිලි කරගන්නට ඕන. එකක් තමයි අප දැනට ඉන්න IMF වැඩසටහන. දෙවැන්න තමයි ඒකට පාදක වන ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය හෙවත් DSA එක. මේ දෙක දෙකක්. IMF වැඩසටහනේ ඉලක්ක සහ පරාමිතික සංශෝධනය කිරීම ප්‍රායෝගිකයි වගේම අත්‍යාවශ්‍යයි. නොකළ යුතු කාරණය තමයි, DSA එක සංශෝධනය කිරීම. අප දැනට ඉන්නා වැඩසටහනේ පරාමිතික තීරණය වන්නේ 2022 කරන ලදDSA එකට අනුවයි. එතකොට ඒක පැත්තකට දාලා ආපසු මුල සිට විකල්ප DSA එකක් කරනවා කියන්නෙ නිල වශයෙන්ම 18 වැනි IMF වැඩසටහනෙන් ඉවත් වෙලා අලු‍ත් වැඩසටහනකට යනවා කියන එකයි. ඒ කියන්නෙ මේ රටේ ජනතාව පසුගිය වසර දෙකහමාරේම කළ සියලු‍ කැපකිරීම් අපතේ යනවා කියන එකයි. ණය අරගෙන ණය ගෙවාගන්න බැරිව බංකොළොත් වෙලා ඉන්නා රටක්, තමන්ගේ ණය ගැන තමන්ම කරන විශ්ලේෂණයකට තිබෙන පිළිගැනීම මොකක් ද?

අනෙක් අතට ඔවුන් කියන ආකාරයේ අලු‍ත් DSA එකක් / විකල්ප DSA එකක් කරලා එහිදී අපේ ආර්ථික වර්ධනය මීට වඩා වැඩි මට්ටමක් පෙන්නුම් කළොත් එහිදී අපේ ණය කපාහැරීම මීට වඩා අඩුවෙන්නත් පුළුවනි. සමහර විට ණය කපාහැරීමක් නොවෙන්නටත් පුළුවනි. ජාතික ජන බලවේගය කියන්නේ අන්න එහෙම යෝජනාවක්. ඒක නම් ඉතාම අනතුරුදායක වැඩක්. සමස්ත රටේම මූල්‍ය අනාගතය සමග භයානක ඔට්ටුවක් ඇල්ලීමක්. අප කියන්නේ විකල්ප DSA එකක් කිරීම අනවශ්‍ය මෙන්ම අවදානම් වැඩක් බව. ඇත්තටම අරමුණ වෙන්නෙ ජනතාවට සහන දීම නම්, ඒ සඳහා අදාළ බදු ප්‍රතිපත්තියේ වෙනස්කම් කිරීම, මේ දැන් ඉන්න IMF වැඩසටහන තුළ ඉන්න ගමන්ම කරන්න පුළුවනි. ඒකට විකල්ප DSA එකක් කරන්න අවශ්‍ය නැහැ.

ප්‍රශ්නය:- විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තොරව රටට අනාගතයක් නොමැති තරම්. මේ සම්බන්ධව ඔබේ වැඩපිළිවෙළ කුමක් ද? ණය අර්බුදය විසඳන්නේ කොහොමද?

පිළිතුර:- වර්තමාන රජය අපේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ ආකාරය ගැන අපේ පැහැදීමක් නැහැ. ජනපතිවරණයට කලින් “සුබ ආරංචිය” දී ගන්න තිබුණු හදිස්සියට, ඒ සාකච්ඡා වලින් උපරිම පල නෙළා නොගත් බවයි අපේ අදහස.

දැන් වත්මන් ජනපතිවරයාත් මේ සාකච්ඡා සාර්ථකව අවසානයි කියා රටට කීවාට, ඒ ගැන කිසිදු නිල ගිවිසුමක් අත්සන් කර නැහැ. ඇත්තටම එකඟ වුණේ අපේ වාණිජ ණයවලින් යම් කොටසක් සම්බන්ධව පමණයි. අපේ ණයවලින් විශාල කොටසක් තිබෙනවා තවමත් සාකච්ඡා කරලා බේරාගත යුතු තත්වයේ අපට දැනගන්න ලැබෙනවා දැන් තවත් සාකච්ඡා වටයක් ආරම්භ වෙන්න නියමිත බව. අපගේ රජයක් යටතේ ණය හිමියන් සමග සාකච්ඡා මීට වඩා හොඳින් සිදු කෙරේවි.

ප්‍රශ්නය:- විධායක ජනාධිපති ධුරය ස්ථිරවම අහෝසි කරනවද? පුටුවට ගිය බොහෝ අය දුන් පොරොන්දු පුස්සක්ව ඇති අවස්ථාවක නිශ්චිත කාලපරාසයක් තිබෙනවද?

පිළිතුර:- විධායක ජනපති ධුරය ස්ථිරවම අහෝසි කරනවා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. එහි කාලරාමුව ගැන කියනවා නම්, අප යෝජනා කර ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා, ජනතාවට ආර්ථික යුක්තිය ලබා දීලා, රට හරි පාරට ගැනීමේ කාලරාමුව තමයි එකම කාලරාමුව. ආර්ථිකය, ජනජීවිතය, වගේම විධායක ජනපති ධුරය අහෝසි කිරීමත් කාලරාමුවකට අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම විය යුත්තක්. ඒ වගේම ඒක අනිවාර්යයෙන්ම කෙරෙනවා. ඒ ගැන කිසිදු සැකයක් තියාගන්න එපා.

ප්‍රශ්නය:- කොහොම වුණත් මේ යෝජනා, ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීමට ගියහොත් නැවතත් රට අන්තරායකාරී තත්වයකට පත්විය හැකි බවට විද්වත් මත ඉදිරිපත් වෙනවා. ඒ ගැන කියන්නේ කුමක් ද?

පිළිතුර:- ඇත්තටම රට අන්තරායයට පත්වෙන්නේ අපේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් නොවෙයි. ඒවා නොකර සිටියොත්. දැනටත් අපේ රටේ ජනගහණයෙන් සියයට 26ක් ඉන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළ. එනම් දවසකට රු. 500ක පමණ ආදායමක් තමයි ලබන්නේ. 2019 සිට මේ දක්වා පවුල් ලක්ෂ 40ක් අලු‍තෙන් දුප්පත්භාවයට පත්වෙලා ඉන්නවා. ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යපරිමාණ කර්මාන්ත 100,000කට වඩා වැහිල ගිහිල්ල තිබෙනවා.

ඒ වගේම රටේ දරුණු ආදායම් විෂමතාවක් පවතිනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හෙවත් UNDP වාර්තා කරන ආකාරයට, රටේ ඉහළම ධනහිමියන් සියයට 1 කට රටේ සමස්ත ධනයෙන් සියයට 31ක් හිමි වෙද්දී, පහළම සියයට 50 ටම අයිති රටේ සමස්ත ධනයෙන් සියයට 4ක් පමණයි. මේ තත්වය මේ ආකාරයෙන් කිසිසේත්ම ඉදිරියට යන්නට බැහැ. ඒ නිසා දැන් අපි ඉතාම ඉක්මනින්, ඇත්තටම රට හදන වැඩපිළිවෙළකට යන්න කාලය හරි. අප යෝජනා කරන ආර්ථික වැඩපිළිවෙළ වන්නේ, ආර්ථික වර්ධනය වගේම ආර්ථික යුක්තියත් ඉෂ්ට වෙන සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක්.

ප්‍රශ්නය:- අවසාන වශයෙන් ජනතාවට දෙන පණිවුඩය කුමක් ද?

පිළිතුර:- පැහැදිලිවම කියන්න තිබෙන්නේ, රට හදන සැබෑ ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබෙන, එය ක්‍රියාත්මක කරන්නට දැනුම, පළපුරුද්ද තිබෙන කණ්ඩායමක් ඉන්න, ජනතාව ප්‍රමුඛස්ථානයේ තබා තීරණ ගන්න, බලය නැතිවත් ජනතාව වෙනුවෙන් වැඩකරලා පෙන්වලා තිබෙන පක්ෂයක් සහ නායකයෙක් තෝරාගන්න. සැමට ජයක් ලැබෙන සමගි රටක් වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න.

 

(*** සාකච්ජා කළේ - චමින්ද මුණසිංහ)