1971 අසාර්ථක ජවිපෙ අප්‍රේල් කැරැල්ල සමයේ පන්ති හැඟීමෙන් කටයුතු කළ ජේ.ආර්. එවකට පැවති ශ්‍රීලනිප සමග සහයෝගයෙන් ක්‍රියා කළේය. ඒ ගැන ජේ.ආර්. පිළිබඳව ඩඩ්ලි තුළ වූ සැකය වර්ධනය වන්නට ගත් කල එය යම් පසමිතුරු බවක් බවට පත්විය. යටත්විජිත පාලන සමයේ ලංකා ජාතික කොංග්‍රසය පැවති යුගයේ පටන් දේශපාලන සොයුරන්ව සිටි ඩඩ්ලි සහ ජේ.ආර්. අතර, මෙම තත්ත්වය මත භින්න වීමක් හට ගත්තේය. දෙපාර්ශ්වයම නීතියේ පිහිට පතන්නට ගත් විට තත්ත්වය තවත් උත්සන්න වූයේය. දුර්වල පාර්ශ්වය බිඳී වෙන්ව යන තත්ත්වයක් හෝ දේශපාලන වශයෙන් අකර්මණ්‍ය වන තත්ත්වයක් හෝ පිටතට පෙනී ගියේය.
සේනානායක – ප්‍රේමදාස
ඩඩ්ලි සහ ජේ.ආර්. අතර පරස්පරය මුළුමණින් අර්බුදයක් තරමට මෝදු වෙද්දී සේනානායක සහ ප්‍රේමදාස හටගත් ඊට අඩු මට්ටමේ පරස්පරය වෙනත් ගැටුම්කාරී මට්ටමකට එළඹියේය. ජේ.ආර්.ගෙන් ස්වාධීනව කටයුතු කළ ප්‍රේමදාස පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමක් කරා තල්ලු කළේය. එජාපය එහි සම්ප්‍රදායික රදලවාදී ධනපති ආකල්ප වෙතින් පවිත්‍ර කොට එය පොදු ජනයාගේ පක්ෂය බවට පුළුල් පදනමකින් සකස් කරන්නට ප්‍රේමදාසට අවශ්‍ය වූයේය.
එජාපයට නව පණක් දීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීමට 1970 සැප්තැම්බරයේ විශේෂ කමිටුවක් පත් කරන ලදී. එහි මූලික කාර්ය භාරය ඉටු කළේ ප්‍රේමදාස විසිනි. අදාළ යෝජනා සහිත වාර්තාව ඩඩ්ලි වෙත ඉදිරිපත් කරන ලදුව ඩඩ්ලි එම යෝජනා හමස් පෙට්ටියේ අගුළු ලෑවේය. පක්ෂ අභ්‍යන්තරය තුළ ප්‍රේමදාස මෙම යෝජනා ඉදිරිපත් කළ විට ඒවා ඩඩ්ලිගේ හෝ වෙනත් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සැලකිල්ලට භාජන නොවූ නිසා (ජේ.ආර්ගේ නොව) ඒවා නිෂ්ප්‍රභා කර හැරිණි. මෙම කටයුතු නිසා ප්‍රේමදාස නොසන්සුන් වන්නට පටන් ගත්තේය.
කෝපය දැල්වෙන මට්ටමට පැමිණීම
කෝපය පුපුරා යන මට්ටමට පැමිණියේ 1972 මැයි 15 වැනිදාය. එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී කමිටුව අතර එ්කාබද්ධ රැස්වීමක් එදින කොළඹ දී පැවැත්විණි. ඩඩ්ලි සේනානායක එහි මුලසුන දරද්දී එජාපය ගම් මට්ටමේ පටන් ඉහළට ප්‍රතිසංස්කරණය කළ යුතු බවට රණසිංහ ප්‍රේමදාස යෝජනාවක් ගෙන ආවේය.
ඩඩ්ලි එම යෝජනාව එකහෙලා දැඩි ලෙස ප්‍රතික්ෂේප කොට එම යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමක් කිරීම හෝ ඒ ගැන තවදුරටත් ක්‍රියා කිරීමද නතර කොට දැමුවේය. එවිට කෝපයට පත් ප්‍රේමදාස, ‘‘සර් එහෙනම් මම මොනව කරන්නද? මම පක්ෂය හැරයන්න ඕනද?’’ කියා ඇසුවේය. ඩඩ්ලි එසැනින් පෙරළා පිළිතුරු දුන්නේ, ‘‘ඔව්, තමුන්ට ඉවත්ව යන්න පුළුවනි’’ යනුවෙනි. එසැනින් ඉවත ගිය ප්‍රේමදාස එජාප කෘත්‍යාධිකාරී කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේය. වසර කිහිපයකට ඉහතදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඔහුව පත් කරනු ලැබුවේද ඩඩ්ලි විසිනි.
පුරවැසි පෙරමුණ
ප්‍රේමදාස එජාප කෘත්‍යාධිකාරී කමිටුවෙන් ඉවත්වූ මුත්, පක්ෂයෙන් හෝ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් ඉවත්ව නොගියේය. ඔහු සමස්ත ලංකා පුරවැසි පෙරමුණ නම් ස්වාධීන ජනතා සංවිධානයක් පිහිටුවූයේය. එය හැඳින්වූයේ පුරවැසි පෙරමුණ නමිනි. ගාල්ලේ පැවැති එහි ප්‍රාරම්භක රැස්වීමට හොඳින් සෙනඟ ඇදී ආවෝය. ඉන් අනතුරුව, දකුණු බටහිර, වයඹ, උතුරුමැද සහ සබරගමු පළාත්වල ඇතුළු විවිධ ප්‍රදේශවල ඒ සෑම රැස්වීමකටම විශාල ජනකායක් ඇදී ආහ.
පුරවැසි පෙරමුණ සෙනඟ ඒකරාශී වන ජාතික බලවේගයක් බවට පත්විය. කොළඹ හයිඩ් පිටියේදී 1973 ජනවාරියේ මහා රැලියක් පවත්වන ලදී. ප්‍රේමදාස හැරුණු කොට පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි, පූජ්‍ය වැල්ලේතොට පඥාදස්සි හිමි, ඒ.ඩබ්. මෙන්ඩිස් පියතුමා, සර් සෙනරත් ගුණවර්ධන, සිරිසේන කුරේ, මහාචාර්ය තිලක් රත්නායක, ජේ.ඩබ්. මහකුමාරගේ, බන්දුල ගුණසේකර, කාලිංග ඔබේවංශ, බුද්ධික කුරුකුලරත්න සහ සිනමා නළු ගාමිණි ෆොන්සේකා යන අය රැලිය ඇමැතූහ. දැවැන්ත සෙනඟක් එම රැලියට ඇදී ආවෝය. ප්‍රේමදාස සැලකිය යුතු තරමේ බලවේගයක් වග එයින් පෙනී ගියේය.
ප්‍රේමදාස, සේනානායකට එරෙහිව කැරළි ගසද්දී ඩඩ්ලි - ජේ.ආර්. භේද භින්න වීමද හේතුකොට පැරණි දැවැන්ත පක්ෂය තුන් අතකට බෙදී ගියේය. එහෙත් ඒ තුළ බලාපොරොත්තු නොවූ වර්ධනයක්ද සිදුවිය. ඩඩ්ලි සහ ජේ.ආර්. දෙදෙනා ආරවුල වැඩිදුර යන්නට නොදී පරස්පරතා විසඳා ගත්හ. සුහද සම්බන්ධතා එසේ යළි තහවුරු කර ගැනීම ආරම්භ වූයේ ප්‍රේමදාස කෘත්‍යාධිකාරී කමිටුව හැර ගොස් දින 15ක් ගෙවුණු තැනය.
ඩඩ්ලි සහ ජේ.ආර්.
1972 මැයි 30 වැනිදා ඩඩ්ලි සහ ජේ.ආර්. දෙදෙනා එවකට, එජාපයේ ජාඇල පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජේ. පාරිස් පෙරේරාගේ නිවසේදී හමුවූහ. මුහුණට මුහුණලා විවෘතව කළ සාකච්ඡාවකින් පසු නායකයන් දෙදෙනා සංහිඳියාවට පත්ව රටේත්, පක්ෂයේත් අනාගතය උදෙසා එකතු වී වැඩ කිරීමට එකඟ වූවෝය. ජේ.ආර්. ඩඩ්ලිගේ එකමුතුව විසින් එජාපයේ ජීවගුණය ඉහළට ඔසවා තැබීය. මහජන රැලි අමතමින් ඩඩ්ලි සහ ජේ.ආර්. රට වටා ගියහ. ඒ සෑම රැස්වීමකටම මහා සෙනඟක් ඇදී ආවෝය. ඩඩ්ලි විසින් නොසලකා හරින ලැබූ දුර්මුඛ වූ ප්‍රේමදාස පැත්තකට වී උන්නේය. සිය එජාප සාමාජිකත්වයේ රැඳී සිටිමින් ප්‍රේමදාස පක්ෂයට සමාන්තර සංවිධානයක් ලෙස පුරවැසි පෙරමුණ කටයුතු වර්ධනය කළේය.
1972 සැප්තැම්බර් 10 වැනිදා පුත්තලම, රත්නපුර, නුවරඑළිය, කැස්බෑව ඡන්ද කොට්ඨාසවල අතුරු මැතිවරණය පවත්වන ලදී. ජේ.ආර්. සහ ඩඩ්ලි දෙදෙනාම දැඩි උනන්දුවෙන් එජාපය උදෙසා ප්‍රචාරක කටයුතුවල යෙදුණු අතර ප්‍රේමදාස මැතිවරණ ව්‍යාපාරයෙන් ඈත්ව සිටියේය. නුවරඑළිය, පුත්තලම, කැස්බෑව යන ආසන එජාපය ජයග්‍රහණය කළ අතර රත්නපුර ආසනය ශ්‍රීලනිපයට පැරදුනේය. අතුරු මැතිවරණ ජය එජාපයේ ධෛර්යය වර්ධනය කරන්නක් විය.
ඩඩ්ලි සේනානායක හා ජේ.ආර්. ජයවර්ධන නැවත සන්ධානගත වීම දේශපාලන වශයෙන් එජාපයට වාසි සහගත වූ අතර කරදරකාරී ප්‍රේමදාසගේ ගැටලුව ඒ වන තෙක් විසඳී තිබුණේ නැත. ඩඩ්ලිත් යම් දුරකට ජේ.ආර්. පවා ප්‍රේමදාසට සැලකුවේ මහන්තත්තකමින් යුතු මුරණ්ඩු දරුවකුට සලකන සැලකීමයි. මුලින්ම ඔවුහු පුරවැසි පෙරමුණේ ක්‍රියාකලාපය ඉවසුවේ එය ඍජුවම එජාපයට හරස් නොවී ශ්‍රීලනිප, ලසසප, කොප ඇතුළු සමගි පෙරමුණු රජයට විරුද්ධ බලවේගයක් වූ නිසයි.
සැහැසි ලෙස අභියෝග කිරීම
කෙසේ වුවද ඩඩ්ලි සේනානායකට එරෙහිව ගරුසරුකම් පසෙකලා අභියෝග කිරීමට ප්‍රේමදාස තීරණය කළේය. 1973 මාර්තු 28 වැනිදා ප්‍රේමදාස කාරණා තුනක් සම්බන්ධයෙන් එජාපයේ කෘත්‍යධිකාරී කමිටුවට ලිපියක් ලීවේය. එම ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් 1973 අප්‍රේල් 4 වැනිදා බටහිර කොළඹ රොටරි සමාජය අමතා ඔහු කතා කළේය. එම කතාවේ මාතෘකාව වූයේ ශ්‍රී ලංකාවට සැලැස්මක් යන්නය. රටේ අනාගත දැක්ම සම්බන්ධයෙන් සිය මතය ඔහු එහිදී නිර්භීතව ඉදිරිපත් කළේය. එම දැක්ම බොහෝ එජාප දැවැන්තයන්ගේ සිත් ගත්තක් නොවූයේය.
තම ලිපියෙන් ප්‍රේමදාස කරුණු තුනක් ඉස්මතු කර තිබිණි. ඉන් එකක් නම් එජාපය පක්ෂ සම්මේලනය වසර ගණනාවකින් පවත්වා නොතිබීමයි. අනෙක් කාරණය එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එහි සාමාජිකත්වය අලුත් කිරීමකින් හෝ නිලවරණයකින් තොරව වසර ගණනාවක් පවත්වාගෙන ඒමයි. තුන්වැන්න පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා ක්‍රියත්මක කිරීම ප්‍රගතියකින් තොරව පැවතීමයි.
එජාප කෘත්‍යාධිකාරී කමිටුවට ලිපිය යැවීමෙන් නොනැවතුණු ප්‍රේමදාස එම ලිපියේ අඩංගු කරුණු 1973 මාර්තු 31 සහ අප්‍රේල් 1 දිනවල ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රසිද්ධියට පත්කළේය. එවකට ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ධුරය දැරුවේ ප්‍රවීණ ජනමාධ්‍යවේදී මර්වින් ද සිල්වා ය.
ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය නිසා සිදුවූයේ ඩඩ්ලි කෝප ගැන්වීමට වඩා සිත් රිදවීමට ලක්වීමයි.
එජාපයේ ඩබ්ලි සේනානායකගේ ආදරයට පාත්‍ර වුණු 1924 උපන් දෙදෙනෙක් උන්නේය. එක් අයෙක් 1924 ජූනි 23 උපන් රණසිංහගේ ප්‍රේමදාස ය. අනෙක් තැනැත්තා 1924 අප්‍රේල් 30 උපන් ගාමිණී ජයසූරියයි.
ඩී.බී.එස්. ජෙයරාජ් විසිනි
2023 අප්‍රේල් 12 වැනිදා Daily FT පත්‍රයේ පළවූ Dudley Senanayake's demise and the Premadasa problem ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ.