එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලියක් වන “සිව සේනා” කල්ලිය විසින් නිවේදනයක් නිකුත්කර තිබුණේ හින්දු ආගම මේ වන විට විවිධ තර්ජනවලට ලක් වෙමින් තිබෙන බවට හඬක් නගමිනි. උතුරු පළාත් හිටපු මහ ඇමති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේස්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීගේ සන්ධානයෙන්ද දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ යෝජනාව අනුමත කළ බවට වාර්තා තිබිණ.
එහෙත් ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ හින්දු ආගම වෙනුවෙන් පෙනී සිට නැත. ඔවුන්ගේ දේශපාලනය වූයේ දෙමළ භාෂාව කතා කරන, උතුරු-නගෙනහිර සිය වාසභූමිය යැයි සලකන ජනතාව වෙනුවෙන් ඒ පළාත් සඳහා දේශපාලන බලයක් ඉල්ලා සිටීමය. හින්දු අපේක්ෂකයකු සම්බන්ධ වත්මන් කතාව තේරුම් ගැනීමට නම්, කතාව ආරම්භ කළ යුත්තේ 2005 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත් කිරීමේ සිංහල-බෞද්ධ වේදිකාවේ සිටය.
ශ්‍රී.ල.නි.ප සමග පොදු පෙරමුණ 2005 ජනාධිපතිවරණය සඳහා ඔවුන්ගේ අපේක්ෂකයා තෝරා ගැනීමට පොර බදන අවදියේද එ.ජා.ප අපේක්ෂක රනිල් වික්‍රමසිංහට උතුරු-නැගෙනහිර දෙමළ ඡන්ද අති බහුතරයක් ලැබීමේ වාසිය තිබිණැයි පොදු පිළිගැනුමක් තිබිණ. එහෙත් බටහිර රටවල පුරවැසියන් වූ ලංකාවෙන් පිටත සිටින දෙමළ ප්‍රජාවට අවශ්‍යව තිබූයේ රනිල්ගේ ජයග්‍රහණයක් නොව, දෙමළ ඊළම ජය ගැනීමය. මහින්ද රාජපක්ෂ සිංහල-බෞද්ධ ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් දෙමළ ජනතාවට සාකච්ඡා මගින් විසඳුම් නොලැබෙන්නේ යැයි එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් සමග දෙමළ වාස භූමිය වෙන්කර ගැනීමට හැකි යැයි ඔවුන්ගේ තර්කය විය. ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් යුද වදින ප්‍රභාකරන්ගේ දේශපාලනය සමග මේ හිතුවක්කාර දේශපාලනය කදිමට සමපාත වූවකි.
ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර ඡන්දය වර්ජනය කිරීමට ප්‍රභාකරන් තීන්දු කළ හෙයින් මහින්ද රාජපක්ෂ සියයට 50.29 ක ඡන්ද ප්‍රතිශතයක් සමග ජනාධිපති විය. ඔහුගේ වැඩි ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1,80,000 ට මඳක් වැඩි විය. එහෙත් උතුරු-නැගෙනහිර පමණක් ඡන්ද වර්ජනය කළ සංඛ්‍යාව 10,20,000 කි.
ලංකාවෙන් පිටත සිටින දෙමළ ප්‍රජාව නොදන්නා ලාංකීය දේශපාලනය වූයේ දැඩි සිංහල-බෞද්ධ මතවාදී දේශපාලනය වෙනුවෙන් පත් කෙරෙන නායකත්වය යුද්ධයේ මිල නොතකා අවසානයක් දක්වාම යුද වදින බවය. ඔවුන් නොදත් අනෙක් කාරණාව වූයේ හොඳ පුහුණුවක් ලැබූ වඩාත් දක්ෂ, සටන් අත්දැකීම් තිබූ එල්.ටී.ටී.ඊ නායකයන් 2002 සටන් විරාම ගිවිසුම සමග වසර 06 ට වැඩි කලක් කාර්යාලීය ජීවිතයකට හුරුවූ වයස අවුරුදු 50 ට ආසන්න හෝ වැඩි පරිපාලකයන් බවට පත්ව සිටියෙන් සටන් අත්දැකීම් නොතිබූ තරුණ සටන්කරුවන්ට යුද පිටියෙහි නායකත්වය දිය හැකි තත්වයක ඔවුන් නොසිටි බවය. එවගේම නිව්ෙ යා්ක් නුවර 9/11 දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජනාධිපති බුෂ් ඔහුගේ යුධ න්‍යාය පත්‍රය ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව මුදා හැර තිබූ බවය. රාජ්‍ය නොවන සියලු සන්නද්ධ කණ්ඩායම් “ගෝලීය ත්‍රස්තවාදය” ලෙස නම් කෙරුණු අතර යුරෝපයේත් උතුරු ඇමෙරිකාවේත් ඉන්දියාව හා ඕස්වට්‍රේලියාව ඇතුළු රටවල් 35 ක තහනම් කර තිබූ එල්.ටී.ටී.ඊය ඉන් අත් නොහැරෙන බවද ඔවුන් තේරුම් නොගත්තකි.
දෙමළ ‘පිටමං’ ප්‍රජාවගේ බරපතළ දේශපාලන වැරදීම් සමග 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊය සහමුලින් සමූල ඝාතනය කෙරුණු විට දෙමළ ජනතාවට ඉතිරි වූයේ විලාප ලන මිනිස් ඛේදවාචකයක් පමණි. උතුරු-නැගෙනහිර දෙමළ සමාජය මත ඡන්ද වර්ජනය පැටවීමේ අවසන් ප්‍රතිඵලය වූයේ එල්.ටී.ටී.ඊයත් නොමැති, හරියාකාර දෙමළ දේශපාලන නායකත්වයක්ද නොමැති දේශපාලන රික්තයක උතුරු-නැගෙනහිර ජනතාව අතරමං කිරීමය. ඒ වනවිට දෙමළ ජාතික සන්ධානයට ඉතිරිව තිබූයේ එල්.ටී.ටී.ඊ නායකත්වයට යටත්ව පැවති ප්‍රාදේශීය සම්බන්ධකම් ගිලිහුණු ඉතා දුර්වල සංවිධානයක් වශයෙනි.
මේ මහා විනාශයට තමන්ද හවුල්කරුවන් යැයි වගකීම් බාර ගැනීමට සූදානම් නොවුණු දෙමළ පිටමං ප්‍රජාව, ඒ වෙනුවට යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා රාජපක්ෂලාට දඩුවම් කිරීම ප්‍රධානම හා වැදගත්ම අවශ්‍යතාව ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ඇමෙරිකාවේ අනුග්‍රහය ඇතිව ගෙනෙනු ලැබූ යෝජනා ඉස්මතු කරන්නට වූහ. දෙමළ සමාජයේ මැතිවරණ දේශපාලනයද හරියාකාරව ගොනුව නොතිබූ වටපිටාවක දෙමළ ජාතික සන්ධානයද වැඩි ඝෝෂාවක් තිබූ දෙමළ පිටමං ප්‍රජාවගේ දේශපාලනයට යටත් විය. ඊට තවත් හේතුවක් වූයේ කොළඹ සිට මානව හිමිකම් කොමිසමේ යෝජනා ගැන කතා කිරීම වඩා පහසු වීමය.
මේ අතරතුර, යුද්ධය අවසන්වී හරියටම අවුරුද්දක් ගෙවෙන විට 2010 මැයි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කීර්තිමත් නීතිවේදියකු වූ හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සී.ආර්. ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් “උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම” යැයි ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබුවේය. 2002 අත්සන් තැබුණු සටන් විරාමයේ සිට උතුරු-නැගෙනහිර දේශපාලන ආරවුල් යුද්ධයකින් අවසන් කිරීමට සිදුවීම ගැනත් නැවත එවැනි ඛේදවාචකයක් නොවන්නට ආයතනික, පරිපාලනමය හා නීතිමය වශයෙන් ගත යුතු පියවරත් වාර්ගික එක්සත්කම වෙනුවෙන් ගත යුතු පියවර සබම්න්ධවත් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම එහි වගකීම විය.
එම කොමිසම ගැන මෙයද කිව යුතුය. එය ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරනු ලැබුවේ දෙමළ පිටමං ප්‍රජාව ප්‍රමුඛ බටහිර බලවතුන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නගන චෝදනා සඳහා ස්වාධීන දේශීය විසඳුම් ක්‍රියාවලියක් ආරම්භකර ඇතැයි කීමට පමණි. එහි නිර්දේශ ක්‍රියාවට නැගීමේ කිසිදු වුවමනාවක් රාජපක්ෂලාට නොතිබුණි.
කොමිසමට නිල වශයෙන් පවරා තිබූ වගකීම් සම්බන්ධයෙන් ජනතාවගෙන් කරුණු විමසීමට, විශේෂයෙන් යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල ජනතාවගෙන් කරුණු විමසීමට ඔවුහු ඒ ප්‍රදේශවලද ප්‍රසිද්ධ සැසි වාර පැවැත් වූහ. තෙමසක් ඇතුළත ඔවුන් වටහා ගත් වැදගත්ම කාරණාව වූයේ ක්ෂණිකව ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්න ගණනාවක් ඇති බවය. එබැවින් සැප්තැම්බරයේදී ඔවුහු නිර්දේශ ගණනාවක් සමග අන්තර්වාර නිරීක්ෂණ වාර්තාවක් නිකුත් කළෝය. එම නිර්දේශ අතර (1) දිගු කාලීන රැඳවියන් සම්බන්ධව වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ පැවැත්වීමේ විශේෂ යාන්ත්‍රණයක් පිහිටුවීම (2) අත් අඩංගුවේ ඉන්නා අය සම්බන්ධ විස්තර ලේඛනයක් ප්‍රසිද්ධ කිරීම (3) නිදහස් කරනු ලබන පුද්ගලයන්ට නිදහස්වීමේ සහතිකයක් නිකුත්කර ඔවුන් නැවත අත් අඩංගුවට නොගැනීම (4) ජනාවාස සඳහා ආණ්ඩුව විසින් පෞද්ගලික ඉඩම් යොදා නොගන්නා බවට පැහැදිලි ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් කිරීම සහ (5) විශේෂ ප්‍රමුඛත්වයක් ඇතිව නිල නොවන සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම වැනි නිර්දේශ ගණනාවක් තිබිණ.
මේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරවා ගැනීමේ කිසිදු වුවමනාවක් දෙමළ ජාතික සන්ධාන නායකත්වයට නොවුණි. ඔවුහු දෙමළ ‘පිටමං’ ප්‍රජාවගේ සහ විදේශ ආධාර මත රාජ්‍ය නොවන සංවිධාන පවත්වා ගත් කොළඹ මැදපන්තිකයන්ගේ රාජපක්ෂ විරෝධයෙහි නිරතව සිටියහ. එහෙත් යුද්ධයෙන් විපතට පත් ජනතාවට අන්තර්වාර නිරීක්ෂණ වාර්තාවෙහි වූ සියලු නිර්දේශ අතිශය වැදගත් විය. අවුරුද්දකුත් සය මසක විමර්ශන අවසානයෙහි “උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම” 2011 දෙසැම්බරයේදී සිය පූර්ණ වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂට බාර දෙනු ලැබ එය ඇමති නිමල් සිරිපාල ද සිල්වා විසින් දෙසැම්බර 16වැනි දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය. එකී වාර්තාවේ වූ සියලු නිර්දේශ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ ආසන්නම ගැටලු සඳහා විසඳුම් යෝජනාද ඇතිව ලාංකීය සමාජය ප්‍රජාතන්ත්‍රීය කිරීම හා බලය විමධ්‍යගත කිරීම දක්වාත් නිර්දේශ ඉදිරිපත්කර තිබිණ. කෙටියෙන් කිවහොත් ඒවා ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ පාලනය සූදානම් නොවූවත් ඒ සියල්ල මේ මහ පොළොවේ පැළ කළ යුතු විසඳුම් යෝජනා විය.
දෙමළ දේශපාලන නායකයන් ඒ කිසිවක් ගැන උනන්දු නොවුනත් උතුරු-නැගෙනහිර සාමාන්‍ය ජනතාව දින 2,495 ක් අඛණ්ඩ උද්ඝෝෂණයක යෙදීම සෙල්ලමක් නොවේ. පසුගිය වසර අවසාන වනවිට නොකඩවා වසර 06 කුත් මාස 09 ක් එවැනි අඛණ්ඩ උද්ඝෝෂණයක යෙදීම විහිළුවක්ද නොවේ. කාලයත් සමග ක්ෂය වෙමින් සිටි විශේෂයෙන් වන්නිකරයේ මව්වරුන් හා බිරින්දෑවන් ඉල්ලා සිටියේ රාජපක්ෂලාගේ යුද අපරාධ සඳහා ඔවුන්ට දඩුවම් කිරීමක් නොවේ. ඔවුන් ඇසුවේ සරළ ප්‍රශ්නයකි. “කෝ අපේ එකා?” යැයි කියා ය.
පසුගිය අවුරුද්දේ (2023) “බලහත්කාර අතුරුදන් කිරීම් සම්බන්ධ ජාත්‍යන්තර දිනය” වූ අගෝස්තු 30 වැනි දින විශේෂ නිවේදනයක් නිකුත් කළ උතුරු-නැගෙනහිර “බලහත්කාර අතුරුදන් කිරීම් වලට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය” සඳහන්කර තිබූණේ ඔවුන් සමග සම්බන්ධව සිටි 180 ට වැඩි මව්වරුන් හා ඥාතීන් සංඛ්‍යාවක් ඉකුක් 07 ත් වසර තුළ මිය ගොස් ඇති බවය. මේ 07 වසර තුළ දෙමළ ජාතික සන්ධානයේ සම්පන්දන්-සුමන්තිරන් නායකත්වය සිටියේ කොහේද?
යුද්ධයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මේ දෙමළ දේශපාලන නායකයන් කළ යුතුව තිබුණේ “උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම” ඉදිරිපත් කළ සියලු නිර්දේශ, එම කොමිසම පත් කළ රාජපක්ෂ ජනාධිපතිගේ ආණ්ඩුව ලවා ක්‍රියාත්මක කරවා ගැනීමට මැදිහත්වීම පමණි.
එම නිර්දේශ අතර අතිශය වැදගත් නිර්දේශ ගණනාවක් ඇත. ඇතැම්වා සමස්ත ලාංකීය සමාජයටම අදාළය. ඉන් එක් නිර්දේශයක් වන්නේ 08.193 පරිච්ඡේදයෙහි සඳහන් “නීතිය හා සාමය පවත්වා ගැනීමේ වගකීම පවරා ඇති පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් ආයතනයකි. එනිසා එය රාජ්‍ය ආරක්ෂාව සඳහා වගකිව යුතු හමුදා සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන හා ඇති සම්බන්ධතා වලින් නිදහස් කිරීම අවශ්‍ය වනන්නකි.” යන්නය. මෙය කියවා ගත යුත්තේ 09.171 පරිච්ඡේදයේ සඳහන් “......සිවිල් කටයුතු වලින් ආරක්ෂක සේවා ක්‍රමානුකූලව ඉවත් කළ යුතු යැයිද ඔවුන් පෞද්ගලික ඉඩම් භාවිතයද අත් හළ යුතු යැයිද ඒ වෙනුවෙන් සාධාරණ කාලයක් නියම කළ යුතු යැයිද කොමිසම නිර්දේශ කරන්නේය.” යන්නත් සමග ය. ලාංකීය සමාජය යළි ප්‍රජාතන්ත්‍රීය කිරීමද ඇතුළත් උතුරු-නැගෙනහිර ජනතාවගේ ප්‍රධාන ආර්ථික ප්‍රශ්න සහ ඔවුන්ගේ සමාජීය ගැටලු වලට අදාල එවන් නිර්දේශ සමූහයක් 09.45 පරිච්ඡේදයේ සිට 09.74 පරිච්ඡේදය දක්වා සියල්ලෙහි අඩංගුව ඇත.
ඒ නිර්දේශ කිසිවක් ගැන කතා නොකර දෙමළ දේශපාලන නායකයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවල එල්ලී සිටි පසුගිය අවුරුදු 14 ක කාලයේ ඒවායෙන් ලබා ගත් කිසිත් නැත. ඒ යෝජනා දෙමළ පිටමං ප්‍රජාවට පමණක් නොව, කොළඹ සිවිල් සමාජයටද දැන් අමතකව ඇත. එහෙත් උතුරු-නැගනෙහිර ජනතාවට ඔවුන්ව අතහැර දැමූ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය අමතකව නැත. 2015 අගොස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සම්පන්තන්-සුමන්තිරන් නායකත්වය උතුරු-නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටියේ ෆෙඩරල් විසඳුමක් සඳහා කේවල් කිරීමේ ශක්තිය තහවුරු කරන්නට උතුරු-නැගෙනහිරින් උපරිම මන්ත්‍රී සංඛ්‍යාවක් ඔවුන්ට ලබා දෙන මෙන් ය. එයද ඒ ජනතාව ඉටු කළහ. උතුරු-නැගෙනහිර මන්ත්‍රී ආසන 22 න් ජාතික ලැයිස්තුවද ඇතුළත්ව මන්ත්‍රීවරුන් 16 ක්ම ඔවුන්ට ලබා දුන්හ. දෙමළ ජාතික සන්ධානයේ සම්පන්දන්-සුමන්තිරන් නායකත්වය ඒ පාර්ලිමේන්තු බලය යොදනු ලැබුවේ අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව රැක බලා ගැනීමටය. යෝධ ආරක්ෂක වියදම් සහිත අයවැය සම්මත කිරීමටත් යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ සියලු අණ පනත් සම්මත කරදීමටත් ඔවුහු කතා කළහ. ඡන්දය දුන්හ.
ඒ සියල්ල වෙනුවෙන් පසුගිය 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙහි සම්පන්දන්-සුමන්තිරන් නායකත්වයට උතුරු-නැගෙනහිර ජනතාව සලකනු ලැබුවේ ඔවුන්ගේ පාර්ලිමේන්තු බලය හෑල්ලු කිරීමෙනි. පාර්ලිමේන්තුවේ වූ මන්ත්‍රීවරුන් 14 න් පසුගිය මැතිවරණයෙන් පත් වූයේ 09 කි. මෙවර ජාතික ලැයිස්තුවෙන් පත් වූයේ එක් මන්ත්‍රීවරයෙකි. උතුරු-නැගනෙහිර ලියාපදිංචි ඡන්දදායකයන් 8,84,326 ගෙන් 2015 ලබා ගත් ඡන්ද 4,70,542 නැතිනම් සියයට 53.21 ක, පසුගිය 2020 මැතිවරණයේදී දෙකෙන් පංගුවකට පමණ පහත වැටිණ. 2020 මැතිවරණයේදී දස ලක්ෂ 01.08 දක්වා වැඩිවී තිබූ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සම්පන්දන්-සුමන්තිරන් නායකත්වයට ලබා ගත හැකි වූයේ ඡන්ද 3,27,168 ක් පමණි. සියයට 32.46 ක් පමණි. වසර 04 ට වැඩි කලක අමතක වීම් වෙනුවෙන් දෙමළ ජනතාව ඔවුන්ට සලකා ඇත්තේ එලෙසිනි.
එයට උත්තරය නායකත්ව වෙනසක් යැයි කල්පනා කළ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීන් සම්පන්දන් වෙනුවට යාපනය මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් ත්‍රීකුණාමල සමුළුවෙන් පත්කර ගත්තේ සැලකිය යුතු බහුතර ඡන්ද ප්‍රමාණයකින් සුමන්තිරන් ඉවත ලමින් ය. එය එක්තරා ආකාරයකට හින්දු වර්ණයක් සහිත තේරීමක් විය. එහෙත් ශ්‍රීදරන්ටද දේශපාලනයක් නැති බැව් නොපමාව දැකිය හැකි විය. විකල්ප දේශපාලනයක් නොමැති විට, ඊළග තේරීම විය හැක්කේ වාර්ගික-ආගමික අන්තවාදය බැව් ඉන්දියාවේ මෝඩිගේ සිට ඇමෙරිකාවේ ට්‍රම්ප් දක්වා දැකිය හැක්කකි. දැන් උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ අවුරුදු 14 ක් ඔවුන් අතරමං කළ බටහිර බලවතුන්ගේ පිහිට පැතූ දෙමළ පිටමං ප්‍රජාව හා උතුරේ නොසිටි දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නායකත්වයට විකල්පයකි. ඊට දේශපාලන විකල්පයක් දෙමළ ජාතික සන්ධානයෙන් පිටත පාර්ලිමේන්තුවාදී දේශපාලනයෙහිද දකින්නට නැති විට, හින්දු මූලධර්මවාදය හිස් තැන පුරවන්නට ඉදිරිපත් කෙරෙන්නේය. දෙමළ නායකයන් ඒ වෙත දැන්ම අවධානය යොමු නොකළහොත් ඉතිරි වන්නේ තවත් අනවශ්‍ය ඛේදවාචකයකි.
- (*** කුසල් පෙරේරා)