හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සියවැනි ජන්ම සංවත්සර සැමරුම (1924 -2024) ඊයේට (23) යෙදී තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
බුදුන් වහන්සේ මහරජවරුනට මෙසේ දේශනා කළහ. ‘සාවධානව අසන්න, සාවධානව සවන් දෙන්න’ දැන් මම ඔබ වෙනුවෙන් රට සුරැකීමේ ධර්මය නීතිය පැහැදිලි කර දෙන්නෙමි . සෑම රටකම කෝලාහල ඇතිවන විට විපත් පහළ වන විට මිනිසුන්ගේ නිවාස දේපළහා වාසස්ථාන විනාශ කිරීම පිණිස කොල්ලකරුවෝ පැමිණෙති. පාලකවරුනි ඔබ විසින් මෙම ප්‍රඥා පාරමිතාව පිළිගෙන තබාගෙන කියවිය යුතුය. එවිට විපත් සංසිඳෙනු ඇත.
බුදුසමය සහ දේශපාලන න්‍යාය
මැතිවූ ජේ මුවර් පරිවර්තනය රළුවේ පද්මසිරි හිමි සහ ඩී.ඩී. සේනාධීර
මෙම බෞද්ධ දේශපාලනයට උචිත ලෙස නිදහසින් පසු මේ රට පාලනය කළ ආදර්ශවත් පාලකයා රණසිංහ ප්‍රේමදාස සූරීන්ය. මාලිගාවත්තේ සාන්තබස්තියමේ පුංචි පවුලක උපන් ප්‍රේමදාස මඩ ගොහොරුවක පිපී රටක් සුවඳවත් කළ අගනා මල් කැකුළක් බව එදා කිසිවකු නොසිතන්නට ඇත. එහෙත් තමා ජීවත් වන වටපිටාවේ ජනයාගේ වෙනස හඳුනාගත් ඔහු ළමා අවධියේම තම සහෝදර ජනතාව මුහුණ දෙන අපමණ දුක් දොම්නස් සමනය කරලන්නට තමාට කළ හැකි දේ තෝරා බේරා ගනිමින් ශ්‍රී සුචරිත සමිතිය ආරම්භ කිරීම එතුමා දේශපාලන සමාජ මෙහෙවරට අත පොත් තැබීමකි. තරුණයකු ලෙස සමාජ අසාධාරණයට හා දුප්පත්කමට එරෙහිව හඬ අවදිකළ ප්‍රේමදාස කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට පිවිසුණේය. අනතුරුව මැද කොළඹ අසුන ද ජයගෙන පාර්ලිමේන්තුවට පිවිස උපඇමති, ඇමති, අගමැති, ජනපති දක්වා පැමිණි ගමන මේ රටේ එතෙක් පැවති බොහෝ සමාජ අර්බුද විසඳීමේ ආදර්ශවත් නායකත්වයක ගමන්මගම විය. 1924 ඉපිද 1993 දී අවාසනාවන්ත ලෙස ඔහුගේ ජීවිතය රටට අහිමිවන විට ඔහු මෙරට බිහිවූ ජනප්‍රියම දේශපාලනඥයා බවට පත්ව සිටියේය.
සියවැනි උපත් සැමරුම යෙදෙන මේ අවස්ථාවේ ඔහුගේ මෙහෙවර වඩාත් නිවැරැදිව සාකච්ඡා කිරීම පිණිස ප්‍රේමදාස දස වත විමසා බැලීම වඩාත් යෝග්‍ය වෙයි.
මහපොළොවේ ජනපති
පාලකයා මන්දිරවල ජීවත්වන කල්හි ජනතාවගේ දුක් දොම්නස් නොදැනේ. ජාතක පොතෙහි එන ගන්ඩ තීන්දු ජාතකයේ එවැනි මන්දිර රජෙකු හමුවෙයි. ඔහු ජන දුක නොදැක කටයුතු කිරීමෙන් සමාජය බරපතළ ලෙස පිරිහී කඩා වැටේ. වෙනත් වේශයක් මවා රටේ සැරිසරන විට රටේ කරදර විපත්වලින් පීඩිත වූ සියලු ජනයා සාප කළේ මේ පංචාල රජුන් නැසී විනාශ වේවා යනුවෙනි . මේ දහම දත් රණසිංහ ප්‍රේමදාස කිසිදා කොළඹ මන්දිර ජනාධිපතිවරයකු නොවීය.
ජනපති වූ පසු ද ජනපති ජංගම සේවය අරඹා සියලු රාජ්‍ය නිලධාරීන් කොළඹ කාර්යාලවලින් ගමට රැගෙන ගොස් ජනතාවගේ දහසක් ප්‍රශ්න සමනය කරලූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාය. කිසිදා පාලකයකුගේ අවධානය යොමු නොවූ ඈත ගම්මාන සරුසාර ගම්බිම් ලෙස දියුණු පමුණු කරන්නට එතුමා රාජ්‍ය නිලධාරීන් සමඟ වෙහෙස විය.
බුදු දහමේ ජනපති
බෞද්ධ රටක බෞද්ධ ජන නායකයකු ලෙස එතුමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියෙන් තහවුරු කළ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම අකුරටම ඉටු කළේය. රජ මැදුර බණ මැදුරක් බවට පළමු වතාවට පත් පත්කරගත් එතුමන් සෑම පුර පෝදාම අටසිල් සමාදන් වූ උපාසකයකුව රටේ ජනතාව ද සමඟ ආගමික දිවියට පිවිසුණි. ඇතමුන් මේ ගැන වපරැසින් බලමින් විවේචන කළ ද පුරාණ රජවරුන් රටවැසියා සදාචාරවත් කරගන්නට එවැනි ආදර්ශ ලබාදී ඇති අයුරු පෙනෙයි. එතෙක් ලංකාවේ බෞද්ධ ආගමික කටයුතු විහාරාරාම පරිපාලනය භික්ෂූන්ගේ කටයුතු ඉටු කිරීම සඳහා පැවතියේ සංස්කෘතික දෙපාර්තමේන්තුව පමණි. එය බුද්ධ ශාසන අමාත්‍යාංශයක් බවට පළමු වතාවට පත්කොට කොළඹ අනගාරික ධර්මපාල මාවතේ එය ස්ථාපිත කොට ක්‍රමවත් කරන ලද්දේ රණසිංහ ප්‍රේමදාසය. කොළඹට වඩින භික්‍ෂූන් සඳහා අමාත්‍යාංශය තුළ දාන ශාලාවක් නිර්මාණය කළේ එතුමාය. අද එම අවස්ථා ගිලිහී ගොස්ය.
දළදා වහන්සේ කෙරෙහි දැක් වූ අසීමිත ගෞරවය හේතුවෙන් රන් වියනක් ඉදිකරවා සෙවණ සැලැස්වීමටත් සියලු විහාරස්ථාන නඩත්තු කරලීමටත් පූජා භූමි පිහිටුවා ඒවායේ විදුලි බිල් පවා රජයෙන් ගෙවා දැමීමටත් පියවර ගනු ලැබුවේ රණසිංහ ප්‍රේමදාස යුගයේදීය .
සෙවණ දුන් ජනපති
නිදහසින් පසු බිහි වූ නායකයන් අතරෙහි ශ්‍රී ලංකාවේ නිවාස විප්ලවයක් කළ නායකයා මෙතුමාය. ‘හිසට සෙවණක් හිතට නිවනක්’ සංකල්පය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමට නිවාස ප්‍රශ්නයට මහල් නිවාස සංකල්පය හඳුන්වා දෙමින් විශේෂයෙන් මාලිගාවත්ත මහල් නිවාස ව්‍යාපෘතිය ඇතුළු නිවාස ව්‍යාපෘති ගණනක් එතුමා ආරම්භ කළේය. ‘යට කළ මහ වගුරු බිමකි එහි නැගයෙන නව නුවරකි’ යන දැක්ම මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයෙහි පදනම විය. එවැනි මහල් නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක නොවූයේ නම් අගනුවර ජනයාට වහලුන් ලෙස අද දිනයෙහි වීදිවල ජීවත්වන්නට සිදුවෙනු ඇත. නිවාස ලක්ෂයේ සංකල්පය නිවාස දස ලක්ෂයේ සංකල්පය දක්වා විහිදුවා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජාත්‍යන්තර නිවාස වර්ෂයක් ප්‍රකාශයට පත්කරවා ක්‍රියාත්මක කරවූ එතුමා රට පුරා උදාගම් සකසා දුප්පත් ජනතාවගේ නිවාස ප්‍රශ්නයට ප්‍රමාණවත් විසඳුමක් සලසා දුන්නේය.
කෘතවේදිත්වයේ ජනපති
තමන් ආ ගමන් මග කිසිදා අමතක නොකළ එතුමන් ජනපති වීමෙන් පසුද සුචරිත මැදුර අමතක නොකළේය. එය තමාගේ ප්‍රධාන කාර්යාලය බවට පත්කර ගනිමින් ජනතාවට සමීප පාලකයකු නිර්මාණය කළේය. එසේම රට ජාතිය වෙනුවෙන් කැපවුණු සෑම ක්ෂේත්‍රයකම බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පත් කර ගනිමින් එම ක්ෂේත්‍ර දියුණු කරලීමට අත දුන්නේය. එසේ නැතහොත් ජනපති ලේකම් කාර්යාලයෙහි උපදේශකවරුන් ලෙස පත්කොට ගෙන ඔවුන්ගේ දැනුම රටේ අභිවෘද්ධිය පිණිස යොදාගත් නායකයා රණසිංහ ප්‍රේමදාසය.
වෙලාවට වැඩ කළ ජනපති
ලංකාවේ රාජ්‍ය පාලනයට වෙලාවට නොව වෙලාවටත් කලින් වැඩ කිරීමේ කලාව හඳුන්වා දුන්නේ රණසිංහ ප්‍රේමදාස සූරීන්ය. අලසව කුසීතව සිටි රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය අවදි කළේ එතුමාය . උදෑසන හතරට සුචරිත ශාලාවට පැමිණ ජනතා ගැටලුවලට විසඳුම් සැලසූ එතුමා ඒ වන විට රටේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ද පුබුදුවා ජනතා ප්‍රශ්නවලට විසඳුම් සලසා දුන්නේය . නැහැ බැහැ යන වදන් තම ශබ්ද කෝෂයෙන් ඉවත් කළ යුතු විය. පැවරූ වගකීම් නිසි වේලාවට අවසන් කළ යුතු විය. බිම වැටී සීසී කඩව පැවති මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව ඔසවා ස්ථාපිත කරලීමේ ධෛර්යය පැවති නායකයකු අපට පහළ වීම ආශ්චර්යයකි. එය පෙන්වා දෙන්නේ කළ නොහැකි කිසිවක් නොමැති බව එතුමාගේ දර්ශනය වූ බවයි .
ආයෝජන ජනපති
ජේ.ආර්. ජයවර්ධන පාලන සමය තුළ ලංකාවේ ක්‍රියාත්මක වූ විවෘත ආර්ථික පිළිවෙත හේතුවෙන් විදේශ ආයෝජන විශාල ලෙස වර්ධනය වූ වටපිටාවක ග්‍රාමීය ජනතාවගේ රැකීරක්ෂා ගැටලුව නිරාකරණය කරලීම පිණිස ක්‍රියාවට නැංවූ ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩසටහන එතුමා යටතේ ආරම්භ වූ ලංකාවේ ඉතාම වැදගත් ආයෝජන ව්‍යාපෘතියකි. අද වන විට මේවා බොහොමයක් වැසීගොස් පැවතිය ද ප්‍රේමදාස යුගයෙහි ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් උදාකර ගන්නට මෙය හේතුවිය.
නව පාලනයක ජනපති
ලංකාවේ එතෙක් පැවති සාම්ප්‍රදායික පරිපාලන රටාව යල් පැනගිය බැවින් නව පාලන රටාවක් හඳුන්වා දෙන්නට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය වර්තමානයේ කෙතරම් සාර්ථක වී ඇත්දැයි අපට පෙනේ. දිසාපති, උපදිසාපති පරිපාලන රටාව වෙනුවට දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් තනතුරු පිහිටුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රමය හඳුන්වාදී නගරයේ කච්චේරිය වෙත ගොස් රස්තියාදු වූ දුප්පත් ජනතාවට ගමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සියලු රාජකාරී ඉටුකර ලීමට අවස්ථාව උදා කළේ රණසිංහ ප්‍රේමදාසය. මේවායේ ප්‍රයෝජන ලබන නූතන ජනයා ප්‍රේමදාස චින්තනයෙන් මෙවැනි දේ ලද බව අමතක කර තිබෙයි.
දුප්පතාගේ ජනපති
දුප්පත්කම හොඳින්ම හඳුනාගත් පාලකයා රණසිංහ ප්‍රේමදාසය. නූතනයේ මෙන් තමන් බැබලෙන දේශපාලන ව්‍යාපෘති නොව ලංකාවේ සැබෑම දුප්පතුන් සොයා ඔවුනට ජනසවිය හඳුන්වාදී ස්වාධීනව යැපෙන්නට අවශ්‍ය කටයුතු යෙදුවේ එතුමාය. අතීතයේ සිට ක්‍රියාත්මක වූ හාල් පොතට සමුදුන් එතුමා ජනසවිය දුප්පත්කම වැඩි කරන සහනාධාරයක් බවට පත් නොකොට දරිද්‍රතාව පියවරෙන් පියවර අවසන් කරන සාර්ථක මෙහෙයුමක් බවට පත් කළේය. එමෙන්ම පාසල් දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් ප්‍රදානය අරඹා දුප්පත් මවුපියන්ට සැලසූයේ මහත් සෙතකි. ගම්උදාව වැඩපිළිවෙළ තුළ සහන ලැබුවේ පෝසතුන් නොවේ අහිංසක ජනතාවයි.
මුදල් මැවූ ජනපති
තමන් විසින් දියත් කළ වැඩසටහන් වෙනුවෙන් විශාල ලෙස දේශීය හා විදේශීය ධනවතුන්ගේ ආධාර උපකාර ලබා ගනිමින් ඒවා රට වෙනුවෙන් ආයෝජනය කිරීම එතුමාගේ සංකල්පය විය. ඇතැම් විට එතුමාට ඒ සඳහා බාධා ඇති වූ කල්හි ඒ ගැන කම්පා නොවී සෙවණ අරමුදල පිහිටුවා සෙවණ ලොතරැයිය මගින් ඒ සඳහා ආධාර ලබාගැනීමේ එතුමාන් නිරත විය. මුදල් නැත කියා කිසිදු කාර්යයක් අතපසු නොකළ නායකත්වයට ජනපති ප්‍රේමදාස විශිෂ්ට නිදසුනකි.
පක්ෂය බැබළවූ ජනපති
ජනපති ප්‍රේමදාස නිසා එදා වඩාත් බැබළීමට පත් වූයේ තමන් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයයි. සිරිකොත මන්දිරය එකල කාර්යබහුල ආයතනයක් බවට පත්වූ අතර, රටේ වැදගත් ප්‍රභූන්ගෙන් පක්ෂය බැබළෙන්නට වූයේ මෙම යුගයේදීය. කලාකරුවන්, වෙදුන්, ඉතිහාසඥයන්, ආචාර්ය මහාචාර්යවරුන්, ජෝතිෂඥයන් ආදී බොහෝ ක්ෂේත්‍රවල වියත්හු එකල පක්ෂයේ සාමාජිකයෝ වූහ.
නිගමනය
ජනපති ප්‍රේමදාස කළ සමාජ පෙරළිය බොහෝ දේශද්‍රෝහීහු නො ඉවසූහ. එතුමාට අද්භූත චෝදනා නගමින් පහර දෙමින් විවිධ ප්‍රකාශ පළ කරවමින් එතුමාගේ ධෛර්යය බිඳ දමන්නට ක්‍රියාත්මක වූ දේශීය සහ ජාත්‍යන්තර සංවිධාන රාශියක්ම අපට එකල දැකගත හැකි විය. රටේ බහුතරයක් ග්‍රාමීය ජනතාව ප්‍රේමදාස ජනාධිපතිවරයා වටා රොක් වී සිටීම ද්‍රෝහීන්ට වහකදුරු විය. අවසන ත්‍රස්තවාදි බෝම්බයට බිලි වී ජීවිතය අහිමි කර ගනු ලැබුවේ ජනතාව අතර දී ජනතාව වෙනුවෙන් ම ය. එය එතුමාගේ පරාජයක් නොවුණු අතර එය අපේ රටේ පරාජය ම විය. දුගී දුප්පත් අහිංසක ජනතාවගේ පරාජය ම විය.
උපතින් සියවසක් සපිරෙන මේ මොහොතේ අපි එතුමාට නිර්වාණාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
(***)