ප්‍රේමයට සීමා මායිම්, ජාති, කුල, ආගම් භේදයක් නොමැත. එක් අවස්ථාවක සුන්දර වන ප්‍රේමය තවත් අවස්ථාවක බියකරුය. වේදනාකාරීය. අසල්වැසි පාකිස්ථානයේ තරුණියකට පෙම් කරන්නට ගොස් නොකළ වරදකට වසර එකොළහකුත් මාස හයක් සිරබත් කෑමට සිදුවූ ඉන්දියානු තරුණයකු පිළිබඳව බීබීසීය පසුගියදා වාර්තා කළේය.
මුහමඞ් ජාවෙඞ් උතුරු ඉන්දියාවේ රාම්පූර් නගරයේ ජීවත් වූ 22 හැවිරිදි තරුණයකු විය. 1947 දී ඉන්දියාවෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් ලෙස පාකිස්ථානය බිහිවූ අවස්ථාවේ ජාවෙඞ්ගේ ඥාතීන් පිරිසක්ද එරට වැසියෝ බවට පත් වූහ. බොහෝ කලෙකින් නොදුටු තම ඥාතීන් දැක බලා ගැනීමට ජාවෙඞ්ගේ මව වූ අෆ්සානා බේගම්ට අවශ්‍ය විය. ඇය තම පුතු ජාවෙඞ් සමග 1999 දී පාකිස්ථානය බලා ගියේ එම ආසාව මුදුන් පමුණුවා ගැනීම සඳහාය. එහි දී ඥාතියකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා ඔවුන් දෙපළටද ආරාධනාවක් ලැබිණි. මංගල උත්සවයට පැමිණ සිටි තරුණියන් අතර සිටි එක්තරා හුරුබුහුටි තරුණියක කෙරෙහි ජාවෙඞ්ගේ සිත ඇදී ගියේය. ඇය මොබිනාය. පළමු හමුවෙන්ම ඇයට ප්‍රේම කරන්නට පටන් ගත් ජාවෙඞ්හට වරින් වර ඇයගේ නිවෙස කරා යන්නට තම ඥාතීත්වය නිසා බාධාවක් ඇති නොවිණි. තම ප්‍රේමය තවදුරටත් වසං කරගත නොහැකි වූ ජාවෙඞ් මසකට පමණ පසු තමා ඇයට පෙම් කරන බැව් මොබිනාට පැවැසීය. කඩවසම් තරුණයකු වූ ජාවෙඞ් කෙරෙහි ඇගේ සිතද ඇදී ගොස් තිබූ හෙයින් ඇය ඔහුගේ ඉල්ලීමට එකඟ වූවාය.
මොබිනාට දැඩි ලෙස ප්‍රේම කළ ජාවෙඞ් මාස තුනහමාරක පමණ කාලයක් කරච්චියේ නැවතී සිටියේය. මොබිනා ඒ වන විටත් පාසල් අධ්‍යාපනය අවසන් කර තිබුණේ නැත. ජාවෙඞ් තනිව හමුවීමට අවස්ථාවක් ඇයට නොතිබූ හෙයින් පාසල් යන බැව් මව්පියන්ට පවසා උදෑසන නිවෙසින් පිටව ගිය මොබිනා පාසල් ගේට්ටුව අසලදී ජාවෙඞ් හමුවූ අතර දෙදෙනා පාසල අසල තිබූ සිපාරි උද්‍යානයට ගොස් පෙම්බස් දොඩමින් දහවල තෙක් එහි ගත කළහ. යළි පාසල නිමාවන වේලාවට නැවත නිවෙස කරා යන්නට ඇය වගබලා ගත්තාය. පවුලේ ඥාතීන්ට දන්වා ඉක්මනින් ඇය විවාහ කර ගෙන ඉන්දියාවට කැඳවා ගෙන යෑම ජාවෙඞ්ගේ අරමුණ විය.
මොබිනා හැර දමා යාමට නොහැකි වුවද නැවත ඉන්දියාවට යා යුතු වූ හෙයින් ජාවෙඞ් තම මව සමග යළි ඉන්දියාව බලා ගියේය. මොබිනා නොදැක සිටීම ඔහුට මහත් වේදනා ගෙන දෙන්නක් විය. ඔහු ඇය සමග ගෙවන අනාගත ජීවිතය පිළිබඳව සුන්දර සිහින දකිමින් සිටියේය.
ජාවෙඞ්ගේ වෘත්තිය වූයේ රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කිරීමය. තම පෙම්වතිය හා සම්බන්ධ වීමට ඔහුට තිබූ එකම මඟ වූයේ දුරකථනයයි. අද මෙන් ජංගම දුරකථන නොවූ හෙයින් තමා සේවය කළ ස්ථානය අසල තිබූ දුරකථන කුටියකින් දිනපතා ඇයට ඇමතුමක් ලබාගැනීමට ඔහු කටයුතු කළේය. ඒ සඳහා මිනිත්තුවකට රුපියල් 62ක් වැනි අධික මුදලක් දැරීමට ඔහුට සිදු විය. රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කිරීමෙන් උපයන ලද සියලු මුදල් ඔහු විසින් වැය කරනු ලැබුවේ මොබිනාට දුරකථන ඇමතුම් ලබා දීම සඳහාය.
වසරකට පමණ පසු ඔහු නැවත කරච්චි නුවර බලා ගියේ තම පෙම්වතිය දැක ගැනීමට හා තම විවාහය පිළිබඳව මොබිනාගේ මව්පියන් දැනුම්වත් කිරීමේ අරමුණ ඇතිවය. දෙමසක් පමණ එහි ගත කළ ජාවෙඞ් විවාහය සඳහා මොබිනාගේ මව්පියන්ගේ අවසරය පැතූ අතර එයට ඔවුන්ගේ විරෝධතාවක් පැන නැඟුණේ නැත. මොබිනාගේ මව්පියන්හට අවශ්‍ය වූයේ විවාහයෙන් පසු ජාවෙඞ් පාකිස්ථානයේ නතර කර ගැනීමටය. එහෙත් ජාවෙඞ්ගේ මව්පියන්ගේ ආසාව වූයේ ඔවුන් ඉන්දියාවේ වාසය කරනු දැකීමය. මෙහිදී මොබිනා ජාවෙඞ්ගේ මව්පියන්ගේ ඉල්ලීම පිළිගැනීමට කැමති වූවාය. “ඔයා ඉන්දියාවට ගිහින් අපේ විවාහයට අවශ්‍ය වැඩකටයුතු සූදානම් කරන්න. මම මගේ අම්මවයි තාත්තවයි කොහොමහරි කැමැති කර ගන්නම්” යනුවෙන් ඇය ජාවෙඞ්හට පැවසුවාය. ඇයගෙන් සමුගෙන නැවත ඉන්දියාව බලා යන මොහොතේ තමාට නැවත පාකිස්ථානයට පැමිණීමට නොලැබෙනු ඇතැයි හෝ යළි කිසි දිනෙක මොබිනා හමු නොවනු ඇතැයි හෝ ජාවෙඞ් කිසි විටෙක නොසිතන්නට ඇත.
ඉන්පසු ගෙවුණු දෙවසර මුළුල්ලේ ජාවෙඞ් මොබිනා සමග දිනපතා දුරකථනයෙන් පෙම්බස් දෙඩීය. දෙදෙනා අතර පෙම් හසුන්ද හුවමාරු විය. ජාවෙඞ් නොසිතූ අර්බුදයකට මුහුණ පෑවේ මොබිනාගේ පළමු ලිපිය ලද අවස්ථාවේදීය. ඇය ලිපිය ලියා තිබුණේ උර්දු බසිනි. ජාවෙඞ් උර්දු බස කියවීමට හෝ ලිවීමට හෝ දැන සිටියේ නැත. ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලද ඔහු දැන සිටියේ හින්දි බස පමණි. ලිපිය කියවා ගැනීම සඳහා ඔහුට මිතුරකුගේ උපකාරය අවශ්‍ය විය. මිතුරන් කිහිප දෙනකු ඔහුගේ සහයට පැමිණියේය. මක්සූඞ් නම් මිතුරා මොබිනා උර්දු බසින් ලියා තිබූ ලිපිය හින්දි බසට පරිවර්තනය කර දුනි. මුම්ටාස් මියෑන් නම් මිතුරා දෙදෙනාගේ නම්වල මුලකුරු වූ ‘එම් ජේ’ යොදා මුද්‍රණය කරදුන් ලිපි ශීර්ෂවල තාජ් මොහොමඞ් නමැති මිතුරා ජාවෙඞ් හින්දි බසින් ලියා දුන් පෙම් හසුන උර්දු බසට පෙරලා ලියා දුන්නේය. ජාවෙඞ් ආදරයට මොබිනා ඇමතුවේ ගුඩියා නැතිනම් බෝනික්කි කියාය.
මොබිනාගේ ලිපි පිටු දහයකින් පමණ යුතු වූ අතර ජාවෙඞ්ගේ ලිපි පිටු 12ක් පමණ දීර්ඝ විය. ඔහුට ලිපියක් ලිවීම සඳහා දින දොළහක පමණ කාලයක් ගත වූයේ තම සිතැඟි සියල්ල එම හසුනේ කැටිකර යැවීමට ඔහුට අවශ්‍ය වූ බැවිනි. ජාවෙඞ්ගේ හා මොබිනාගේ ආනාගත ජීවිතය පිළිබඳ සුබ සිහින මවමින් කාලය ගෙවී ගියේය. එහෙත් එක්තරා දිනයක ඔවුන් මැවූ සියලු සුබ සිහින බොඳ වී ගියේ ඉන්දියානු ආරක්ෂක අංශ මගින් ජාවෙඞ් අත්අඩංගුවට ගනුලැබීමත් සමඟිනි.දිනය 2002 අගෝස්තු 10 වැනිදාය. සෙනසුරු දිනයක් වූ එදින ඔහු සුපුරුදු පරිදි රූපවාහිනි යන්ත්‍ර අලුත්වැඩියාකරන ස්ථානයේ අලුත්වැඩියාවක නිරතව සිටියේය. කිසියම් පුද්ගලයකු තමා අබියස සිටගෙන සිටිනු දුටු ජාවෙඞ් ඔහු එහි පැමිණියේ මන්දැයි විමසීය. තම රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිතව ඇති බැවින් නිවෙසට පැමිණ එය අලුත්වැඩියා කර දිය හැකිදැයි එම පුද්ගලයා ඔහුගෙන් විමසීය. තමා නිවෙස්වලට ගොස් රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා නොකරන බවත්, මෙහි ගෙන ආවොත් සාදා දිය හැකි බවත් ජාවෙඞ් ඔහුට කීය. එම ප්‍රකාශයෙන් අමුත්තා මහත් කනස්සල්ලට පත් වූ බවක් දුටු ජාවෙඞ් ඔහුගේ නිවෙසට ගොස් රූපවාහිනී යන්ත්‍රය අලුත්වැඩියා කර දීමට එකඟ විය.
අමුත්තා සමග සේවා ස්ථානයේ සිට ඇවිද යන්නට හැකි වූයේ මීටර කිහිපයක් පමණි. ඔහු වෙත කඩාපිනූ පිරිසක් විසින් ජාවෙඞ් අල්ලාගෙන අසල නවතා තිබූ මෝටර් රථයකට බලහත්කාරයෙන් නංවා ගනු ලැබිණි. කිසියම් අපරාධකරුවන් පිරිසක් තමා පැහැර ගන්නට ඇතැයි ජාවෙඞ් සිතුවද ඔහු අල්ලාගත් පිරිස කථාබහ කළ දේ අනුව ඔවුන් පොලිස් නිලධාරීන් පිරිසක් බැව් ජාවෙඞ් වටහා ගත්තේය. ජාවෙඞ්ගේ අත්ඔරලෝසුව හා පසුම්බිය තමන් භාරයට ගත් නිලධාරීහු මොබිනා ඔහුට එවූ ලිපි දෙකක්ද උදුරා ගත්හ. කෑ ගැසුවහොත් වෙඩි තබන බවට තර්ජනය කළ හෙයින් බියට පත් ජාවෙඞ් කිසිදු විරෝධතාවක් නොපෙන්වා නිසොල්මනේ සිටියේය. ඔහුගේ පවුලේ සාමාජිකයන්ද පැහැර ගෙන ඇති බවත්, ඔවුන් වෙනත් මෝටර් රථයක වධ හිංසාවලට ලක්කරමින් සිටින බවත් නිලධාරීහු කියා සිටියහ. තමා කිසිදු වරදක් කර නොමැති බවත්, තමාට අනුකම්පා කරන ලෙසත් ඉල්ලා ඔහු හඬන්නට විය. දෑස් බැඳ දමා කිසියම් ස්ථානයක් කරා රැගෙන ගිය ජාවෙඞ්ගේ දෙනෙත වසා බැඳ සිටි ආවරණය ඉවත් කළ විට තමා හුදෙකලා කුටියකට රැගෙන විත් තිබූ බැව් ඔහුට වැටහිණි. දින තුනක් පුරා දරුණු වධ හිංසාවලට ලක් වීමට ඔහුට විය. සිරුර තැලී නිල් පැහැ ගැන්වෙන තෙක් පහර වැදිණි. හිස පහතට සිටින සේ එල්ලා ජලය පිරුණු කල්දේරමක වරින් වර හිස ගිල්වමින් ප්‍රශ්න කෙරිණි. තව දුරටත් වධ හිංසා දැරිය නොහැකි වූ ජාවෙඞ් තමා මරා දමන මෙන් එම පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියේය.
පාකිස්ථාන බුද්ධි අංශයට ඔත්තු සැපයූ පුද්ගලයකු ලෙසට ඉන්දියානු ආරක්ෂක අංශ ඔහු සැක කොට තිබිණි. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් පාකිස්ථාන බුද්ධි අංශයට ලබා දුන් බවට ඔහුට චෝදනා එල්ල විය. දින තුනකට පසු රාම්පූර් කරා රැගෙන එනු ලද අතර ඔහු වෙනුවෙන් පෙම් හසුන් ලියූ මිතුරන් තිදෙනාද ඒ වන විට අත්අඩංගුවට ගෙන තිබිණි. ‘ඉන්දියාවට එරෙහිව යුද වැදීමට කටයුතු කළ භයානක ත්‍රස්තවාදීන්’ ලෙසින් මාධ්‍යයට හඳුන්වා දුන් මොවුහු සිවුදෙනා ඉන්දීය අධිකරණය හමුවට පමුණුවන ලද්දෝය.
ජාවෙඞ් දෙවරක් පාකිස්ථානයට ගියේ පාකිස්ථාන බුද්ධි අංශ නිලධාරීන් හමුවීමට බවත්, ඔහු මොබිනාට දුරකථන ඇමතුම් ලබා දෙන මුවාවෙන් ඉන්දියානු රහස් පාකිස්ථානයට ලබාදීමට කටයුතු කර තිබූ බවටත් ආරක්ෂක අංශ අධිකරණයට කියා සිටියේය.
මාස එකහමාරකට පමණ පසු පැවැති නඩු විභාගයේදී ඉන්දියානු ත්‍රස්ත මර්දන නීතිය යටතේ ඔවුහු සිරගත කෙරුණාහ. එම නීතිය යටතේ ඇප ලබාගැනීමට නොහැකි වන අතර චෝදනා සනාථ වුවහොත් මරණීය දඬුවමට යටත් කෙරේ. තමා අත්අඩංගුවට ගැනුණේ කුමන වරදක් සඳහාද යන්න පිළිබඳ වැටහීමක් ජාවෙඞ්හට නොවීය. සිරමැදිරියේදී ඔහුට දැන ගැනීමට ලැබුණේ කාගිල් ගැටුම් හේතුවෙන් පාකිස්ථානයේ සංචාරය කරන ඕනෑම මුස්ලිම් තරුණයකු සැකකරුවකු ලෙසින් සැලකෙන බවය.
ජාවෙඞ් රඳවා තිබුණේ රාම්පුර් සිරගෙදරය. තමන් අනතුරේ වැටුණේ ජාවෙඞ් තමන්ගේ නම් පොලිසියට ලබා දීම හේතුවෙන් යැයි පැවසූ ඔහුගේ මිතුරෝ තිදෙනා ජාවෙඞ් අත්හැර දැමූහ. ජාවෙඞ්හට ජීවත් වීම සඳහා තිබූ එකම අරමුණ වූයේ මොබිනා පිළිබඳ වූ මතකය පමණි. ඔහු සෙසු සිරකරුවන් සමග මොබිනා පිළිබඳ තොරතුරු කීවේය. ඔවුන් දෙදෙනා හමු වූ අයුරු, ඇයගේ හුරු පුරුදු, ඔහු ඇය වෙත ගිය අවස්ථාවල ඇය කළ විහිළුතහළු ආදිය පිළිබඳව ජාවෙඞ් තම සහෝදර සිරකරුවන් හා පැවැසීය. එම සුන්දර මතකයන් සිරගෙදරදී ඔහුගේ අපේක්ෂා දල්වාලූයේය.
තම පුත්‍රයා සිරගතව සිටි කාලය ජාවෙඞ්ගේ මව්පියන්ට ඉතා අසීරු කාල වකවානුවක් විය. තම පුත්‍රයා මුහුණ දුන් අවාසනාව සම්බන්ධයෙන් ජාවෙඞ්ගේ මව වන අෆ්සානා බේගම් තමාටම චෝදනා කර ගත්තාය. ඥාතීන් බලන්නට පාකිස්ථානයට යෑම සඳහා තමා ඔහුට බල නොකෙළේ නම් ඔහු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවනු ඇතැයි පවසමින් ඇය හඬා වැටුණාය. නඩුව සඳහා වියදම් කිරීමට සහ නීතිඥ ගාස්තු ගෙවීම සඳහා තම ඉඩකඩම් සහ පවුලේ ස්වර්ණාභරණ සියල්ල විකුණා දැමීමට ඔහුගේ පියාට සිදු විය.
අවසානයේ ඔහුට එරෙහි කිසිදු චෝදනාවක් සනාථ කිරීමට නොහැකි වූ බැවින් 2014 ජනවාරි 19 වැනි දින අධිකරණය මගින් ජාවෙඞ් නිදොස්කොට නිදහස් කරනු ලැබිණි.
“මම අධිකරණ ශාලාවෙන් එළියට පැමිණෙන විට ඇත්තටම මා සිරගෙදරින් නිදහස් වුණා දැයි යන්න අදහාගත නොහැකි වුණා. එහෙත් මගේ ජීවිතයෙන් තුනෙන් එකක් මට අහිමි වුණා. ඔවුන් මගේ ජීවිතයේ සුන්දරම කාලය මගෙන් උදුරා ගත්තා” නිදහස ලැබීමෙන් පසු ජාවෙඞ් පවසා තිබිණි.
තම නිවෙස ආසන්නයේ රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කරන ව්‍යාපාරයක් ආරම්භ කළ ජාවෙඞ් ගත වූ දෙවසර මුළුල්ලේ තම ජීවිතය යළි ගොඩනඟා ගැනීමට උත්සාහ දරමින් සිටී. ඔවුන් තමාගෙන් උදුරා ගත් ජීවිතය වෙනුවෙන් කිසිදු වන්දියක් හෝ නිරපරාදේ තම ජීවිතය අඳුරේ හෙළුෑ පුද්ගලයන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් හෝ නොගැනීම සම්බන්ධයෙන් ඔහු තුළ ඇත්තේ කෝපයකි. නිදහස ලැබීමෙන් පසු ඔහුට මොබිනා පිළිබඳ කිසිදු තොරතුරක් දැනගත නොහැකි විය. මේ වන විට ඇය විවාහ වී ඇතැයි ජාවෙඞ් සිතා සිටී. “මා ඇයට තවමත් ආදරෙයි. ඒත් මේ වෙන කොට ඇය විවාහ වෙලා ඇති. මගේ මනසින් ඇය අමතක කරන්නට උත්සාහ කරනවා. ඒත් මගේ හදවතින් ඇය කිසිදාක ඉවත් වන්නේ නැහැ. ඇයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න මට බයයි. නැවත වරක් මාත් මගේ පවුලේ අයත් අනතුරේ හෙළන්නට මට අවශ්‍ය නැහැ.” යනුවෙන් ජාවෙඞ් පවසා තිබිණි.
වසර එකොළහකුත් මාස හයක් මුළුල්ලේ තමන් නොකළ වරදකට සිරබත් කෑමට සිදුවූ ජාවෙඞ් මේ වන විට 33 හැවිරිදිය. ඔහුගේ තුරුණු විය, දේපළ මෙන්ම සියල්ලට වඩා පූජනීයත්වයෙන් සැලකූ ප්‍රේමයද අහිමිකරනු ලැබිණි. මෙවැනි ව්‍යාජ චෝදනා යටතේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි සිරදඬුවම් විඳින මුස්ලිම් තරුණයන් විශාල පිරිසක් සිටින බවට වාර්තා වෙයි.