ප්‍රේත කණ්ණාඩි ගුරාගේ තරුණ ප්‍රේමය


 26--pg4d--rasa--pgs

 

මෙය සත්‍ය වූ සිද්ධියකි. නම් ගම් මනඃකල්පිය.


ඇය නමින් කුසුමා වූවාය. අධ්‍යාපනයෙන්  ඉහළට නොගිය ඇය සමූපකාරයෙහි රැකියාවක නිරත වූවාය. වයස අවුරුදු 21ක් පමණ වූ ඇය පවුලේ බඩපිස්සී වූවාය. මව්පියන් සමග පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයන් දෙදෙනෙකු සිටියහ. අගහිඟකම් කොතෙක් තිබුණ ද පවුලේ සමගිය රජ කරවීය.
ඇය කළු, කෙට්ටු ශරීරයකට හිමිකම ලැබුව ද දැකුම්කලු වූවාය. වැඩපල කිරීමට එතරම් කඩිසර නොවූ අතර භාරදුන් කාර්ය කිරීමට මැළි නොවුණි. එනිසා කාගෙත් සිත් දිනා සිටි ඇය ජීවත් වූයේ ගම්පොල පෙදෙසේ එක්තරා ග්‍රාමයකය.


දිනක් සවස ගොම්මන් වේලාවෙහි නිවසට පැමිණෙන විට බැදපු කඩල සපමින් තනිපංගලමේ පැමිණියේ විශාල වූ සියඹලා ගසක් යටිනි. ඇයගේ ගත ශීතලවී යාමත් සමග යමෙක් ඇඟෙහි ගැටෙන ආකාරය ද දැනුණි. එයින් බියපත් වූ ඇය වරක් පිටුපස බලා නිවසටම දිව ගියාය.

5
එදින රාත්‍රී කෑම ද නොකා නින්දට ගිය ඇයට නිතර සිහිවූයේ සවස සිදුවූ දෙයයි. ඇයට නින්දක් නොමැත. ඇඳෙහි ඒ මේ අත පෙරළුනද නින්දකට යාමක් නොවුනද අතරින්පතර නෙත් පියවුනි. එවිට දුටුවේද අශුභ වූ දසුන්ය. විකෘතිවූ මිනිසුන්, කළු බල්ලන්, තමා දෙසට කඩා පනින බළලුන්ය. එයින් තිගැස්සීමකට ලක්වී අලුයමතෙක් ඒ ආකාරයෙන්ම සිදුවිය.


පසුව දා අවදිවන විට මුළු ශරීරයම තලා ඇති ලෙසට මුළු ගතම වේදනාදීමක් සිදුවිය. එදින තම රාජකාරියට යෑමට ද ප්‍රියතාවයක් නොවුනු හෙයින් නැවත තම සයනයෙහි වැතිරීමට සිත්විය. එවිට මව පැමිණ


“ඇයි පුතේ වැඩට යන්නේ නැද්දැයි ”විමසුවාය.


අද බෑ අම්මා ඇඟට ටිකක් හොඳමදි. උණ හැදෙන්ට වාගේයි පැවසුවාය.


“ඒක තමයි මම කියන දෙයක් අහන්නේ නෑනේ. හැන්දෑවට ඇවිත් නානවා කොණ්ඬේ වේලෙන්නෙත් නැතැයි පවසමින් මව මුළුතැන්ගෙට ගියාය.


එදින සවස් වන විට ඇයට උණ සෑදී තිබුණි. බෙහෙත් රැගෙන බී නින්දට වැටුණද පෙරදින සේම විය. රාත්‍රී දෙඩවීමටද පටන්ගත් අතර පසුව දා තෙල් සාත්තු කර ගෑ පසු එම ගතිය අඩුවී උණ ද අඩුවිය. එහෙත් ඈලි මෑලි ගතිය තිබූ හෙයින් කිසිවෙකු සමග වැඩි කථාබහක් නොවුණි.


තෙදිනකට පසු යළිත් සවස කඩයට ගොස් පැමිණෙන විට සියඹලා ගස අසල දී පෙර සේම වීමෙන් නිවසට දිව යාමට සිදුවිය.


සිදුවූ දෙය මවට පැවසුවාය. අනේ පුතේ බයවෙන්ට එපා. මෙහෙ ඇති යකෙක් නැතැයි ඇය අස්වසාලීමට මව පැවසුවාය.


එදින රාත්‍රියෙහි කුසුමාගේ කෑගැසීමෙන් සියලුදෙනාටම අවදිවීමට සිදුවූ අතර ඇයගේ ඇඳ වටකර “මොකද භය වුණාදැයි විමසීය.” අනේ අම්මා මගේ ඇඳේ මගෙත් එක්ක කළු විකෘති නාකි මිනිහෙක් නිදාගෙන හිටියා. ඒකා මාව අතගෑවා. ඒ නිසයි මට කෑගැහුනේ.


“සබ්බ පාපස්ස අකරනං” ගාථාව කියලා නිදාගන්ට. එතකොට ඔය විකාර පේන්නෙ නෑයි අම්මා පැවසුවාය.


අනේ අම්මා නින්දෙන් නෙමෙයි මේක හැබැහින්මයි වුණේ. මට නින්ද යාගෙන ආවා විතරයි. යනුවෙන් කුසුමා කියන්නට විය. ඇයගේ දෙතොලද වියළී ගොසිනි. මුළු ගතම දාදියෙන් තෙමී ගොසිනි.


“අම්මේ මට වතුර එකක් කියා ඉල්ලා ගත් වතුර වීදුරුව උගුරට දෙකට හිස් කෙරිණි.


අනේ අම්මා මට බයයි අද මගේ ළඟ නිදාගන්න යැයි ඇය කියූ පසු හොඳයි අදට මම නිදාගන්නම් කෝ යැයි මව පවසමින් එදින මව සමග ඇය නින්දට ගියාය. මවට නින්ද ගියද කුසුමාට නින්ද අසලකවත් නොවුනි. එසේ නින්ද යාගෙන එනවිට නැවත ඒ රුව මැවී පෙනුනි.


පසුවදා අසල්වැසි නිවසෙහි දානමය පිංකමක් තිබූ අතර එයට සහභාගීවීමට කුසුමාගේ පවුලේ සියලුදෙනාටම ආරාධනා කර තිබුණි. එයට ඔවුන් සියලුදෙනා සහභාගී වූ අතර බෙරපද දෙක තුන වැයීමට පටන්ගත් විට කුසුමාට හිස රිදීමක් සමග ශරීරයට අමුතු වෙනසක් දැනුනි. ඔක්කාරයද වමනය වීම ඇතිවීමට ගිය බැවින් නැවත ඇය නිවසට දිව ගියාය.


එහෙත් බෙර හඬ ඇසෙන මොහොතක් පාසාම ශරීරයට යම් වෙනසක් දැනුනි. මුළු ශරීරයම ගැහීමක්ද, තද ශීතලද හිසෙහි අමාරුවද එන්න එන්නම වැඩිවුනි. ඇය ඇඳට ගොස් මුළු ශරීරයම වසාගෙන වැතිරී සිටියාය. දාන පිංකම අවසන්වී නිවසට පැමිණි මව “ඇයි පුතේ” යැයි විමසුවාය.


“අනේ අම්මා මට බයයි. බෙර හඬ අහන්ට බෑ. ඇඟට මොකක්ද වෙනවා” යැයි පැවසුවාය.


එදින රාත්‍රියෙහි ඇය දෙඩවීමට පටන් ගත්තාය. මට බඩගිනියි. මට කන්ට මොනවා හරි දීපං, මට බීඩියක් දියං, රා ටිකක් තිබ්බොත් පංකාදුයි, යනාදිය කීමට පටන්ගත්විට මව පැමිණ සාත්තු කර තිබූ තෙල් හිසෙහි ගැල්වූ විට ඇයට නින්ද ගියේය.


පසුවදා ඇය අප වෙත කැඳවාගෙන ආවේය. ඉන් පසු ඇය දිෂ්ටි කළ පසු හිස කරකවා ඇඟ සලිත කරමින් ඇය හඬන්නට විය. ප්‍රශ්න ඇසීම ඇරඹුණේ ඉන් පසුවයි.


කවුද මේ ශරීරයට ඇවිත් ඉන්නේ?


මම, මම, මම කියමින් ගොත ගැසීමට පටන්ගත් විට නැවත සැර කර ඇසුවෙමි.


මට මගේ නම මතක නෑ.


එහෙනම් කවුද මේ ශරීරයට ඇවිත් ඉන්නේ.


මම හිටියේ සියඹලා ගහ ළඟ. එතකොට මේකි කඩල කකා ආවා. ඒ පුලුටු සුවඳට මම හරි ආසයි. මම මේකිත් එක්ක ගෙදර ආවා. මේකි හරි හොඳයි. මම මේකිට ආදරෙයි මට මෙහෙ හොඳයි. මට බඩගිනියි. කන්ට මොකුත් ලැබුණොත් හොඳයි.


හොඳයි කන්ට බොන්ට දෙන්නම්. කවුද මේ ඇවිත් ඉන්නේ?


මම කණ්ණාඩි ගුරා


කවුද කණ්ණාඩි ගුරා කියන්නේ?


මම මේ ගෙවල් පහ හයකට එහා හිටියේ. මම වඩුවැඩ කළේ. හවසට රා බොනවා. බීඩියකුත් පත්තු කරගෙන වැනි වැනී ගෙදර යනවා. මිනිස්සුන්ට තෙලුත් සාත්තු කරදෙනවා.


ඒත් සමහර දවස්වලට රෑට කන්ට දේකුත් නෑ. තනිකඩ මට සලකන්නට කවුරුත් නෑ. ඔහොම බඩගින්නේම මියැදිලා ගිහින් වැටුණේ අසූචි වළකට. ඒකේ ටික කාලයක් ඉඳලා ඔය සියඹලා ගහ යටට ආවා. එතෙන දී තමයි මට මේකි හම්බවුණේ.


පව් කරලා ප්‍රේත ආත්මයක නේද ඉන්නේ?


මම දන්නේ නෑ. ඒත් මට මෙහෙම හොඳයි. මට තනියට තරුණ කෙල්ලෙකුත් ඉන්නවා. මම ඒකිට කැමතියි. මම මේකිට ආදරෙයි. මට යන්ට බෑ.


එහෙම මේ ශරීරයේ ඉන්ට බෑ. යන්ට බැරි නම් පුච්චලා අරිනවා.


අනේ මට මේකිත් එක්ක ඉන්ට දියං.. මට කරදර කරන්ට එපා.


මේ ශරීරෙන් ගියොත් කරදරයක් නෑ. නොගියොත් තමා කරදර කරන්නේ.


හොඳයි හොඳයි මම යන්නම්.


මට හොඳට කන්ට බොන්ට දෙන්නම්.


එහෙනම් දැන් යන්ට පුළුවන් කියූ පසු ඇය පියවි සිහියට පැමිණියාය.


ඉන් පසු සුදුසු දිනයක් බලා යන්ත්‍රය ද සකස් කොට තටුගොටු ආදියද නොඅඩුව සූදානම් කළෙමු.


ඕං බූතාවිලාඩ මුක්කාල් පෙරිය නාරායනේ කුමාර දෙවොල් සෙයියදු උර්ලාඩී පේසු ගිනිගිනී ප්‍රේත දිෂ්ටි වැටී මහා පෘථුවි කැරකැවී අවිචි මැද මරණ කාලී අටමහ නරකය මැද පලා වැදුනි ගිනි ප්‍රේත දිෂ්ටි ලෙස ප්‍රේත තටුව දිෂ්ටි කළ පසු කුසුමා ප්‍රරලය වෙමින් නටාගෙන තටුව අසලට පැමිණියාය. තටුව දෙස බලා බොහෝ ප්‍රීතියට පත්වී අද හොඳයි කෑම හොඳයි යැයි සතුටින් ඉපිල ගියාය.


හොඳයි එහෙනම් මේ බෝජන කැප අරගෙන යන්ට පුළුවන්.


අනේ මගේ කෙල්ල මට දාලා යන්ට බෑ. මම මේ කෙල්ලට ආදරෙයි.


තමුන්ට ඕනෑ සියලු දේ දීලා තියෙන්නේ. ගියේ නැත්නම් පුච්චනවා.


අනේ එපා මම යනවා මම යනවා.


හොඳයි යන කොට මොනාද තියන සලකුණ.


හූ තුනක් තියාගෙන යනවා.


ඉන්පසු තටුව කැප කළ අතර තටුව කැපගෙන හූ තුනක් තියා කණ්ණාඩි ගුරා ගියේය.


කුසුමා පියවි සිහියට එළැඹිණි.


පසුව දෙහි කපා යන්ත්‍ර පැලඳු පසු කණ්ණාඩි ගුරා නැවත නොපැමිණි අතර කුසුමා කිසිවිටෙකත් ගොම්මන් වෙලාවෙහි කඩල කෑමද සියඹලා ගසින් යෑම ද නැවැත්වීය.

m